සති ගාණක් තිස්සේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් කරනු ලැබ තිබූ විදුලි බිල ඉහළ නැවීමේ සටන පාරිභෝගිකයන්ට පරාජය අත්කර දෙමින් අවසන් වී තිබේ. ඒ අනුව රටේ අඩුම විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන (ඒකක 01 සිට 30 දක්වා) මාසික විදුලි ගාස්තුව රුපියල් 214 ක සිට රුපියල් 753 ක් බවට පත් කර ඇතැයි කියති. එහි ඉහළ යාමේ ප්‍රතිශතය 251% කි. එහෙත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දිගින් දිගටම ප්‍රකාශ කළේ විදුලි ගාස්තුව ඉහළ යනු ඇත්තේ 66% කින් බවය. එය එසේ නොවන බව ඒකක ප්‍රමාණ අනුව ගාස්තු වැඩිකර තිබෙන ප්‍රමාණය අනුව පැහැදිලිය.
විදුලි ගාස්තුව වැඩි කළ යුතු බවට යෝජනා වූ අවස්ථාවේ ලොකුම කඹ ඇදිල්ල ඇතිවුණේ විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිසමත් අතරය. විදුලිබල මණ්ඩලය දිගටම කියා සිටියේ ගාස්තු වැඩි කිරීමකින් තොරව විදුලිය උත්පාදනය පවත්වාගෙන යාම සිදු කළ නොහැකි බවය. ගාස්තු වැඩි කිරීමට ඉඩ නොදෙන්නේ නම් පැය ගණනාවක් දක්වා විදුලි කප්පාදුවකට සූදානම් වන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ජනතාවට කළ ප්‍රකාශය සමහරුන් දැක්කේ තර්ජනාත්මක ප්‍රකාශයක් වශයෙනි. අඩුම තරමින් උසස් පෙළ සිසු දරුවන්ටත් ඔවුන්ගේ මවුපියන්ටත් සහන සැලසීමක් වශයෙන් රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුවෙන් වළකින්නැයි කළ ඉල්ලීමටද අමාත්‍යාංශයේ ප්‍රතිචාරයක් නොවීය. එය උසාවිය දක්වාම ඇදී ගියත් උසස් පෙළ විභාගය දිනවල විදුලි කප්පාදුව නැවතුණේ නැත.
එහෙත් විදුලි බිල වැඩි වූ වහාම කප්පාදුවට තිත තැබිණි. මාධ්‍ය හමවකදී ඒ බව ප්‍රකාශ කළේ විදුලිබල අමාත්‍යවරයා විසිනි. වැඩි කළ විදුලි බිල අය කිරීමටත් පෙර මෙසේ විදුලි කප්පාදුව නැවැත්වීමට හැකි වූයේ කුමන ප්‍රාතිහාර්යයකින් දැයි අපි නොදනිමු. කෙසේ හෝ විදුලිය කැපීම නැවැත්වීම නරක නැත. නමුත් දිනකට පැය 02 කුත් විනාඩි 20ක් විදුලිය ඇන හිටවනු ලැබුවේ ගල්අඟුරු සහ තෙල් සඳහා වැය වන අධික මිල හේතුවෙන් සහ ගල්අඟුරු ගෙන්වා ගැනීම ප්‍රමාද වීම නිසා බව රජයේ බලධාරීන් දිගටම දැරූ ස්ථාවරය විය. 66% ක විදුලිය බිල නැංවීමට අනුමැතිය ලැබුණු ගමන් ඒ සියලු අවහිර, බාධා මගහැරී තිබේ. එය සැබැවින්ම ප්‍රාතිහාර්යයක් නොවේද?
විදුලි බිල මේ තරමට නංවනු ලැබුවේ ආණ්ඩුව බලාපොරොත්තු වන අයි.එම්.එෆ්. ණය ලබාගැනීමේ කොන්දේසියක් වශයෙන් බව යථාර්ථයයි. එසේ නොවුණද ශ්‍රී ලංකාව විදුලිය උත්පාදනය සඳහා වැය කරන අධික වියදම කෙසේ හෝ කළමනාකරණය කර ගත යුතුව තිබිණි. එය මේ රටේ ආර්ථිකයේ කඩා වැටීමට බලපෑමක් සාධකයක් විය. නමුත් ඒ තත්ත්වයට වගකිව යුතු වන්නේ රටේ අහිංසක විදුලි පාරිභෝගිකයන් නොවේ. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය පිළිබඳ කිසිදු අනුග්‍රහයක් නොදැක්වූ දේශපාලනඥයන් හා විදුලිබල මණ්ඩලයේ සිටි ඇතැම් ඉහළ නිලධාරීන් ද විදුලිය නිෂ්පාදන අවශ්‍යතා මත පදනම් වෙමින් නිසි කලට නිසි පියවර නොගත් මෙතෙක් බලයට පත් ආණ්ඩු සියල්ලමද මේ තත්ත්වයට වගකිව යුතුය. නමුත් අවසානයේ එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ පාරිභෝගිකයාටය.
