මහින්ද දේශප්‍රිය - සභාපති - මැතිවරණ සීමා නීර්ණය කොමිසම
කැබිනට් මණ්ඩලය විසින් මේ වෙද්දී තීන්දුවක් අරගෙන තිබෙනවා කියලා කියනවා නාමයෝජනා බාරගන්න එපා කියලා. තවම ඒක අකුලාගෙන නැහැ. ඇත්තටම මොකක්ද මේ තීන්දුව හරහා මැතිවරණයට වෙන්න පුළුවන් බලපෑම?
කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුව තවම සනාථ වීමක් නැහැ. කැබිනට් මණ්ඩලය කිව්වා කියලා ලේකම්වරයා යවපු ලියුම විතරයි තිබෙන්නේ. තවම කැබිනට් ප්‍රකාශක කිව්වෙත් නැහැනේ ඒක. හැබැයි මම හිතන්නේ නැහැ එහෙම බොරු ප්‍රචාර යනවා කියලා.
ඒ වුණාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්තුමා එය සනාථ කරලා නිවේදනයක් දිසාපතිවරුන්ට යවලා තිබුණා?
මට ඒ ලිපිය ඇත්තටම කඩදාසියක් විතරයි. ඒ ලිපියේ කිසිම වලංගු භාවයක් නැහැ.
දැන් මෙවැනි ලියුමක් නිකම් ගහන්න බැහැනේ. මේ හරහා යම් බලපෑමක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන නිසයි එහෙම ගහන්නේ. ඒ ලියුම රිවස් වුණත් එවැනි තීන්දුවක් හරහා මැතිවරණය කල් දමන්න පුළුවන්ද?
මැතිවරණ යාන්ත්‍රණය පණ ගැන්වූවාම ඒක නවත්වන්න පුළුවන් ක්‍රම 3කට විතරයි. එක අධිකරණ වාරණ නියෝගයකින්. දෙක අධිකරණයේ එකඟතාවය මත ලැබෙන පාර්ලිමේන්තු පනතකින් හරි පමණයි. එහෙම නැත්නම් අදාළ මැතිවරණ පනතේ තිබෙන විධිවිධාන යටතේ මැතිවරණ කොමිසම කටයුතු කළොත් පමණයි මැතිවරණය කල් දමන්න පුළුවන්.
ජනාධිපතිවරයාට හරි කැබිනට් මණ්ඩලයට හරි මේ ඡන්දය කල් දාන්න පුළුවන්ද?
විධායකය ඇතුළු කැබිනට් මණ්ඩලයට මැතිවරණය කල් දැමීමේ බලයක් දීලා නැහැ.
ඒ කියන්නේ මේ ලිපියේ කිසිම වැදගැම්මක් නැහැ?
ඔය ලිපියේ කිසිම වලංගුභාවයක් නැහැ තවත් එක් කාරණයක් නිසා. ඕකම 2017 දෙසැම්බර් මාසයේ පළාත් පාලන මැතිවරණයේ ආයතන 93කට නාමයෝජනා කැඳවපු අවස්ථාවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඕකම කරන්න හැදුවා. ඒ වෙලාවේ කොමිසමේ සභාපති මම. අපි ඒකට විරුද්ධ වෙලා ඒක නැවැත්තුවා. ඒ වගේම එවකට විපක්ෂයත් ඒ මැතිවරණය පැවැත්විය යුතුයි කියලා ප්‍රකාශ නිකුත් කළා.
ඒ නාමයෝජනා ගන්න ගිය වෙලාවේ තවත් ප්‍රශ්නයක් ආවා නේද?
