2017 මැයි 27 වන සෙනසුරාදා

මංගලගේ තුන්වැනිවාරය

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 152

නොකෙරෙන තැනට වැඩ සිද්ධවෙමින් තිබූ කැබිනට් සංශෝධනය අවසානයේ පසුගිය 22 වැනි සඳුදා සිදුකෙරුණේය. එහෙම සංශෝධනයක් කෙරුණත් මාරු කිරීම අමාරැම වෙයි කියා තිබූ රවිගේ මුදල් ඇමැති පදවියද වෙනස් විය. වැඩි සද්දයක් නොකර වැඩ කරමින් සිටි ගයන්තගේ මාධ්‍ය අමාත්‍යංශයද වෙනස් වී ඔහුට ඒ වෙනුවට ඉඩම් හිමිවිය. රවිගේත් ගයන්තගේත් විෂයයන් මාරුවේ වාසිය  වැටුණේ මංගලගේ ඔඩොක්කුවටය. ඔහු රටේ අලුත් මුදල් ඇමැතිවරයා පමණක් නොව මාධ්‍ය ඇමැතිවරයාද වීම රටේ ඉදිරි දේශපාලන ගමන් මගේ මං සලකුණක් සටහන් කර ඇති බව සමහරුන්ගේ මතයයි.

එහෙම කියන්නේ ඇයිදැයි සොයන්නට මංගලගේ දේශපාලනය මඳක් කියවා බැලීම අවශ්‍යය. 1983 වසරේ මාතර දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායකවරයකු වශයෙන් මංගල දේශපාලනයට පිවිස 1989 වසරේ මහ මැතිවරණයෙන් පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ආවේය. කෙටිකලකින්ම පක්ෂයේ සහකාර ලේකම් තනතුරට පත් වූ මංගල ජවිපෙ 87 කැරැල්ලෙන් පීඩාවට පත් දුරු පවුල් වෙනුවෙන් ඇරුඹි මවුවරැන්ගේ පෙරමුණ යූ.එන්.පී.යට හිසරදයක් විය. එය එක් අතකින් මානව දයාවද අනෙක් අතින් දේශපාලන තුරැම්පුවක්ද රැගත් වැඩපිළිවෙළක් විය. තම තරුණ දූ පුතුන් විඳි දුක් ගැහැට සහ ඔවුන් අහිමිවීමෙන් දැඩි ලෙස අසරණභාවයට පත්ව සිටි මව්වරුන්ගෙන් යුත් පෙරමුණක් හදාගෙන ඒ හරහා හීන්සීරුවේ දේශපාලන බලවේගයක් ගොඩනගන්නට මංගල ගත් උත්සාහයේ ප්‍රතිඵල 1994 දී පෙනෙන්නට තිබුණේය.

94දී චන්ද්‍රිකා බලයට ගෙන ඒමේ සටනේ පුරෝගාමී මෙහෙවරක් මංගල අතින් ඉටුවිය. ඊට අවුරුදු දෙකකට පමණ පෙර මේ රටේ අහලකවත් නොතිබූ චන්ද්‍රිකාගේ ප්‍රතිරූපයට හුළං ගසා ශ්‍රීලනිපයට අලුත් නායකත්වයක් තිබෙන බවට රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනංවා ඇය රටේ ප්‍රථම කාන්තා විධායක ජනාධිපති පදවියට පත්කිරීමේ ව්‍යායාමය පසුපස මංගල ඉදිරියෙන්ම සිටියේය. ඒ කාලයේ මහින්දට එතරම් දේශපාලන හිතවත්කමක් නොපෙන්වූ මංගල චන්ද්‍රිකා රටේ නායිකාව බවට පත් කිරීමේ සටනට පණපොවා ඇයගේ රජයේ මුල්ම කැබිනට්ටුවේ තැපැල් හා විදුලි සංදේශ ඇමැති පදවියට පත්වුණේය. එම කැබිනෙට්ටුවේ මාධ්‍ය ඇමැති පදවිය හිමිව තිබුණේ ධර්මසිරි සේනානායකටය. ධර්මසිරි ඒ කාලයේ පක්ෂයේ ලේකම්වරයාද විය.

