2023 අප්‍රේල් 02 වන ඉරිදා

ස.ජ.බ. සෑහෙන පිරිසක් ළඟදීම ආණ්ඩුවට එනවා

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 122

සංචාරක සහ ඉඩම් අමාත්‍ය - හරීන් ප්‍රනාන්දු

♦ බංකොලොත් රට ගොඩගත්තෙ රනිල් ජනාධිපතිතුමයි
♦ අරගලයෙන් පසු ආ කුමන්ත්‍රණය නීතියෙන් පාලනය කළා
♦ අනුර කුමාර දැනටම නායකයා වෙලා ඉවරයි
♦ මම ආණ්ඩුවට ගියේ රනිල් නිසා මිසක් ගෝඨාභය නිසා නෙවෙයි
♦ සමහරු ජනතාව කුලප්පු කරලා බලය ගන්න ආසයි
♦ සජිත් ප්‍රේමදාසට ආණ්ඩුව භාරගන්න කියලා අපි වැන්දා
♦ රටේ නායකයා ගියාම විපක්ෂ නායකටයි රට භාරගන්න තිබුණෙ

ඔබ දේශපාලනඥයන්ට සහතික දෙන්න දක්ෂ කෙනෙක්. අපි ඉස්සල්ලම කතාව පටන් ගමු මෙහෙම. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත්ද? අසමත්ද?

මම ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. දවස් තුන හතර තෙල් පෝලිම්වල හිටපු රටේ ජනතාව දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාස්ද ෆේල්ද කියලා. ඒ පෝලිම්වල මිනිස්සු මැරිලා වැටුණා. ගෑස් නැතුව මිනිස්සු පාරවල් වහගෙන උද්ඝෝෂණය කළා. ගෑස් පිපිරුවා. ගොවීන්ට වගාකරගන්න බැරුව දුක් වින්දා. රටේ මිනිස්සු මහපාරවල්වලට එන්න ගත්තා. රටේ නායකයව පලවා හැරියා. මේ සියල්ල විසඳලා දැන් ඉවරයි. බංකොලොත් වුණා කියලා රටේ නම ලෝකෙට යද්දී ඒ බංකොලොත් වෙච්ච රට මේ වෙද්දී හරි පාරට දැම්මේ ඒ රනිල් වික්‍රමසිංහ. ඉතිං මම අමුතුවෙන් කියන්න ඕනද ඔහු පාස් ද ෆේල් ද කියලා. ඔබ හිතලා බලන්නකෝ. ඇත්තටම මට අනුව නම් ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතිහාසගත නායකයෙක් .මොකද ගොඩගන්න බෑ කිව්ව රටක් ගොඩගත්ත කෙනෙක්. මට අනුව ඔහු සීයට සීයක් පාස් නායකයෙක්.

ඔබට හිතෙන්නේ නැද්ද ගෝඨාභය රාජපක්ෂ එලවා දැමීමෙන් පස්සේ මිනිස්සු අරගලය අත්හැරීමත් එක්ක මිනිස්සු සාමකාමී වුණා කියලා. මිනිස්සුන්ගේ පීඩනය අවසන් වුණා කියලා?

ඔව් ඒක ඇත්ත. මිනිස්සු ඒ පීඩනය පිට කළා. හැබැයි ඔබත් මමත් දන්න දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයට විරුද්ධවත් කැරුල්ල දියත් වෙමින් තිබ්බේ. ඒකට හේතුව සුළු පක්ෂ කීපයක විරෝධයක්. ඔවුන්ට ඕන වුණා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිහින් බලය ගන්න. පාර්ලිමේන්තුව පවා වටලන්න හැදුවේ ඒ නිසා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය කුඩුපට්ටම් කරන්න ගියේ. ඒත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ වෙලාවේ දැනගත්තා මේ අරගලය වෙනත් මුහුණුවරකින් ගිහිල්ලා රට නන්නත්තාර වෙන්න හදන්නේ කියලා. ඒ නිසා ඔහු ඒ කුමන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය තුළින් පරාජය කළා. අන්න ඒ නිසයි ලේ විලක් වෙන්න ගිය රට බේරුණේ.

