රෝහිණී කවිරත්න - (පාර්ලිමේන්තු මන්ත්‍රීනී - සමගි ජනබලවේගය)
රටක විපක්ෂය කියන්නේ ජනතා හිතවාදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක්. ජනතාව ආණ්ඩුවට කෙතරම් කැමැති වුණත් විපක්ෂය ඒ අය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ වගකීම විපක්ෂය විසින් මේ වනවිටදී ඉටුකරමින්ද ඉන්නේ?
ඔබ අහපු ප්‍රශ්නයේ තැනක තිබෙනවා ආණ්ඩුවට ජනතාව කැමැතියි වගේ හැඟීමක්. ඇත්තටම මට නම් කිසිම විදිහකින් ආණ්ඩුවට ජනතාවගේ කැමැත්තක් පේන්න නැහැ. මිනිස්සු ඉන්නේ ඉතාම පීඩාවකින්. සියලුම අංශවලින් ජනතාව වැටිලා ඉන්නේ. අධ්‍යාපනය, සෞඛ්‍යය, කෑම ටික පවා මිනිස්සුන්ට මේ වනවිට අහිමිවෙලා තියෙන්නේ.
මම අහන්නේ විපක්ෂයේ භූමිකාව මොන වගේද?
ඇත්තටම විපක්ෂයට හැමදේම කරන්න බැහැ. ආණ්ඩුව වැරැදි පාරේ යනවා නම් හරි පාරට ගන්න එක තමයි විපක්ෂයේ කාර්යභාරය. ඒ නිසා අපි විපක්ෂයක් හැටියට ආණ්ඩුව හරි දේ කළාම හරි කියන්නත් වැරුදි දේ කළාම වැරුදියි කියන්නත් ඕනෑම වෙලාවක කටයුතු කරනවා. අපි මිනිස්සු වෙනුවෙන් මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බැහැලා කෑ ගහන්න බැරි වුණත් වගකිවයුතු තැනක් වන පාර්ලිමේන්තුව ඇතුළේ ඒ සඳහා සටනක් කරනවා.
ඔබ කොහොමද හිතන්නේ විපක්ෂ නායකතුමාගේ භූමිකාව ගැන?
ඇත්තටම මම හිතනවා මෙතෙක් කාලයකට හිටිය විපක්ෂ නායකවරුන්ගෙන් හොඳම විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා ඉතිහාස ගතවෙනවා. එතුමා ඇති හැකි සෑමවිටම සෑම ප්‍රශ්නයකටම මැදිහත් වෙනවා. මගේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි මේ රටේ හැම ප්‍රදේශයකටම එතුමා වෛද්‍ය උපකරණ, බස් රථ, මූල්‍යාධාර ලබා දෙනවා.
විපක්ෂ නායකතුමා එහෙම දේවල් දුන්නහම ඔහුගේ කාර්යභාරය ඔබ හිතන්නේ ඉවරයි කියලද?
ඇත්තටම මම කිසිම වෙලාවක කියන්නේ නැහැ එහෙම දේවල් දුන්නහම ඒ තමයි එකම දේ කියලා. හැබැයි එවැනි දේ වලින් පවා යම් ආකාරයක සහනයක් ජනතාව වෙනුවෙන් එතුමාට දෙන්න පුළුවන් වෙලා තිබෙනවා.
ඔබලාට තවම බලය නැහැ. ඔබලා තවම විපක්ෂයේ. එතකොට තවත් පාර්ශ්වයක් එන්න ඉන්නවා ජාතික ජනබලවේගය. ඒ අය ගෙනෙන තර්කය තමයි උනුත් එකයි මුනුත් එකයි දෙගොල්ලම එකට හොරා කෑවේ කියලා?
මම ඒ සම්බන්ධව ^94 න් එහා කතා කරන්න ලෑස්ති නැහැ. හැබැයි ^94න් මෙහා පත්වුණු සෑම ආණ්ඩුවකටම ජවිපෙ ඍජුව හෝ වක්‍රව උදව් කරලා තිබෙනවා. චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවට, මහින්ද රාජපක්ෂයේ ආණ්ඩුවට ඔවුන් උදව් කළා. දැන් ඒ අය කියන්නේ කොහොමද උනුත් එකයි මුනුත් එකයි කියලා. ඒ අය කරන්නේ හැමදාම විවේචනය කරන එක. ඒ වෙනුවෙන් විකල්පයක් දෙන්න හදන්නේ නැහැ. ඔය අය කියන්නේ අච්චරක් ෆයිල් තියෙනවා. මෙච්චරක් ෆයිල් තියෙනවා කියලා. ඒ ෆයිල්වලින් කරපු දෙයක් නැහැනේ. ආවේගශීලී වචන කියලා මිනිස්සු හරෝ ගන්න එක විතරයි ජවිපෙ කරන්නේ.