ධර්මසිරි වැනි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සුහදව සිටි මංගල මාධ්‍ය ඇමැතිවරයා නොවුණද චන්ද්‍රිකා රජයේ ප්‍රධාන ප්‍රකාශකයෙක් බවට පත්ව සිටියේය. පසුව සිදුකෙරුණු චන්ද්‍රිකා රජයේ පළමු කැබිනට් සංශෝධනයේදී මංගලට මාධ්‍ය ඇමැති පදවිය හිමිවිය. ඊට අමතරව ඔහු වෙනත් ඇමැති පදවි දැරුවද ඔහුගේ භූමිකාව කැපී පෙනුණේ මාධ්‍ය ඇමැති වශයෙන් කටයුතු කරද්දී බවට විවාදයක් නැත. ඔහු රාජ්‍ය මාධ්‍ය තුළ කැපී පෙනෙන වෙනසක් ඇති කළේ දේශපාලන භූමියේ සතුරන්ට එරෙහිව තියුණු ලෙස ඒවා මෙහෙයවමිනි. ඡන්දයක් ආසන්නයේදී ඔහුගේ ප්‍රචාරක වැඩ පිළිවෙළ ශ්‍රීලනිපයට විශාල හයියක් විය.

2001 වසරේදී රනිල්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව විපක්ෂයට ගිය චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වූයේ මංගලය. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට අවුරැදු දෙකකදී බලය අහිමි කොට ඔවුන් විපක්ෂයට තල්ලු කළ භූමිකාව පසුපස සිටි ප්‍රධාන චරිතයක් වූයේද මංගලය. එහිදී චන්ද්‍රිකාට උපදෙස් ලබාදුන් පිරිස අතර මංගල සිටියේය. ඉන්පසුව 2004 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් ජයගෙන චන්ද්‍රිකා පිහිටු වූ ආණ්ඩුවේ වරාය, සිවිල් ගුවන් සේවා සහ මාධ්‍ය අමාත්‍යවරයා වූයේ මංගලය. ඒ ඔහුට මාධ්‍ය ඇමැති ධුරය හිමිවූ දෙවැනි වතාව විය.

2004 ආණ්ඩුව පිහිටුවන විට චන්ද්‍රිකාගේ ධුර දෙකේ පාලන කාලයේ අවසානය ළඟාවෙමින් පැවැතුණේය. ඒ බව අන් සියලු දෙනාටම කළින් දැනෙන්න ඇත්තේ හොඳම දේශපාලන ඉවක් තිබෙන මංගලට බව සැකයක් නැත. චන්ද්‍රිකාට ඊළඟට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත් ව්‍යවස්ථාවට අනුව දෙවැනි ධුර කාලයේ අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට දින නියම කළ හැක්කේ මැතිවරණ කොමසාරිස්වරයාට මිස ධුරය දරණ ජනාධිපතිවරයාට නොවන බවද දැන සිටි මංගල ඊළඟට හැරැණේ ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට නියමිත වන මහින්ද රාජපක්ෂ දෙසටය. එතෙක් එතරම් ඇයි හොඳයියක් නොතිබුණද මහින්ද මංගලගේ මාධ්‍ය සහ ප්‍රචාරක හපන්කම් හොඳින් දැන සිටියේය. මේ නිසා මහින්ද තමාට සමීපව සිටි දේශපාලන බලවතුන් කීප දෙනකුගේ දැඩි විරෝධය නොතකා මංගලව ළං කරගෙන ඔහුට වැඩ කොටසක් බාර දුන්නේය. ඒ වනවිට චන්ද්‍රිකා මංගලගෙන් මාධ්‍ය අමාත්‍යංශය ගලවා තිබුණි. මහින්දගේ 2005 සාර්ථක මැතිවරණ ව්‍යාපාරයේ කැම්පේන් මැනේජර් වූයේ මංගලය.

