2023 මාර්තු 12 වන ඉරිදා

විසඳුම කඳුළු ගෑස්ද?

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 55

කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල අවට ප්‍රදේශය පසුගිය බදාදා (08) ජල ප්‍රහාරවලින් සහ කඳුළු ගෑස්වලින් වැසී ගියේය. එම කඳුළු ගෑස්වල සැර කොළඹ රාජකීය විදුහලේ සිසු දරුවන් පිරිසකටද විඳගැනීමට සිදුවනු දැකිය හැකි විය. විශ්වවිද්‍යාල පරිශ්‍ර ඇතුළට පවා ගොස් කඳුළු ගෑස් එල්ල කළ බවටද පොලිසිය ඇතුළු කැරලි මර්දන හමුදාවලට චෝදනා එල්ල කෙරිණි.

පොලිසිය කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයට හදිසියේ ඇතුළු වී සිසුන්ට හා විරෝධතාකරුවන්ට පහර දී එසේ කඳුළු ගෑස් එල්ල කිරීමට එරෙහිව පැවැත්වූ විරෝධයටද පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබිණි. බොහොමයක් ආනයනික භාණ්ඩ හිගයක් මෙරට පැවතුණද කඳුළු ගෑස් නම් කිසිම හිඟයක් නැතිව තිබෙන බව පසුගිය කාලය පුරාම දැකගත හැකි විය. එහෙත් එසේ අඩු නැතිව කඳුළු ගෑස් තිබූ පමණින් ඒවා ඉවක් බවක් නැතිව එල්ල කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ප්‍රහේළිකාවකි. විරෝධතාවක් හෝ උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට නම් එල්ල කළ යුතු කඳුළු ගෑස් ප්‍රමාණයේ සීමාවක් තිබේ. එහෙත් පාසල් දරුවන්ටත් ඔවුන් ප්‍රවාහනය කරන වාහනවලටත් වදින තරමට එල්ල කරන කඳුළු ගෑස් ප්‍රහාරවල අරමුණ එම විරෝධතාකරුවන් පලවා හැරීම පමණක් නොව බව තේරුම් ගැනීම අපහසු නැත.

මෙම කඳුළු ගෑස් ප්‍රහාරවලට හේතු වූ උද්ඝෝෂණ පැවැත්වූයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් පමණක් නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංසදයද පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුද විරෝධතාවලට සහභාගි වී සිටියහ. මේ සියලු විරෝධතා සැබෑ ගැටලු හේතුවෙන් සිදු නොවන බවට නිර්වචනය කරමින් ඒවාට ප්‍රහාර එල්ල කිරීම විසඳුමක් වන්නේ නැත. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අතර දේශපාලන කාරණා පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය රුකගැනීමේ සටන් පාඨද ඇතුළත් වී තිබිණි. එසේම ඔවුන්ගේ උද්‍ඝෝෂණ තුළ ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් තිබුණේද නැත. ආණ්ඩුව දරණ මතය සාමකාමී උද්ඝෝෂණවලට ජනතාවට තිබෙන අයිතිය පිළිගන්නා බවය. එසේ නම් විශ්වවිද්‍යාල සිසුන්ගේත් ආචාර්යවරුන්ගේත් සාමකාමී උද්ඝෝෂණවලට පහරදීමේ අරමුණ කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරක් තිබිය යුතුය. මෙසේ ඉවක් බවක් නොමැතිව එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් මේ වනවිට රටේ විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වෙමින් තිබේ. එය හොඳ පෙරනිමිත්තක් නොවන බව සඳහන් කළ යුතුය.

සාමකාමී උද්ඝෝෂණවලට ඉඩ ලබා දෙන බවට කොතරම් ප්‍රකාශ නිකුත් වුවත් එදිනම (08) ''අයිතීන් උදෙසා කාන්තා ව්‍යාපාරය'' මගින් සංවිධානය කර තිබූ කාන්තා අයිතින් තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් කාන්තා දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට එරෙහිවද විශාල පොලිස් බලඇණියක් පෙළගස්වා තිබූ අයුරුද දැකගත හැකි විය. එහිදී ප්‍රහාර එල්ල නොවුවත් කාන්තා දිනයේ උද්ඝෝෂණයකට මේ තරම් ආරක්ෂක හමුදා බලකායක් යොදවා තිබුණේ ඇයිද යන්නත් ගැටලු සහගතය.

