සාමාන්‍යයෙන් ලංකාව දේශපාලන වශයෙන් රත්වෙන්නේ ජූලි මාසයේදීය. පසුගිය අවුරුද්දේ ඒ රත්වීම කොතරම් දරුණුවට සිදුවුණාද කිව්වොත් හිටපු ජනාධිපති ගෝඨාභයටත් අගමැති මහින්දටත් ඔවුන්ගේ කැබිනට් මණ්ඩලයටත් අකාලයේ බලය අහිමි විය. හැබැයි ඒ රත්වීම වාසනාවට හිටි එකම පුද්ගලයෙක් සිටියේය. ඒ රනිල් වික්‍රමසිංහයි. යූ.එන්.පියට අයිති වූ එකම පාර්ලිමේන්තු ආසනයට පත්වූ රනිල් මුලින් අගමැති වී ඊළඟට ජනාධිපති විය. ඡන්දයක් නොතිබුණත් රනිල් වික්‍රමසිංහට රටේ නායකත්වය ව්‍යවස්ථානුකූලව ලැබුණි.
ඔහුගේ පාලනයට දැන් මාස 06ක් සම්පූර්ණ වෙමින් තිබේ. ඒ සමඟ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය හේතුවෙන් මේ සීතල දුරුතු මාසය රත්වෙන්න පටන්ගෙන ඇත. ඡන්දයටත් වඩා එම ඡන්දය පවත්වනවාද නැද්ද යන්න විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්වීම නැතහොත් වඩාත් නිවැරදිව කියනවා නම් පත් කරනු ලැබීම හේතුවෙන් මෙසේ රටම උණුසුම් වීම ඇරඹුණි. හරි නම් මේ කාලය වනවිට රට කැළඹීමට ඉඩ තිබුණේ තවත් වරක් විශාල ප්‍රතිශතයකින් ඉහළ නංවන විදුලි ගාස්තුවත් පෞද්ගලික බදු වැඩිවීමත් හේතුවෙනි. ඒ කැළඹීමත් යට කරගෙන දැන් උඩට මතුවෙන්නේ පුංචි ඡන්දයේ උණුසුමයි. මේ රත්වුණු කරළියේ දේශපාලන පක්ෂ පමණක් නොව මැතිවරණ කොමිසම පවා පංගුකාරයන් වී සිටී.
බැලූ බැල්මට ජනතාව තුළ නම් ඡන්දයකට වැඩි උනන්දුවක් පෙනෙන්නට නැත. ඒකට හේතුව ජනතාවට දේශපාලනය එපා වීම නොවේ. දේශපාලනඥයන් එපා වීමය. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම රටේ ජනතාවගේ නිර්දය විවේචනයට ලක්වෙමින් තිබේ. මේ අල්ල පනල්ලේ මොන ඡන්ද දැයි අහන පිරිසකුත් සිටිති. හැබැයි ඒ අය ඡන්දයකට අකැමැත්ත පළ කරන්නේ ඡන්දයක් මේ වෙලාවේ අවශ්‍ය නැතැයි කියන මතය ඉදිරියට ගෙන යාමට වෙර දරණ යූ.එන්.පියට දෙන තල්ලුවක් හැටියට නොවේ. තමන්ට විඳින්නට සිදුව තිබෙන දුක් ගැහැටවලින් හෙම්බත් වීම නිසාය.
මිනිස්සු එහෙම කියන්නේ ජීවන බර දරාගැනීමට තිබෙන අපහසුව උග්‍ර වීම හේතුවෙනි. මිනිස්සු අතේ මුදල් නැත. කන්න තිබෙන ආහාර මිල අධිකය. කුසගින්න වෙන කවදාකටත් වඩා ඇවිලෙමින් තිබේ. බෙහෙත් මිල අධික ලෙස වැඩිවෙමින් පවතී. රටේ තිබෙන තත්ත්වය හැමදෙනාම හඳුන්වන්නේ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට දැන් රට මුහුණ දී සිටින බවය. රටේ හැම දේශපාලන පක්ෂ නායකයෙක්ම මේ කතාව කියමින් සිටිති. සමහර ඇමැතිවරුන් කියන්නේ ඡන්දෙට වියදම් කළොත් පඩි ගෙවන්න සල්ලි මදිවෙන බවය. ගොවීන්ගෙන් වී ටික ගන්නත් බැරිවෙන බවය. රට කවදාවත් මෙහෙම බරපතළ විනාශයකට මුහුණ දී නැති බවය.