විදුලිය නිෂ්පාදනයට දැරීමට සිදුවන පිරිවැය අධික වනවිට විදුලිය ඒකකයට අය කරන ගාස්තුව ඉහළ යාම බලාපොරොත්තු විය යුතුය. විදුලිය නිෂ්පාදනයට අධික මුදලක් වැයවීම පිළිබඳ මීට පෙර බලයේ සිටි ආණ්ඩුවල මැති ඇමැතින්ද මණ්ඩලයේ නිලධාරීන්ද කොතරම් සාකච්ඡා පැවැත්වුවත් ඒ කිසිවක් පල නොදැරූ නිෂ්ඵල කතා බවට පත්ව තිබේ. රටේ ආර්ථික කඩා වැටීමත් සමඟ ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇත්තේ පහසුම විසඳුමය. එනම් පාරිභෝගිකයාගේ බෙල්ල මුලටම සිර කිරීමය. අධික ජීවන බරකින්ද බදු ගෙවීම්වලින්ද කර මුලට සිරවී සිටින පොදු මහජනතාවගෙන් මෙවර ඉතා ඉහළ ප්‍රතිශතයක් වැඩි කිරීමත් සමඟ ඔවුහු කබලෙන් ලිපට වැටී සිටිති. ඔවුන්ට සහන සැලසීමක් ගැන කතා කළත් එය තෙල් මිල වැඩි වූ විට පහර වදින පිරිසට සහන ලබා දීමට කරන කතාවලට දෙවැනි නැත. ඒ සියල්ල සීමා වන්නේ වචනවලට පමණි.
මාස 06 ක් ඇතුළත විදුලි බිල ඉහළ ගිය දෙවැනි වතාව මෙයයි. පළමු වතාවේදී 76% කින් ඉහළ ගිය බිල මෙවර තවත් 66% කින් ඉහළ නංවා තිබේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දිගටම කියා සිටියේ තමන් අනුමැතිය ලබා දෙන්නේ 36% ක වැඩිවීමක් සඳහා පමණක් බවය. එහෙත් ආණ්ඩුව කොමිසමේ සාමාජිකයන් වෙනස් කර සභාපතිවරයා නොසලකා තීන්දුවක් ගෙන විදුලි බිල වැඩි කර තිබේ. මේ සිද්ධිය තුළ තිබෙන දේශපාලන කාරණා පාරිභෝගිකයාට අදාළ නැත. ඔවුන්ට දැනෙන සහ අදාළ එකම දේ පසුගිය 15 වැනිදා සිට තමන්ට දැරිය නොහැකි ආකාරයේ විදුලි බිලක් ලැබෙන බව පමණි.
තමන්ගේ අරමුණ ඉටු වූ බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාත් ආණ්ඩුවත් උදම් අනනු ඇත. මීට පෙර ද විදුලිය බිල කොතරම් වැඩි කළත් එයින් අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට කිසිදු ආණ්ඩුවක් සමත් නොවූ බවද මෙහිදී පෙන්වා දිය යුතුය. එසේ අපේක්ෂිත අරමුණු ඉටු වුණා නම් අපේ රටේ ආර්ථිකයට විදුලිය උත්පාදනය මහ ලොකු බරක් වන්නේ නැත. දැන් සිදුවී ඇත්තේ මෙතෙක් රටේ විදුලිය නිෂ්පාදනයේ සිදු වූ සියලු නාස්තිකාර ක්‍රියා, මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතාවල ප්‍රතිඵල පාරිභෝගිකයාගේ කරපිටින් යාමය. වැරදි කළ දූෂිත පුද්ගලයන් සහ දේශපාලකයන් සියලු වගකීම්වලින් නිදහස් වීමය.