මේ ආකාරයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් ඊට පසු දින ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනු ලැබීය. විශ්වවිද්‍යාල පරිශ්‍ර ඇතුළට පොලිසිය සහ හමුදාව ඇතුළු වීදැයි සොයා බලන බවට එහිදී අධ්‍යාපන ඇමැතිවරයාගෙන් පිළිතුරක් ලැබිණි. එහෙත් මේ ප්‍රශ්න කිරීම් සහ පිළිතුරු දීම් එතැනින් එහාට යන්නේ කලාතුරකිනි. දිගටම යනු ඇත්තේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වීම පමණි.

මේ ඇතිවෙමින් තිබෙන තත්ත්වය රටේ පැවැත්මට හිතකර නැත. එක අතකින් උද්ඝෝෂණ, වැඩවර්ජන සහ කඳුළු ගෑස් ප්‍රහාරය. අනෙක් අතින් ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට දැඩි පීඩනයක් විඳින්නට සිදුවීමය. වැඩි වූ බදු සහ වැඩි වූ විදුලි බිලද එම පීඩනය තවත් උග්‍ර කර තිබේ. අනවශ්‍ය ලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට අප විරුද්ධ වනවා සේම අනවශ්‍ය ලෙස රට අවුල් කරන වැඩවර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමට අප විරුද්ධය. පසුගිය 08 වැනිදා පැවති සෞඛ්‍ය සේවයේ සුළු සේවක වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වලින් බෙහෙත් ගැනීමට පැමිණි රටේ ජනතාව මහත් දුකකට පත් වූහ. ඔවුන්ගේ දුකට වේදනාවට වැඩවර්ජනවලින් පිහිටක් නැත. මේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුවත් වැඩවර්ජනය කරන පාර්ශ්වත් අතර සාකච්ඡාවක් ඇති විය යුතුය. නමුත් ආණ්ඩුව දිගින් දිගටම වැඩවර්ජන සංවිධානය කරන වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් නොසලකා හරිමින් ඔවුන්ට සාකච්ඡාවක් හෝ ලබා නොදෙන තරමට දැඩි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරයි නම් මේ ගැටලු විසදා ගැනීම පහසු වන්නේ නැත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන්ද ආණ්ඩුවෙන් කිසියම් නම්‍යශීලී බවක් තිබීම අවශ්‍යය.

බඩු මිල යම් ප්‍රමාණයකින් අඩුවීමත් ඒ හේතුවෙන් ආහාර උද්ධමනය පහළ බැසීමත් ජනතාවට සහනයකි. එසේ සහන ලබා දීමට ක්‍රියා කිරීමත් රුපියල ශක්තිමත් වීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පැසසුම් ලැබිය යුතුය. එහෙත් රටේ පවතින ප්‍රශ්නවල ගැඹුරු ස්වභාවය අනුව මෙය තරමක සහනයක් පමණි. උපයන විට ගෙවන බදු ඉසිලිය නොහැකි තරමට වැඩි කිරීමත් ගෙවාගත නොහැකි තරම් විදුලි බිලක් ලබාදීමත් හේතුවෙන් රටේ බහුතර ජනතාව දැඩි ලෙස පීඩනයට පත්ව සිටින බව රහසක් නොවේ. රටේ උද්ඝෝෂණ, වැඩවර්ජන හැමදාම හැමතැනම ඇතිවන්නේ ජනතාව පෙළන බරපතළ ගැටලු හේතුවෙනි. එවැනි සැබෑ ගැටලු හේතුවෙන් පැන නගින උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ප්‍රහාර පිළිතුරක් වන්නේ නැත.