2023 මාර්තු 19 වන ඉරිදා

වර්ජන සහ තර්ජන

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 75

ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයකට අයත් වෘත්තීය සමිති පනහකට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධව පසුගිය බදාදා (15) ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සාර්ථක වූ බව එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති නායකයන් කියා තිබිණි. ආණ්ඩුවේ ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබුණේ වැඩවර්ජනය අසාර්ථක වූ බවය. ඒ හේතුවෙන් ජනතා සේවය අකර්මන්‍ය නොකර දවස පුරා පවත්වාගෙන යාමට හැකිවූ බවද ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් විය.

කවුරුන් කෙසේ ප්‍රකාශ කළත් එක්දින වැඩවර්ජනය හේතුවෙන් එදින දවස මුළුල්ලේම රටේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සෑහෙන දුරට ඇනහිට තිබිණි. රෝහල්වල ප්‍රතිකාර නොකෙරුණු තරම්ය. පාසල් සියල්ලම පාහේ වසා දමා තිබිණි. දුම්රිය ධාවනය අතේ ඇඟිලි ගණනට සීමා විය. වරාය සහ ඇතැම් බැංකුද තිබුණේ අකර්මණ්‍ය තත්ත්වයකිනි. විවෘතව තිබූ බොහොමයක් රාජ්‍ය ආයතනවලද රාජකාරි කෙරුණේ සීමිත බවටද වාර්තා විය.

වැඩවර්ජනය අසාර්ථක වූ බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ප්‍රකාශ කළත් මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබුණේ වෘත්තීය සමිති මගින් ක්‍රියාත්මක කළ එක් දින වැඩවර්ජනය හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් බිලියන 46ක පාඩුවක් සිදුව ඇති බවය. එය වැඩවර්ජනය හේතුවෙන් රටේ එදිනෙදා කටයුතු බිඳ වැටුණු බව රජය මගින් පිළිගැනීමකි. එසේ නම් සිදුවිය යුත්තේ යළිත් එසේ නොවන බවට වගබලා ගැනීමයි. එම වගබලා ගැනීම රජයට පමණක් නොව වෘත්තීය සමිතිවලටද අයත් කාර්යයකි.

අකුරට වැඩ කිරීම සහ තැනින් තැන වැඩවර්ජන වලින් පසුව එක්දින සංකේත වැඩවර්ජනයක් දක්වා දික්ගැසුණු වෘත්තීය සමිතිවල සටන් ක්‍රියාමාර්ගයට හේතු වූ කරුණු අතර මූලික වන්නේ රජයේ නව බදු ප්‍රතිපත්තිය ඉවත් කර ගන්නා ලෙසට කෙරෙන බල කිරීමය. එසේම විදුලි ගාස්තු, බැංකු පොලී පහත දමන ලෙසට කෙරෙන ඉල්ලීම් ඇතුළු තවත් කරුණු ගණනාවක්ද වෙයි. ඒ අතර ගුරුවරුන් සඳහා රුපියල් විසිදහසක දීමනාවක් ලබාදෙන ලෙසට කෙරෙන ඉල්ලීමක්ද තිබේ. රජය මුලසිටම කියා සිටියේ රට ආර්ථික වශයෙන් කිසියම් ස්ථාවරභාවයකට පත්වන තුරු බදු ප්‍රතිපත්තිය ඇතුළු සෙසු තීරණ ක්‍රියාත්මක වීම නැවැත්විය නොහැකි බවය. මේ වනවිටද වැඩි කරන ලද උපයන විට ගෙවන බදු කැපීම සහ වැඩිකෙරුණු විදුලි බිලද ගෙවීමට සිදුවීම හේතුවෙන් මාසිකව සීමිත ආදායමක් ලබන බොහෝ පිරිසකට ආර්ථික ස්ථායීකරණය සඳහා රජය මගින් ගනු ලැබූ තීරණවල ප්‍රතිඵල දරුණුවට දැනෙන්නට පටන්ගෙන තිබේ. මේ නිසා වෘත්තීය සමිති ද තමන් ගන්නා වර්ජන ක්‍රියාවලිය අත්හැරීමට උනන්දුවක් නොදක්වන බව ස්ථීරය.

