2017 මැයි 27 වන සෙනසුරාදා

මැතිවරණ කොමිසමට වතුර නැතුව ගොඩ පීනන්න බෑ

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

- සභාපති මහින්ද දේශප්‍රිය

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ පළාත්පාලන මැතිවරණය කල්යාම හා ඒ හා බැඳුණු නෛතික පසුබිම සම්බන්ධයෙන් දේශය කළ සාකච්ඡාවයි.

දවසින් දවස කල්යන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සමහරැ ඔබ දෙසටත් ඇඟිල්ල දිගු කරනවා. ඔබ පවසන්නේ ඡන්දය පැවැත්වීමේ තීන්දුව ගත යුත්තේ රජය කියලයි. දැන් පවතින තත්ත්වය මොකද්ද?
ඡන්ද ප්‍රමාදය ආරම්භ වුණේ 2013 ජනවාරි 01 දා සිට. නව මිශ්‍රක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ පනත 2012 දී සම්මත වුණා. ඒ පනතත් සමඟ ජයලත් දිසානායක ජාතික සීමා නීර්ණ කමිටුව එවකට රජය පත්කළා. එහි කටයුතු සිදුවෙමින් තියෙද්දි 2013 මාර්තු මස මඩකලපුව පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණ නිසා එම මැතිවරණය පැවැත්වීමට මැතිවරණ දෙපාර්තුමේන්තුව සූදානම් වුණා. නමුත් සම්මත වූ පනත බලාත්මක කර නොතිබූ නිසා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ පළාත් පාලන අමාත්‍යවරයා සිය බලය යටතේ එම පනත බලාත්මක කළා. නමුත් පනත බලාත්මක කළත් කොට්ඨාස බෙදා නොතිබීම හේතුවෙන් අනුපාත ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට කොමසාරිස්ට පුළුවන් වුණේ නැහැ. සීමා නීර්ණය කටයුතු සඳහා එම කමිටුව වසර දෙකක කාලයක් ගත කරන විට සීමා නීර්ණය සම්බන්ධයෙනුත් විවිධ පැමිණිලි ලැබුණා. 2015 දී නව ආණ්ඩුවේ පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා එම පැමිණිලි විභාග කිරීමට නිලධාරි පිරිසක් පත්කළා. අවසානෙදි ජයලත් කමිටුව වාර්තාව ලබාදී ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළේ 2015 අගෝස්තු මාසයේදී.

මිනිස්සු බලාගෙන ඉන්නෙ ඡන්දය කොයි වෙලේද කියලා

මැතිවරණ කොමිසමේ ප්‍රධානියා ලෙස 2015 අගේස්තු මාසය වනවිට පළාත් පාලන මැතිවරණ පනත බලාත්මක වී සීමා නීර්ණ කටයුතුත් අවසන්ව තිබුණත් මැතිවරණයක් පැවැත්වීමට පියවර නොගත්තේ ඇයි?
පළාත් පාලන මැතිවරණය හා බැඳුණ තවත් කරුණක් තමයි පළාත් පාලන ආයතන පිහිටුවීම. එය පිහිටුවන්නේ මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනතින්. උප්පැන්න සහතික මෙන් නෛතික බලය ඇත්තේ ඒවාටයි. සභාවේ සීමාවන්, සභික සංඛ්‍යාව වැනි දේ එහි සඳහන්. මේ ගැසට් පත පළාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කළ යුතුයි. නමුත් ඒ වනවිටත් ගැසට් පත නිකුත්වී නොතිබුණ නිසා මැතිවරණය පැවැත්වීමට හැකි වුණේ නෑ. නැවත 2016 අංක 01 දරන පනතින් කාන්තා නියෝජනයක් ඇති කළා. එම ගැසට් පත්‍රයට 2017 පෙබරවාරි දක්වා ප්‍රමාද කල් ගත්තා. ඒ ගැසට් නිවේදනයෙන් සඳහන් වෙන්නේ කාන්තා නියෝජනය ක්‍රියාත්මක කළ යුත්තේ ජුනි පළමුවන දා සිට කියලයි. ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා පළාත් පාලන විෂය භාර ඇමැති වීමෙන් පස්සේ එතෙක් ලැබී තිබූ පැමිණිලි විමර්ශනය කර සමාලෝචනය කිරීමට තවත් කමිටුවක් අශෝක පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළා. අශෝක පීරිස් කමිටු වාර්තාව ජනවාරි මස අවසන් වුණත් එහි ගැසට් නිවේදනය කොමිසමට ලැබුණේ මාර්තු මාසයේදී.

