දැන් මෛත්‍රී ස්ටෝර්ස්ද මහින්ද ස්ටෝර්ස්ද වැඩිය හොඳ?
ආර්ථික ප්‍රතිපත්ති එක්ක බැලුවොත් මේ ආණ්ඩු දෙකම අනුගමනය කරමින් ඉන්නේ එකම ආර්ථික ප්‍රතිපත්තියක්. වංචා දූෂණ නාස්තිය වැනි චෝදනා එක්ක බැලුවත් පැවැති ආණ්ඩුවට එල්ල වෙච්ච බරපතළ චෝදනා එක්ක බැලුවත් මේ ආණ්ඩුවේ වසර දෙකට එවැනි ආකාරයේ බපරතළ චෝදනා මේ ආණ්ඩුවටත් තියෙනවා.
වර්තමාන ආණ්ඩුවට වැරදිලා තියෙන තැන කොතැනද?
විශේෂයෙන් මෙය පුද්ගල අර්බුදයක් නෙමෙයි. 1978 වර්ෂයේ ඇතිවූ ආර්ථික ප්‍රතිපත්තියත් ඒ හා ගැටගැසුණු දේශපාලන සංස්කෘතියත්, ඒ වගේ ඒ තුළින් සිදුවූ සමාජීය බිඳවැටීමත් කියන කරැණු දැන් දශක ගණනාවක් තිස්සේ ඇදෙමින් පවතිනවා. එහි ඉතාම තීව්‍ර අවධියක් තමයි මේ ඇතිවෙමින් තිබෙන්නේ. කර්මාන්ත විකිණීමෙන් ආරම්භ කරලා වතු වික්කා. චන්ද්‍රිකාගේ පාලනයේ මේ අවකාශය වික්කා. නැවත රනිල් වික්‍රමසිංහගේ පාලනයේදී බලශක්ති ක්ෂේත්‍රයට එය ඇතුල් වුණා. විකුණුවා. ඊට පස්සේ මූල්‍ය ක්ෂේත්‍රය වික්කා. රාජපක්ෂ පාලනය ස්වභාවික සම්පත් වික්කා. ඔහු කල්පිටිය දූපත් 14න් දූපත් දෙකක් වික්කා. සින්නක්කර අයිතිය ඉඩම් දුන්නා. ඒ වගේ එහි දිගුවක් හැටියට මේ ආණ්ඩුව ඉතුරු ටික විකුණමින් පවතිනවා. මේ ආර්ථික ප්‍රතිපත්තිවල තීව්‍රතම අවධිය තමයි මේ ආණ්ඩුව මුහුණ දෙමින් සිටින්නේ. එය තවත් උත්සන්න වෙන්න හේතුවෙලා තියෙනවා බල කේන්ද්‍ර දෙකකට බලය පැවරීම. ඒ නිසා එකඟතාවයකට පැමිණීමේදී ගැටලුවක් වෙලා තියෙනවා.
මේ ආර්ථික ගැටලුවෙන් මිදෙන්න, ණය බරින් බේරෙන්න තමයි මේ දේවල් බදු දෙන්නේ කියලා ආණ්ඩුව කියනවා. එහෙම බැලුවම සාධාරණයි නේද?
ඔබ කල්පනා කරන්න විකුණපු ඒවාවලට මොකද වුණේ කියලා. පේෂ කර්මාන්තශාලා වික්කා. අද වෙනකොට මුළුමනින්ම අසාර්ථක වෙලා තියෙනවා. කඩදාසි කම්හල් වික්කා. ඇඹිලිපිටියෙයි වාලච්චේනෙයි දැන් කඩදාසි නිෂ්පාදනය කරන්නේ නෑ. සීනි කම්හල් අද වහලා දාලා. වතු ටික වික්කා. දැන් තේ නිෂ්පාදනය කඩා වැටිලා. ඒ නිසා විකුණපු ඉතිහාසය ගත්තොත් විකුණූ දේවලින් ආර්ථිකයට වාසි ලැබිලා නෑ.
