සමන් ශ්‍රී රත්නායක - (මැතිවරණ කොමසාරිස් ජනරාල් - මැතිවරණ කොමිසම)
♦ මැතිවරණය ගැන බොරු ප්‍රචාර කරන්න එපා
♦ පනත අනුව කොමිසමට බැහැ ඡන්ද කල් දාන්න
♦ කොමසාරිස්වරිය ඉවත් වුණ හේතුව අපි දන්නෙ නැහැ
♦ කොමසාරිස්වරුන් කුමන මත දැරුවත් එක මතයකට එන්න වෙනව
♦ ඡන්ද කරනකොට හැමදාම ගැටලු තිබුණ
♦ අපේ කොමිසමට ආණ්ඩුවෙ බලපෑමක් නැහැ
♦ තර්ජනය කළා කියල ඡන්ද කල් දාන්න පුළුවන්ද
♦ සමහරු විහිළු කරන්නෙ රාජ්‍යයට
මේ වනවිට මැතිවරණය කැඳවලා නාමයෝජනාත් අරගෙන ඉවරයි. කොමිසමේ තත්ත්වය ගැන විවිධ කතා විවිධ තැන්වලින් ප්‍රචාරය වෙනවා. ඒ අතරතුර තමයි ඔබලගේ කොමිසමේ කොමසාරිස්වරියක් හදිසියේ ඉවත් වෙන්නෙ. මොකක්ද මේකට හේතුව?
ඔබ මේ සාකච්ඡාව කරන බ්‍රහස්පතින්දා දවස වෙනකොටත් මම දන්නෙ නෑ ඇය ඉවත්වෙලා කියලා. හේතුව ඒ පත්කිරීම් සිදු කරන්නෙ අපි නෙමෙයි. 19 ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ඊට පස්සෙ 20න් ආවා පාර්ලිමේන්තු සභාව නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට තමයි බලය තියෙන්නෙ. ඒ නිසා පත් කරපු තැනට තමයි අයගේ අස්වීම දෙන්න ඕනෙ. තවම අපි දන්නෙ ඇය ඉවත් වීමට හේතුව. ඒ විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට තමන්ගෙ තනතුරු අත්හැරීමේ අයිතියකුත් තියෙනවා.
හරි. ඒ සිදුවීම පැත්තකින් තිබ්බොත් කොමිසම ඇතුළෙ යම් ආකාරයක බෙදීමක් තියෙනවද?
මීට කලින් කොමිසමේ හිටියෙ සාමාජිකයො තුන්දෙනයි. ඒ කාලෙ පවා කොමිසමේ තීන්දුවල යම් ආකාරයක මත ගැටුම් තිබුණා. ඊට පස්සෙ තමයි පහක් කළේ. මේ ආපු හැම කෙනාම විවිධ අදහස් තියෙන අය. ඒ නිසා ගෙදරක වුණත් පස්දෙනෙක් ඉන්නකොට රූට කන්නෙ මොනවද කියලා ඇහුවොත් විවිධ අදහස් තියෙන්න පුළුවන්. හැබැයි අවසානෙ ඒ පස්දෙනාටම කන්න වෙන්නෙ එක දෙයයි. ඒ වගේ තමයි පස්දෙනා මොන මතයේ හිටියත් අවසාන මොහොතෙ එක මතයකට එන්න වෙනවා. කොමිෂන් සභාවේ වාර්තා අරන් බැලුවොත් තිබුණ මතවාද සහ අවසානයේ ගත්ත තීන්දු පැහැදිලිව පේන්න තියෙනවා.
දැන් අපි දන්නවා පළාත් පාලන මැතිවරණය ගැසට් කිරීමේ නිවේදනයට පස්දෙනාම අත්සන් කරලා තියෙනවා. ඒ පස්දෙනාගෙම කැමැත්ත උඩද එහෙම කළේ? නැත්නම් බෙදුණු තීරණයක් තිබිලා අවසානෙ ගත්ත තීන්දුව නිසාද?
