2022 දෙසැම්බර් 25 වන ඉරිදා

ඉවසීම් ’ටෙස්ට්’ කිරීම

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 126

''මැතිවරණවලට වියදම් කරලා විදුලි බලය, ඉන්ධන ලබාගැනීමට ක්‍රමයක් නැහැ කියලා පස්සෙ කියන්න එපා''

මෙහෙම පසුගියදා කිව්වේ යූ.එන්.පියේ උප නායක අකිල විරාජ් කාරියවසම් සිරිකොත මාධ්‍ය හමුවකදීය. එය යූ.එන්.පියේ මැතිවරණ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ පවතින නිල තත්ත්වය බව පැහැදිලිය. ඒ කියන්නේ දැන් රටේ පවතින ආර්ථිකය අඩු තරමින් මැතිවරණයක් තියාගන්න බැරි තරමට බංකොළොත් බව යූ.එන්.පිය පිළිගෙන තිබේ. මීළඟට පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණයට රුපියල් කෝටි 1000ක් වැය වන බව කලක් තිස්සේම වරින් වර ප්‍රකාශ විය. මැතිවරණ කොමිසම කියන්නේ ඒ සඳහා තමන් මුදල් වෙන් කරගෙන තිබෙන බවය. ඒ කියන්නේ බැලූ බැල්මට මැතිවරණය පවත්වන්න මුදල් හරස් වීමට ඉඩක් නැත.

එහෙම නම් මැතිවරණවලට මුදල් නැති බව පුන පුනා කියන්න යූ.එන්.පිය මේ තරමට ඉදිරිපත් වෙන්නෙ ඇයි? ඒකට ඇත්තේ එකම උත්තරයකි. යූ.එන්.පිය මැතිවරණයට ඉදිරිපත් වෙන්න දැන්ම සූදානම් නැත. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ මේ පාලනය මේ පවතින ආකාරයට ඉදිරියට ගෙන යාමය. පළාත් පාලන ඡන්දයෙන් පවතින ආණ්ඩුව වෙනස් වෙන්නේ නැති වුණත් ඒ ඡන්දයේ ප්‍රතිඵලය හේතුවෙන් යූ.එන්.පියට ඇති විය හැකි බලපෑම ගැන ඔවුන් තුළ තිබෙන තක්සේරුව ගැන එයින් ඉඟියක් ලබා දී තිබේ.

යූ.එන්.පිය මේ ආණ්ඩුවේ සුක්කානම බවට පත්වෙන්නේ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි. පොහොට්ටුවේ ජනාධිපති ඉවතට විසි වී පාර්ලිමේන්තුවේ එකම ආසනය හිමිව තිබූ යූ.එන්.පියේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මුලින් අග්‍රාමාත්‍ය ධුරයත් ඊළඟට ජනාධිපති ධුරයත් ලැබුණේ එහෙමය. අරගලයට මුල් වූ සැබෑ හේතු සාධක යටපත් කර දැමීමට පොහොට්ටුවත් යූ.එන්.පියත් කොතරම් උත්සාහ කළත් රටේ මහජනතාව පාරට කැඳවූ මහා විරෝධයේ කොඳු නාරටිය වුණේ රටේ ඇතිවෙමින් තිබූ දරුණු ආර්ථික කඩා වැටීමය. මේ ආර්ථික කඩා වැටීමේ ප්‍රධාන වගඋත්තරකරුවන් වුණේ රාජපක්ෂවරුන්ය. ඔවුන්ගේ පාලනය රටේ ජාතික ධනය හොරකම් කළ බවත් රටේ ධනය සූරා කමින් ඔවුන් පොහොසත් වනවිට රට දුප්පත් වූ බවත් පාරට බැස්ස බහුතර මහජනතාවගේ මතය වී තිබුණි.

ඒක එහෙම වුණත් දැන් ආණ්ඩුවේ දේශපාලනඥයන් හැසිරෙන්නේ රටේ ආර්ථික කඩා වැටීමට පොදු මහජනතාව වගකිව යුතු බව ඇඟවෙන ආකාරයට බව පෙනෙන්නට තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කට ඇරියොත් කියන්නේ අරගලය අයිස් ගහන, කුඩු ගහන, ගංජා බොන, දාමරිකයන්ගේ වැඩක් බවය. රටේ ආර්ථිකය විනාශ වන තැනට වැඩ කර දවසෙන් අඩකටත් වඩා විදුලිය නැතිව ජනතාවට ඉන්න සැලැස්සූ බව මේ දේශපාලනඥයන්ට දැන් අමතකය. ඔවුන් දැන් ජනතාවට කියන්නේ වැඩියෙන් විදුලි ගාස්තු, ජල ගාස්තු ගෙවිය යුතු බවය.

