උදය ප්‍රභාත් ගම්මන්පිල - (පාර්ලිමේන්තු මන්ත්‍රී - පිවිතුරු හෙළ උරුමයේ නායක)
♦ අපි තමයි ආණ්ඩු විරෝධී අරගලය පටන් ගත්තෙ
♦ ජනතාවට ඇත්ත කීම සමහරුන්ට කුමන්ත්‍රණයක්
♦ ජනතාව කේන්තිය පිට කරන හොඳම ක්‍රමය තමයි ඡන්දය
♦ රජයට සල්ලි සොයන්න ක්‍රම තුනක් තියෙනව
මේ වෙද්දි මැතිවරණ යාන්ත්‍රණය ඇණහිටලා තියෙන්නෙ. සමහර අය මැතිවරණයක් එපා කියනවා. ආණ්ඩුව කියනවා සල්ලි නෑ කියලා. තවත් අය මැතිවරණය ඕන කියනවා. ඔබ නීතිඥයකු හැටියට මේ වෙලා තියෙන දේ ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ආණ්ඩුව ඡන්ද නොතියා ඉන්නෙ සල්ලි නැති නිසා නෙමේ, ආණ්ඩුවට ඡන්ද නැති නිසා. ඒ නිසා මැතිවරණය පරාජය වන බව දන්න නිසා.
ඔබ කියන්නෙ ආණ්ඩුවට මුදල් ප්‍රශ්න නෑ කියලද?
මේ මොහොතේ රටේ ආර්ථික අවුලක් තියෙන එකත්, ආණ්ඩුවට සල්ලි නැති එකත් ඇත්ත. ඒත් මැතිවරණය කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්.
ඇයි මේ වෙලාවේ මැතිවරණයක් අත්‍යවශ්‍ය?
මෙහෙමයි. බදු බර වැඩිවෙලා නිසා මධ්‍යම පන්තිය ඉන්නෙ ඉතාම කලකිරීමෙන්. ජීවන වියදම දරාගන්න බැරුව සාමාන්‍ය ජනතාව ඉන්නෙ පීඩනයකින්. ඒ අයගේ තියෙන කේන්තිය, කලකිරීම සාමකාමීව පිටකර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මැතිවරණයකදි ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීම.
ඒ අවස්ථාව නොදුන්නොත් ජනතාවගේ පීඩනය වැඩි වෙයිද?
ඔව්. එහෙම වුණොත් ජනතාවගේ පීඩනය පිට කරන්නෙ අවි ආයුධවලින්, දේපළ විනාශ කිරීමෙන්. එහෙම වුණොත් මේ රට ආයේ ලේ විලක් වෙනවා. මේ ඡන්දය නොතියන්නෙ පළාත් පාලන ආයතන පොහොට්ටුවට අහිමි වෙයි කියලා බයෙන්. එහෙම නොවුණොත් වෙන්නෙ ජනාධිපති ධුරයයි, පාර්ලිමේන්තුවයි පොහොට්ටුවට අහිමි වීම. මැතිවරණය නොතියා හිටියොත් ආණ්ඩුවේ පැවැත්ම ඉවරයි.
මුදල් නැත්තම් ඡන්දය තියන්නෙ කොහොමද?
තියෙනවා ක්‍රම තුනක්. අධිකරණයෙන් නියෝගයක් ගන්න ඕන මුදල් අච්චු ගසා හෝ ඡන්දය තියන්න කියලා. ඒ සඳහා නීති උපදෙස් ගන්න ඕන. ආණ්ඩුව දවසට රුපියල් බිලියන 15ක් වියදම් කරනවා. ඒත් ඡන්දයට අවශ්‍ය බිලියන 9 යි. එහෙනම් මැතිවරණය සඳහා අවශ්‍ය වෙන්නෙ ආණ්ඩුවෙන් දවස් භාගයක වියදමක්. අනෙත් එක පසුගිය කාලේ ආණ්ඩුව එක දවසකට බිලියන 7 ක් මුද්‍රණය කරලා තියෙනවා. එහෙම සල්ලි මැතිවරණයට කොමිසමට දුන්නත් හරි. එහෙම නැත්නම් කොමිසමට පුළුවන් නිශ්චිත කාලයක් කල් දාලා ආණ්ඩුවේ දෛනික වියදමින් 1% ක් දවස ගානේ කොමිසමට ගන්න. එතකොට දින 45ක් යනකොට කොමිසමට අවශ්‍ය මුදල ලැබිලා තියෙනවා. තුන්වැනි ක්‍රමය වන්නෙ මැතිවරණයට ආධාර සපයන ජාත්‍යන්තර සංවිධාන තියෙනවා. අන්න එහෙම සංවිධානයකින් ආධාර ගන්න ඕන. ඔය ක්‍රම තුන මේ අවස්ථාවේ තියෙනවා.