මේ මැතිවරණය තියන්න තිබුණෙ 2022 මාර්තු 19ට පෙර. හැබැයි විෂය භාර ඇමැතිතුමා අවුරුද්දකින් කාලය දික් කළා. හැබැයි අවුරුද්දකින් පස්සෙ මැතිවරණය තියන එක මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරිය. ඒක මේ කට්ටියගෙ කැමැත්ත මත තීන්දු කරන එකක් නෙමෙයි. ඒක නීතියෙ තියෙන දෙයක්. මේ හැම කොමිසමකටම අදාළ වෙච්ච නීති තියෙනවා. අන්න ඒ නීති අනුව වැඩ කරන්න ඕනෙ. පළාත් පාලන පනත, ජනාධිපතිවරණ පනත, පාර්ලිමේන්තු පනත, පළාත් සභා පනත සහ ජනමත විචාරණ පනත කියන පනත් පහට අනුව තමයි කටයුතු කරන්න ඕනෙ. ඒ අනුව සාමාජිකයන්ගෙ වැඩි කැමැත්ත මත තීන්දු ගැනීමේ අයිතිය ව්‍යවස්ථාපිත කාර්යයන් එක්ක නෑ. ඒ වගේම කොමිෂන් සභාවට සමාජයේ තියෙන ඉල්ලුම සහ කැමැත්ත අනුව මැතිවරණ තීන්දු කරන්නත් බෑ. ව්‍යවස්ථාවෙන් පිට කිසිදු වැඩක් කරන්න අපි ලෑස්ති නෑ. කාගෙන් උපදෙස් ආවත් අපි ඒවා කරන්නෙ නෑ. එහෙම ව්‍යවස්ථාවට පිටින් වැඩ කරලා දඬුවම් දීපු නඩු කොච්චර තියෙනවද?
සාමාන්‍යයෙන් මැතිවරණයක් කල් දාන්න පුළුවන් අවස්ථා තුනකදි කියලා අපි දන්නවා. එතනදි කොමිෂන් සභාවටත් අවස්ථාවක් තියෙනවා.
නෑ නෑ කොමිෂන් සභාවට කිසිම අවස්ථාවක් නෑ. කිසිම පනතක මැතිවරණය කල් දාන්න ඉඩක් හදලා නෑ.
එතකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මෙ?
ඒක කල් දැම්මෙ පනතෙ තියෙන බලය අනුව නෙමෙයි. නිරෝධායන නීති යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නියෝග පරිදි. ඒ නිසා එතනින් ආපු තීන්දුව තමයි අපි ක්‍රියාත්මක කළේ. එහෙම නැත්නම් ව්‍යවස්ථාමය පනතකින් හරි, අධිකරණ නියෝගයකින් හරි විතරයි මැතිවරණයක් කල් දාන්න පුළුවන්.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ බලපෑම මත මැතිවරණය කල් දාන්න පුළුවන් නම් මෙවැනි තත්ත්වයක් මේ මැතිවරණයෙදි වුණත් වෙන්න පුළුවන් නේද?
නෑ නෑ. ඒක බලපෑමක් නෙමෙයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිරෝධායන නීති යටතේ ගත්ත තීන්දුවක්. ඒක බලපෑමක් කියන්න බෑ.
දැන් එදා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවදානම ගැන කිව්වා වගේම අද භාණ්ඩාගාර ලේකම්වරයා රටේ ආර්ථිකය සම්බන්ධව අවදානමක් වගේම භාණ්ඩාගාරයේ සල්ලි නෑ කියලා ප්‍රසිද්ධියෙ කියනවා. දැන් ඒ ප්‍රකාශය මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය පැවැත්වීමට බලපෑමක් වෙන්නෙ නැද්ද?
භාණ්ඩාගාර ලේකම්වරයා සල්ලි නෑ කියන කතාව මැතිවරණය කේන්ද්‍ර කරගෙන කියන කතාවක් නෙමෙයි. ඒක රටේ පොදු ආර්ථිකය මූලික කරගෙන කියන කතාවක්. ඒ සමස්තයක් ගැන කියන කතාව මේ වෙලාවෙ මැතිවරණය මූලික කරගෙන උලුප්පා දක්වන්නෙ ඇයි? දැන් බෙහෙත් නෑ, බෙහෙත් ගන්න සල්ලි නෑ කිව්වාම ඉස්පිරිතාල වහන්නෙ නෑනෙ. දැන් ගොවීන්ට වන්දි ගෙවන්නෙ, සමෘද්ධිය ගෙවන්නෙ, ඒ නිසා මේක පොදු ප්‍රශ්නයක්. අපි මුදල් උත්පාදනය කරන ආයතන නෙමෙයි. අපිට පැවරුණු වගකීමක් තියෙනවා. අපි ඒ දේ කරගෙන ඉන්නවා. අපිට තියෙන්නෙ මැතිවරණය පවත්වන්න. අනික භාණ්ඩාගාර ලේකම්වරයා සල්ලි දෙන්නෙ නෑ කියලා නෑ කොහෙවත්. අනික ගැටලු නැත්තෙ කවද්ද මේ රටේ. හැමදාම ගැටලුනෙ. ඡන්දෙ කරනකොට හැමදාම ගැටලු.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් ඉවත් වෙනවා කියලා ආරංචියක් යනවා. ඇත්තක් තියෙනවද?