මහින්ද ජයග්‍රහණය කිරීමෙන් පසුව බොහෝ දෙනා සිතුවේ අගමැති පදවිය මංගලට හිමිවනු ඇතැයි කියාය. එහෙත් මහින්ද මංගලට අගමැතිකම තබා මාධ්‍ය ඇමැති පදවිය හෝ බාරදුන්නේ නැත. මංගල  විදේශ කටයුතු, වරාය හා ගුවන් සේවා ඇමැති විය. මේ ඇමැති ධුරයේද ඔහුට කටයුතු කළහැකි වූයේ යන්තම් වසර දෙකක් පමණි. මංගල සමඟ මහින්දගේ කැම්පේන් එකේ ඉදිරියෙන්ම සිටි ශ්‍රීපති සූරියාරච්චිද මහින්දගේ ගිලටීනයට හසුවිය. ඔවුන් දෙදෙනාටම ඇමැති පදවි අහිමි විය. මංගලත් ශ්‍රීපතිත් විපක්ෂයේ වාඩිවූහ. ඉන්පසුව ශ්‍රීලනිප මහජන පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවා ගත් මංගල 2010 වසරේදී යූ.එන්.පී.ය සමඟ එකතු විය. 2005 වසරේදී මහින්ද ජයග්‍රහණයේ කැම්පේන් මැනේජර් වූ මංගල 2015 වසරේ මහින්දගේ පරාජයේ කොටස්කාරයෙක් වී සිටියේය. එහිදී මංගල යළිත් විදේශ ඇමැතිවරයා වශයෙන් පත් කෙරුණි.

මංගලට මෛත්‍රීපාල - රනිල් ආණ්ඩුවේ විදේශ ඇමැති පදවිය හිමිවනවිට රට තිබුණේ ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වූ තත්ත්වයකය. අනෙක් අතින් ජිනීවා දංගෙඩිය රටට දිනෙන් දින කිට්ටු වෙමින් තිබුණේය. විවිධ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී බොහෝ රටවල නායකයන්ගේ ප්‍රතිචාර යහපත් වූයේ නැත. ආණ්ඩුව වෙනස්වීමත් සමඟ ඒ තත්ත්වය වෙනස් වීමට මඟපෑදුණු නමුත් එම කටයුතු මනාව සම්බන්ධීකරණය කරමින් ලොකු භූමිකාවක් ඉටුකළේ මංගලය. ජනාධිපතිවරයාගේත් අග්‍රාමාත්‍යවරයාගේත් කැපවීමද එහිදී ලොකු කාර්යභාරයක් ඉටුකළද ලංකාව වෙනුවෙන් ලෝකය ඉදිරියේ කරුණු දැක්වූයේ ඔහුය. පසුගිය කාලසීමාව තුළ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවට ලැබුණු ජයග්‍රහණ වෙනුවෙන් මංගල ඉටුකළ කාර්යභාරය කැපී පෙනුණේය.