දැන් කාට හරි හිතෙන්න පුළුවන් ඔබලා බලය අරගෙන මොනවද කරන්න හදන්නේ කියලා?
රට වැටිලා තියෙන තත්ත්වයත් එක්ක හැකි ඉක්මණින් ආර්ථික උත්පාදනයකට යන්න වෙනවා. ඒ වගේම විදෙස් රටවල් සමඟ කටයුතු කරලා විදෙස් සහාය ලබාගන්නත් අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මොකද පවතින රජය ගැන තිබෙන විශ්වාසය මත තමයි ඒ සබඳතා රුකෙන්නේ. දැන් පෙනෙනවානේ අයි.එම්.එෆ්. එක වුණත් අද නෙවෙයි හෙටනේ හැමදාම. දැන් බලන්න, පසුගිය අය-වැය ගත්තත් ඉලක්කම් තිබුණා. වියදම් කරන හැටි තිබුණා. ඒත් ආදායම් එන විදිහක් තිබුණේ නැහැ. කොහොමත් අපි හැම මොහොතකම කතා කරද්දී අපේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ගැන කතා කරනවා.
දැන් කාට හරි හිතෙන්න පුළුවන් මේ රට ගොඩනගන්න කොච්චර කට්ටිය කතා කිව්වත් තවම එකතුවෙලා වැඩක් කරන්න බැහැ කියලා. ඒ අපිටත් හිතෙනවා. ඇයි මේ එකතු වෙලා වැඩ කරන්න බැරි?
ඔව්. මමත් ජනතාවගේ ඒ මතයේ ඉන්නවා. අපි දැන් වළට වැටිලා ඉවරයි. කාගේ හරි කරේ එල්ලිලා උඩට ඇවිල්ලා වළේ ඉන්න අයට උඩට එන්න ලණුව දාන්න ඕනේ. අපි සියලු පක්ෂ එකතුවෙලා මේ රට ගොඩනගන්න පොදු වැඩපිළිවෙළකට යන්න ඕන. හැමෝම එක මේසයකට ඇවිල්ලා මේ රට ගොඩනගන්න ඕන කාලයක් තමයි මේක. අපිට තමයි කරන්න පුළුවන් කියලා උදම් අනලා වැඩක් නැහැ. අපි හැමෝම එකතුවෙලා මේ ගමන යන්න ඕන.
ඇයි ජනාධිපති ගෙනාපු යෝජනාවට එකතු වෙන්න බැරිවුණේ?
අත දික් කරන කෙනා අවංකව අත දික්කරන්න ඕන. අත දෙන කෙනාත් අවංකව අත දෙන්න ඕන. එන්න ඒ විශ්වාසය තමයි අපිට නැතිවුණේ.
ඔබ හිතනවාද මේ වර්තමාන ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ඉන්න 225ට දැනෙනවා කියලා?
ඇත්තටම ගැටලුවක් තිබෙනවා. දේශපාලනය ගත්තොත් මම හරිම කලකිරීමකින් ඉන්නේ. අපි මහජන නියෝජිතයෝ කියන එක තවම තේරුම් අරන් නැහැ. හැබැයි ඒ 225ට ම ඒ චෝදනාව කරන්න බැහැ. සමහර අය ඉන්නවා තේරුම් අරගෙන ඉන්න අය. අපි දැන් ගෝත්‍රික මානසිකත්වයෙන් එළියට යන්න ඕන. අපි හැමෝම මේ රාමුවෙන් පිට හිතලා මේ රට ගොඩගන්න මැදිහත් වෙන්න ඕන. ඒ නිසා මේ වෙලාවේ අවස්ථාවාදීකම් ගෝත්‍රික මානසිකත්වය අත්හරින්න ඕන.
අපි දැක්කා පහුගිය කාලේ කාන්තාවන්ට ලොකු තැනක් දෙන්න ඕන කියලා කතාබහක් ඇතිවුණා. හැබැයි පාර්ලිමේන්තුවේදී කාන්තාවන් කතා කරද්දී එක්කෝ අසභ්‍ය වචනයෙන් නැත්නම් උසුළු විසුළුවෙන් ඒවා මගහරිනවා අපි දැක්කා. ඇත්තටම පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තාවන්ගේ වචනවලට වටිනාකමක් නැහැ නේද?