විදුලි කප්පාදුව හේතුවෙන් ආණ්ඩුවේ කිසිදු ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට හෝ අඳුරේ ඉන්න සිදු වූයේ නැත. වෙනකක් තබා ඇතැම් ප්‍රභූ පවුල්වල දූ පුතුන් සිටි ප්‍රදේශවල පවා විදුලිය කැපීමක් සිදු වුණේ නැත. ජනතාවගේ කෝපය උත්සන්න වීමට එයද හේතුවක් විය. අද ආණ්ඩුව ජනතාවට කියන්නේ විදුලි ගාස්තු වැඩි නොකළොත් අඳුරේ සිටීමට සිදුවන බවය. මැතිවරණයක් තියන්න ගියොත් විදුලිය, ඉන්ධනවලට වියදම් හොයාගන්න බැරිවන බවය. මේ ආණ්ඩුව පරීක්ෂා කරන්නේ ජනතාවගේ ඉවසීම බව පැහැදිලිය. හැබැයි මේ ඉවසීම ජනවාරි මාසයේ සිදුවන විදුලි බිල නැගීමත් උපයන විට ගෙවීම ඇතුළු බදු වැඩිවීමත් සමඟ තවදුරටත් තුනී වී ජනතාව යළි පීඩනයට පත් වනු ඇත. ඡන්දයක් තියාගන්න බැරි තරමට රටේ ආර්ථිකය වැටී තිබීමට වගකිව යුත්තේ ජනතාව නොවන බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගතහොත් එය පාලනය කර ගත හැකි වනු ඇත.

නොරොච්චෝල විදුලි උත්පාදනය ගැන මේ වන විටද විදුලි ඉංජිනේරු සංගමයත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාත් අතර ප්‍රබල කඹ ඇදිල්ලක් හටගෙන තිබේ. ගල්අඟුරු නොමැති වීම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (22) එහි විදුලි ජනක යන්ත්‍ර තුනෙන් එකක් අක්‍රීය කර තිබේ. අමාත්‍යවරයා දිගටම ප්‍රකාශ කළේ එහෙම නොවනු ඇති බවකි. එහෙත් හදිසියේම හෝ දැනට පවතින පැය දෙකහමාරේ විදුලි කප්පාදුව දීර්ඝ වුණොත් ආණ්ඩුවට බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.

රටේ පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතාවලට එරෙහිව ආණ්ඩුවේ ජනප්‍රියම සටන් පාඨය වී ඇත්තේ එහෙම කළොත් රටේ දැන් පිබිදෙමින් පවතින සංචාරක ව්‍යාපාරයට එයින් ලොකු හානියක් සිදුවන බවය. රටට පැමිණෙන ආයෝජකයන් ආපසු හැරී යනු ඇති බවය.

ආණ්ඩුව එහෙම කිව්වත් විදුලිය කප්පාදුව දීර්ඝ වී යළිත් ඉන්ධන පෝලිම් ඇතිවන තැනකට රටේ ආර්ථිකය තල්ලු වුණොත් එයින් සංචාරක ව්‍යාපාරයට පමණක් නොව රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියටම කිව නොහැකි තරම් හානියක් සිදුවිය හැකි බව අවබෝධ කර ගැනීම අපහසු නැත. ගැටලුව මේ හැම දේකටම පොදු මහජනතාව වගකිව යුතු බවට වන ආකල්පයකින් ආණ්ඩුව කටයුතු කිරීමය. එහි ප්‍රතිචාරය ආණ්ඩුව අපේක්ෂා කරන එක නොවීමට ඉඩ තිබෙන බව පැහැදිලිය.

