''රටේ ජනගහණයෙන් සියයට 62ක් ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන බවට යුනිසෙෆ් සංවිධානය සංගණනයකින් හෙළිදරව් කර තිබෙනවා. ළමා මන්දපෝෂණය, විරුකියාව, මාතෘ මන්දපෝෂණය, බුද්ධි ගලනය, වෛද්‍යවරුන්, වෘත්තීයවේදීන් රට අතහැර යාම ආදී ප්‍රශ්න රැසක් මතුවෙමින් තිබෙනවා. මේ තත්ත්වය යටතේ කැබිනට් ඇමැතිවරු තවත් පත් කරන්නේ කොහොමද?
විපක්ෂනායක සජිත් මෙහෙම ඇහැව්වේ පාර්ලිමේන්තුවේදී පසුගිය දවසකදීය. සජිත් මෙහෙම කිව්ව දවසේම මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය කියා තිබුණේ රටේ පවුල් පනස්හත් ලක්ෂයෙන් ලක්ෂ 34ක් ජීවත්වීමට උදව් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කර ඇති බවය. මේ තොරතුරු බිම් මට්ටමේ සමීක්ෂණයකින් හෙළිදරව් වූ බවත් ඔහු සඳහන් කර තිබුණි.
බලාගෙන ගියාම සජිත් කියන යුනිසෙෆ් සංගණනයත් රන්ජිත් සියඹලාපිටිය කියන බිම් මට්ටමේ සමීක්ෂණයත් කියන්නේ එකම කතාවය. සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් කරන්නේ යුනිසෙෆ් වැනි සංවිධානයක් මෙහෙම හෙළිදරව්වක් කළාම ඒ තොරතුරු ගැන සොයාබලා විසඳුමක් දෙනවා වෙනුවට එම සංවිධානය ලංකාවට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක් මෙහෙයවන බව කියමින් එය පතුරු ගැසීමය. හැබැයි දැන් එහෙම කරන්න ආණ්ඩුවට අවස්ථාවක් නැත. ආණ්ඩුව වෙනුවෙන් එහෙම සද්දෙ දාන්න හිටපු ලොකුම කසකාරයා වන විමල් වීරවංශ දැන් ආණ්ඩුවේ නැතිවීම එක් හේතුවකි. එය දේශපාලන කාරණාවකි. අනෙක් අතට ආණ්ඩුවේම මුදල් රාජ්‍ය ඇමැතිත් කියන්නේ ඒ කතාවමය. ජීවත්වීම එකම අරගලයක් බවට පත් වී තිබීමේ යථාර්ථය කතා කිරීමේදී දැන් ආණ්ඩුවක් විපක්ෂයත් ඉන්නේ එකම බෝට්ටුවේ බව එයින් හොඳින්ම පැහැදිලිය.
මේ කතා දෙක රට දැන් මුහුණ දී සිටින බැරූරුම් තත්ත්වය පෙන්නුම් කරන කැඩපතකි. කරදරයකින් තොරවම බජට් එක ගොඩ දාගත්තත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ යථාර්ථයට මුහුණු දෙන්න සිදුවන බවට සැකයක් නැත. බජට් එකට සහාය දක්වන්න නම් තමන්ට අවශ්‍ය අමාත්‍ය ධුර ටික ලබාදිය යුතු බවට පොහොට්ටුවෙන් මුල සිටම දැඩි කොන්දේසි පනවා තිබුණත් ජනාධිපතිවරයා විවිධ හේතු දක්වමින් එය කල් දැම්මේය. මේ ඇමැති ධුර ඉල්ලීම මීට කලින් අවස්ථාවේදී උඩට ආවේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වූ අවස්ථාවේය. රනිල් ඒ අවස්ථාවේදී කිව්වේ මුලින් 21 සම්මත කරගෙන ඊටපස්සේ ඇමැති පදවි ගැන බලමු කියලාය.
ඒ වෙනකොට පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් හිටියේ අමෙරිකාවේය. ඔහුව සම්බන්ධ කරගෙන ඇමැති ධුර ගනුදෙනුව බේරාගන්න දැරෑ උත්සාහය සාර්ථක කරගන්න පොහොට්ටුවට හැකිවූයේ නැත. මේ නිසා අමනාපෙන් සිටි පොහොට්ටුවේ කට්ටිය නිල නොවන මට්ටමින් කියා තිබුණේ තමන් 21ට සහාය නොදෙන බවකි. හැබැයි 21 ඡන්ද 178ක් ලබා ගනිමින් සම්මත කර ගැනීමට රනිල් සමත් විය. ඒවා දේශපාලන ගැටය. ඒ ගැට පිළිබඳ මේ රටේ සිටින විශේෂඥයන් කිහිපදෙනා අතුරින් රනිල් ඉහළින්ම සිටී. මහින්දත් කාලයක් මේ දේශපාලන ගැට කිරුළ දරමින් සිටියේය. දැන් නම් පොහොට්ටුව පැත්තෙන් ඒ ගැන කප් ගසා ඉන්නේ බැසිල්ය. බැසිල් කවදත් තිරය පිටුපස සිට දේශපාලන ගැට ගැසීම් සහ ගැට ලිහාගැනීම් සම්බන්ධයෙන් නම් දරා සිටියේය. එය දැනටත් වෙනසක් නැත.
