ඉරිදා දිනයකින් ආරම්භ වන 2023 අලුත් අවුරුද්ද කෙලෙස අවසාන වනු ඇතිදැයි දැන්ම ප්‍රකාශ කිරීම අපහසුය. එහෙත් එම අවසානය 2022 අවසානය මෙන් නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. එය පාඨක ඔබගේ ද ප්‍රාර්ථනය බවට සැකයක් නැත.
පසුගිය 2022 වසර ආරම්භ වන විට රසායනික පොහොර තහනම හේතුවෙන් හටගත් අර්බුදය ඔඩු දුවමින් පැවතිණි. ඇඟට දැනෙන්න පටන්ගෙන තිබූ ආර්ථිකයේ පෙර මග ලකුණු නිසැකවම පෙන්වා දෙමින් තිබුණේ මුළු රටම ආර්ථික වශයෙන් අගාධයකට ඇදෙමින් සිටින බවය. එහෙත් මේ පෙර මග ලකුණු කිසිවක් හිටපු ජනාධිපතිගේ පටන් එම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුගේත් අවධානයට පාත්‍ර වූ බවක් නොපෙනුණි. ඉන් මාස 04 කදී සියල්ල තම දෑස් ඉදිරිපිට පුපුරා කඩා හැලීමට පටන් ගැනීමේදී සියලු දෙනා කලබල වූහ. එහෙත් කිසිවක් කර කියාගත තත්ත්වයක් නොපවතින බව ඔවුන් සියලු දෙනා තේරුම් ගන්නා විට සියල්ල සිදු වී හමාර වී තිබිණි. පසුගිය අවුරුද්දේ ඉතිරි මුළු කාලයම ගෙවී ගියේ එම සමස්ත ක්‍රියාදාමයේ අතුරු ප්‍රතිඵල සමඟිනි. මේ අලුත් අවුරුද්දේ අවසානය ගෙවී ගිය අවුරුද්දේ එම පීඩාකාරී අවසානය මෙන් නොවේවායි අප මුලදීත් ප්‍රාර්ථනා කළේ එහි පීඩනය මේ අවුරුද්දේ ආරම්භයේදීත් නොඅඩුව දැනෙමින් තිබීම හේතුවෙනි.
ගෙවී ගිය වසරේ ආර්ථික අර්බුදය කොතරම් උග්‍ර වී දැයි කිවහොත් ශ්‍රී ලාංකිකයන් මිලියන 2.4ක පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වී තිබිණි. එම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී තිබෙන දුප්පත් පවුල්වල ආදායම හරි අඩකින් අඩු වී ඇති බවත් ඔවුන් ජීවත් වීම සඳහා ණයකරුවන් වී ඇති බවත් එහි සඳහන් විය. එසේම එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් මිලියන 2.43 ක්ම අත්‍යාවශ්‍ය ආහාර හිඟයෙන් බැට කන බවය. අදින් ඇරඹෙන අලුත් අවුරුද්ද අවසානයේ එවැනි වාර්තා අපට අසන්නට දකින්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරනු හැරෙන්නට අප වෙනත් කුමක් කළ යුතුද?
එසේ යහපත් අවසානයක් බලාපොරොත්තු වීමෙන් පමණක් පළක් නැත. එම බලාපොරොත්තු ඉටුකර ගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතු වෙයි. රටේ ආදායම වැඩිකර ගැනීමකින් තොරව දරිද්‍රතාව අඩුකර ගැනීමට ක්‍රමයක් නැත. අත්‍යාවශ්‍ය ආහාර හිඟයකින් තොරව ලබාගැනීමටත් රටේ ආදායම වැඩි වී තිබිය යුතුය. ඒ සඳහා අප විසින් ඉලක්ක සැලසුම් කර ඒවා සපුරා ගැනීමට ක්‍රියාත්මක විය යුතුය. ආණ්ඩුව කළ යුත්තේ එවැනි ඉලක්ක සැලසුම් කිරීම පමණක් නොවේ. ඒවා සපුරා ගැනීම සඳහා වැඩපිළිවෙළ දියත් කිරීමය. එහෙත් එය එසේ සිදු වෙනවා දැයි යන්න නම් ප්‍රශ්නාර්ථයකි.