ආණ්ඩුව කියන්නේ බදුදීම මගින් අකාර්යක්ෂම වෙච්ච ආයතන ගොඩගන්න පුළුවන්ලු?
එහෙම විකුණනවා නම් වරාය විතරද? පොලීසිය තමන්ට පැවරිලා තියෙන කාර්ය භාරය ඉෂ්ඨ කරන්නේ නෑ. එහෙනම් පොලීසියත් විකුණනවද? දිසාපති කාර්යාලයකට ගියොත් වැඩක් කරගන්න අපහසුයි. අකාර්යක්ෂමයි. රාජ්‍ය ආයතනයකට ගියොත් නිලධාරියෙක් අල්ලගෙන යන්න ඕන. නැත්නම් දේශපාලනඥයකු අල්ලගෙන යන්න ඕන. සාමාන්‍ය පුරවැසියකු හැටියට යන්න බෑ. රෝහලකට යන්නත් බෑ. ඇයි ඒ ආකාර්යක්ෂම නිසා. මේ ආණ්ඩුව අකාර්යක්ෂමයි. එහෙනම් මේ ආණ්ඩුවත් විකුණනවද? ආණ්ඩුවත් පාඩුයිනේ. කෝටි ගණනක වාහන, ගෙවල්, ඒවත් පාඩුයි. අකාර්යක්ෂම නිසා ආණ්ඩුව විකුණනවද? ඒ නිසා මේ කතා ආණ්ඩුවේ වැරැද්ද වහගන්න කියන කතා. ඒ නිසා මේ අකාර්යක්ෂමතාවය හරි පාඩුව හරි ඇති කරලා තියෙන්නේ ජනතාව නෙමෙයි පාලකයන්. එහෙනම් විකුණා දැමිය යුත්තේ පාලකයන්.
ජනතා විමුක්ති පෙරමුණ හැම ආණ්ඩුවකටම විචාර, විවේචන කරන එක විතරයි කරන්නේ. ඇයි පාලනයට එකතුවෙලා වැඩක් නොකරන්නේ?
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් එස්.බී. දිසානායකට හැකියාව ලැබුණා තවත් පක්ෂයකට යන්න. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායකට පුළුවන් වුණා මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩු කරන්න. ශ්‍රී ලංකා එකේ ඊට පස්සේ හිටිය මහලේකම් මෛත්‍රීපාල මහත්තයට පුළුවන් වුණා යූ.එන්.පී. එකත් එක්ක ආණ්ඩුවක් කරන්න. ඒ නිසා සාමාන්‍ය තර්කයක් එනවා එයාලට පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි කියලා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. ආර්ථික ප්‍රතිපත්ති එක්ක ගත්තොත් ඔවුන් අතර වෙනසක් නෑ. දේශපාලන සංස්කෘතිය වංචාව, දූෂණය, නාස්තිය, මජර දේශපාලනය වෙනසක් නෑ. ඒ නිසා ඔවුන් අතර වෙනසක් නැති නිසා එකට වැඩකරන්න පුළුවන්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට මේ පක්ෂ අතර ආර්ථික ප්‍රතිපත්ති වෙනසක් තියෙනවා. දේශපාලන ප්‍රතිපත්ති, සමාජීය ප්‍රතිපත්ති වෙනසක් තියෙනවා. ඒ නිසා කිසිසේත් තෙලුයි වතුරයි මුහුකරන්න බෑ වගේ තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තියි අපේ ප්‍රතිපත්තියි එකතු කරන්න බෑ. ඒකෙන් වෙන්නේ තවත් අවුල් වෙන එක විතරයි. ඒ නිසා අපි වෙනම ජනතා ව්‍යාපාරයක් ආරම්භ කළේ.
ඔය කියන ජනතාවාදී ප්‍රතිපත්ති හොඳ වැඩි නිසාද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් කඩාගෙන ගියේ?