බජට් එක සම්මත කර ගැනීම ආසන්න වනවිට පොහොට්ටුව යළිත් ඇමැති ධුර ඉල්ලීම පෙරට ගත්තේය. නම් ලැයිස්තුවක් සකස් කරගෙන ජනාධිපති රනිල් හමු වී සාකච්ඡාවක් පවා පැවැත්වුවත් ජනාධිපතිගෙන් ඒ වැඩේට කොළ එළියක් දැල්වුණේ නැත. එහි සඳහන් නම් කිහිපයකට ජනාධිපතිවරයා අකැමැත්ත පළකළ බවද දැනගන්නට ලැබුණේය. මේ වෙනකොට බැසිල් ලංකාවට ආපසු පැමිණ සිටියේය. එය හදිසියේ සිදුවූ ගමනක් වුණත් පොහොට්ටුවේ අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටි පිරිසට එය ඉහේ මලක් පිපුණාක් මෙන් වී තිබුණි. ඔවුන් රොද බැඳගෙන ගුවන්තොටුපළට ගොස් කේක් කා තේ බී බැසිල් පිළිගෙන (සමහරු වැඳ වැටුණු බවද ආරංචි විය.) ගෙවල්වලට ගියේ වැඩේ හරි යැයි හිතාගෙනය. එහෙත් වැඩේ හරිගියේ නැත.
ඒ වෙනුවට වුණේ ඇමැති ධුර ඉල්ලීමේ කතාව දියාරු වීමය. බජට් එක පැරදීමට ඉඩක් තිබෙන බවට ආණ්ඩුවෙන් කැඩී ගිය හිටපු ඇමැති පිරිසක් නියෝජනය කරන චන්න ජයසුමන මන්ත්‍රීවරයා කලින් කියා තිබූ බව මේ අයට මතක තිබුණාදැයි දන්නේ නැත. නමුත් බජට් එක පැරදුණේ නැත. අමාත්‍ය ධුර ලැබුණේත් නැත.
එහෙම වුණත් බජට් එක සම්මත වූ සතියේ සඳුදා (05) පොහොට්ටුව තම සිව්වැනි සංවත්සරය සැමරුවේය. බත්තරමුල්ලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පැවැති එම සැමරුමේ චොකලට් කේක් එක කැපුවේ බැසිල් රාජපක්ෂය. ඔහු පිරිවරාගත් පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ එම කේක් සංග්‍රහය භුක්ති වින්දේ බැසිල් සමඟ උරෙනුර ගැටෙමිනි. එහිදී බැසිල් පොහොට්ටුවේ සභාපතිවරයා තවමත් මහාචාර්ය ජී.එල්. පීරිස් බව පැවසුවේය. ඒ වගේම පළාත්පාලන මැතිවරණය ඉක්මණින් පැවැත්වීමේ අවශ්‍යතාව ගැනද කතා කළේය. මේවා දේශපාලන ගැටගැසීම් හෝ ගැටලිහීම්දැයි දැන්ම කීම අමාරු වුණත් ඔහු පොහොට්ටුවේ මේ දවස්වල ප්‍රධානම ඉල්ලීම වන අමාත්‍ය ධුර ගැන නම් කතා කරන්න ගියේ නැත.
දැන් තිබෙන තත්ත්වයේ හැටියට අමාත්‍ය ධුර ප්‍රදානය අයි.එම්.එෆ්. ප්‍රථම ණය වාරිකය නිදහස් කර ගැනීමේ අවස්ථාව දක්වා කල් යන බව පෙනෙන්නට තිබේ. එය විසඳන්න අමාරු ප්‍රශ්නවලට කාලය මගින් විසඳුම් සෙවීමේ යාන්ත්‍රණයේ අතිදක්ෂයකු වන ජනාධිපති රනිල් මේ අවස්ථාවේදී යොදාගන්නා දේශපාලන උපක්‍රමයක ප්‍රතිඵලයක්දැයි කියන්නත් බැරිය. ඒ වගේම රටේ පවුල් ලක්ෂ 34ක් ජීවත්වීම සඳහා රජයේ ආධාර ඉල්ලා සිටින තත්ත්වයක් තුළ අමාත්‍ය ධුර සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීම දැඩි පීඩනයකින් සිටින ජනතාවගේ ආවේගශීලී ප්‍රතිචාරවලට හේතු විය හැකි බවට ජනාධිපතිවරයා තුළ අදහසක් පැවතීමත් එයට හේතුවක් විය හැකිය. ගෝඨාභයට තම ධුරය අත්හැරීමට සිදුවූයේ තමන් අසලම සිටි ඇතැම් නිලධාරීන් සහ දේශපාලකයන් විසින් ලබාදුන් වැරදි උපදෙස් නිසා බව රනිල් නොදන්නවා විය නොහැක. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මේ බව එදා (09) පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ මෙසේය.