අප එසේ කියන්නේ තවමත් ආණ්ඩුව ඒකාග්‍රතාවකින් වැඩ කරන බවක් පෙනෙන්නට නැති බැවිනි. අමාත්‍ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු තවම පුරවා නැත. මේ හේතුවෙන් කැබිනට් අමාත්‍ය පදවි නොලැබුණු අය සිටින්නේ කනස්සල්ලෙනි. කලකිරීමෙනි. මේ නිසා රටට වැඩ කරන්න නම් තනතුරක් අවශ්‍ය නැති බව හිස් ප්‍රලාපයක් බවට පත්ව තිබේ. දැනට පෙනෙන්න තිබෙන්නේ රටට වැඩක් නොකළත් තමන්ට ඇමැති පට්ටම් අවශ්‍ය බවට සිතන පතන දේශපාලකයන් බහුල බවය. අලුත් අවුරුද්දේ හෝ එවැනි ආකල්පවලින් මිදී රටට වැඩ කිරීම අරමුණු කරගත් දේශපාලකයන් වඩාත් අවශ්‍ය වනු ඇත. එසේ නොවුණොත් මේ අවුරුද්දේ අවසානය ගිය අවුරුද්දේ අවසානයට වඩා වෙනස් නොවනු ඇත. ඇතැම් විට එයටත් වඩා දරුණු වීමටද ඉඩ තිබේ.
මේ වසර ආරම්භ වී මාස තුනක් ඇතුළත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එය පැවැත්වුණොත් එම ඡන්ද ව්‍යාපාරය පැවැත්වෙන කාලසීමාව තුළ රටේ කිසිදු ඉදිරි ගමනක් සිදුවන්නේ නැත. අපේ රටේ අතීත මැතිවරණ අත්දැකීම්වලින් එය හොඳින්ම පැහැදිලි වෙයි. ඒ නිසා මැතිවරණය නොපැවැත්විය යුතු යැයි අප කියන්නේ නැත. එහෙත් රටේ සෙසු සියලු ක්‍රියාකාරකම් ඒ හේතුවෙන් අකර්මණ්‍ය විය යුතු නොවේ. නිකම් සිටීමට කාලයක් ඉතිරි වී නැත.
ජයගත යුතු අභියෝග වැඩිපුරම යෙදෙන අලුත් වසරක් හැටියට 2023 ආරම්භයේදීම හැඳින්විය යුතුය. වඩාත්ම අමාරුම අභියෝගය ආර්ථික කඩා වැටීම හේතුවෙන් හටගෙන තිබෙන පීඩනය අඩුකර ගැනීමය. එය අඩුකර ගැනීමට කතා පැවැත්වීම පමණක් ප්‍රමාණවත් නැත. රටේ මිලියන ගණනක් ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ලබාගත නොහැකි තත්ත්වයක සිටී නම් එවැනි රටක සංවර්ධනයත් ගැන කතා කිරීමත් පළක් නැත. දරිද්‍රතාව දිගින් දිගටම වර්ධනය වන්නේ නම් මහා පරිමාණ ආර්ථික සැලසුම් ගැන කතා කිරීමත් නිෂ්ඵලය. හැකි තරම් ඉක්මනින් රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නංවා ගැනීමටත් ආදායම වැඩිකර ගැනීමටත් ප්‍රමුඛත්වය දිය යුතුය.
එසේ වුවද මේ වසර ආරම්භයේ පටන්ම වැඩිවන බදු, ඉහළ යාමට නියමිත විදුලිය ගාස්තු, ඉහළ නගින බඩු මිල පෙන්වා දෙන්නේ රට මුහුණදෙන අභියෝග තවදුරටත් ඉහළ යන බවය. එම අභියෝග වසරේ අවසානය කෙසේ සටහන් කරනු ඇත්දැයි යන්න නම් උභතෝකෝටියකි.