මේ විස්තර ටික සඳහන් කළේ මංගල තමන්ට බාරදෙන හෝ තමන් බාරගන්නා විෂයන් ඇසුරෙහි කටයුතු කරන ආකාරය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නටය. සෙසු ඇමැතිකම් කෙසේ වුවත් මංගල මේ රටේ දෙවාරයක්ම විදේශ කටයුතු ඇමැතිවරයා වී සිටියේය. දෙවාරයක් මාධ්‍ය ඇමැතිවරයා වී සිටියේය. පසුගිය 22 වැනිදායින් ඇරුඹුණේ මාධ්‍ය ඇමැති වශයෙන් කටයුතු කරන තුන්වැනි වාරයයි. තුන්වැනි වාරයේ මංගලගේ මාධ්‍ය භූමිකාව කුමක් වනු ඇතිද?
අතීතය සමඟ සංසන්දනාත්මකව බලන කළ මංගල මාධ්‍ය ඇමැති පදවියේ ලොකුවට වැඩ පෙන්වා ඇත්තේ ඡන්ද කෙරුවාවේදීය. ඡන්දයක් ළඟ එනවිට මෙරට ඇතැම් නායකයන්ට මංගලව මතක් වෙන්නේ අහම්බෙන් නොවේ. හේතුසාධක සහිතවය. ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවලදී රටේ වෙනස් වන දේශපාලන වාතාවරණ පිළිබඳව සහජ ඉවක් තිබෙන මංගලට මාධ්‍ය භූමිකාව පැවැරීම ගැන සිතා බැලිය යුත්තේ ඉහත පසුබිමේ සිටය. මංගල තමන්ගේ මාධ්‍ය ඇමැති තනතුරේ තුන්වැනි වාරය අරඹන්නේ පළමුවාර දෙකෙහිම දේශපාලන පසමිතුරන්ව සිටි යූ.එන්.පී.ය ප්‍රමුඛ රජයක් සමඟ වීම දෛවෝපගත සිද්ධියකි. දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැතැයි යන්න මංගලට ඉදිරියේදීත් අදාළ වනු ඇතිදැයි දැන්ම කීම අපහසුය.

කැබිනට් සංශෝධනයෙන් අමාත්‍ය ධුර 9ක් වෙනස්ව ගියත් රටේ කතාබහට වැඩියෙන් ලක්වුණේ මුදල් සහ මාධ්‍ය ඇමැති පදවි දෙකේ සිදුවූ වෙනස්කම්ය. මෙතෙක් තමන් දැරෑ මුදල් ඇමැති පදවිය අහිමි වීම රවිට නම් දැඩි සිත් වේදනාවක් වී තිබූ බව පෙනෙන්නට තිබුණේය. නමුත් ඔහු විදේශ ඇමැති වශයෙන් වැඩ බාරගත් අවස්ථාවේ මංගලද පැමිණ ඔහුට උණුසුම් ලෙස සුබපැතූ අවස්ථාව මාධ්‍යවලට හොඳ ඡායාරෑපයක් සපයා දී තිබුණි.
කෙසේ වුවද මෙම කැබිනට් සංශෝධනය ආණ්ඩුව මුහුණ දී සිටින ප්‍රශ්නවලට කොතරම් දුරට හොඳ විසඳුමක් වනු ඇතිදැයි ගණන් බැලීම පහසු නැත. විශේෂයෙන් රට දැඩිව ගිලී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ආණ්ඩුවට විකල්ප ක්‍රියාමාර්ග සොයාගත යුතු අවස්ථාවක සිටින බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. රටට ආයෝජකයන් ගෙන්වාගෙන ඔවුන් ලවා ආයෝජන කරවීමේ ක්‍රියාමාර්ග දැන් යල් පැනගිය අදහසක් බව මේ සමහරැ කියති. ඒ වෙනුවට අලුත් ක්‍රියාමාර්ග සොයා යායුතු බවද රටට විදෙස් මුදල් අද්දවා ගැනීම සඳහා සම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ගවලට වුවද යොමුවිය යුතු බවද ඔවුන්ගේ අදහසය. කැබිනට් සංශෝධනය සිදුකර දැන් සියල්ල හරි යැයි සැනසීමට රජයට හැකියාවක් නැති බව පැහැදිලිය.