ඒ අනුව සැලකුවොත් මේ ගැටලුවට පෙනෙන තෙක් මානයක විසඳුමක් නැත. අයි.එම්.එෆ්. ණය සහනය සම්බන්ධයෙන් මහත් බලාපොරොත්තු තබා සිටින රජය මේ ගත් පියවර ආපස්සට හැරවීමට ක්‍රියා නොකරන බව පැහැදිලිය. එහෙත් රටට මේ වැඩවර්ජන, අරගල සමඟ ඉදිරියට යා නොහැක. පාසල් වසාගෙන විභාග කල්දමා ගුරුවරුන්ට සිසුන්ට හැමදාම ගෙදර සිටීමට හැකියාවක් නැත. ලෙඩුන් බෙහෙත් සහ ප්‍රතිකාර නොමැතිව මියැදෙන්නට ඉඩහැර බලා සිටීම වෛද්‍යවරුන්ට කළ නොහැක. මේ නිසා උදා වී තිබෙන බැරූරුම් තත්ත්වය අවබෝධ කරගෙන මේ දෙපාර්ශ්වයම නම්‍යශීලී වීම අත්‍යාවශ්‍යය. එසේ නොවීම රටේ මහජනතාවගේ පැත්තෙන් මහත් අසාධාරණයකි. දැනටම අසාධ්‍ය තත්ත්වයෙන් පවතින රටේ ආර්ථිකය මරණ මංචකයටම ඇද දැමීමකි.

බදු ගෙවීමකින් තොරව රටක් පවත්වාගෙන යා නොහැක. එය යථාර්ථයයි. එහෙත් එක්වරම විශාල ප්‍රතිශතයකින් බදු වැඩි කෙරෙන විට එය බදු ගෙවන්නාට දරාගත නොහැකි නම් එයින් ඇතිවන්නේ අර්බුදයකි. වර්ජනය හරහා මේ එළියට පැන තිබෙන්නේ එම අර්බුදයයි. එසේම බදු ගෙවිය යුතු බොහෝ පිරිසක් තමන්ගේ සැබෑ ආදායම් සඟවාගෙන බොරු ගණන් හිලව් පෙන්වා බදු ගෙවීම අවම මට්ටමකින් පවත්වාගෙන යාමද මේ අර්බුදය තවදුරටත් ව්‍යාකූල කර තිබේ.

සාමාන්‍යයෙන් බදු අය කළ යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයට බව ප්‍රකට කියමනකි. එහෙත් රටේ ආර්ථිකය දණින් වැටී තිබෙන අවස්ථාවක ඒ ආකාරයටම කටයුතු කිරීම අපහසුය. නමුත් නව බදු ප්‍රතිපත්තිය සැකසීමේදී රජයත් බදු ගෙවන්නාත් අතර පැහැදිලි සංවාදයක් නොතිබීම බරපතළ අඩුපාඩුවක් බව පෙන්වා දිය යුතුය. එසේ වුවා නම් මේ තරම් ඉහළ ප්‍රතිශතයකින් බදු වැඩි වෙන්නේත් නැත. වැඩවර්ජන ඇති වී රටම අකර්මණ්‍ය වීමට ඉඩක් ලැබෙන්නේත් නැත.

තමන් ගෙවන බදුවලට සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමට සෑම බදු ගෙවන්නෙකුටම අයිතියක් තිබෙන බවද රජය පිළිගත යුතුය. සොරුන්, වංචනිකයන් සහ දූෂිතයන් වශයෙන් හංවඩු ගැසුණු මැති ඇමැතින් විසින් ගන්නා තීරණ බදු ගෙවන්නාගේ ප්‍රසාදයට හේතු වන්නේ නැත.

වැඩවර්ජන හමුවේ දඩබ්බරව කටයුතු කිරීමෙන් මේ ගැටලුව විසඳාගත නොහැකි බව රජය තේරුම් ගත යුතුය. රජය සමඟ එකඟත්වයට නොයන පදනමක සිටිමින් වැඩවර්ජන එකම විසඳුම බවට පත්කර ගැනීම වෘත්තීය සමිතිවලද අරමුණ නොවිය යුතුය. අවසානයේ වඩා වැදගත් වන්නේ අපට රටක් ඉතුරු වී තිබීම බව සියලුදෙනා දැන සිටිය යුතුය.