2023 පෙබරවාරි 12 වන ඉරිදා

සල්ලි ප්‍රශ්න දාලා ඡන්ද නවත්වන්න බැහැ

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 35

රංජිත් මද්දුමබණ්ඩාර මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජන බලවේගය.

♦ රැස්වීම්වලිනුයි පෙළපාලිවලිනුයි ඡන්ද දිනන්න පුළුවන්ද?
♦ ඡන්දෙන් ආණ්ඩුව පරදින බව දන්නවා
♦ මාලිමාව අපට අභියෝගයක් නෙවෙයි
♦ සජිත් ප්‍රේමදාස බලය බෙදීමට විරුද්ධ නැහැ

 

හැමෝම දැන් බලාපොරොත්තු වෙන්නේ පළාත් පාලන මැතිවරණය. ඒත් ආණ්ඩුව ඊට සූදානමක් නෑ වගේ. යම් විදිහකින් කල්දැම්මොත් මොකද ඔබලා කරන්නේ?

ආණ්ඩුව පැහැදිලිවම දන්නවා මේකෙන් ආණ්ඩුව පරදිනවා කියලා. මැතිවරණය කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක නැති කරනවා නම් අපි ජනතාව පෙල ගස්සනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන්.

අපි දන්නවා ඔබලා වගේම ඉතාම තරගකාරී ලෙස මාලිමාවත් ජනතාව අතරට යනවා. මේක ඇත්තටම ඔබලට අභියෝගයක් නේද?

මාලිමාව අපිට තරඟයක් නෙමේ. අපි කොහොමත් ඉදිරියෙන් ඉන්නවා. දැන් පොහොට්ටුවත් කඩා වැටිලා, එක්සත් ජාතික පක්ෂයත් කඩාවැටිලා, ඒකේ පිරිස් මාලිමාවට ගිහින් තියෙනවා. ඒක විශාල අභියෝගයක් නෙමේ.

ඔබලාගේ ඡන්ද අඩුවීමක් වෙලා ඒවා මාලිමාවට ගිහින් නැද්ද?

කිසිසේත් නෑ. අපේ අඩුවීමක් නෑ. අපේ පාක්ෂිකයෝ අපි එක්ක ඉන්නව වගේම, අලුත් ඡන්දත් අපිට එකතු වෙලා තියෙනවා.

මේ වෙද්දී පොහොට්ටුවත් අලියත් එකතුවෙලා එක මේසෙකට ඇවිල්ලා තියෙනවා. මේක ඔබලාට තරමක අභියෝගයක් නේද?

ඔය දෙගොල්ලොම මේ වෙද්දී පරාජිත කණ්ඩායම්. ගිය මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනතාව ප්‍රතික්ෂේප කළා. පොහොට්ටුව මැතිවරණයකට පෙර ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ .ඉතිං එහෙම කණ්ඩායම් දෙකක් අපිට අභියෝගයක් වෙන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ මහතා බලයේ ඉන්න විවිධ උප්පරවැට්ටි කරනවා. එහෙම එකක් තමා මේ සන්ධාන ගත වීම.

මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත්, මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාත් ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්න තීරණය කරලා. ඔබේ නායකයත් ඉන්නවා ඒ තරගයෙම. ඊළඟ ජනාධිපතිවරණය ලේසි නෑනේ?

ඒ දෙන්නම ප්‍රතික්ෂේප කරපු නායකයෝ. ඒ දෙන්නටම ජනතාව විරුද්ධයි. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ මහ බැංකු කතා කිව්වේ අපි නෙමේ පොදුජන පෙරමුණු පක්ෂය. එතුමා 13 ගෙනල්ලා දෙමළ ජනතාවගේ ඡන්ද ගන්න උත්සාහ කරනවා. ඒක කරන්න එතුමාට බෑ. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජාතිවාදය අවුස්සලා ඡන්දය ගන්න හදනවා. ඒත් මේ රටට ඕන සියලු ජාතිකයන් සමඟ ඉන්න ඕනෑම කෙනෙක්ට ඇහුම්කන් දෙන කෙනෙක්. එහෙම නායකයෙකුට ඉන්නේ අපේ නායකයා. ඒ නිසා අපේ නායකයා දිනන එක ගැන සැකයක් නෑ.

අනුර කුමාර සහ ඔහුගේ මාලිමාව එතකොට?

පහුගිය මැතිවරණයේ ලක්ෂ 55 අපේ නායකයා ගන්නකොට, මාලිමාව ගත්තේ ලක්ෂ හතරහමාරක්, රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තේ ලක්ෂ දෙකහමාරක් විතරයි.