අපි තවත් දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. අපි මේ ධනවාදය තුළ සමාජවාදය ප්‍රතිපත්තිමය කරගත්ත වමේ දේශපාලනයක් ගොඩනගලා තියෙනවා. වමේ දේශපාලන සංස්කෘතියයි, ක්‍රියාදාමයයි මේ සමාජයත් එක්ක මහා පරතරයක් තියෙන්නේ. ඒ නිසා අපි ක්‍රියාදාමයක් ආරම්භ කරලා මේ ධනපතිත්වයට එරෙහිව ජනතාව පෙළගස්වන්න. අපේ මේ ව්‍යාපාරය ගොඩනගලා තියෙන්නේ ධනවාදය කියන ගර්භාෂය ඇතුළේ. ඒ නිසා අපේ ව්‍යාපාරයට එනකොට එන්නේ මේ සමාජයේ තියෙන දුර්මතයන් එක්ක. එනිසා අපේ වගකීමක් තියෙනවා අධ්‍යාපනයක් හරහා යහපත් පුරවැසියෙක් ගොඩනගන්න. ඒත් කොයි මොහොතක හරි මජර දේශපාලන බලපෑම් එල්ල වෙනවා. එතකොට වැහැරෙන තැනට එනවා. එවැනි වැහැරිච්ච අය ගැන තමයි ඔබ ඔය කියන්නේ. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ නමේ ඉන්න සාමාන්‍ය පුද්ගලයකුගේ ජීවිතය තරම්වත් සමාන කළ නොහැකි මජර ජීවිත බවට පත්වෙලා තියෙනවා. මෙවැනි අත්දැකීම් ලෝකේ සෑම වමේ ව්‍යාපාරයක්ම විඳලා තියෙනවා.
ඔබට හිතෙන්නේ නැද්ද ඒ හරහා පහළ සාමාජිකයාට ව්‍යාපාරය ගැන අවුලක් ඇතිවෙලා සෝදා පාළුවක් සිද්ධවෙනවා කියලා.
ඔව්. අපි උත්සාහ ගන්නේ පහළ සාමාජිකයගේ ඉඳලා පක්ෂයේ ඉහළ මණ්ඩල සාමාජිකයා දක්වා පක්ෂයේ රඳවා තබා ගන්නා එක. ඒක අපේ අරමුණක්. එහෙම නැතුව කිසිවෙක් සිතා මතා පක්ෂයෙන් ඉවත් කරන්න ඕන අදහසේ අපි නෑ. නමුත් අපි උත්සාහ ගන්නේ තවත් එක් ආණ්ඩුවක් හදන්න නෙමෙයි. වෙනස් ආණ්ඩුවක්, වෙනත් ක්‍රමයක් හදන්න. එවැනි දේවලදී අපි සමහර තීන්දු අරගෙන තියෙනවා. ඒ ගැන විශ්වාසයන් ඇතිවෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂට මර්වින් සිල්වා ගැන තීන්දු ගන්න බැරි මොහොතේදී මේ ආණ්ඩුවෙ නායකයන්ට එයාලගේ ඇමැතිවරු සම්බන්ධ තීරණ ගන්න බැරි මොහොතෙදි අපි අපේ ඉහළ සාමාජිකයන්ට තීන්දු අරගෙන තියෙනවා. ඒ නිසා අනෙක් පක්ෂ කුණු අහුලන පක්ෂ, අපි කුණු ඉවත් කරන පක්ෂ.
ඔබලා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය එක්ක එකතුවෙලා වැඩ කළා. ඒ වෙලාවේදිවත් කරපු දෙයක් නෑනෙ?
