දයාසිරි ජයසේකර - පාර්ලිමේන්තු මන්ත්‍රී මහලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
♦ රනිල් එක්ක රාජපක්ෂලා එක්ක ඩීල් දාන අයට මාව හිසරදයක් වෙලා
♦ ජනාධිපතිතුමා ඇත්ත කතාව කියලා තියෙනවා
♦ අපි ජනතාවට කියන්නේ පරණ රැලිවලට ඡන්දෙ දෙන්න එපා කියලා
♦ මාලිමාවේ රැල්ල දැන් තිබෙන්නේ බහින කලාවේ
අපිට අහන්න ලැබෙන දෙයක් තමා පක්ෂය ඇතුළේ යම් බෙදීමක් තියෙනවා කියලා. ඔබත් තිලංග සුමතිපාලත් එක කණ්ඩායමක් වෙලා පක්ෂය ඔබලට ඕන විදිහට මෙහෙයවනවා කියලා. ඇත්තද ඒක?
කිසිම ප්‍රශ්නයක් නෑ. අපෙන් ඉවත්වෙලා එළියේ ඉන්න කණ්ඩායමකට ප්‍රශ්නයක් හදන්න උවමනා වෙලා තියෙනවා. අන්න ඒ අයට තමයි මේ ප්රශ්නය ඇති කරන්නේ.
මොකක්ද ඒ අයට ප්‍රශ්නයක් හදන්න තියෙන උවමනාව. පක්ෂයෙන් ඉවත්වෙලා ගියාම ආයේ මොකටද ප්‍රශ්න හදන්නේ?
දැන් ඒ අයට ප්‍රශ්නයක් හදපුවමනේ පක්ෂය තව තවත් අවුලෙන් අවුලට පත් කරන්න පුළුවන් වෙන්නේ. එළියේ ඉඳලා ඇතුළේ අයට විවිධ කටකතා පතුරවමින් පුවත්පත්වලට ප්‍රකාශ දෙනවා ඒ අය.
කතා කරන බහුතරය නොකියා කියන්නේ දයාසිරි ජයසේකර තමයි පක්ෂයේ හිසරදය කියලා. මොකද ඒ?
ඔව්.. දයාසිරි ජයසේකර හිසරදයක් වෙලා තියෙන්නේ. දයාසිරි ජයසේකර පක්ෂය හදන්න මහන්සි වෙනවනේ. හදන්නේ නැතුව මේක අනාථ කරලා දැම්මා නම් ඒ අයට හරිම සන්තෝසයි. ඒ අයට ඉන්න කල් රනිල් එක්ක එක ඩීල් එකක් රාජපක්ෂලා එක්ක එක ඩීල් එකක් එහෙම තියාගෙන ඉන්න පුළුවන්නේ. මොකද අපේ කකුල් දෙක එක තැන තියෙන්නේ.
ඔබ ගන්න දැඩි තීන්දු නිසාද මේ තත්ත්වය ඇතිවෙන්නේ?
දැඩි තීන්දු කියන්නේ අපි කකුල් දෙක දෙපැත්තක තියාගන්නෙ නැතුව එක තැනක තියාගෙන ඉන්නවා. එච්චරයි. එළියට බැහැලා ගිය අයට ප්‍රශ්නයක් තියෙනවා පක්ෂය ගොඩනැගෙයි කියලා. පක්ෂය කඩාකප්පල් කරන්න ඒ අයට තියෙන්නේ දයාසිරි ජයසේකර එළවලා දාන එක. ගිය අයගේ අරමුණ එක.
ආණ්ඩුව මැතිවරණය තියන්න වැඩි කැමැත්තක් නෑ වගේ. එහෙම තිබ්බෙ නැත්නම් මොකද කරන්නේ?
ඊළඟට අපි ක්‍රියාමාර්ගය ගන්නේ ජනතාව එක්ක. එතකොට බලමු.
ආණ්ඩුව කියන්නේ මැතිවරණය තියන්න සල්ලි නෑ කියලා. ඒකෙ යම් සාධාරණයක් තියෙනවා නේද?
සාධාරණයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් මේකෙන් අහිමි වෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය. ලෝකේ කොහෙවත් ඡන්දය තියන්න සල්ලි නෑ කියලා කල් දාන්න බෑ. මැතිවරණය තියන්න අවශ්‍ය ප්‍රතිපාදන දෙන එක ආණ්ඩුවේ වගකීමක්.
ඔබ කියන්නේ මේ මැතිවරණය නැති වුණොත් අනෙක් මැතිවරණත් නැති වෙයි කියලද?