එහෙනම් සීමා නීර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර එහි සංශෝධනත් කර අවසන්. තවදුරටත් මැතිවරණ කල්දාන්න මැතිවරණ සීමා නිර්ණය හේතුවක් ද?
පළාත් පාලන පනත සම්මත වීමට පෙරම එවකට හිටපු කොමසාරිස්වරයා කරැණු ගණනාවක් පෙන්වා දුන්නා. පනත හදද්දි ඒ සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් දක්වල නැහැ. අනතුරැව නැවත 2013 සිට පනතේ වැරැදි කිහිපයක් අපිත් පෙන්වා දෙමින් ඉන්නවා. සුළු වැරැදි මෙන්ම බරපතළ වැරුදිත් ගණනාවක් තියෙනවා. නාමයෝජනා බාර දෙන්නේ දේශපාලන පක්ෂ ලේකම් හෝ බලයලත් නියෝජිතයා ලෙසයි පනතේ සඳහන් වෙන්නේ. එහිදී බලයලත් නියෝජිතයාට අර්ථ දැක්වීමක් තිබුණත් පනතෙන් ඒ අර්ථ දැක්වීම ඉවත් කරලා. මේවගේ වැරදි හා තවත් ව්‍යාකාරණ හා භාෂා වැරදි ගණනාවක්ද පනතේ තියෙනවා හදන්න. ඡන්දෙට කලින් ඒවා නිවැරදි කළ යුතුයි.

ඡන්ද කාලෙදි අපි පෙන්නන්නම් අපිට බලයක් තිබෙනවද නැද්ද කියලා.

 

එසේනම් පළාත් පාලන මැතිවරණ කල්දාන්න වෙනයම් සුවිශේෂි හේතූන් තිබෙනවද?
පනත සංශෝධන නොකර මැතිවරණය පවත්වන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒ සඳහා පහුගිය 16 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. ඒ කෙටුම්පත නීතිපතිවරයා පනතක් ලෙස සම්පාදනය කර පළාත් පාලන අමාත්‍යවරයා ගැසට් කිරීමෙන් පස්සෙ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි. මේ කටයුත්ත ජුනි 30 වැනිදාට පෙර කරන්න පුළුවන් වෙන්නෙ නෑ. 

ඔබ මේ රජය බලයට පත්වෙනකොට මේ රටේ මැතිවරණ කොමසාරිස්වරයා. පසුව රජය ගෙන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ඔබ ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බවට පත්වුණා. ඡන්දය වෙලාවට තියන්න බැරිනම් ස්වාධීන මැතිවරණ කොමිසමක් මොකටද?
ඡන්දය වේලාවට නොතැබීම කොමිසමේ ප්‍රශ්නයක් නෙවෙයි. 2013 දී පළාත් පාලන මැතිවරණ පනත බලාත්මක කර තිබුණා නම් එම වසරේ මඩකලපු මැතිවරණය පවත්වා අද වෙද්දි ඔවුන්ගේ ධූර කාලය පවා අවසන් වෙලා. කිසිම රටක මැතිවරණ කොමිසමට නීතී හැදීමේ බලයක් නෑ. නීති හැදීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව නීති සම්පාදනයේ කළේ නම් කොමිසමට ඡන්ද පැවැත්විය හැකියි. මේ බව දැන දැනත් ජනතාව අපෙන් ප්‍රශ්න කිරීම තමයි අපිට තියෙන කනගාටුව.