ආණ්ඩුව ඉදිරියේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වනු ඇත්තේ පාර්ලිමේන්තුවට පිටතින් ක්‍රියාත්මක වන බලවේග ඒකරාශී වීම වළක්වන්නේ කෙසේද යන්නය. මේ බලවේග බැලූ බැල්මට දේශපාලනික ආයතන වශයෙන් පෙනෙන්නේ නැත. එසේ වුවද ඔවුන් දක්වන අදහස්වල ඇත්තේ පවතින ආණ්ඩුවට එරෙහිව යන ක්‍රියාමාර්ගයකි. පාර්ලිමේන්තුව තුළ විපක්ෂය වශයෙන් පෙනී සිටින ටී.එන්.ඒ. සහ ජවිපෙට වඩා රට තුළ ජනමතයක් ඇති කිරීමේදී වඩාත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරන්නේ මහින්දට සහාය දක්වන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම බව පැහැදිලිය. ඔවුන් පාර්ලිමේන්තුව තුළදී දක්වන අදහස් පමණක් නොව ඉන් පිටත මාධ්‍ය සාකච්ඡාද යොදා ගන්නේ ආණ්ඩුව විවේචනය කිරීමට පමණක් නොව ආණ්ඩුවට සහාය දක්වමින් සිටින විවිධ ජනකොටස් ආණ්ඩුව කෙරෙහි කලකිරවීම සඳහාය. එහෙත් රජය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම දක්වන්නේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. අඩුම වශයෙන් ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන බලවේග මගින් මතුකරන ආණ්ඩු විරෝධී අදහස්වලට පිළිතුරැ ලබාදීමද සංවිධානාත්මකව සිදුවන බවත් පෙනෙන්නට නැත. ආණ්ඩුව ඇතුළේ පවතින පක්ෂ දෙකේ මත ගැටුම් හේතුවෙන් එළියේ සිටින සතුරන්ට එක්වී පහර දෙනවාට වඩා ඔවුන් සිදු කරන්නේ වෙන් වෙන්ව පහර දීමට ගොස් වැඩේ අනාගැනීමය. ශ්‍රී.ල.නි.ප මාධ්‍ය සාකච්ඡාවේදී පැවසෙන කරුණු යූ.එන්.පී. මාධ්‍ය සාකච්ඡාවලදී කැන්සල් වනවිට ශක්තිමත් වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය බව මේ පක්ෂ දෙකම නොදන්නවා විය නොහැක. වරක් එක් දේශපාලන විචාරකයෙක් කියා තිබුණේ ආණ්ඩුව කරවන පක්ෂ දෙකම මහින්දගේ පර්ශවය සමඟ ඩීල් එකක් දාගෙන ආණ්ඩුවක් හදන්න උත්සාහ කරන බවය. එම උත්සාහයෙන් ජයගන්න කණ්ඩායමට අගෝස්තු මාසයෙන් පසුව හොඳ අවස්ථාවක් උදාවීමට ඉඩ තිබේ.

ශ්‍රී.ල.නි.ප. මැති ඇමැති පිරිසක් කියන්නේ අගෝස්තු මාසයෙන් පසුව සම්මුතිය තවදුරටත් ක්‍රියාත්මක නැති බවය. යූ.එන්.පී.ය එසේ නොකියන නමුත් වරින් වර ඇතැම් මැති ඇමැතිවරුන් ඉඟිකර ඇත්තේ තනිවම යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්නට තමන්ට හොඳටම හැකියාව තිබෙන බවය. එම අදහසට පිළිතුරක් හැටියට ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතිවරැන් කියන්නේ තමන්ටද තනිවම ආණ්ඩුවට හදාගැනීමට උවමනාවක් තිබෙන බවය. මේ දෙකම ලෙහෙසි නැත. ආණ්ඩුවට එළියෙන් තිබෙන ප්‍රශ්නවලට එවැනි කතාවලින් විසඳුමක් ලැබෙන්නේද නැත.