2017 පළාත් පාලන මැතිවරණය තියන්න ගියේ 2012 සහ 2015 අතර ක්‍රියාත්මක කෙරුණු ජයලත් දිසානායක කමිටුව විසින් හදපු මැතිවරණ සීමා නීර්ණය එක්ක. ඒත් ඒ වෙලාවේ අශෝක පීරිස් සමාලෝචන කමිටුවට විරුද්ධව අධිකරණයට නඩුවක් දාලා තහනම් නියෝගයක් ගත්තා ඒ සමාලෝචන කමිටුවට බහු ආසන පත් කරන්න බැහැ කියලා. ඒ වෙලාවේ කිව්වේ වෙනස්කම් කරන්න පුළුවන් ජයලත් දිසානායක කමිටුවේ කොට්ඨාසවල නම් වෙනස් කරන එකයි, සීමා වෙනස් කරන එකයි විතරයි කියලා. නමුත් නඩුව දැම්මා එයාලා ඒවා වෙනස් කරලා කියලා. ඒ වෙලාවේ තහනම් නියෝගයක් දැම්මාම ඡන්දය තියන්න බැහැ. මමත් කොමිසමත් ඒ වෙලාවේ කළේ ජයලත් දිසානායක ගැසට් එකයි අශෝක පීරිස් ගැසට් එකයි සංසන්දනය කළාම සභා 130ක් 140ක් විතර තිබුණා සමාලෝචන කමිටුව විසින් වෙනස් නොකරපුවා. එතකොට තහනම් නියෝග තිබෙන්නේ අශෝක පීරිස් කමිටුවටනේ. ඒ වෙලාවේ ඔරිජිනල් ප්‍රින්ටින් එකේ ටයිපින් මිස්ටේක් 40ක් විතර වෙනස් වෙලා තමයි ඇවිත් තිබුණේ. එතකොට ඒ 40ත් අතහැරියාම එතන සභා 93ක්. අපි ඒ 93 ගැසට් කළා. අන්න ඒ 93ට ඇප මුදල් බඳින්න යනකොට තමයි අර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අර ලියුම ගියේ. ඒ වෙලාවේ අපි ඒ නියෝගයත් ඉවත් කරගෙන එනකොට අර දාපු නඩුවත් ඉවත් කරගෙන තිබුණේ.
දැන් එතකොට මේ නියෝගය වදින්නේ දිසාපතිවරයාට ඇප මුදල් භාරගන්න එපා කියලා. දිසාපතිට මේ පිළිබඳව තිබෙන බලතලය මොකක්ද?
දිසාපතිවරු නෙමෙයි ඇප මුදල් භාරගන්නේ. සහකාර මැතිවරණ කොමසාරිසුයි, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිසුයි, මැතිවරණ කොමිසමයි විතරයි මෙතැනදී ඇප මුදල් භාරගන්නේ. එතැනදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා තමයි දිසාපතිවරයා. එතකොට සහකාර සහ නියෝජ්‍ය කොමසාරිස්වරු තමයි දිස්ත්‍රික්කයේ සහකාර තේරීම් භාර නිලධාරීන්. තේරීම් භාර නිලධාරියාගේ ඕනෑ දෙයක් සහකාර තේරීම් භාර නිලධාරියාට කරන්න පුළුවන්. සාම්ප්‍රදායක් හැටියට ඇප මුදල් භාර ගන්නේ සහකාර තේරීම් භාර නිලධාරියා. නාමයෝජනා භාර ගන්නෙත් ඒ අයම තමයි.
ඔබටත් ඒ වගේ අත්දැකීමක් තිබෙනවා නේද?
ඔව්. 2006 කොළඹ මහනගර සභාවේ සුප්‍රකට නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සිදුකළේ මම. ඒ නාමයෝජනා භාර ගත්තෙත් මම. ප්‍රතික්ෂේප කළේත් මම. එතකොට කොළඹ සහකාර මැතිවරණ කොමසාරිස් තමයි මම. කොහොම කළත් මැතිවරණය පටන්ගත්තට පස්සේ අර තනතුරට හැරෙන්න වෙන කාටවත් මැතිවරණය කල් දමන්න බැහැ. ඔය දිසාපති ක්‍රමය තියෙන්නේම මැතිවරණය සඳහා.
ඒ මොකක්ද ඒ කතාව?
90, 91 කාලයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රමය ආරම්භ කරලා දිසාපති ක්‍රමය නවත්වන්න තීරණය කළා. එවකට හිටිය මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද සිල්වා. එතුමා කිව්වා ඒ වෙලාවේ කරුණු 3ක්. ඒ තමයි ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයයි, පළාත් සභා මැතිවරණයයි, ජනාධිපතිවරණයයි යන ත්‍රිත්වයට අදාළව මැතිවරණ ඡන්ද නාමලේඛනය භාරවෙලා තිබුණේ දිස්ත්‍රික්කයට අදාළව. ඒ නිසා දිස්ත්‍රික්කය තමයි ප්‍රධාන. ඡන්ද තියන්නයි නාමයෝජනා ගන්නයි බලයලත් නියෝජිතයෙක් හැටියට දිසාපතිවරයා අවශ්‍යයි කියලා. ඒ වගේම දිස්ත්‍රික්කයේ ආපදා කටයුත්තක් සංවර්ධන කටයුත්තක් සම්බන්ධීකරණය කරන්නත් දිස්ත්‍රික්කයේ නායකයෙක් අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි දිසාපති ධුරය රුක්කේ. ඒ නිසා තමයි අදටත් ඒ තනතුර පවත්වාගෙන යන්නේ. එහෙම ඡන්දෙ වෙනුවෙන් තියාගත්ත කට්ටියකට ඇප මුදල් භාර ගන්න කියලා කියනවා නම් ඒ තරම් විහිළුවක් නැහැ.