හැබැයි මීට අවුරුදු 49ක කලින් මෙහෙම කියපු ආණ්ඩුවක් තිබුණි. ඒ ආණ්ඩුවේ නායකයා වුණේ සිරිමාවෝ මැතිනියයි. සිරිමාවෝ 1974 මැයි දින රැලියේදී කරපු මේ කතාවට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක්ද ලැබුණේය. 1974 මැයි මාසේ 13 වැනිදා නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ කතාව පළ කර තිබුණේ ''ශ්‍රී ලංකාව - ආහාර හිඟයි - ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි'' යන අදහස දැක්වෙන සිරස්තලයක් සමඟිනි.
හිටපු අගමැතිනි සිරිමාවෝ එදා ^74 මැයි දිනය දා කතාවේදී නිදහසින් පසු රට බරපතළම ආර්ථික විනාශයකට මුහුණ දෙමින් සිටින බව ප්‍රකාශ කරද්දී එයින් දශක කිහිපයකට පසු එවැනි හෝ ඊටත් වඩා නරකම අවස්ථාවකට රට මුහුණ දෙනු ඇතැයි කිසි ලෙසකින්වත් සිතන්නට නැත.
''එකම ගැලවුම ඇත්තේ රට ස්වයං පෝෂණය කිරීම තුළින් පමණයි'' යනුවෙන් මැයි දිනයට රුස්ව සිටි මහ සෙනග අමතා හිටපු අගමැතිනිය ප්‍රකාශ කර තිබුණි. ''අපි දැන් මුහුණ දෙමින් සිටින්නේ අපේ රට තම ඉතිහාසයේ කෙදිනකවත් මුහුණ නොදුන් අර්බුදයකටයි.'' කියා ද ඇයගේ ප්‍රකාශයේ සඳහන් විය.
මේ වචන සෙට් එකට ප්‍රසිද්ධියක් ලැබුණේ ලංකාවේ මාධ්‍යවලින් පමණක් නොවේ. නිව්යෝක් ටයිම්ස් වැනි ලෝක ප්‍රසිද්ධ පුවත්පත්ද මේ කතාවට විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි. අවුරුදු 50කට ආසන්න කාලයකට පෙර මාධ්‍යවල පළවූ මේ වාර්තාවේ සඳහන් තත්ත්වය සහ දැන් පවතින තත්ත්වය අතර බොහෝ සමානකම් වෙයි. එසේම ඊට මූලික වූ ඇතැම් කාරණා ද එදාට සමානය. රටේ වරින් වර බලයට පත්වූ ආණ්ඩුත් රටට ලැබුණු දේශපාලන නායකත්වයත් පරම්පරා ගාණකට පසු යළිත් මතු වූ මේ ආර්ථික ඛේදවාචකය වළක්වා ගැනීමට ප්‍රත්‍යක්ෂ වූ කිසිදු පියවරක් නොගත් බව පැහැදිලිය.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත එදා පළ කළ සිරිමාවෝගේ කතාවේ කොටස් එහි පැරණි ලේඛනවල සඳහන් වන්නේ මෙසේය.
''රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් සඳහන් කළේ ශ්‍රී ලංකාව දැන් පවතින්නේ 'නැවෙන් - කටට'තත්ත්වයක් යටතේ බවය. ආර්ථික විශ්ලේෂකයෙක් ප්‍රකාශ කළේ දැන් රට මෙහෙයවන්නේ සතියෙන් සතියට පදනම මත බවයි. අප පරීක්ෂා කර බලන්නේ කොතරම් එනවාද කොතරම් යනවාද කියා පමණයි. අපි සතියකට වඩා එහා බලන්නෙ නෑ. අපට ඒක කරන්න බැහැ. තවත් ආර්ථික විශ්ලේෂකයෙක් පවසන්නේ එය ඉතා විශාල ඇදවැටීමක් බවයි. ඔවුන් අපනයනය කරනවාට වඩා 50෴ක් ආනයනය කරනවා. ඔවුන් දැන් බංකොළොත්. ඔවුන්ට ආහාර සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා ඉන්ධන, පොහොර සහ වෙනත් නිෂ්පාදිත භාණ්ඩ සහ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ඉතිරි වන්නේ ඉතා සුළු මුදලක්.''
