2023 පෙබරවාරි 12 වන ඉරිදා

ඡන්දෙකට හිරවුණු රටක්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 75

පුංචි ඡන්දය පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතභාවය දුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සිකුරාදා (10) ප්‍රකාශයට පත් විය. එම තීන්දුවට අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය පිළිබඳ තීන්දු ගැනීම පැවරෙයි. ඒ අනුව නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුය.

පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ 20 වැනිදාට ප්‍රථමව පවත්වා අවසන් කොට සියලු මන්ත්‍රීවරුන්ද පත් කර තිබිය යුතු වෙයි. 19 වැනිදා පළාත් පාලන ආයතනවල ආයු කාලය අවසන් වන බැවිනි. ඒ අනුව රටේ සියලු පළාත් පාලන ආයතන මාර්තු 20 වැනිදායින් පසුව ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

කෙසේ වුවද පළාත් පාලන ඡන්දය පැවැත්වූවා කියා මේ රටේ ජන ජීවිතයේ කිසිදු වෙනසක් සිදුවෙන්නේ නැත. මේ ඡන්දයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළත් එයින් ආණ්ඩුව වෙනස් වන්නේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ හෝ නැත. එහෙත් රටේ ඉදිරි දේශපාලනයේ හැරවුම සම්බන්ධයෙන් එම ප්‍රතිඵලය ප්‍රබල සංඥාවක් නිකුත් කරනු ඇති බව සඳහන් කළ යුතුය.

මේ රටේ පළාත් පාලන ආයතන සංඛ්‍යාවෙන් 341 කි. එහෙත් ඡන්දය පැවැත්වීමට නියමිතව ඇත්තේ ආයතන 340 ක් සඳහා පමණි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නීතිමය ගැටලුවක් හේතුවෙන් එහි ඡන්දය පසුව වෙනම පැවැත්වෙනු ඇත. අදාළ ආයතන 340 සඳහා මන්ත්‍රීවරුන් 8000 කට අධික සංඛ්‍යාවක් තෝරා පත් කරගනු ලැබීමට නියමිතය.

එසේ ඡන්දය පවත්වා අවසාන වීමෙන් පසුව මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබේ යැයි බලාපොරොත්තු වීම නම් විහිළුවකි. එම ආයතන පිහිටුවීම ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන වැඩට රුකුලක් වන බව සැබෑය. එහෙත් තෝරා පත් කරගනු ලබන සියලු මන්ත්‍රීවරුන් ජනතාවගේත් තමන්ගේ කොට්ඨාසයේත් යහපත සඳහා වැඩ කරනු ඇති බවට කිසිදු සහතිකයක් නැත. මේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ''අසූවයි විස්සේ'' වැඩට දක්ෂයන් බව සාමාන්‍ය ව්‍යවහාරයේ කතාවයි. එහි අර්ථය තමන් ලබාගන්නා කොන්ත්‍රාත්තුවේ වටිනාකමින් 80% ක වැඩක් සිදු කර ඉතුරු 20% සාක්කුවේ දා ගැනීමය. එය පසු කාලයක අනෙක් අතට ද ක්‍රියාත්මක වූ බවට ද චෝදනා එල්ල විය. එනම් 80% ක් සාක්කුවේ දමාගෙන 20% කින් වැඩේ ඉවර කිරීමය. කාපට් දැමූ පාරවල් කොටස් එක වැස්සකින් පදාස පිටින් ගැලවී යන්නේ එවැනි වැඩවල ප්‍රතිඵලයක් හැටියටය. එසේම අලුතෙන් හදන කාණු, බෝක්කු එක වැස්සට උතුරා පළාතම යටවෙන්නේත් ඒ හේතුවෙනි. මහ වැස්සට ජනාකීර්ණ කඩමණ්ඩි සහ නගරවල ඇතැම් ස්ථාන වැසි වතුරෙන් යටවෙන්නේ අනවසර ඉදිකිරීම් හමුවේ පුංචි මන්ත්‍රීලා අහක බලාගෙන සිටීමේ ප්‍රතිඵලයක් හැටියටය. එවැනි ඉදිකිරීම්වලින් පුංචි මන්ත්‍රීලාට අයත් වන වාසි දන්නේ ඔවුන්ම පමණි.

පවතින ක්‍රමය ගැන ජනතාව කොතරම් කලකිරී සිටියත් ඡන්දය පැවැත්වූ පමණින් තම ගැටලු නොවිසඳෙන බව දැන සිටින ඔවුන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කෙරෙහි උනන්දුවක් දක්වන බව මේ දිනවල පැහැදිලිව පෙනේ. එයට විවිධ හේතු තිබිය හැක. එයින් ප්‍රධාන හේතුවක් වන්නේ ඡන්දය තමන්ගේ අයිතියක් බැවින් එම අයිතිය කිසිවකු විසින් පැහැර නොගත යුතු බවට ඔවුන් තුළ පවතින විශ්වාසයයි. කවුරුන් ජයග්‍රහණය කළත් නිසි කලදී ඡන්දය පැවැත්විය යුතු බවට ජනතාව තුළ පවතින විශ්වාසයට කාටත් හරස් විය නොහැක. මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ වසරකින් කල් දමන ලද ඡන්දයක් බැවින් එය තවදුරටත් කල් දැමීම කිසිවකුත් අනුමත නොකරන බවත් පැහැදිලිය. මේ නිසා කුමන අපහසුකම් මැද වුවද ඡන්දය පවත්වනු දැකීමට ඔවුන් ඇකැමැති නොවනු ඇත.

අපේ රටේ මෑතකාලීන මැතිවරණ ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට පෙනී යන්නේ මෙවර පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට තරම් බාධක ඇති කළ වෙනත් මැතිවරණයක් නොතිබූ බවය. මීට පෙර යුද්ධ කාලයේත්, දකුණේ භීෂණ කාලය තුළත් ඡන්දය පැවැත්විණි. දැන් යුද්ධයක් නැත. භීෂණ කාලයකුත් නැත. එසේ නම් ඡන්දය පැවැත්වීමට මේ තරම් බාධක ඇති කිරීම යුක්ති සහගත දැයි අසන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඡන්දය පැවැත්වීමට විරෝධය දක්වන පිරිසට පිළිතුරක් තිබිය යුතුය.
මේ අවස්ථාවේ ඡන්දයක් අවශ්‍ය නැතැයි කියන මතය වෙනුවෙන් පෙනී සිටින අය ප්‍රකාශ කරන්නේ ඒ සඳහා මුදල් නැති බවය. මුලින් රටේ ප්‍රශ්න විසදා පසුව මැතිවරණය පැවැත්විය යුතු බවය. එය කොතරම් දුරකට සාධාරණ තර්කයක් දැයි පැවසීමට අයිතිය ඇත්තේ රටේ ජනතාවට පමණි.