මේ අතර මහින්ද පාර්ශවයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරන ප්‍රසන්න රණතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යවා ඇති ලිපියක් හේතුවෙන් යළිත් ශ්‍රී.ල.නි.ප.ය තුළ කතාබහක් ඇතිවෙමින් තිබේ. සමහරුන් කියන්නේ එය දෙබරයට ගල්ගැසීමක් විය හැකි බවය. ප්‍රසන්න රණතුංගගේ අත්සනින් පසුගිය 20 වැනිදා ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපියේ සඳහන් වන්නේ පක්ෂ නායකත්වය අතහැර දමා පාක්ෂිකයන්ගේ ආදරය, විශ්වාසය සහ ගෞරවය දිනාගත් මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී.ල.නි.ප. නායකත්වය බාරදිය යුතු බවය. ශ්‍රී.ල.නි.ප.යේ තමන්ට අයිති නැති නායකත්වය අතහැර ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි වත්මන් ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව කටයුතු කළයුතු බවද එම ලිපියෙහි සඳහන් කර තිබේ.
මෙම ලිපියේ අඩංගු සෙසු කරුණුවලින්ද පෙනීයන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ නායකත්වය භාරදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බවට පවතින මතය බිඳ දැමීම බව පෙනේ. ශ්‍රීලනිප පාක්ෂිකයන් වෙතින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඈත්කර දැමීමත් පළාත් සභා තුළ බලපෙරළි සිදුකරන්නට ගොස් ඒවා අසාර්ථක වීමත් මේ ලිපිය ලිවීමට හේතුවන්නට ඇතැයි කියති. කෙසේ වුවද මේ ලිපියට ජනාධිපතිවරයා තම ඕස්ට්‍රේලියා සංචාරයෙන් පසුව පිළිතුරු දීමට හොඳටම ඉඩ තිබේ. එම පිළිතුර ශ්‍රීලනිපයේ අනාගතයට කොතරම් දුරකට බලපෑමක් එල්ල කරනු ඇතිදැයි ඉදිරියේදී බලාගත හැකි වනු ඇත.

මේ අතර රටේ ආර්ථිකයට ඇතැමුන් එල්ල කරන්නේ පුහු විවේචන බවද මේ වන විට රටේ ආර්ථිකය නිසි මඟට යොමුව ඇති බවද කබීර් හෂීම් ඇමැතිවරයා පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ ක‍ළේය. ඔහු පැවැසුවේ ඇතැම් විද්වතුන් රටේ ආර්ථික තත්ත්වය ගැන වැරැදි විග්‍රහයක් ඉදිරිපත් කරන බවය. රටේ ඉදිරි ආර්ථික ඉලක්ක පිළිබඳව ඔහු විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කළේය.
මේ අතර ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බ්‍රහස්පතින්දා (25) කැන්බරා නුවරදී එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා හමුවිය. මේ නිල හමුව සිදුවූයේ කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය. එහිදී ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ රටේ සංහිඳියාව නැංවීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බවය. ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය වෙමින් පවතින බවද ඔහු සඳහන් කර තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව නිදහස තහවුරු කරමින් ඉදිරි ගමනක් ආරම්භ කර ඇති බවය. ජනාධිපතිවරයා සති අන්තය වන විට යළි පැමිණීමට නියමිතව සිටියේය.කෙසේවුවද ජනාධිපතිවරයා ඉදිරියේ ඇත්තේ සංකීර්ණ ගැටලු ගණනාවක් බව පැහැදිලිය. ඔහු කෙසේ හෝ තමන්ට අවශ්‍ය වූ කැබිනට් සංශෝධනය පමා වී හෝ ඉටුකර ගත්තේය. වෙනස් කරන්න අවශ්‍ය බව කියූ මුදල් ඇමැති පදවිය ද වෙනස් කළේය. ඉදිරියේදී ආණ්ඩුවේ ගමන් මගේ පැහැදිලි වෙනසක් කිරීමට මේ කැබිනට් සංශෝධනය අසමත් වුවොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙන බව නම් ඉතාම පැහැදිලිය.

 ශශීන්ද්‍ර