මේ කොහොම වුණත් වසරකින් දැනට කල් දමා තිබෙන පුංචි ඡන්දය පැවැත්විය යුතු බව පොහොට්ටුවේ අදහස බව පෙනී යයි. ඒ ගැන පරස්පර විරෝධී මත වරින් වර ප්‍රකාශ වුණත් බැසිල් ආපසු පැමිණීමෙන් පසුව ඔහු දැඩිව ප්‍රකාශ කළේ පුංචි ඡන්දය පැවැත්විය යුතු බවය. එය ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය අනුව එකම නාට්‍යයක කොටසක්ද විය හැක. යූ.එන්.පිය ඡන්දය එපා කියන මතයට පණ දෙන අතරේ ඡන්දය අවශ්‍ය බව පොහොට්ටුවේ මතය හැටියට හඳුන්වා අවසානයේ දෙපිරිසම එක් වී රටේ පවතින වාතාවරණය අනුව ඡන්දයක් මේ වෙලාවේ පැවැත්විය නොහැකි බවට එකඟත්වයකට පැමිණීමය. එයට හේතුවක් වශයෙන් දැක්වෙන්නේ පසුගිය දිනක ජනාධිපති රනිල් හමුවීමට ගිය පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මේ අවස්ථාවේ පුංචි ඡන්දය නොපවත්වන ලෙසට කළ ඉල්ලීමය. එහෙම ඉල්ලීමක් කළ පොහොට්ටුව දැන් පුංචි ඡන්දය අවශ්‍ය බවත් එයට තමන් සූදානම් බවත් ප්‍රකාශ කිරීම ගැන සැක පහළ වීම පුදුමයක් නොවේ.

ඒ කෙසේ වුවත් බැසිල් නම් කවදාවත් ඡන්දයකට බියෙන් මීට පෙර නම් කටයුතු කර නැත. මහින්දත් එසේමය. බැසිල් සහ මහින්ද දෙන්නාම කියන්නේ තමන්ගේ පක්ෂය තිබෙන තැන හරියට දැනගන්න නම් අන්තර්කාලීන ඡන්ද එනම් පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද පැවැත්වීම අවශ්‍ය බවය. ජන මතය දැනගෙන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තරග කිරීම වඩාත් ප්‍රතිඵලදායක බව ඔවුන්ගේ මතය වී තිබිණි. බැසිල් අදත් දරන්නේ ඒ මතය බව පැහැදිලිය.

පුංචි ඡන්දය පැවැත්වීම අවිනිශ්චිත තැනකට තල්ලු වීමේ එක් ප්‍රතිඵලයක් වුණේ ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වීමය. එසේ වුවත් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මූලික පියවර මැතිවරණ කොමිසම දැන් ක්‍රියාත්මක කරමින් සිටී. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර සහ පොහොට්ටුවෙන් කැඩී ගිය නිදහස් ජනතා සභා නායකයා වන මහාචාර්ය ජී.එල්. පීරිස් ය. අනෙක් පෙත්සම ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර, සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමළ ජාතික සන්ධානයේ ඒබ්‍රහම් සුමන්තිරන් සහ පොහොට්ටුවෙන් කැඩී ගිය තවත් කොටසක ප්‍රධානියා වන අනුර ප්‍රියදර්ශන යාපා ය. මේ සම්බන්ධ පෙත්සම් විභාග කිරීම ජනවාරි 18 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙතැන ගැටලුව ඇත්තේ ඉතිහාසයේ නොවූ විරෑ ලෙසට විධායක ජනාධිපතිවරයකු යටතේ පැවැති ආණ්ඩුවක් අඩුම වශයෙන් තුනකට කැඩී ගොස් ජනප්‍රියත්වයෙන් පිරිහී ගොස් තිබියදීත් පුංචි ඡන්දය පැවැත්විය යුතු යැයි පවසන විට දැනට රටේ විධායක ජනාධිපති ධුරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාගේ යූ.එන්.පිය පුංචි ඡන්දය එපා කියන ස්ථාවරය දැරීමය. එපමණක් නොව ඡන්දයක් මේ වෙලාවේ නොතැබීමට විවිධ හේතු කාරණා ඉදිරිපත් කිරීමටද යූ.එන්.පිය නියෝජනය කරන හිටපු මැති ඇමැතින් පවා ඉදිරිපත්ව සිටීමය. රටේ පැවැති පෝලිම් නැති කර ඉන්ධන සහ ගෑස් ප්‍රමාණවත් පරිදි සැපයීමට කටයුතු කළ එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළ දැමීමට කටයුතු කළ, වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වා දුන් ආණ්ඩුවක් ඇයි මෙහෙම හැසිරෙන්නේ?