මේ කතාව අදට ගලපා ගත්තොත් ලංකාව ගැන ලෝකයේම මාධ්‍ය හරහා ප්‍රචාරය වන්නේත් ඒ කතාවම බව හඳුනා ගැනීමට අපහසු නැත. නමුත් ඒ කාලයේ සිට අද දක්වාම පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨම දේශපාලකයන් කිහිප දෙනාට පවා එදා තිබූ මේ තත්ත්වය අද වන විට අමතකව තිබෙන බව පෙනී යයි. එසේ නැතුව ඔවුන් යථා තත්ත්වය ගැන අවබෝධයෙන් ක්‍රියා කළා නම් අදටත් ''නැවෙන් - කටට'' තත්ත්වයේ රට පැවතීමට ඉඩක් නැත. එදා සිට මේ දක්වා හිටපු දේශපාලන නායකයන් සියලු දෙනාම පාහේ රටේ ජනතාව රවටා ඇත්තේ කුඩා දරුවන්ට ලොසින්ජර ලබා දී ඔවුන්ගේ ඇඬීම නවත්වන න්‍යායෙනි. මේ රට හදන්න රටේ අනාගතය දකින්න කිසිම නායකයෙක් හිටියේ නැද්ද යන ගැටලුවට පිළිතුරක් සෙවීම නම් හොඳටම අමාරු වැඩකි.
සිරිමාවෝ එදා මෙහෙම කිව්වත් ඇයගේ ආණ්ඩුවත් ඒ තත්ත්වය සමනය කරන්න කිසිම ප්‍රායෝගික පියවරක් ගත්තේ නැත. ඒ වෙනුවට කළේ ඊට වසරකට පසු තැබිය යුතු වූ මහ මැතිවරණය පළමු ජනරජ ව්‍යවස්ථාව ඉදිරියට දාගෙන අවුරුදු 02කින් කල් දැමීමය. හැබැයි මොන ආර්ථික අර්බුදය තිබුණත් ඡන්දය කරන්න මුදල් නැතැයි කියා නම් කිව්වේ නැත. ඇප මුදල් බාරගන්න එපා කියා රාජ්‍ය පරිපාලනයෙන් දිසාපතිවරුන්ට ලියුම් යැව්වේත් නැත. ඡන්දෙ කළොත් වී ගන්න සල්ලි නැහැ, පඩි ගෙවන්න, පෙන්ෂන් දෙන්න සල්ලි නැහැ කියලත් කිව්වේ නැත. හැබැයි අවුරුදු දෙකකට පස්සේ හැත්තෑ හතේ ජූලි මාසයේදී ^75 දී පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය තිබ්බේය. ඒ වන විට බොහෝ කාලයක් රටේ පාලනය පවත්වාගෙන ගොස් තිබුණේ හදිසි නීතිය යටතේය. මැතිවරණය ප්‍රකාශ කරන විට හදිසි නීතියද ඉවත් කළේය. ඡන්දයේ ප්‍රචාරක වැඩට ලොකුවට බාධා කළේත් නැත. ඒ එක්කම පවතින ආර්ථික අර්බුදය නිසා ඡන්දය පවත්වන්න සල්ලි නෑ කියමින් ඡන්දය තවත් වරක් කල් දමාගැනීමට උත්සාහ කළේත් නැත. හැබැයි ඒ කාලයේ රජයට පවරාගෙන තිබූ ලේක්හවුස් ආයතනයත් රජයේ ගුවන්විදුලියත් තමන්ගේ දේශපාලන වැඩට ඉහළින්ම යොදා ගත්තේය. එය වැළැක්වීමට ඒ කාලයේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයාටත් නොහැකි විය. එහෙම නීති නොතිබීම නිසාය. ඒ වුණත් මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වුණි. එහි ප්‍රතිඵලයේ හැටියට සිරිමාවෝගේ පාලක පක්ෂයට හිමිවුණේ ආසන 08ක් පමණි. එයින් එකක් වූ සිරිමාවෝගේ අත්තනගල්ල ආසනයත් දිනාගත්තේ අමාරුවෙනි.
දැන් මේ මාර්තුවේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පසුගිය අවුරුද්දේ කල් දැමූ පළාත් පාලන ඡන්දයයි. ආණ්ඩුවේ පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ සහාය ද ඇතුව එම ඡන්දය යළිත් වරක් කල් දැමීමට උත්සාහ දරමින් සිටී. ඒ කරන්න හදන්නේ එදා සිරිමාවෝත් නොකරපු වැඩකි.
සීතල දුරුත්ත මේ තරමට රත්වෙන්නේ මේ ඡන්දය කල් දැමීමට යොදන උප්පරවැට්ටි නිසාය. සිරිමාවෝ වගේ නීතියට අනුව ඡන්දය තබා ලැබෙන ප්‍රතිඵලය පිළිගන්නවාද? නැත්නම් ඡන්දය කෙසේ හෝ කල් දමාගෙන එන තත්ත්වයට මුහුණ දෙනවාද? යන දෙගිඩියාව තුළ ආණ්ඩුව අතරමංව සිටින බව නම් පැහැදිලිය.
I ශශීන්ද්‍ර