''ඇමැතිවරයකුට තමන්ගේ ස්වාධිපත්‍යය බලය මත මහ දෙයක් කරන්න බැ. මේකෙ නිලධාරි කතිපයාධිකාරියක් ඉන්නවා. ඒ කාලෙ කැබිනට් ඇමැතිවරු සාක්කි දරයි. මා බරපතළ ලෙස කැබිනට් මණ්ඩලයේදී සීනි බද්ද සත 25ට අඩු කිරිමට විරුද්ධව හැප්පුණා. මේක කරන්න එපා කිව්වා. ජනාධිපතිතුමා සමඟ විවිධ විදියට තර්ක විතර්ක කළා. මේක වැරදි බව කිව්වා. නමුත් ජනාධිපතුතමාට උපදේශකයෝ කිව්වා. හෙල්ලෙන්න එපා සර්. මේක තමයි හරි දේ. සත 25 බද්ද තිබෙන්න ඕනි කියලා කිව්වා. මේ ඇත්ත රටේ ජනතාව දන්නේ නෑ. කැබිනට් ඇමැතිවරයෙකුට ඕනෙ තීන්දුවක් ගන්න පුළුවන් කියලා හිතන එක තමයි වැරදිච්ච තැන. මේ තත්ත්වෙට රට ඇවිල්ල තියෙන්නේ ඒක නිසා තමයි.''
රට මේ තත්ත්වෙට වැටුණේ ඒ හේතුව නිසා දැයි නම් කියන්න බැරිය. හැබැයි ජනාධිපතිවරුන් රටේ පවතින ඇත්ත තත්ත්වය ගැන හරි වැටහීමකින් තොරව තීන්දු තීරණ ගැනීම හේතුවෙන් බරපතළ කඩා වැටීම් සිදුවූ බව නම් ඇත්තකි. රසායනික පොහොර කතාව, වැට්බදු අඩු කිරීම ඒ වගේ අදූරදර්ශී තීන්දු දෙකකි. ගෝඨාභයට තනතුර අත්හැර යාමට තරම් බලපෑ අරගලයට මේ සාධක දෙක ප්‍රධාන හේතුවක් වූ බවත් ඇත්තය.
රනිල් මේ තත්ත්වය දැන සිටීම හේතුවෙන් පොහොට්ටුවේ අමාත්‍ය ධුර ඉල්ලීම නොසලකා ඉන්නවා වෙන්නත් පුළුවන. එහෙම වුණත් තව කොතරම් කාලයක් ඒ තත්ත්වය දරාගෙන සිටීමට ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් හැකියාවක් තිබේදැයි යන්න ප්‍රශ්නාර්ථයකි. පාර්ලිමේන්තුවේ බලය හැසිරවීමට පොහොට්ටුවේ මැති ඇමැතින්ගේ උපකාර අවශ්‍ය බැවිනි. ඒ අනුව නම් පොහොට්ටුවට අමාත්‍ය ධුර ලබාදීමට ජනාධිපතිට වගකීමක් තිබේ. ඒ වුණත් අමාත්‍ය ධුර ලබාදීමට ඉක්මන් නොවී රටේ තත්ත්වයත් එක්ක පොහොට්ටුවත් බැලන්ස් කරගෙන තමන්ගේ ගමන යාමට මේ දක්වා රනිල් සමත්ව සිටී. ඒ වගේම පොහොට්ටුව සමඟ යූ.එන්.පී.ය ඉදිරියේදී ඒකාබද්ධව දේශපාලන ගමනක් යාමටද පිඹුරුපත් සැකසෙමින් තිබේ. අහසට පොළොව මෙන් ප්‍රතිපත්ති වෙනස් වුණත් බලය රුක ගැනීම සඳහා ඕනෑම සතුරකු සමඟ එකතු වීම මේ රටේ දේශපාලනයේ හැටිය.
අමාත්‍ය ධුර ගැටලුව තව කොතරම් දුරකට යනු ඇතිදැයි කියන්න බැරිය. එහෙත් විපක්ෂනායකයාත් ආණ්ඩුවේම මැති ඇමැතිලාත් රටේ සැබෑ තත්ත්වය ගැන ඉන්නේ එකම මතයක නම් අමාත්‍ය ධුර ගැටලුව දැන්ම විසඳෙන්නේ නැත. රටේ ජනතාවට ඊට පෙර විසඳාගත යුතු ගැටලු රාශියක් තිබේ. ජනවාරියේ සිට තවදුරටත් බදු වැඩිවන තත්ත්වයක් තුළ මේ ගැටලුද උග්‍ර වනු ඇත. මේ නිසා අමාත්‍ය ධුර ගැටලුවේදී රනිල් නම් අතපුච්චා ගන්නවා බොරුය.
I ශශීන්ද්‍ර