ඇත්තටම චන්ද්‍රිකා කුමාරණතුංග ආණ්ඩුවට අපි ඇතුළු වුණේ එකතුවෙලා රට හදන්න නෙමෙයි. ඒ අවස්ථාවේදි බෙදුම්වාදී දේශපාලනය උත්සන්න වෙලා තිබ්බා. රට තීරණාත්මක විදිහට බෙදා වෙන්කරන තැනකට ඇවිත් තිබුණා. ඒ වෙලාවේ රට තිබුණේ තක්කඩි හිතුවක්කාර අත්තනෝමතික පාලනයක. ඒ අවස්ථාවේ එම පාලනය බිඳවැට්ටීමට මිස වෙන ක්‍රමයක් තිබ්බේ නෑ. ඒ අවස්ථාවේ තනි අපිට හැකියාවක් නැති නිසා තමයි චන්ද්‍රිකාගේ ඉල්ලීමත් ශ්‍රීලනිපයේ ආරාධනාවත් මත එකතු වුණේ. මාස 14ක් යනකොට එම වැඩසටහනම සුනාමි සහන මණ්ඩලය ලෙස ක්‍රියාවට නැංවුණා. ඊට පස්සේ එය පරාජය කරන්න තමයි අපි එළියට එන්නේ. ඒ අතර අපිට අමාත්‍යංශ කිහිපයක් ලැබුණා. විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය තමයි ඉතිහාසයේ වැඩිම වී නිෂ්පාදනය ඒ යුගයේ සිදුකළේ. පාඩු වුණ මිල්කෝ ආයතනය ලාබ ලබන තැනට ගෙනාවා. මාස 14ක් වැනි කාලයක ධනපති ආණ්ඩුවක් තුළ මහා විප්ලවයක් කරන්න බෑ. නමුත් උත්සාහ ගත්තා. අපි ආදර්ශයක් දුන්නා. ඔබ කිව්වොත් එය ප්‍රමාණවත් නෑ කියලා ඔව් අපි ප්‍රමාණවත් නෑ කියලා පිළිගන්නවා. නමුත් අපි කුඩා කාලයක් ඇතුළත වැඩක් කළා.
ධනවාදී අත්තනෝමතික චන්ද්‍රිකා ආණ්ඩුවේ හිටිය මහින්ද 2005 ජනතා විමුක්ති පෙරමුණට කොහොමද විකල්පයක් වෙන්නෙ?
ජනාධිපතිවරණයේදී බලනකොට අර බෙදුම්වාදී පිරිස් නැවත හිස ඔසවමින් සිටියා. යූ.එන්.පී. නායකයන්ගේ ප්‍රකාශනය වුණේ 2001-2003 වසරේ සිදුකළ ක්‍රියාව ඉදිරියට ගෙන යන්න සහය දෙන්න කියලා. ඒ බෙදුම්වාදය පරාජය කරන්න තමයි අපි රාජපක්ෂලාට සහය දෙන්නෙ. හැබැයි මේ තීන්දු ඒ වෙලාවේ ගත්ත ඒවා නෙමෙයි. දීර්ඝ කාලයක් කතාබහ කරලා ගත්ත තීන්දු.
එදා ඒ තීන්දු තීරණ සම්බන්ධ අද ස්වයං විවේචනයක් තියෙනවද?
ඒ බෙදුම්වාදී මතය බිඳවැටීමට හැකියාවක් තිබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමඟ එකතු වීමෙන් පමණක්ද? වෙන පාරක් තිබුණේ නැද්ද? ඒ නිසා වෙනස් පාරවල් පිළිබඳව දක්වන ලද අවධානය ප්‍රමාණවත්ද? කියන සාධක සම්බන්ධව නැවත සොයා බැලීමක් අපිට තියෙනවා.
ඒ නිසාද 2015 වෙනස ඇති කරන්න ජනතා විමුක්ති පෙරමුණ තිරය පිටුපස භූමිකාවක් සිද්ධ කළේ?