ඒ එක්කම එන තවත් විවේචනයක් තමයි ස්වාධීන කොමිෂන් ඇති කළාට ඒවායේ අපේක්ෂිත අරමුණු ඉෂ්ඨ කරගන්න හැකියාවක් නැහැ කියන එක. එතකොට මැතිවරණ කොමිසමටත් ස්වාධීනත්වයට බලපෑම් තිබෙනව ද?
කොමිසම තියෙන්නෙ ඡන්දෙ තියන්නයි නාම ලේඛන හදන්නයි. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීම කොමිසම සිදුකරනවා. මේ කිසිදෙයක් කිසිකෙනෙක්ගේ බලපෑමකට යටත් නැහැ. මා දැනුම්වත්ව බලපෑම් කරන්න කිසි කෙනෙක් ඇවිල්ලත් නෑ. 

මැතිවරණ කල්යාම් සම්බන්ධයෙන් ඔබ ප්‍රධාන දේශපාලන පක්ෂ ලේකම්වරැන් ඇතුළු නිලධාරීන් ගෙන්වා සාකච්ඡා පැවැත්වුවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල තියෙනව ද?
ඔව්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාලනයට සම්බන්ධ, පාලනයට සම්බන්ධ නොවන හැම දේශපාලන පක්ෂයක්ම ඔවුන්ගේ ඉතා ඉක්මනින් පැවැත්විය යුතුයි කියලා ඒ පක්ෂවල ලේකම්වරැ පක්ෂයේ මතය හැටියට ප්‍රකාශ කරල තියෙනවා. මැතිවරණ කල්යාම සාමාන්‍ය ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් විතරක් නොවේ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයේ 21 වැනි ප්‍රකාශනයේ කියවෙන ජනතාවගේ බලයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතුයි, එය නිසි කාලාන්තරයකදී පැවැත්වෙන නිදහස් හා සාධාරණ මැතිවරණයකින් ප්‍රකාශ විය යුතුයි, යන ප්‍රකාශයටත් පටහැනියි.

දැන් පෙනෙන්න තියෙන විදිහට පළාත් සභා මැතිවරණ කිහිපයක් කල්දමමින් තිබෙන පළාත් පාලන මැතිවරණයට කලින් පවත්වන්න ඉඩ තියෙන බවට කතාබහක් තියෙනවා. මේවගේ තැනක දි බැරිද මැතිවරණ කොමිසම ලෙස මැදිහත්වී මුලින් පැවැත්විය යුත්තේ පළාත් පාලන මැතිවරණය බව කියන්න?
එහෙම කියන්න කිසිම නීතීමය ප්‍රතිපාදනයක් නෑ. ලංකාවේ ඕනෑම වෙලාවක ක්ෂණිකව ඡන්දයක් තියන්න පුළුවන් පළාත් සභා ඡන්ද විමසීම විතරයි. ඕනෑම වෙලාවක මහඇමතිවරයා පළාත් සභාව විසරුවන්න ආණ්ඩුකාරයාගෙන් ඉල්ලා සිටියොත් විසුරැවා හැරිය හැකියි. ඉන් සතියකින් මැතිවරණය තියන්න අපිට පුළුවන්. දැන් මොනම මැතිවරණයක් හරි කමක් නෑ මැතිවරණයක් පවත්වනවට අපි කැමැතියි. මොකද අපේ රටේ ජනතාවට ඡන්දයක් නැතිවීම ප්‍රශ්නයක් වෙලා. පාසලේ ක්‍රිඩා උත්සවය, වර්ණ ප්‍රදාන උත්සවය, ත්‍යාග ප්‍රධාන උත්සවය වගේ 2008 සිට 2015 දක්වා වාර්ෂිකව මැතිවරණවලට තිබුණ හින්දා පුරුද්දක් බවට පත්වෙලා. එම නිසා ඡන්දයක් නැතිවීම ජනතාවට විශාල ගැටලුවක්. 