ඔබත් හිටියනේ ඒ අරගලයේ. ඔබ පස්සේ ආණ්ඩුවට ගියා?

ඔව්. ඒ අරගලය ඉස්සෙල්ලම පටන් ගත්තේ මම. 'සර් ෆේල්' කියලා. ඒක ඇත්‍ත .මම ආණ්ඩුවට ගියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නිසා මිසක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිසා නෙමෙයි. ඒ වෙලාවේ ගතයුතු හොඳම තීරණය ඒක. ඒ ගැන සතුටු වෙනවා. ඒ ගත්ත තීරණය හරි නිසයි අද මෙතනට රට ආවේ. වැඩිය ඕන නෑ. අද පොහොට්ටුවේ නායකයෝ පිළිගන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ වැරදි තෝරාගැනීමක්, රනිල් වික්‍රමසිංහ කියන්නේ නිවැරදි තෝරාගැනීමක් කියලා.

ඉතිං එහෙනම් දැන් ජනතා උද්ඝෝෂණ, අරගල ඔබලට නයාට අඳුකොළ වගේ වෙලා තියෙන්නේ ඇයි?

ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. පොහොර නැතුව, ගෑස් නැතුව, ගෑස් පිපිරිලා, තෙල් නෑ, මිනිස්සු පාරට එන එක සාධාරණයි. පාලකයා අසාර්ථක වුණාම මිනිස්සු ඊට විරෝධය පානවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයට බලය ගිය ගමන් ඒකටත් විරුද්ධව සංවිධානය වෙන්න ගත්තා. හැබැයි රටේ මිනිස්සු නෙමෙයි සුළු පිරිසක්. ඒ අයට ඕන වුණේ රටේ මහා අලකලංචියක් කරලා ලොකු පුටුවට එන්න. හැබැයි ඒ නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී පාරෙන් ඇවිල්ලා බලය ගන්න කිව්වම ඒකට ඇඹරුණා. එතකොට බෑ. ඒත් මිනිස්සු කුලප්පු කරලා පුටුව ගන්න ආසයි. ඇත්තම කියන්නම් ඔය මිනිස්සු අවුස්සන කිසිම නායකයෙක් රටේ නායකත්වය බාරගන්න සුදානම් නෑ. ඒ අභියෝගයට බයයි. ඔවුන්ට ඕන අවුස්ස අවුස්සා ආතල් ගන්න.

ආසයි බයයි?

ඔව්. ආසයි බයයි තමා. සජිත් ප්‍රේමදාසට බාරගන්න කිව්වේ නැද්ද? අපි වැන්දා ගනින් කියලා. අනුර කුමාරට කතා කළේ නැද්ද? කතා කළා. ඒ කිසිම කෙනෙක් අභියෝගය බාරගත්තේ නෑ. බයයි.

ඒ අය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ජනතා බලයෙන් පත්වෙන්න ඕන කියලා?