ඇත්තටම ඒක වෙනස් තත්ත්වයක්. අපි දන්නවා අපේ පක්ෂයේ ප්‍රමාණය සහ හයිය. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ 2010 ඡන්දයෙන් දිනලා මාස 06ක් යන්න කලින් දිවුරුම් දෙන්නට පෙර තවත් ධුරයේ රැඳී සිටින්න අවශ්‍ය වටපිටාව සකසා ගත්තා. දැන් බලන්න ඔහුගේ බල මාර්ග සිතියම කොච්චර දිගුකාලීනද කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ වනවිට ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරමින් හිටියේ. ඔය අද තප්පුලන ඇමතිවරු එදා පූස් පැටව් වගේ හිටියේ. ඉතින් ඔහු නැවත බලයට ආවා නම් 2022 ඉවර වෙන්නේ. මෙවැනි දිගුපාලන නිමා කරලා තියෙන්නේ ලෝකය තුළ මහා ලේ වැගිරීම් තුළින් 2015 ගැන අපෙන් ප්‍රශ්න කරන කිසිවෙක් ඒ ලේ වැගිරීමේ සාධක වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම ඒ මර්දනය අප වෙත එන්නෙ. එහෙත් ඒ අවස්ථාවේ එවැනි දැවැන්ත ප්‍රහාරයකට මුහුණ දෙන්න හැකියාවක් නෑ අපිට. අපිට අවශ්‍ය වුණා රාජපක්ෂ පාලනය පලවා හරින්න. අපිට අවශ්‍ය වුණා කෙටි විරාමයක් ගන්න. දැන් ඒ විරාමය තමයි මේ අරගෙන තියෙන්නේ. අපි දැන් ශක්තිමත්.
මේ කෙටිකාලීන විරාමයනේ පස්සේ මොකද වෙන්නේ?
දැන් අපි මීටර් 100 ඉසව් කීපයක් දුවලා තියෙන්නේ. පුහුණු වෙලා ඉන්නෙ. දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ මැරතන් එකට. ඒ අපේ අවසාන ගමන.
මේ ආණ්ඩු ආරම්භයේ පටන් ඇමැතිධුර බෙදීම ගැන ඔබලා විවේචන කළා. නමුත් කිසිම ආණ්ඩුවක් සිදුනොකළ විදිහට ඔබලගේ අදහසට කන්දීලා ඇමැති මාරුවක් පවා සිද්ධ කළා. මොකද හිතන්නෙ?
19 වැනි සංශෝධනයේදී වැදගත් කාරණයක් තිබ්බා කැබිනට් මණ්ඩලයෙදි ඇමැති ධුර 30ක් සහ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 40ක් වියයුතුයි කියලා. හැමදෙනාම පිළිගත්ත දෙයක්. ඒත් ශ්‍රීලනිපයයි, යූ.ඇන්.පීයයි එකතුවෙලා මැතිවණයෙන් පළවෙනි පාර්ලිමේන්තු රැස්වීමෙදි ගෙනපු යෝජනාවක් තමයි අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 දක්වා වැඩිකරන එක. ඒ නිසා මේ පක්ෂ දෙකේ අරමුණම තියෙන්නේ තනතුරු වරප්‍රසාද බෙදාගැනීම. ඊට පස්සේ පක්ෂ දෙක ගිවිසුම අත්සන් කළේ අවුරුදු දෙකකට. දැන් ඒ අවුරුදු දෙක තුළ ආර්ථික සංවර්ධනය වෙලා ප්‍රශ්න නිමාවෙලා තියෙනවා නම් ශ්‍රීලනිපයට කියන්න පුළුවන් අපි මේ අවුරුදු දෙකෙන් පස්සෙත් එකට ඉදිරියට යමු කියලා. ඒත් වෙලා තියෙන්නේ මේ අවුරුදු දෙකේ ආවේ අසාර්ථක ගමනක්. දැන් ඔවුන්ට හේතුවක් නෑ අවුරුදු දෙකෙන් පස්සෙත් මේ ආණ්ඩුවේ ඉන්න. අන්න ඒ ආණ්ඩුවේ ඉඳීම සඳහා වංක සුජාතභාවයක් ඇති කිරීමටයි මේ කැබිනට් සංශෝධනය සිදුකළේ.