ආණ්ඩුවේ ආදායම් මාර්ග සක්‍රීය වෙනතුරු කිසිම දේකට සල්ලි දෙන්න බෑ කියලනේ ආණ්ඩුවෙන් කියන්නේ. එහෙම බැලුවම සක්‍රීය වෙන්නේ කවද්ද, ආදායම් වැඩි වෙන්නේ කවද්ද කියලා හරියට තොරතුරක් නෑනේ. ඒක නිසා අනෙක් මැතිවරණත් කල් දාන්න පුළුවන්.
එදා ඔබ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළා. මොකක්ද හේතුව?
පසුගිය මාස හයක කාලය තුළ එතුමා පාර්ලිමේන්තුව දෙපාරක් කල් තැබුවා. ඒ නිසා කමිටු අහෝසි වෙනවා. න්‍යාය පුස්තක අහෝසි වෙනවා. තනතුරු අහෝසි වෙනවා. අයේ මන්ත්‍රී යෝජනා දාන්න ඕන. එහෙම කල් දාපුවම වෙන්නේ ආයේ මුල ඉඳලා වැඩ කරන්න වෙනවා. වියදමත් වැඩියි. කාලය, මේ සියල්ල අපරාදේ.
ඔබ එළියෙදි හරි ජනාධිපතිවරයගේ කතාව අහන්න ඇතිනේ. ඇහුවද?
කතාව ගැන තියෙන්නේ මට හොඳ අදහසක්. එතුමා සත්‍ය කතාව කියලා තියෙනවා. අවුරුදු ගාණකට කලින් කියන්න ඕන කතාවක් තමා එතුමා කරලා තියෙන්නේ. නමුත් කරන්න ඕන කතාව එතුමා කරලා තියෙනවා. යම්කිසි දැක්මක් එතුමට තියෙනවා කියන එක ඒ කතාවෙන් පේනවා.
මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා හදිසියේ තීන්දු කළා ඡන්දය ඉල්ලන්න. ඒක පක්ෂයේ තීන්දුවක්ද? එතුමගේ තීන්දුවක්ද?
නෑ.. තවම පක්ෂයක් හැටියට අපි ඒ ගැන කතා කරලා නෑ. එතුමට නැවත ඉල්ලන්න අයිතියක් තියෙනවා. එතුමා ඉතාම හොඳට පාලනය කළා. ඒත් එතුමව සංවිධානාත්මක ලෙස විනාශ කළා. හැබැයි එතුමා හොරෙක්වත් වංචාකාරයෙක්වත් නෙමේ. එතුමට සම්පූර්ණ අයිතිය තියෙනවා ඉල්ලන්න.
ඇයි මේ හිටපු ජනපතිවරුම බලයට ගේන්න යන්නේ. ඔබලට බැරිද රටේ නායකයෝ වෙන්න?
ඒක ඉතින් අනාගතයේ තීරණය වෙයි. දැන්ම අපිට ඒවා කියන්න බෑ. කොහොම වුණත් මෛත්‍රීපාල මහත්තයට දෙවැනි වතාවක් ඉල්ලීමේ හැකියාව තියෙනවා.
මාලිමාවට රැල්ලක් තියෙනවා. ඒක ඔබ පිළිගන්නවද?
ඔව් රැල්ලක් තිබුණා. ඒත් ඒක දැන් ඉවරයි. මොකද ඒ අයගේ ඒ වර්ධනය තිබුණෙ අනෙක් පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත නොවුණු නිසා. ඒත් දැන් ඒ පක්ෂත් පටන් අරන් තියෙනවා. දැන් ඒ අයගේ අර රුල්ල බැහැගෙන යන්නේ. ඒ අය රැස්වීම් කළේම කවුරුත් දේශපාලනය නොකරන මොහොතක. ජනතාවට කියන්න තියෙන්නේ පරණ රුලි වගේ රුලිවලට ඡන්දය දෙන්න එපා. හිතලා දෙන්න. ප්‍රාදේශීය සභාවට ගිහින් වැඩ කරන්න පුළුවන් අය නෙමෙයි ජාතික ජන බලවේගයේ ඉන්නේ. අනික ඉන්න ගොඩක් අය පොහොට්ටුවේ අය. මොකද කට්ටිය නැතිවුණු නිසයි දාලා ඉල්ලුවේ. ඒ නිසා ජනතාව හොයලා බලලා දෙන්න.
I ගයාන් ගාල්ලගේ