ඔය කතා වලට අපි කියන්නේ බයිලා කියලා. මේ රටේ නායකයා එලවලා, ගෙවල් ගිනි තියලා, මිනිස්සු පාරේ ගහලා මරනවා, අගමැතිගේ ගේ ගිනි තිබ්බා. පොලීසියට අල්ලන් ගහනවා. ඒ වගේ වෙලාවක ඡන්දයක් තියන්න පුළුවන්ද? මුළු රටම එකම ගිනි ගොඩක් ඒ ගින්නේ ඡන්ද තියන්න කියන්නේ මොන මෝඩයද? ඇත්තටම ඕන වුණේ ඒ ගින්නෙන් එයාලට සුරුට්ටු පත්තු කරගන්න. ඉතිං දෙවියනේ ජනතා විරෝධය හමුවේ රටේ නායකයා ගියාම විපක්ෂ නායකයා බාරගන්න එකට මිනිස්සු අකමැති වෙනවද? ආණ්ඩු විරෝධී බලවේගයනේ විපක්ෂ නායක. අනුර කුමාර කියන්නේ දැනටම නායකයා වෙලා ඉන්න කෙනානේ. ඉතිං එයා බාරගත්තා නම් මිනිස්සු අකමැති වෙනවද? ඒ නිසා ඕවා බයිලා. කරගන්න බැරිවුණාම සමහර කොල්ලෝ ඉන්නේ ලොකු ටෝක්ස් දෙන්නේ. අන්න ඒ වගේ එකක්. ඒ නිසා ඒ අය ඉස්සරහට කරන්නෙත් මිනිස්සු අවුස්සලා ආතල් ගන්න එක.

දැන්නම් හරීන් ප්‍රනාන්දුට අරගල අරහං වගේ?

අරගල එපා වෙලා නෑ. මේ මොහොතේ හරින් ප්‍රනාන්දු කරන්නෙත් අරගලයක්. කඩා වැටුණු රටකට විදේශිකයෝ එන්නේ නැති මොහොතක, මම බාරගනිද්දි අන්තිම සුද්දත් රටෙන් ගිය මොහොතක, අද වෙද්දි රට වටේ වෙරළවල් වල, නගරවල විදේශිකයො පිරිලා. සංචාරක කර්මාන්තය හාන්සි වෙලා වළටම වැටිලා තියෙන මොහොතක මේක ගොඩගත්තා කියන හැඟීම මට තියෙනවා. ඒක අරගලයක්. අපි අරගල කරන්නේ රට හදාගන්නනේ. ඉතිං මම කරන්නෙත් ඒ වගේ අරගලයක්.

ඔබේ ෆේස් බුක් එක බලද්දි පේනවා ජනතාව සෑහෙන්න ඔබට බනිනවා. ඒවා දකිනවද?

ඉස්සෙල්ලම කියන්න ඕන මම ඔය 'ෆේස් බුක් ජනතාවගේ' බැනුම් අහලා වැඩකරන කෙනෙක් නෙමේ. මම වැඩ කරන්නේ හෘද සාක්ෂියට අනුව. දැන් ඔය බනින මිනිස්සු ගමුකෝ ඒ අය බනින්නේ මම කරපු වැරැද්ද මොකක් කියලද? මම හොරකම් කළා කියලද? මම අසාර්ථකයි කියලද? මම බොරු කිව්වා කියලද? නෑ. රැල්ලට බනිනවා. මට කියන්න තියෙන්නේ හරීන්ට බනින්න. ඒ බනින ගමන් හිතන්න තෙල් නැතුව හිටිය හැටි, ලයිට් නැතුව හිටිය හැටි, ගෑස් නැතුව හිටිය හැටි. එහෙම හිත හිතා බනින්න. ඒ බනින කිසිම කෙනෙක් එක්ක මට තරහක් නෑ.

නෑ ඔබ පක්ෂය මාරු කළා කියලා?

මම පක්ෂය මාරු කළේ නෑ. මම තවම සජබයේ කෙනෙක්. මම ආවේ රට වෙනුවෙන් අභියෝගය ගන්න. මම එද්දී මිනිස්සුන්ට පොරොන්දුවක් දුන්නා, මාස හයක් ඇතුළත මේක ගොඩදාගන්න බැරි වුණොත් කියලා අයින් වෙනවා කියලා. මම දුන්න පොරොන්දුව ඉෂ්ට කළා. රට සාමාන්‍ය අතට පත් කළා. ගිය අවුරුද්දේ අලුත් අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අලුත් අවුරුද්ද ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඉතිං මට බැන්නට කමක් නෑ. හැබැයි මම කිව්ව දේ කළ කෙනෙක් කියලා මගේ හිතේ සතුට තියෙනවා.