හැබැයි ආණ්ඩුව ඇතැම් දූෂණ චෝදනාවලට ලක්වූ ඇමැතිවරු ඉවත් කළා.එහෙම දූෂණ චෝදනා තියෙන අය එක අමාත්‍යංශයකින් තව අමාත්‍යංශයකට දාන එක නෙමෙයි රජයේ වගකීම. ඒ චෝදනා විමර්ශනය කරලා ඔවුන්ට දඬුවම් ලබාදීමයි කළ යුතුවන්නේ. දඬුවම වෙනුවට එක අමාත්‍යංශයකින් තවත් අමාත්‍යංශයකට මාරු කරනවා නම් එක් වැඩක් නෑ. අනික හොරකම් ගැන චෝදනා එල්ල වෙලා තියෙන්නේ මේ අයට විතරද. ජනාධිපති කියනවා මම අහගෙන නැවත බලාපොරොත්තු ඇති කරගන්නලු මෙහෙම කළේ. ඒ කියන්නේ වැඩේ අසාර්ථකයි කියලා දන්නවා. ඒ නිසා මේක රංගනයක්.
මේ සිස්ටම් එකේ අවුලක්ද?
ඔව්. සිස්ටම් එකේ අවුලක්. මෙච්චර කල් ආණ්ඩු මාරුකරලා රට හදන්න බැරිකොට ඇමැතිවරු මාරු කරලා රට හදන්න පුළුවන්ද? දැන් බලන්න ආණ්ඩු කීයක හිටිය ඇමැතිවරු මේ ආණ්ඩුවේ ඇමැතිවරු වෙලා ඉන්නවද? කවුද මේ. එක එක කාලයට එක එක වර්ණ අරගෙන නම වෙනස් කරන කටුස්සෝ වගේ. අර මළකුණක් දැක්කම ඒකේ රස බලන්න හදන කපුටෝ රෑනක් වගේ මේ අයට රට හදන්න බෑ. ඒ නිසා දාම් බෝඩ් එකේ ඉත්තෝ මාරුකළා කියලා කැරම් ගහන්න බෑ. දාම්ම තමයි අදින්න වෙන්නෙ.
ඔය සිස්ටම් එක වෙනස් කරන්නනේ අලුත් මැතිවරණ ක්‍රමයක් හදන්නේ. ඇයි ඒකට ඔබේ පක්ෂයේ හරි අදහසක් නැත්තේ.
පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන මැතිවරණ ක්‍රමයක් තියෙනවා. අපි එයට එකඟත්වය පළකරලා තියෙනවා සියයට 90ක්. හැබැයි ගොඩනගලා තියෙන පළාත් පාලන ඡන්ද ක්‍රමය ඉතාම විකෘති සහගත තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ ඕනෑම මැතිවරණයක තියෙනවා ජනතාවගේ කැමැත්ත ඒ ආයතනයේ නියෝජනය වෙන්න ඕන කියලා. නමුත් ඒ මැතිවරණයේ තියෙන්නේ ජනතාවගේ කැමැත්ත විකෘති ලෙස නියෝජනය කරන එකක්. යම් පක්ෂයක සියයට 40ක් ගන්න අයට සියයට 70ක නියෝජනයක් තියෙනවා. යම් පක්ෂයක සියයට 60ක් ගත්තොත් ඒ අයට සියයට 30ක නියෝජනයක් තියෙන්නේ. ඒක සාධාරණ නෑනේ.
ඇයි මේ නව ව්‍යවස්ථාවලට අනෙකුත් පක්ෂවල තියෙන උනන්දුවක් ජනතා විමුක්ති පෙරමුණෙන් පේන්න නැත්තෙ?
ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව රැස්වුණු වෙලේ දැක්කා අදින්න හදන දෙයක්. ඒකෙදි ශ්‍රීලනිපය ඉදිරියනේ ඉන්නවා. යූ.එන්.පීය සද්ද නෑ. ඔවුන් හැමදාම වගේ කපටි භූමිකාව රඟදක්වනවා. එහිදී අපි කිව්වා අනිවාර්යයෙන් මේ අවුරුද්දේ අලුත් ව්‍යවස්ථාව සකසලා ජනමත විචාරණයක් තියලා සම්මත කරගත යුතුයි කියලා. එසේ නොවනවා නම් තවදුරටත් දායකත්වය දෙනවාද නැද්ද කියලා තීරණයක් ගන්නවා කියලා. හැබැයි ප්‍රධාන කාරණා තුනක් යටතේ. එකක් විධායකය අහෝසි කළ යුතුයි. නව මැතිවරණ ක්‍රමයක් සැකසිය යුතුයි. තුන බලය බෙදීම ගැන සාකච්ඡා කරලා තීන්දු ගත යුතුයි.
