''මට තොප්පි දෙකක් තිබෙනවා. මේ තොප්පි දාගත්තම මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද? නැද්ද? යන කාරණය ගැන මත දෙකක් තිබෙන බව හැඟෙනවා. පළමු තොප්පිය යූ.එන්.පී.යේ ජාතික සංවිධායක තොප්පිය. ඒක දා ගත්තම එක්සත් ජාතික පක්ෂය ඕනෑම වෙලාවක මැතිවරණයට සූදානම් බව මට දැනෙනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසත් ජාතික ආරක්ෂක උපදේශක ලෙසත් මට තිබෙන තොප්පිය දා ගත්තාම මට දැනෙන්නේ රට මැතිවරණයකට සූදානම් වීමට සුදුසු තත්ත්වයක් නැති බවයි.''
යූ.එන්.පී. එක පුංචි ඡන්දෙට නාමයෝජනා බාරදීමෙන් පස්සේ මේ කතාව කිව්වේ සාගල රත්නායකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමීපතම දේශපාලන සගයකු වන සාගල කියන මේ කතාවේ තේරුම යූ.එන්.පී.ය ඡන්දෙට සූදානම් වුණත් මේ ඒකට සුදුසු වෙලාව නොවන බවයි. සාගල ඇරුණාම මේ කතාවම වෙනස් විදියකට වඩාත් තදින්ම කියන ජනාධිපතිගේ අනෙක් දේශපාලන සගයා වජිර අබේවර්ධනයි. මේ දෙදෙනාම කියන්නේ ඡන්දය ගැන ජනාධිපතිවරයා දරණ අදහස බව නොදන්නා කෙනෙකු නැත.
ඡන්දය තිබෙනවාද නැද්ද යන්න ගැන ජනාධිපතිවරයා කවදාවත් ඍජුව අදහසක් ප්‍රකාශ කරන්නේ නැත. ඡන්දය නොතබන බවක් ඔහු නොකියයි. එසේම ඡන්දය තබන බවක් කියන්නේත් නැත. ඡන්දය සම්බන්ධයෙන් වඩාත්ම ආසන්න අදහසක් ඔහුගෙන් පිටවූයේ මැතිවරණ කොමිසම තමන් හමුවට කැඳවා ඡන්දය පිළිබඳ තනි මතයකට එන්නැයි ඔවුන්ට දැනුම් දුන් අවස්ථාවේය. ඡන්දය පවත්වනවාද නැද්ද යන්න ගැන කොමිසම ඇතුළෙ මත කිහිපයක් තිබෙන බව දැනගන්නට ඇතැයි කියූ ජනාධිපතිවරයා තනි මතයකට එන ලෙස කොමිසමට දැනුම් දීමක් කළේය.
මේ සාකච්ඡාවට මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. හැබැයි මැතිවරණ කොමිසම ඒ ගැන කිසිවක් කිව්වේ නැත. ඔවුන් දිගටම කියා සිටියේ මැතිවරණය කැඳවීමේ නිල නිවේදනයට කොමිසමේ සාමාජිකයන් පස්දෙනාම අත්සන් තබා ඇති බවය. ඊටපස්සේ දිගටම මැතිවරණ ක්‍රියාවලිය දිගහැරුණේය. ඒ අතර කොමිසමට දැනෙන ලොකුම සිද්ධිය වුණේ කොමිසමේ සාමාජිකාවක වූ පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉල්ලා අසුවූ බවට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා නිකුත් වූ ප්‍රවෘත්තියයි. ඒ සමඟ තවත් සාමාජිකයන් දෙදෙනකු ඉල්ලා අස්වන බවටද කතා පැතිරුණේය.
මැතිවරණ කොමිසම කියන්නේ කොමිසමේ සෙසු සිව්දෙනා ඉල්ලා අස් නොවන බවය. චාල්ස් මහත්මිය ඉල්ලා අස්වූ බවත් කොමිසමට ලිඛිතව දැනුම් දී නැති බවත් ඉල්ලා අස්වූ බව සඳහන් ලිපියේ පිටපතක් හෝ තමන්ට ලැබී නැති බවත් ඔවුන්ගේ ප්‍රකාශයක සඳහන් විය. සාමාජිකයකු ඉල්ලා අස් වූ පමණින් මැතිවරණ ක්‍රියාදාමය වෙනස් නොවන බවත් ප්‍රකාශයට පත්කර ඇති පරිදිම පළාත්පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වෙන බවත් කොමිසම කියා තිබිණි.