දැන් ඔය ඔක්කොම සෙල්ලම් දාන්නේ අයි.එම්.එෆ්. ලැබුණ නිසානේ?

නෑනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ මේ ආණ්ඩුව සෙල්ලම් දාන්නේ අයි.එම්.එෆ්. නිසා නෙමෙයි. නිවැරදි තීන්දු නිවැරදි වෙලාවේ ගන්න නිසා. සැමට සාධාරණව සලකන නිසා. මූලික අරමුණ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන එක. මොකද හැමෝම එක එක දේශපාලන අරමුණු තිබ්බට අපිට දේශපාලනය කරන්නත් රටක් එපැයි. මිනිස්සු ප්‍රශ්නවල තියාගෙන දේශපාලනය කරන්න බෑ. හැබැයි ගොඩක් නායකයෝ කැමති මිනිස්සු ප්‍රශ්නවල දුකෙන් අවුලෙන් ඉන්නවට. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ එතන. අනික අපි සෙල්ලම් දැම්මේ අයි.එම්.එෆ්. හම්බෙන්නත් කලින්. පෝලිම් යුගය ඉවර කළේ අයි.එම්.එෆ්. එක ලැබෙන්න කලින්. ඉතිං දැන් ඊට වඩා සෙල්ලම් දානවා. මතක තියාගන්න යාල වනෝද්‍යානය ජීවිතේ පළවෙනි පාර වැඩිම සංචාරකයන්ගෙන් අපි පිරෙව්වා. ඒ අපි දාපු සෙල්ලම් තමා. වෙලාවට කලාවට අපි හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට දානවා. ඒ රට ගොඩගන්න.

අපි දැක්කා අයි.එම්.එෆ්. ගත්තම මිනිස්සු රතිඤ්ඤා දැම්මා. ණයක් ගත්තම ඒක සමරන රටක් වෙලා දැන් අපේ රට?

ඔව්. ඇත්තටම ඒ මිනිස්සු සාධාරණයි. රතිඤ්ඤා දාපු එක නෙමේ, සතුටු වුණ එක ගැන. මොකද මේ රට ගොඩගන්න තිබ්බ එකම එක අන්තිම අවස්ථාව. අයි.එම්.එෆ්. ලෝන් එක හම්බුණේ නැත්තන් අද ඔබටත් මටත් මෙහෙම කතා කරන්න බෑ. රට මහා අවුලකට පත්වෙනවා. ණය දෙන්න එපා කියලා විපක්ෂයේ සමහර අය කිය කිය යනකොට, ණය ලැබෙන්නේ නෑ කියලා තැන් තැන්වල කට්ටිය කියද්දී බාධක ගොඩක් මැද්දෙයි මේ අයි.එම්.එෆ්. ණය ලබගත්තේ. ඒක නොලැබුණා නම් අද රටට වෙන දේ ඔය කවුරුත් දන්නේ නෑ. මම දැක්කා හර්ෂ ද සිල්වා වගේ අය ණය ලැබීම ගැන අගය කරලා තිබ්බා.

අයි.එම්.එෆ්. එකෙන් ගොඩ යන්න පුළුවන්ද?