මේක මුල ඉඳන් ගත්තාම සමහර දේවල් කිසිම පදනමක් නැතුව ප්‍රචාරය වුණු ප්‍රවෘත්ති. මම එක දෙයක් කියන්නම්. මේ මව්බිමේ නාමයෙන් බොරු ප්‍රචාර නම් කරන්න එපා. මේකෙ අවසානයෙ වෙන්නෙ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය නැතිවෙන එක. මේකෙන් රාජ්‍යයට තමයි ගැටලුව තිබෙන්නෙ. මේ විහිළු කරන්නෙ රාජ්‍යයට.
ඒ කියන්නෙ මාධ්‍යයෙන් ප්‍රචාරය වන සමහර ප්‍රවෘත්තිත් එක්ක කොමිසමේ කාර්යභාරය කරගෙන යන්න බැරි තරමට බාධා වෙලා තියෙනවද?
අනේ නෑ. අපි වැඩ ටික කරගෙන යනවා. ඒත් එක දෙයක්. බොරු ප්‍රචාරය කරන එක හොඳ දෙයක් නෙමෙයි. උදාහරණයක් කියන්නම්කො. පොලිසියට 2020 ඉඳලා සල්ලි දෙන්න තියෙනවා කියලා පොලිස්පති කිව්වා කියලා මාධ්‍යයෙන් පළ වුණා. නමුත් එවැනි කතාවක් එතුමා කියලා නෑ. අපි හම්බුණාම කිව්වෙත් නෑ. පොලිස්පතිතුමාව හම්බවෙන්න හිටියෙ 11 වැනි බදාදා හවස හතරට. නමුත් අපිට එදා නඩු කටයුත්තක් නිසා සාලිය පීරිස් නීතිඥතුමාව එදා හවස හම්බවෙන්න තිබුණා. ඒ නිසා අපි පස්දෙනාම එදා ගියා. ඒත් මාධ්‍යයේ දාලා තිබුණෙ මමයි සභාපතියි ගියා කියලා. නමුත් 13 වැනිදා අපි කැඳවපු වෙලාවෙ පොලිස්පතිතුමා ආවා. ඒත් මාධ්‍ය දැනගෙන හිටියෙ නෑ එතුමා එනවා කියලා. ඇවිල්ලා එතුමා කිව්වෙ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා කිව්ව කතාව තමයි. අපිට තියෙන්නෙ පොලිසියත් එක්ක ආරක්ෂක කටයුතු ගැන අහනවා මිස සල්ලි එක ගැන අහන්න නෙමෙයි. ඒක භාණ්ඩාගාරයේ වැඩක්. නමුත් මාධ්‍යවල ගියේ ඔය හමුවීමේ කතාව පොලිස්පතිතුමා 11 වැනිදා අපිව හම්බවුණා කියලා. ඒත් අපි ඇත්තටම හම්බවුණේ 13 වැනිදා.
මැතිවරණය පවත්වන්න එකපාරම බිලියන 10ක් ඕනෙද? නැත්නම් බිලියන 3ක්ද ඉස්සෙල්ලාම ඕනෙ. මොකක්ද ඇත්තම කතාව?
මුදල් දෙන එක ගැන තීන්දු කරන්නෙ මහා භාණ්ඩාගාරය. ඒ වෙනුවෙන් මුදල් වගයක් අයවැයෙන් සම්මත වෙලා තියෙනවා. එක පාර සල්ලි දෙන්නෙ නෑ. කොටස් වශයෙන් තමයි දෙන්නෙ. එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. අපි මේ බිලියන 10ක් ඉල්ලන්නෙ එක දවසෙ වියදම් කරන්න නෙමෙයි. උදාහරණයක් හැටියට 2020 මහ මැතිවරණය සඳහා වියදම් වුණ බිලියන 10.8, 2020 මාර්තු මාසයේ සිට 2021 ජූනි මාසය දක්වා වියදම් කරලා තියෙනවා. ඒ අවස්ථාව අනුව තමයි අපි සල්ලි වියදම් කරන්නෙ. එහෙම එක පාර දෙන්න සල්ලි නෑ.
සමහර සිදුවීම් එක්ක බලද්දි පේන දෙයක් තමයි කොමිසමට ආණ්ඩුවෙ බලපෑම් තියෙනවා කියලා. ඇත්තටම ආණ්ඩුවෙ බලපෑම් තියෙනවද?