ඒ ප්‍රශ්නයට නම් උත්තර හොයන එක ලෙහෙසි පහසු නැත. ඇත්තටම යූ.එන්.පිය නම් දැන් ඉන්නේ තමන්ගේ තත්ත්වය ටෙස්ට් කර ගැනීමට සූදානමින් නොවීම එක හේතුවකි. ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව සජබ පිරිසක් ගැලවී ආණ්ඩුවට එකතු වනු ඇති බවට පැවති විශ්වාසය එලෙසම දියාරු වී ගියේය. අද එනවා හෙට එනවා කියා නම් වශයෙන් සඳහන් වූ මන්ත්‍රීවරුන් පවා පසුව කිව්වේ තමන් එවැනි අදහසක නොසිටින බවය. ජනාධිපතිවරයාගේ පාලනය තමන් අගය කරන නමුත් ආණ්ඩුවට එකතු නොවෙන බව ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් විය.

ඊළඟට යූ.එන්.පී. සහ පොහොට්ටුව එකතු වී සන්ධානගතව ඊළඟ මැතිවරණයට මුහුණදීමේ සූදානමක් ගැන දෙපැත්තෙන්ම අදහස් පළ විය. ඒ ගැන කටයුතු කිරීමට පක්ෂ දෙකේම නියෝජිතයන් පත් කෙරුණු බවක්ද ප්‍රකාශ වුණත් ඒ බව තහවුරු කෙරුණේ නැත. දැන් ඒ කතාව ඇදී යන්නේ පුංචි ඡන්දය ඕනෑ කියන පාර්ශ්වයක් සහ එපා කියන පාර්ශ්වයක් අතරය. ඒ අනුව ජනවාරි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව මත රටේ දේශපාලනය තීරණාත්මක තැනකට තල්ලු වෙනු ඇත.
මේ පසුබිමේ ජනතා විමුක්ති පෙරමුණ දක්වන දැඩි නිහඬ බවද දේශපාලන කරළියේ කතාබහට ලක්වෙමින් තිබේ. රටේ පැවැත්විය යුතු මැතිවරණ නොපවත්වා සිටීමට තමන් කිසිසේත් ඉඩක් නොදෙන බවට සති කිහිපයකට උඩදී එහි ජ්‍යෙෂ්ඨයන් ප්‍රබල ප්‍රකාශ නිකුත් කළත් යූ.එන්.පිය දිගින් දිගටම ඡන්දය නොපවත්වා සිටින ස්ථාවරයට ඇදෙන විට ජවිපෙ ප්‍රබල ප්‍රකාශ ද ඇන හිටියේය. මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමට හෝ ඡන්දය පවත්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට හෝ ජවිපෙ ඉදිරිපත් වුණේත් නැත. ජවිපෙ මේ හැසිරීමෙන් පෙන්වන්නේ මොකක්ද?

ඔවුන් ඡන්දවලට මුහුණ දීමට බයයි කියලද? තමන් රුස්වීම් පවත්වන හැම තැනකටම විශාල ජනකායක් එක්රුස් වන තත්ත්වයක් තුළ එසේම තවමත් සොරකම්, දූෂණ, වංචා හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම නොගෑවුණු අවංක දේශපාලනයක නිරත වන බවට බොහොමයක් දෙනා විසින් හඳුන්වද්දී පුංචි ඡන්දය ගැන ජවිපෙ තැකීමක් නොකරන්නේ ඔවුන් තමන්ට ලැබෙන ඡන්ද සංඛ්‍යාව පිළිබඳ කිසියම් අවිශ්වාසයක් තිබෙන නිසාද? එහෙමත් වෙන්න පුළුවන. ජවිපෙට මේ අවස්ථාවේදී පුංචි ඡන්දයකට වඩා අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයකි. නමුත් එහෙම අවස්ථාවක් එළඹීමට තව වසර දෙකහමාරක් බලා සිටිය යුතුය. ඔවුන්ට ඉවසීමක් තිබුණත් සෙසු දේශපාලන පක්ෂවලට හෝ ජනතාවට හෝ ඒ ගැන ඉවසීමක් තිබෙනවාද?
ඒකට එකවර පිළිතුරක් හොයන්න අමාරුය. හැබැයි ජනවාරි මාසෙදි ජනතාව මත පැටවෙන අධික විදුලිය ගාස්තු සහ උපයන විට බදු ගෙවීමත් දීර්ඝ විදුලි කප්පාදුවකට විශාල ඉඩකඩක් තිබීමත් නිසා දේශපාලන පක්ෂවල ඉවසීම කෙසේ වෙතත් ජනතාවගේ ඉවසීමේ රතු කට්ට පැනීමට නම් හොඳටම ඉඩ තිබේ.

- ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00