සාගලගේ තොප්පි දෙකේ කතාව එළියට ආවේ මේ පසුබිමේය. මැතිවරණ කොමිසමේ ප්‍රකාශත් සාගලගේ තොප්පි කතාවත් අනුව ප්‍රශ්නය පැහැදිලිය. මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව විරෝධය දක්වයි. පසුගිය සති කිහිපය තුළම මැතිවරණ ක්‍රියාදාමය සසල වන පියවර ගණනාවක් ගනු ලැබ ඇත්තේ මේ විරෝධය හේතුවෙන් බව සිතා ගැනීමට අපහසු නැත.
මැතිවරණ ක්‍රියාදාමයට වැටුණ තොප්පි ගැන කතාකළොත් මැතිවරණ කොමිසමේ තනි මතයක් නොමැති බවට රටපුරා ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය එකක් පමණි. ඊළඟට මැතිවරණය සඳහා මුදල් ලබාදීම විශාල අභියෝගයක් වීමයි. එය වඩාත් ඉදිරියට ගෙන ආ තවමත් පවතින කතාවය. එසේ මුදල් ලබාදිය නොහැකි බවට භාණ්ඩාගාර ලේකම්වරයා උසාවියට දැනුම් දුන් බව ප්‍රකාශයට පත්වූ විට මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ තමන්ට මුදල් අවශ්‍ය බවට ලිඛිතව කරන ඉල්ලීමට භාණ්ඩාගාරයේ ප්‍රතිචාර නොලැබුණොත් තමන්ට උසාවිය හමුවට යාමට සිදුවන බවය. ඒ සමඟ භාණ්ඩාගාර ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඉදිරියට පැමිණ මැතිවරණයට මුදල් ලබාදීමට නොහැකි බව තමන් නොකී බව ප්‍රකාශ කර තිබුණි. මුදල් නැතැයි කියා මැතිවරණය කල් දමා ගැනීමට තිබුණ අවස්ථාව මේ නිසා වැළකී ගියේය.
ඒ වගේම ඇප මුදල් බාර නොගන්නා ලෙසට දන්වමින් රාජ්‍ය පරිපාලන ලේකම් විසින් යැවුණ ලිපිය සහ එය ආපසු කැඳවීමත් මැතිවරණයට ආරක්ෂාව ලබාදීම කළ නොහැකි යැයි පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බවට මාධ්‍ය හරහා පළවූ වාර්තා සහ පසුගිය මැතිවරණවලින් පොලීසියට හිඟ මුදල් වශයෙන් රුපියල් බිලියන 01ක මුදලක් ලැබිය යුතු බවට පළවූ වාර්තාත් බිඳ වැටුණේය. ඒ එක්කම මැතිවරණ වියදම් නියාමනය කරන පනත හදිසියේ සම්මත කිරීමද මැතිවරණය කල්දැමීමේ තවත් උපක්‍රමයක් වශයෙන් හැඳින්වුණු අතර එය බාධාවක් කර නොගෙන මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම කළ ප්‍රකාශයක් සමඟ ඒ අවස්ථාවද ගිලිහී ගියේය. සීමා නිර්ණය කොමිසමේ අවසන් වාර්තාව ප්‍රමාදවීම නිසාද මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවට ගෙන ආ තර්කයද එම කොමිසමේ සභාපති හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් මහින්ද දේශප්‍රිය එය මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව ප්‍රකාශ කිරීමත් සමඟ බිඳ වැටුණි. මේ බාධා කිරීම් අතරේ අන්තිමට සිදුවූයේ කොමිසමේ සාමාජිකාවක් අස්වූ බවට කළ ප්‍රකාශයයි. එසේ අස් වූ බව කියන චාල්ස් මහත්මිය මේ වනතුරු තමන්ගේ අස්වීම ප්‍රසිද්ධියට පත් නොකිරීම ප්‍රශ්නාර්ථයක් ඇතිකළත් ඇය තවදුරටත් මැතිවරණ කොමිසම නියෝජනය නොකරන බව පැහැදිලිය.
ව්‍යවස්ථාක සභාව පත් කිරීමෙන් අනතුරුව පැවැත්වූ පළමු රුස්වීමේදී මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට අලුතින් සාමාජිකයන් පත්කරන බවද ප්‍රකාශයට පත් විය. එයද කඩිමුඩියේ කැදවුණු රැස්වීමක් වූ අතර එහිදී මැතිවරණ කොමිසමට අලුතින් සාමාජිකයන් පත් කෙරෙන බවට ප්‍රචාරය වීමද සියලුදෙනාගේ අවධානයට ලක්විය. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන විට එම කොමිසමට අලුතින් සාමාජිකයන් පත් කිරීමට තීරණය කිරීම දේශපාලනික වශයෙන් කොතරම් දුරකට සදාචාරාත්මකද යන ප්‍රශ්නයද එහිදී පැන නැගෙයි. එවැනි තීන්දුවක් ගන්නේ නම් එය මැතිවරණය කඩාකප්පල් කිරීමේ චේතනාවෙන්ම ගන්නා පියවරක් බව පැහැදිලිය.