ඔබ ඇතුළු ඔබේ පක්ෂය දරන්නේ 13ට අනුව බලය බෙදිය යුතුයි කියලද?
බලය බෙදීම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් නෙවෙයි කියන එක ඔප්පු කරලා තියෙන්නෙ. හැබැයි දෙමළ ජනතාව කියනවා නම් බලය බෙදීම හරහා යම් විසඳුමක් තියෙනවා කියලා අපි ඒ ගැනත් සාකච්ඡා කරන්න කැමතියි. හැබැයි ඒක 13ට එහා ගිහින්ද කියන එක නෙමෙයි. වෙනස්ම ක්‍රමයක් විය යුතුයි.
ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ ඇයි?
සල්ලි තියෙනවද නැද්ද කියන එක මත අධ්‍යාපනය ලබාගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන එක වැරදියි. මේ දැනුම කියන්නේ කාගෙන්වත් උකහා ගත්ත දැනුමක් නෙමෙයි. මිනිස් ශිෂ්ඨාචාරයේ ඉඳලා සිදුකළ අරගල, පරීක්ෂණ මත ගොඩනැගුණු දැනුමක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා දැනුම මුළු සමාජයටම අයිති දෙයක්. ඒ දැනුම කාටවත් අයිස්ක්‍රීම්, සබන් කුඩු පැකට් කරනවා වගේ පැකට් කරලා විකුණන්න බෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අධ්‍යාපනය සියයට 6ක් වෙන්කළ යුතුයි කියන මතයේ ඉන්නවා. එහෙත් මේ කලාපයෙන්ම අඩුම මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නේ අපේ රටේ.
සයිටම් ප්‍රශ්නයෙදි මොකක්ද ඔබලා දරන නිශ්චිත මතය?
එය අහෝසි කළ යුතුයි. ඉතාමත් තක්කඩි වංචනික ආයතනයක්.
එහෙම දේවල් රටේ ඇතිවන එකේ වරද මොකක්ද?
සයිටම් එකෙන් ලියාපදිංචිය, පුහුණුවීම්, ඉගැන්වීම ගැන හොයලා බලන්න. ඩොක්ටර් කෙනෙක් නෙමෙයි අඩුම තරමේ ඇක්ටර් කෙනෙක්වත් හදාගන්න බෑ. පේනවනේ වෙඩි තියලත් වැඩේ වරද්ද ගත්ත හැටි. මේ මා කියන දේවල් නෙමෙයි රටේ පිළිගත් වෛද්‍යවරු කියන දේවල්.
අවසාන වශයෙන් කියන්නේ මේ ආණ්ඩුව රටට දෙයක් කරලම නැද්ද?
මේ ආණ්ඩුවටත් අනෙක් ආණ්ඩු වගේ හිරිමල් කාලයක් තියෙනවා. හැබැයි අනෙක් හැම ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවේ හිරිමල් කාලය ඉතා කෙටිවෙලා තියෙනවා. ගතවූ වසර දෙක ඇතුළේ අවසානය වනවිට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙලා තියෙනවා. මංගල සමරවීර මහත්තයාට ජනමාධ්‍ය දෙනකොට අපිට ඉවෙන් දැනෙවා මොකක්ද අරමුණ කියලා. අපිට අභියෝගයක් තියෙනවා යමක් ලැබිලා තියෙනවා නම් ඒ ආණ්ඩුව නිසා නෙමෙයි ජනතාවගේ අභිලාෂයන් නිසා සිද්ධ වුණු දෙයක් කියලා. අන්න ඒවා ආරක්ෂා කර ගැනීමට පෙරමුණක් ගොඩනගන එකයි අපේ අරමුණ.
ගයාන් ගාල්ලගේ
සේයාරුව l සුමුදු හේවාපතිරණ