ඔබ මැතිවරණ කොමිසමේ සභාපති වශයෙන් පත්වූ පසු වයස 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ඡන්දය දීමට උනන්දු කරවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ වැඩපිළිවෙළ සිදුවෙනවද?
ඒ වැඩසටහන් දිගටම සිදු කරනවා. ශිෂ්‍ය පාර්ලිමේන්තුව හරහා පාසල් සිසුනුත් තරුණ සභාව හරහා තරුණයනුත් දැනුම්වත් කරනවා. අවුරුදු 18 සම්පූර්ණ වූ අයෙකුට ඡන්ද බලය හිමි කියලා පනතේ තිබුණත් නාම ලේඛන ලියාපදිංචිය සිදු කරන්නේ ඔහුගේ අවුරුදු දහ 18දී ඊළඟ වසරේ එනම් 19වැනි අවුරැද්දේ නැත්තම් ඊටපස්සේ එළඹෙන මැතිවරණයකට. ඒ වගේම ලියාපදිංචිය සිදු කරන්නේත් ජුනි පළවැනිදා විතරයි. අපි කියන්නේ ඔක්තෝම්බර් පළවෙනිදා, පෙබරවාරි පළවෙනිදා සහ මැතිවරණයක් කැඳවන දවසට පෙර වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලු දෙනාට ඡන්ද බලය ලබා දිය යුතුයි කියලයි. ඒ වගේම 17 වැනි වියේදීම ලියාපදිංචියත් සිදු කිරීම තමයි හොඳම විසඳුම.

කොයිතරම් ස්වාධීන කොමිෂන් තිබුණත් තාමත් කාන්තා නියෝජනයට අවශ්‍ය කටයුතු කරගන්න බැරැව ගියා නේද? මෙහි වැරුද්ද තිබෙන්න කාගේ අතේද?
52% ඡන්ද දායකයෝ කාන්තාවෝ. එනම් පාර්ලිමේන්තුවේ 120ක් කාන්තාවන් විය යුතුයි. නමුත් ඉන්නේ 13%යි. තරුණ ඡන්දදායකයෝ 40%යි. ඒත් පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්නේ 14%යි. මේක විසඳන්න විශේෂ කෝටාවක් අවශ්‍යයි. රාජ්‍ය සේවයේ, අනෙකුත් හා රැකියාවන්වල කාන්තාවන් 60% - 70% කට වඩා ඉද්දි කාන්තාව දේශාපාලනයට නොඑන්නේ අවකාශයක් නැති වීම නිසායි.

පවතින තත්ත්වය යටතේ මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකළොත් මැතිවරණයක් තියන්න ඔබ සූදානමින්ද ඉන්නේ?
ක්‍රමය වෙනස් කළත් නොකළත් අපි ගිනිනිවන හමුදාව වගේ ඡන්දෙ තියන්න කිව්වොත් තියනවා. ඡන්දය පුරවැසියන්ගේ අයිතියක්. ඊටත් වඩා එය වගකීමක්. යම් රටක ප්‍රජාතන්ත්‍රවාදය, සර්ව ජන ඡන්ද බලය හා නීතියේ ආධිපත්‍ය පිළිබඳව සක්‍රියව දායකත්වය ලබා නොදෙන කිසිවෙක් එම රටේ සැබෑ පුරවැසියෙක් වන්නේ නෑ.

බලාගෙන ගියාම කොමසාරිස්තුමනි තිබිච්ච මැතිවරණ දෙපාර්තුමේන්තුව දැන් තිබෙන කොමිසමට වඩා හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ දෙපාර්තුමේන්තුවට වඩා බලතල තියෙනවා. කොමිසමට බලය තියෙන්නේ ඡන්දයක් තියෙද්දි. ඡන්දෙ වෙලාවෙදි නිලධාරියෙක් වරදක් කළොත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න දෙපාර්තමේන්තුවට බලයක් තිබුණේ නෑ. නමුත් කොමිෂන් සභාවේ නියමයන්වලට අනුකූල නොවුණොත්, රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කළොත් ඔහුට ලක්ෂයක දඩයක් සහ අවුරුදු දෙකක දඬුවමකට ලක්කිරීමට උසාවි ගෙනයන්න කොමිසමට බලයක් තියෙනවා. වතුර නැතුව ගොඩ පීනන්න බෑ. ඡන්ද කාලෙදි අපි පෙන්නන්නම් අපිට බලයක් තිබෙනවද නැද්ද කියලා.

 සාකච්ඡා කළේ සකීෆ් සාම් තන්වීරි
   සේයාරුව I සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00