ඇත්තටම ආණ්ඩුවෙ කිසිම බලපෑමක් නෑ. මෙතන තියෙන එකම බලපෑම ජනතා පරමාධිපත්‍යය විතරයි. මේක අපි කාගෙත් පෞද්ගලික බූදලයක් නෙමෙයි. මේක මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිසා අපිට කිසි බලපෑමක් නෑ. කවුරු මෙතන හිටියත් ඒ අදාළ කාර්යභාරය ඒ විදිහට කරන්න ඕනෙ. අපේ කිසිම කෙනෙක්ට පෞද්ගලික බලපෑමක් වෙන්නෙ නෑ. වෙනවා නම් වෙන්නෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විතරයි.
දැන් මැතිවරණ කොමිසමේ දෙන්නෙක්ට මරණ තර්ජන කරලා තියෙනවා. එහෙම කරලා මැතිවරණය කල් දාන්න පුළුවන්ද?
කළේ කවුද කියලා දන්නෙත් නෑ. කවුද කළේ කියලා අපිට වැඩකුත් නෑ. ඒ ගැන පොලිසියෙන් හොයනවා. නමුත් එහෙම කළා කියලා මැතිවරණය කල් දාන්නෙත් නෑ. දැනටත් පේනවනෙ මැතිවරණ වැඩ යනවා කියලා. අනික මම කියන්නෙ මේ තර්ජනය කරන්නෙ අපිට නෙමෙයි. මේ රටේ පරමාධිපත්‍යයට.
අපේක්ෂකයන්ගෙ මැතිවරණ වියහියදම් ගැන හොයන්න අලුත් පනතක් ආවා. මේක සාධනීය පනතක්. ඒ පනත මේකටත් ක්‍රියාත්මක වෙනවද?
මේක ඉතාම සාධනීය තත්ත්වයක්. ඒත් එක පාර වෙච්ච දෙයක් නෙමෙයි. දිගු කාලයක් තිස්සෙ කැබිනට් එකේ සම්මත වෙලා තිබුණ එකක්. නමුත් මේ වෙලාවෙ ඒක සම්මත වුණා. ඒ ගැන ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහත්මයාට. ඒ වගේම කොමිසමේ හිටිය අතීතයේ ඉඳලා නිලධාරින්ගේ මහන්සියෙ ප්‍රතිඵලයක්. මේ වෙද්දි ඒ පනත වර්තමාන මැතිවරණයට යොදාගන්න සිද්ධවෙලා තියෙනවා. ඒකට හේතුව ගිය බදාදා කතානායකතුමා ඒ පනතට අත්සන් කරලා තිබුණා. එතුමා අත්සන් කළාට පස්සෙ ඒක නීතියක් වෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරන එක කොමිසමේ වගකීමක්.
අපේක්ෂකයකුට වියදම් කරන්න පුළුවන් මුදල තීරණය කරලද තියෙන්නෙ?
ඔව්. අපි තීන්දු කරලා තියෙන්නෙ. පක්ෂත් එක්ක කතා කරලා ඒ ගාණ හදලා තියෙන්නෙ. එක ඡන්දදායකයකුට රුපියල් විස්සක මුදලක් වගේ තමයි වැය කරන්න පුළුවන් වෙන්නෙ. මේ කතාව පටන් ගත්තෙ රුපියල් තුන්සීයෙන්. ඒත් අවසානයේ විසි පහට ඇවිල්ලා විස්ස දක්වා අඩු කරන්න හැකි වුණා.
ඊට වඩා සල්ලි වැය කළොත්?
මෙහෙමයි. දින 10ක් ඇතුළත ඔහු ඔහුගෙ වියහියදම් ඉදිරිපත් කරන්න ඕනෙ. ඒක අපි ප්‍රසිද්ධියට පත් කරනවා. අන්න ඊට පස්සෙ පුළුවන් ඕන කෙනෙක්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්න.
අවසාන වශයෙන් අහන්නෙ මැතිවරණය තියාගන්න පුළුවන් වෙයිද?
ඔබ දන්නවා මැතිවරණ ඉතිහාසය තුළ තිස් අවුරුදු යුද්දෙ කාලෙ මැතිවරණය තිබ්බා. දකුණේ අර්බුද කාලෙ මැතිවරණය තිබ්බා. ඒ නිසා අපේ වගකීම අපි පැහැර හැරලා නෑ. කොමිෂන් සභාවක් වුණාට පස්සෙ කොවිඩ් සමයෙදිත් අපි මැතිවරණය පැවැත්වුවා. ඒ නිසා ඕනෑම තත්ත්වයක් උඩ නීත්‍යානුකූලව මැතිවරණය තියෙන එක තමයි අපේ වගකීම.
I ගයාන් ගාල්ලගේ