ඇත්තටම මේ වෙලාවේ මම වර්තමාන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මොකද එතුමා අගමැතිවරයා හැටියට ඉන්න කාලේ තමයි කාන්තා නියෝජනය වැඩිකරන්න ඕනෑ කියන යෝජනාව ගෙනාවේ. ඒක පළාත් පාලන ආයතනවලට අයිති වුණාට පාර්ලිමේන්තුවට ආවේ නැහැ. අපි පුදුම විදිහට සටන් කරලා තමයි මේ අවස්ථාව ලබා ගත්තේ. ඔබ ඇහුවා පාර්ලිමේන්තුවේ අපේ වචනයට ඉඩක් තිබෙනවාද කියලා. අපි කොච්චර හොඳ යෝජනා ගෙනෙනවාද? ඒවා මාධ්‍යවල පළ වෙන්නේත් නැහැ. අපි රණ්ඩු වුණොත් ගහ ගත්තොත් ඒවාට මාධ්‍යයේ ඉඩක් තිබෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ කතා කරන දේ සම්බන්ධයෙන් ලොකු වටිනාකමක් නැහැ. ඒ දේවල් එක්ක බලද්දී යම්කිසි අඩුවක් තිබෙනවා තමයි. මොකද පහුගිය කාලේ ආවා වෛරී ප්‍රකාශ. මම ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම විරුද්ධයි.
අපි දන්නවා පසුගිය දවස්වල ඔබගේ පක්ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙක් හැසිරුණු විදිහත් එක්තරා හිටපු මන්ත්‍රීවරියක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයකුත් සමාජයේ විශාල ලෙස කතාබහට ලක්වුණා. මොකක්ද ඒ වෙනුවෙන් පක්ෂය ගත්ත විනය ක්‍රියාමාර්ගය?
අපි පක්ෂයක් හැටියට තීන්දුවක හිටියා කාන්තාවන්ට අපහාස වෙන විදිහට කතා කරන්නේ නැහැ කියලා. ඒ නිසයි මම ඊට පහුවැනිදා පාර්ලිමේන්තුවේ නැගිටලා සමාව ඉල්ලා හිටියේ. ඒ වගේම කාන්තාවන් දැනගන්නත් ඕන අනෙක් අයගේ ගෞරවය තියලා කතා කරන්න. කාගේ වුණත් පෞද්ගලික ජීවිත, ලිංගික ජීවිත අඩුපාඩු ගැන කතා කරන එක වැරුදියි. ඔය කිව්ව අවස්ථා දෙකටම මම විරුද්ධයි.
හැබැයි පක්ෂය ඇතුළෙත් තිබෙනවා නේද කාන්තාවන්ට පොඩි කැපිලි කෙටිලි ටිකක්?
ඒකට හේතුව නම් කාන්තාවක් වීම ම තමයි. දැන් උදාහරණයක් ගත්තහම පිට පිට දෙවතාවක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරී මන්ත්‍රිනිය හැටියට සම්මාන ගත්තා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ පිරිමි ගොඩක් ගෙදර තියලා මාව පාර්ලිමේන්තු ගේන්න ජනතාව කටයුතු කළා. මට සමහර වෙලාවකට හිතෙනවා දිස්ත්‍රික්කයේ ජනතාවගේ කැමැත්ත මම වුණාට අපේ නායකයන්ගේ කැමැත්ත මම නෙමෙයි කියලා. ඒ නිසා මේ දේවල් බිඳගෙන යන්න අත්‍යවශ්‍යයි. පක්ෂ නායකයෝ තමයි තේරුම් ගන්න ඕන කාන්තාවන්ට තියෙන තැන ලබාදෙන්න ඕන කියලා. අඩුම තරමේ ජාතික ලැයිස්තුවේ කාන්තාවන්ට කොපමණ ඉඩක්ද තියෙන්නේ?
අරගලය විසින් පහුගිය කාලේ ලොකු මතවාදයක් ගෙනාවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි කියලා. ඇත්තටම ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලාද ඒක පාලකයන් විසින් තේරුම් අරන්ද තියෙන්නේ?
ඇත්තටම අරගලය කියන්නේ ආරම්භයේදී මමත් හරි කැමැත්තෙන් හිටිය දෙයක්. හැබැයි ඇතැම් සිද්ධිත් එක්ක අරගලය කිරි මුට්ටියට ගොම බින්දුවක් දැම්මා වගේ වුණා. දැන් මුළු හට්ටියම ගොම වෙලා තියෙන්නේ. හැබැයි අරගලය ආරම්භ වුණේ ඉතාම පිරිසිදු චේතනාවෙන්. ඒ පිරිසිදු අරමුණු වෙනුවෙන් මේ රටේ පාලකයෝ වගකිවයුතුමයි. සාමාන්‍යයෙන් ඒ සඳහා ඉඩකඩක් දෙන්නම ඕන. මම කිසිම විදිහකින් ගෙවල් ගිනි තැබීම් අනුමත කරන්නේ නැහැ. හැබැයි පහුගිය කාලේ හැංගිලා හිටිය අය දැන් කලඑළි බැහැගෙන එන්නේ. ඒ නිසා හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා අරගලයෙන් කිව්ව පණිවිඩය ගැන.
I ගයාන් ගාල්ලගේ