මාලිමාවට රැල්ලක් තියෙනවනේ?

මෙහෙමයි. වාමාංශික ව්‍යාපාරවලට මේ රටේ යන්න පුළුවන් දුරක් තියෙනවා. ඒ අයට මීට කලිනුත් සෙනඟ හිටියා. රුස්වීම්වලයි, පෙළපාලිවලයි. ඒත් කවදාවත් දින්නේ නෑ. පොඩි ෂෝ එකක් විතරයි සමාජ මාධ්‍යයේ දාන්නේ.

රණසිංහ ප්‍රේමදාස මහත්තයා 13 ක්‍රියාත්මක කළේ නෑ. ඔහු ඊට එකඟ වුණේ නැති නිසා. ඔහුගේ පුතා ඔබේ වර්තමාන නායකයා. ඔහු ජනාධිපතිවරයා මෙවර ගෙනාපු යෝජනාවට එකඟ වෙයිද?

13 පාර්ලිමේන්තුවට ගෙනාවේ ප්‍රේමදාස මහත්තයා. ඔහු විරුද්ධ වුණේ නෑ. යම් යම් කාරණා එක්ක සංවාද කළා එතුමා. ඒ වගේ සජිත් ප්‍රේමදාස මහත්තයත් බලය බෙදීමට විරුද්ධ නෑ. ඒ ගැන සංවාද කරන්න, කතා බහ කරන්න එතුමා සහභාගි වෙනවා. එතුමා ස්ථාවරයේ ඉන්නවා. හැබැයි මේ මිනිස්සු හත් අටදාහක් මරපු, රාජ්‍ය ආයතන විනාශ කරපු බලය බෙදීම එපා කිව්ව අයත් අද බලය බෙදීමට කැමැති වෙලා. ඇත්ත මොකක්ද කියලා අපි දන්නේ නෑ.

මාලිමාවේ අය කියන්නේ බලය බෙදීම අලුත් ව්‍යාස්ථාවක් හරහා සිද්ධ කරනවා කියලා?

බලය බෙදීම හරි, අලුත් ව්‍යවස්ථා ගේන එක හරි කියන්න පුළුවන්. හැබැයි ඒ අයට බලය එන්න එපැයි. එහෙම නැතුව ඉතිං ඕන දෙයක් කරන්න පුළුවන්.

මේ මැතිවරණය කරලා කිසිම තේරුමක් නෑ. ආණ්ඩු මාරු කරන්න බෑ කියලා ආණ්ඩුවෙන් කියනවා. ඒ නිසා මුදල් වියදම් කරන එක අපරාධයක් කියලා?

මෙහෙමයි. ජනතාව ඉන්නේ ඉතාම පීඩනයෙන්. එහෙම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි මැතිවරණය කියන්නේ. එහෙම මැතිවරණයක් නැති කරන්න බෑ. අනික මේ වෙද්දී බාගෙට බාගයක වැඩ ඉවරයි ඡන්ද වැඩවල. සල්ලි නෑ කියන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට. ජනතාවගේ මුදලින් නඩත්තු වෙන රට ආණ්ඩුවකට ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න අයිතියක් නෑ. මේ වෙද්දී කොළ මුද්‍රණය කරලා, කොමිසම ගැසට් ගහලා ඉවරයි. තව පොඩි මුදලයි වියදම් කරන්න තියෙන්නේ.

ඔබලාගේ ආණ්ඩුවක් ආවොත් ජනතාවගේ ජීවන බර අඩුකරන්න පුළුවන් වෙයිද?

මම හිතන්නේ පළවෙනියටම කරන්න ඕන ජනතාව ජීවත් කරවන එක. අද ජනතාවගෙන් බාගයක් විතර තුන් වේල කන්නේ නෑ. බෙහෙත් ටික නෑ. තෙල් ටික දෙන්න බෑ. ගල් අඟුරු ටික ගන්න බෑ. මේ ගෙනියන්නේ අසාර්ථක පාලනයක්. අපේ ආණ්ඩුවකදී මේ සියල්ල වෙනස් කරනවා.

අවසාන වශයෙන් අහන්නේ, එන්න එන්න කට්ටිය අයින්වෙලා යනවා. පහුගියදා වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයත් අයින් වුණානේ?

ඒක පොඩි ප්‍රශ්නයක්. එතුමා තේරුම් අරගෙන නෑ ප්‍රශ්නය. දැන් එතුමා තේරුම් අරන් තියෙනවා ප්‍රශ්නය. දැන් සියල්ල හරි.

I ගයාන් ගාල්ලගේ