රටේ පාලනය වඩාත් ස්වාධීනව පවත්වාගෙන යාමේ අරමුණින් පත්කරනු ලබන ව්‍යවස්ථා සභාවේ පළමු තීරණය මැතිවරණ කොමිසමට අලුතින් සාමාජිකයන් පත් කිරීම නම් එවැනි සභාවකින් රටට පලක් නැත. එය යහපාලන ආණ්ඩුව තිබුණු කාලයේ රබර් සීල් එකක් බවට පත්වූ ව්‍යවස්ථා සභාවට වඩා වෙනස් නොවනු ඇත. කෙසේ වුවත් එම රැස්වීමෙන් පසුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තමන් හමුවට පැමිණි පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ ව්‍යවස්ථා සභාවේ රැස්වීමේදී ස්වාධීන කොමිෂන් සභාවලට අලුත් සාමාජිකයන් පත් කිරීම සඳහා ඉල්ලුම්පත් කැඳවීමට තීරණයක් ගත් නමුත් මැතිවරණ කොමිසම සම්බන්ධයෙයන් එවැනි තීරණයක් නොගත් බවය.
මේ අනුව පෙනෙන්නේ යූ.එන්.පී. ජාතික සංවිධායක සාගල රත්නායකට තොප්පි දෙකක් තිබෙන අතරවාරයේ මැතිවරණ කොමිසමට ආණ්ඩුව විසින් තොප්පි බරගාණක් දැමීමට ක්‍රියාකර ඇති බවය. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් මෙන් පෙනී සිටිමින් මැතිවරණයකට මේ තරම් තොප්පි දැමීමට උත්සාහ කිරීම කිසිවකුත් අනුමත නොකරන බව පැහැදිලිය. මේ පළාත් පාලන මැතිවරණය ජනතාව හෝ විපක්ෂය හෝ ඉල්ලා සිටින මැතිවරණයක් නොවේ. එය ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු මේ වනවිටද වසරකින් කල් දමා තිබෙන මැතිවරණයකි. මේ බව මැතිවරණයට තොප්පි දාන පිරිස තේරුම් නොගන්නේ නම් එය මහත් අවාසනාවකි.
අපේ රටේ මැතිවරණ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී මැතිවරණයක් පැවැත්වීමට මේ තරමට තොප්පි දැමූ ඡන්දයක් නැත. රටේ උතුරත් දකුණත් ත්‍රස්තවාදයෙන් සහ යුද ගිනිදැල්වලින් වෙලී යද්දී පවා මැතිවරණ ක්‍රියාදාමය නැවතුණේ නැත. දකුණේ ^88 - ^89 භීෂණ කාලයේදී පවා ජනාධිපතිවරණ, මහ මැතිවරණය පමණක් නොව පළාත් සභා සහ පළාත්පාලන මැතිවරණ පවා පැවැත්වුණි. නියමිත වූ මහ මැතිවරණය නොපැවැත්වීමට තීරණයක් ගත් ජේ.ආර්. පවා ඒ වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමටත් එහිදී පරාජයට පත්වූ ආසන වෙනුවෙන් අතුරු මැතිවරණ පැවැත්වීමටත් පියවර ගත්තේය. චන්ද්‍රිකා බෝම්බ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබ සිටියදීත් ඒ ජනාධිපතිවරණය නොපැවැත්වීමට තීරණයක් ගත්තේ නැත.
රටේ පැවති ඒ තත්ත්වයට වඩා දැන් වෙනසකට ඇත්තේ රට ආර්ථික වශයෙන් බංකොළොත් තත්ත්වයට පත් වී සිටීම පමණි. ඒ තත්ත්වය රට ඇද වැටීමට අද පාර්ලිමේන්තුවේ සිටින හැම දේශපාලන නායකයකුම වගකිව යුතුය. එහෙම වගකීමක් තිබියදී රටේ ජනතාවගේ මැතිවරණ අයිතිය උදුරා ගැනීමට ඒ කිසිවකුටත් අයිතියක් නැත. මැති ඇමැතින්ගේ සුබසිද්ධිය සඳහා කෝටි ගණනින් වියදම් කරන ආණ්ඩුවකට ඡන්දය පැවැත්වීමට සල්ලි නැතැයි කීමට හෝ ඡන්දයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක රට නැතැයි ප්‍රකාශ කිරීමට හෝ අයිතියක් නැත.