ආණ්ඩුවෙන් ඊළඟට ගෙනෙන ප්‍රශ්නය තමයි ඡන්දය තියන්න සල්ලි නැහැ කියන එක. ඒක බලපෑමක් වෙන්න පුළුවන්ද?
ආණ්ඩුවට සල්ලි නැහැ කියන එක ගැන මට මොකුත් කියන්න බැහැ.
නැහැ. මම අහන්නේ ඒ කාරණය උඩ ඡන්දෙ කල් දමන්න පුළුවන්ද?
ඒක මට කියන්න බැහැ. ඒක තීන්දු කරන්න ඕන මැතිවරණ කොමිසම. හැබැයි මම දන්නා කාරණයක් තිබෙනවා ඔය මැතිවරණය පටන් ගත්තායින් පස්සේ මුදල් ලැබීම අවුරුද්දක කාලයක් දක්වා ඇදෙනවා. ඔය අයවැයෙන් සල්ලි පාස්වුණා කියලා එකවර දෙන්නේ නැහැ. ඔය සමහර ගෙවල් හදන්න බැංකු ලෝන් දෙන්නේ. අන්න ඒ වගේ කොටසින් කොටස දෙන්නේ. ඔය ඡන්දේ මාර්තුවල තිබ්බත් ගෙවීම් ඉවර වෙද්දී නොවැම්බර්වත් වෙනවා. ඡන්දෙ කරන්නේ ඇත්තටම ණයට. ණයට කරන්න බැරි එකම දෙය තමයි වාහනවල තෙල් ගහන එක. ඔය වැඩ කරන අයට ඇඩ්වාන්ස් එකක් දෙන එක. එහෙම නැතිව ඡන්ද කොළේ පවා ණයට ගහන්නේ. කෑම බිල් පවා ගෙවන්නේ පස්සේ.
කියන්නේ වියදම වැඩියි කියලානේ?
අපි ඉස්සර ඡන්ද කරනකොට අපිට දුන්නෙ ප්‍රවාහන වියදමයි අතිකාල දීමනාව විතරයි. දැන් වුණත් පුළුවන් දුරබැහැර අය ගෙන්වන්නේ නැතිව තෝරා ගත්ත ගමේ අය පිරිසක් එක්ක බත් ගෙඩියක් බැඳන් එන්න පුළුවන් අය දාලා වැඩේ කරන්න. අනික මේ ඡන්දෙදී ඡන්දය ගණන් කරන්නේ ඡන්ද පොලේදීමනේ. ඒ නිසා ලොකු වියදමක් නැහැ. අනිත් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශාල පිරිසක් ඉන්නවා. අපි ගියපාරත් සෑහෙන්න වියදම අඩු කළා. ඔය ඇඟිලි ආලේපන පවා ඉන්දියාවෙන් ගෙන්වන එක නතර කරලා ලංකාවෙන් මිලදී ගත්තා. අනෙත් එක ඔය ඡන්දෙට කොමිසම දැන් අවුරුද්දක් තිස්සේ ලෑස්ති වෙලා තියෙන්නේ. මූලික වැඩකටයුතු ඉවරයි. මොකද ගිය අවුරුද්දේනේ ඡන්දෙ තියන්න තිබුණේ.
දැන් ඔබ ඡන්ද කොමසාරිස් නොවුණාට තවමත් එහෙන් මෙහෙන් බැණුම් අහන තත්ත්වයක් තියෙන්නේ. ඔය මැතිවරණ සීමා නීර්ණය වාර්තාව හරහා ඡන්දෙ කල් දාන වැඩකට ලෑස්ති වෙලා කියලා එහෙන් මෙහෙන් කසුකුසු තියෙනවා. ඒක ඇත්තද?
අම්මට බබා හම්බ වෙන්න ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා තියෙද්දී දරුවා හම්බ වෙන්න සියලුම වැඩකටයුතු සූදානම් වෙලා තියෙද්දී තව දරුවෙක් හදමුද කියලා වගේ කතාවක් තමයි ඔය තියෙන්නේ. මේක මාර වැඩක්නේ. අපට පුළුවන්ද ඇබ ගහන්න. ඔය සීමා නීර්ණය කොමිසමේ කිසිදු සම්බන්ධයක් නැහැ. ඇටේ සිවිඩ්ඩෙන් පන්නනවා වගේ චිස් ගාලා පන්නන්න බැහැ මැතිවරණ සීමා නීර්ණය. මේක අවුරුදු එකහමාරක් විතර යන කාර්යයක්.