ආණ්ඩුවේ ඇතැම් අය කොමිසමේ නිලධාරින්ගේ රාජකාරිය ගැන ප්‍රශ්න කරනවා. ඔබ දකින්නෙ කොහොමද ඒ නිලධාරින්ගේ රාජකාරිය?
ආණ්ඩුව විසින් මේ පාර අයවැයෙන් ඡන්දයට රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කරලා තියෙනවා. අන්න ඒ මුදල ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් තමයි කොමිසම ඡන්දය කැඳෙව්වේ. මේ මුදල අයවැයෙන් වෙන් කළේ වර්තමාන ජනාධිපතිවරයත්, මුදල් අමාත්‍යවරයත් සිටියදී. එහෙම නම් ඒ මුදල දැන් දෙන්න බැරි නම් ඇයි එවැනි බොරු අයවැයක් ඉදිරිපත් කළේ. ඒ නිසා වරදක් වෙලා තියෙනවා නම් ඒ කොමිසමෙන් නෙමෙයි, බොරු අයවැයක් ඉදිරිපත් කරපු මුදල් ඇමැති ජනාධිපතිවරයගෙන් වෙලා තියෙන්නෙ.
ගොඩක් අය ප්‍රශ්න කරනවා ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඔබලා මේ හදලා තියෙන සන්ධානය අවසානයේ රාජපක්ෂවරු බලයට ගේන්න හදපු වැඩක් කියලා?
ඇත්තටම ඔබ අහපු ප්රශ්නය නිවැරදි කරන්න ඕන. අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට ඇවිත් ඡන්දය ඉල්ලනවා නෙමේ. අපිව ආණ්ඩුවෙන් ඉවත් කළා. ඉවත් කළේ ලක්ෂ 69 ක ජනතා අභිලාශයන් වෙනුවෙන් ආණ්ඩුවේ ඉඳලා අරගලයක් කරපු නිසා සහ විපක්ෂයට වඩා අපිව හිසරදයක් වෙච්ච නිසා. 20 වැනි සංශෝධනය වෙනුවෙන් අපි සටන පටන් ගත්තේ 2020 අගෝස්තු 5 වැනිදා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා දවස් 15 යි. ලක්ෂ 69 ක ඡන්දයක් අරන් මාස 8 යි. විපක්ෂය නිදිකිරා ඉන්නකොට තමා අපි කුළුඳුල් ආණ්ඩු විරෝධී අරගලය පටන් ගන්නෙ. නැඟෙනහිර ජැටිය විකුණන්න ගිහිල්ලත් එහෙමයි. ඒ නිසා අපි තමයි ආණ්ඩුවට එරෙහි සැබෑ විපක්ෂය. අපිව ආණ්ඩුවෙන් ඉවත් කළේ හිසරදරයක් වුණු නිසා. ඒ නිසා කවුරු පොහොට්ටුව එක්ක එකතු වුණත් පොහොට්ටුව සමඟ එකතුවීමේ අඩුම ඉඩකඩක් තියෙන්නනෙ අපේ කණ්ඩායමට.
පසුගිය ආණ්ඩුවේ ප්‍රශ්න ඇති කළේ ඔබ කියලා සමහර ඇමැතිලා කියනවා?
මෙහෙමයි. ආණ්ඩුවේ ඉඳලා ජනතාවට ඇත්ත ඇති සැටියෙන් කීම තමයි ඔය කුමන්ත්‍රණ කියලා කියන්නෙ. එදා මම කිව්ව දේවල් අද වෙලා තියෙනවා. එදා මේ දේ වෙන්න කලින් මම ගත යුතු පියවර කිව්වා. ඒක අද වෙලා තියෙනවා. ජනතාවට ඇත්ත කියන එක කුමන්ත්‍රණයක් වෙන්නෙ කොහොමද? අනික අද ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ රුසක සංකල්පය මමයි හැදුවේ.
අවසාන වශයෙන් අහන්නෙ ඔබලට කොහොමද ජනතා පිළිගැනීම?
මෙහෙමයි. ජනතාවට ඇත්ත කිව්වේ අපි. ඒ වගේම අනතුර ගැන දැනුවත් කළේ අපි. ඒ කිව්ව නිසා ආණ්ඩුවෙන් අපිව ඉවත් කළා. ජනතාව දන්නවා විපක්ෂයේ කාර්යය කළේ සහ කරන්නෙ අපි තමයි කියලා. ඒ නිසා ජනතාව අපි ගැන ලොකු විශ්වාසයක ඉන්නෙ. ඒ විශ්වාසය වෙනුවෙන් අපි කටයුතු කරනවා.
I ගයාන් ගාල්ලගේ