මැතිවරණයක් අවශ්‍යදැයි අද පොදු මහජනතාවගෙන් විමසුවොත් ඔවුන්ගේ පොදු පිළිතුර වනු ඇත්තේ තමන්ට ඊට වඩා තම ගැටලු විසඳා ගැනීම වැදගත් බවය. මැතිවරණ කටයුතු ගැන ඔවුන් දැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. එහෙම වුණත් එයින් අදහස් වෙන්නේ ඔවුන්ට ඡන්දයක් අවශ්‍ය නැති බව යැයි වරදවා වටහා නොගත යුතුය. තමන්ට එල්ල වී තිබෙන පීඩනයෙන් මිදී කිසියම් හෝ බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට පුංචි ඡන්දය හේතුවන බව ඔවුහු දැන සිටිති. මේ නිසා ඡන්දය කිසියම් හේතුවක් හෝ හේතු කිහිපයක් හෝ යොදා ගනිමින් නොපැවැත්වීමට හෝ දින නියමයක් නොමැතිව කල් දැමීමට හෝ පියවර ගත්තොත් එය ජනතාවගේ පීඩනය මුදාහැරීමට තිබෙන අවස්ථාව මගහැරීමකි. එහි ඉදිරි ප්‍රතිඵල රටටම බරපතළ හානියක් ගෙනදීමට වුවද ඉඩක් තිබෙන බව ඉතාම පැහැදිලිය.
ඡන්දයක් නොපැවිත්වීමට ආණ්ඩුව මේ තරමට වලිකන්නේ ඇයි? එකම හේතුව මැතිවරණයෙන් ලැබිය හැකි ප්‍රතිඵලය ගැන ඔවුන් කර ඇති ගණන් හදා බැලීම මිස වෙන කරුණක් නොවේ. මැතිවරණයේ ප්‍රතිඵලය රටේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ වෙනස් නොකරන බව පැහැදිලිය. එහෙත් එම ප්‍රතිඵලය රටේ ඉදිරි දේශපාලනයේ දිශානතිය තීරණය කරන්නක් වීම වැළැක්විය නොහැක. එසේ තිබියදී ආණ්ඩුව ඡන්දය නොපවත්වා සිටිය නොහැකි තත්ත්වයකට තල්ලු වී සිටී.
හොඳයි ආණ්ඩුව මාර්තු මාසය වෙනකම් නොසිට මීට කලින් පුංචි ඡන්දය පැවැත්වීමට කටයුතු කළා නම් මෙහෙම තත්ත්වයකට මුහුණ දෙයිද?
රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති ධුරයට පත්වෙන්නේ පසුගිය ජූලි 13 වැනිදාය. එයින් මාස 04ක් පමණ ගතවන විට රටේ දැවෙමින් තිබූ ප්‍රශ්න බවට පත්ව තිබූ පෝලිම් නැතිවිය. පෙට්‍රල්, ඩීසල් සුලබ විය. ගෑස් පෝලිම් වාෂ්ප වී ගියේය. ජනතාවට දැඩි ලෙස පීඩාකාරී ගැටලු තිබුණත් ඔවුන්ට යම් තරමකට හෝ සහනයක් ඒ වනවිට දැනෙමින් තිබුණි. රනිල් කුමක් හෝ කර රට ගොඩගන්නවා ඇතැයි යන බලාපොරොත්තුවද ජනතාව තුළ දැල්වෙමින් තිබුණි. ඒ එක්කම සජබ හෝ ජාතික ජනබලවේගය හෝ මේ තරමට සංවිධානය වී සිටියේද නැත. ජනතාවට ආණ්ඩුව මේ තරමට එපා වී තිබුණේද නැත.
අද ඡන්දය කෙසේ හෝ කල් දැමිය යුතු බවට ජනාධිපතිවරයාට උපදෙස් දෙන කට්ටිය මීට මාස දෙකතුනකට කලින් ඡන්දය තබන්නැයි උපදෙස් දුන්නා නම් අද ආණ්ඩුව මුහුණ දී සිටින උභතෝකෝටිකයට මුහුණ දෙන්නේ නැත. එහෙම වුණා නම් සාගලට තොප්පි ගැන කතා කරන්න සිදුවෙන්නේත් නැත.
I ශශීන්ද්‍ර