තවම ඕක හදලා නැද්ද?
මේ වෙනකොට අපිට තව ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. දිසාපතිවරු 4ක් විශ්‍රාම ගියා. මොකද දිසාපතිවරු තමයි මෙහි සභාපතිවරු. 3 දෙනෙක් උසස්වීම් ලැබුවා. එතකොට දිස්ත්‍රික්ක විසි පහෙන් හතක් නැහැ. දිස්ත්‍රික්ක 17ක සංඛ්‍යාලේඛන නිලධාරීන් මාරුකරලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මිනුම් නිලධාරියෝ 10ක් විතර ස්ථාන මාරුකරලා තිබෙනවා. ගිය අවුරුද්දේ මේ අයගේ නමට පත්වීම් ලිපිය තිබුණේ. අලුතෙන් ආව අයට ඒ පත්වීම් ලිපිය නැති නිසා මේවාට යොදාගන්න බැහැ. එතකොට මැතිවරණ සහකාර කොමසාරිස් මේ ඡන්දයට හිරවෙලා ඉන්නවා. මේක තිබුණේ පෙබරවාරි 28 දෙන්න. ඒත් මම හිතන්නේ මාර්තු 31වත් වෙයි. ඒ වගේම ලොකු ප්‍රශ්නයක් තිබෙනවා භාෂා පරිවර්තකයෝ ගැන.
දැන් අපි දැක්කා ජනාධිපතිවරයා කියලා තිබුණා අලුතෙන් පත්වන සභිකයන්ට පඩි දෙන්න වෙන්නේ බාගෙට කියලා?
ඉතින් කෙළින්ම සභිකයන්ට පඩි දෙන්නේ නැහැ කියලා කිව්වාම ඉවරනෙ. නැත්නම් කියනවානේ විසිදාහ වෙනුවට දෙන්නේ දහදාහයි කියලා. ඒකටත් කියනවා ඒක ගෙවන්නේ ආදායම් මට්ටම බලලා කියලා. සභාවේ වැඩවලට යන දවසට විතරක් ගෙවලා සල්ලිම නැති කෙනෙකුට නම් දහදාහක් ගෙවනවා. පුංචි ආණ්ඩුව ඉතාම වැදගත්. පෙර පාසල්, පිං පඩි, විවිධ සංවර්ධන වැඩ පිළිවෙළවල් කොච්චර වටිනවාද? කුරුඳුවත්තට වටින්නේ නැති වුණාට ගමේ මනුස්සයාට ගොඩක් වටිනවා.
ඔය මැතිවරණ සීමා නීර්ණය කොමිසමේ සභාපති වුණාට පස්සේ ජනාධිපති, අගමැතිතුමා හම්බවුණේ නැද්ද?
හම්බවුණා. හැබැයි කිසිම වෙලාවක ඔවුන් මට දන්වලා නැහැ මේ මැතිවරණ සීමා නීර්ණය වාර්තාව නිසාවත් එහෙම නැතිනම් වෙනත් අදහසකින්වත් මැතිවරණයක් කල් තියනවා කියලා. ඒක මම කියන්නම ඕන.
අවසාන වශයෙන් අහන්නේ අපි දැක්කා ජනාධිපතිවරයා කියලා තිබුණා කොමිසමට බෙදෙන්නේ නැතිව තනි අදහසකට එන්න කියලා. එහෙම බෙදුන තීන්දුවක් තිබුණොත් ඡන්දෙ කල් දමන්න පුළුවන්ද?
මැතිවරණ කොමිසම තීන්දුවකට යන්නේ බහුතර එකඟතාව මත. දැන් අපේ කොමිසමේ තුන් දෙනෙක් සිටි නිසා තමයි තුන්දෙනාම රුස්වීමට ඕන වෙලා තියෙන්නේ. මේ කොමිසමේ පස් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් නෑවිත් ඉඳලා තුන් දෙනෙක් වාඩිවුණොත් බහුතර කැමැත්ත මත තීන්දුවකට යන්න පුළුවන්. මගේ කොමිසමේ මගේ යෝජනාව පරාද වෙලා අනෙක් දෙන්නාගේ කැමැත්ත දිනලා තිබෙනවා. අනෙක මතක තියාගන්න පස් දෙනෙක් දාලා තියෙන්නේ බෙදුනු තීන්දු ගන්න තමයි. ඒකෙන් කිසිම බලපෑමක් නැහැ. ඊටත් වඩා ඒ පස්දෙනාම ගැසට් එකට අත්සන් කරලා තියෙන්නේ.
I ගයාන් ගාල්ලගේ