2023 ජනවාරි 01 වන ඉරිදා

මමත් මෝදි වගේ: චාමර සම්පත් කියයි

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 98


ඉකුත් සිකුරාදා දිනයක (23) පැවති උත්සවයකදී කතාවක් කළ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සමාන කරමින් අදහස් දැක්වීය. තමන්ව චාමර සම්පත් වශයෙන් තමා විසින්ම හඳුන්වා ගනිමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ චාමර සම්පත්ට දේශපාලනයේදී ඉතා දුෂ්කර මාර්ගයක ගමන් කිරීමට සිදු වූ බවය.

''ජනතාව දන්නවා චාමර සම්පත්ගේ දේශපාලන ගමන ගැන. චාමර සම්පත් කියන්නේ පුංචි තැනකින් පටන් ගත්ත මිනිහෙක්.'' යැයි ඔහු සභාව අමතමින් ප්‍රකාශ කළේය. දසනායක මහතා කිව්වේ තමන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙදෙනාම පැමිණියේ එක සමාන දුප්පත් පසුබිමකින් බවය.

මෝදි බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දුප්පත් පවුලක උපත ලැබූවකු වන අතර කුඩා ළමයකුව සිටි අවදියේ තම පියාගේ තේ කඩේ වැඩ කිරීමට පුරුදුව සිටියේය.

දසනායක මහතා දේශපාලනයට පිවිසියේ ශ්‍රීලනිපයෙනි. මෑතකදී ඔහු හිටපු ජනපති සහ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව යමින් ආණ්ඩුවට සම්බන්ධ විය. ඉන් පසුව ඔහු ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වශයෙන් පත් කරනු ලැබීය.
පසුගිය නොවැම්බරයේ පැවති පාර්ලිමේන්තු විවාදයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ''ගරු මන්ත්‍රීතුමනි'' යනුවෙන් ආමන්ත්‍රණය කළ අවස්ථාවේදී ඔහුට කේන්ති ගිය බව පෙනෙන්නට තිබිණි. තමන්ට ''රාජ්‍ය ඇමැති'' වශයෙන් ආමන්ත්‍රණය නොකිරීම ඊට හේතුව බව පැහැදිලි වූයේ තමන්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණු බව නොදන්නේ දැයි කතානායකවරයාගෙන් ඔහු ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

- සන්ඩේ ටයිම්ස්

සෞඛ්‍ය ඇමැතිගේ ''බයි පාස්'' එක

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළිත් මාධ්‍යයේ සිරස්තල මවමින් සිටී. ලංකාවේ දරුවන්ට මන්දපෝෂණය නැති බවටත් රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නැති බවටත් නිකුත් කළ නිවේදන හේතුවෙන් ඔහු කිහිප වතාවක් මාතෘකාවක් බවට පත්ව සිටියේය. මෙවර ඔහුට එල්ල වන්නේ ඊට වඩා බරපතළ චෝදනාවකි.

ඔහු පසුගිය 21 වැනිදා සිට රාත්‍රී තුනක් ගත කළේ ඉන්දියාවේ චෙන්නායි නුවරය. ඒ සඳහා ඔහුට ආරාධනාව ලැබුණේත් සියලු වියදම් දැරුවේත් ඔහුගේ සහාය හිමිව තිබෙන ඉන්දීය ඖෂධ සැපයුම්කරුවකු විසිනි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ වාසිදායක ගනුදෙනුවක ආරම්භය හැටියට මේ ගමන සිදුව ඇත්තේ මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ''බයිපාස්'' කරමිනි. මුදල් අමාත්‍යවරයා වශයෙන් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබුණේ මේ සඳහා පිළිගත් මාර්ගෝපදේශ පිළිපදින ලෙසටය. එම උපදෙස් නොසලකා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙරට ලියාපදිංචිය නොමැති ඉන්දීය ඖෂධ සමාගම් දෙකකින් ඉන්දීය ණය පහසුකම යටතේ ඖෂධ ගෙන්වා ගැනීමට තම අභිමතය පරිදි යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබිණි.

කැබිනට් පත්‍රිකාවට සහ සෙසු ප්‍රලේඛනවලට අනුව කෙහෙළිය තම අභිමතයට එම සමාගම් දෙකට අමතරව (ඔහුගේ චෙන්නායි ගමනට ඇරියුම් කළේ ඉන් එක් සමාගමකි.) වෙනත් තෝරාගත් සැපයුම්කරුවන් සහ වෙනත් අරමුදල් මූලාශ්‍ර සඳහා ද යෝජනා ඉදිරිපත් කර තිබිණි. එය කැබිනට් මණ්ඩලය මගින් අනුමත කළේ නම් තරගකාරී ටෙන්ඩර් ක්‍රමය මගහැර තමන්ගේ කැමැත්ත පරිදි තෝරාගන්නා සැපයුම්කරුවන් මගින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අවස්ථාව ලැබෙනු ඇත.

කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාවේ සඳහන් එක් තෝරාගත් සමාගමකින් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඖෂධ ගෙන්වා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙන අතර එය සේවරයිට් ෆාමසියුටිකල් (පෞ) සමාගමයි. ''කෞෂික් තෙරපියුටික්ස්'' යනුවෙන් හැඳින්වෙන දෙවැනි සමාගමට තවම අනුමැතිය ලබා දී නැත.

මේ සමාගම් දෙකම මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නැති අතර එම සමාගම්වලින් ගෙන්වා ගැනීමට යෝජිත එකම ඖෂධයක් හෝ ලියාපදිංචි කර නැත.

පසුගිය 21 වැනිදා බදාදා අමාත්‍යවරයා චෙන්නායි ගියේ කෞෂික් තෙරපියුටික්ස් සමාගමේ ඇරියුමින් එහි නිෂ්පාදන කම්හල නිරීක්ෂණයටය. විදේශ කටයුතු අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් යොමු කෙරුණු ලිපියකින් අමාත්‍යවරයාටත් ඔහු කැටුව ගිය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාටත් ධූරාවලි සහාය ඉල්ලා තිබිණි.

මේ මතභේදාත්මක සංචාරය පිළිබඳ විස්තර එළියට එන විට අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ මේ ගමන සඳහා රාජ්‍ය මුදල් වැය නොකළ බවය. ''මා මගේ වියදම් දැරෑ අතර ඖෂධ අධිකාරියේ නිලධාරියගේ වියදම් ස්වාධීනව දරා තිබෙනවා. මේ නිසා මේ වියදම රාජ්‍යයට බරක් නොවේ.'' 

එහෙත් අමාත්‍යවරයා තමන්ගේ නිල ගමනකට පෞද්ගලිකව වියදම් දැරුවේ ඇයිද යන්නට හේතු දක්වා නැත. 

සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය ඔක්තෝබරයේදී මුලින්ම ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකින් කැබිනට් මණ්ඩලයට දන්වා තිබුණේ රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා තරගකාරී මිල ගණන්වලට ඖෂධ මිලදී ගැනීමේ පිළිගත් ටෙන්ඩර් ක්‍රියාවලියට විශාල කාලයක් වැය වෙන බැවින් ''සේවරයිට්'' සමාගමෙන් තම අභිමතය පරිදි ඖෂධ ගෙන්වා ගැනීමට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඉඩ දෙන ලෙසටය. ''වෙනත් තෝරාගත් සැපයුම්කරුවන්''ටද ඉදිරි කාලයේදී එයට අවස්ථාව ලබා දීම යෝග්‍ය බවද එහි සඳහන්ව තිබිණි.

කෙසේ වුවද මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ යෝජිත සැපයුම්කරු අමාත්‍යවරයාගේ අභිමතය පරිදි තෝරාගෙන ඇති හෙයින් වෙළෙඳපොළ මිල ගණන් සහ ඖෂධවල තත්ත්ව පරීක්ෂා කර බැලිය යුතු බවය. කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ එම කොන්දේසිවලට යටත්වය. එසේම තරගකාරී මිල ගණන් ක්‍රමවේදයට සහාය දක්වන බවටද එහි සඳහන්ය. වෙනත් සැපයුම්කරුවන් සඳහා මිලදී ගැනීම පුළුල් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කර නැත.

එයට පරිබාහිරව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ නියාමන අධිකාරියට පිටු දෙකකින් සමන්විත ඖෂධ ලැයිස්තුවක් යවා ඇත්තේ එම ඖෂධ ''සේවරයිට්'' සමාගමෙන් ගෙන්වා ගැනීමට ''ලියාපදිංචි අවශ්‍යතාව ඉවත් කර'' දෙන ලෙස දන්වමිනි. මුදල් අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති පරිදි එම ඖෂධවල ගුණාත්මක තත්ත්වය තක්සේරු කරන ලෙසට ඉල්ලීමක් කරනු වෙනුවට එවැනි ලිපියක් යොමු කර තිබේ. සේවරයිට් සමාගමෙන් එම ලැයිස්තුවේ සඳහන් ඖෂධ වර්ග සැපයීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සමාගම් ගණනාවක් තිබෙන බවද සඳහන් කළ යුතුය.

- සන්ඩේ ටයිම්ස්