රට ගොඩයන්න තියෙන එකම අවස්ථාව තිබ්බේ අයි.එම්.එෆ්. එක. අපේ රට බංකොලොත් වෙච්ච රටක්. ඒ වෙලාවේ කවුරුත් ණය දෙන්නේ නෑ. ගත්ත ණයත් ගෙව්වේ නෑ. ආර්ථික වර්ධනය සෘණ වෙමින් තිබ්බේ. මූල්‍ය පාලනය සහ පරිපාලනය ගැන ලෝකයේ බොහෝ රටවල් විවේචනයට ලක්වුණා. ඊටත් වඩා අපි දවසින් දවස කඩා වැටුණා. අන්න එතැනදී තමයි අයි.එම්.එෆ්. ණය කතාව එන්නේ. ඒ සඳහා අයි.එම්.එෆ්. එකෙන් දුන්න මාර්ගෝපදේශ වැදගත් වුණා රට හරි පාරට දාගන්න. ඒ නිසා එක පැත්තකින් රට දුවන්න ගත්තා. ණය ලැබුණම ඒ දුවන එකට තෙල් ලැබුණා වගේ වැඩක්. දැන් තියෙන්නේ මැෂින් එක හරියට නිවැරදිව ක්‍රියාත්මක කරමින් යන එක. විපක්ෂයේ අය හදන්නේ මැෂින් එක ලී කෑල්ලක් හරි දාලා ආයේ නවත්තන්න.

අයි.එම්.එෆ්. එක පිටින් දාලා, ඔබලා රාජ්‍ය ආයතන විකුණනවා. බදු බර වැඩි කරනවා. මේවා ජනතාවට දරන්න පුළුවන්ද?

ආණ්ඩුවට තියෙන්නේ නිවැරදි මූල්‍ය කළමනාකරණය සහ පරිපාලනයයි. ආණ්ඩුව ව්‍යාපාර කරන්න ගියොත් වෙන්නේ පාඩු දරාගන්නයි ඒ පාඩු දරන්න රාජ්‍ය මුදල් වියදම් ලෙස යොදවන්නයි. හොයලා බලන්න අදට රාජ්‍ය ආයතන කීයක් මහ භාණ්ඩාගාරයෙන් පඩි සඳහා මුදල් ගන්නවද කියලා. මම අහන්නේ ඇයි අපි එහෙම පාඩු ලබන ආයතන තියාගෙන දුවන්නේ. ඇයි අපි එවැනි අමතර බරක් කරේ දාගන්නේ. මේ වගේ වෙලාවක ඒ වගේ අවදානම් ආණ්ඩුවකට ගන්න බෑ. ගන්න ඕනත් නෑ.

පෞද්ගලික අංශයට දීලා ඕවා දියුණු කරන්න පුළුවන් කියන්නේ නිවැරදි පරිපාලනය. ඒක ඇයි ආණ්ඩුවට බැරි?

ආණ්ඩුව කරන්න උත්සාහ ගත්තා කීපවතාවක්. ඒත් දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන වෘත්තීය සමිති සහ ඇතැම් කල්ලි විසින් ගනු ලබන නිවැරදී තීරණ පවා රිවස් කළා. එහෙම කරලා ඒ අයට අවශ්‍ය අවශ්‍ය විදිහට ඒ ආයතන පාලනය කරන්න ගත්තා. අන්තිමේ වුණේ ඒ ආයතන දැවැන්ත ලෙස කඩා වැටුණා. එවැනි තත්ත්වයක් පවතිත්දීත් තවමත් ඒ ආයතනවල අය වෘත්තීය අරගල කරනවා. ඒත් තමන්ගේ ආයතන කඩා වැටීම ගැන කියවලා බලන්නේ නෑ. අවසානයේ ඒවා බංකලොත් වුණාම රජයට චෝදනා කරනවා. ඉතිං ඒ නිසා මගේ මතය පාඩු ලබන ආයතන නඩත්තු කරන්න නරකයි.

උපයන විට බද්ද කියන්නේ ආණ්ඩුවට එරෙහි වෘත්තීයවේදී කැරුල්ලක්. මේක වෙනස් කරන්නේ නැද්ද? 

මේ ගැන ආණ්ඩුවේ අවධානය යොමුකරලා තියෙන්නේ. ඉක්මනින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහස වෘත්තීය සමිති එක්ක කතා කරලා තීරණය කරයි. එකක් කියන්න ඕන. දැන් මේ රට වැටිලා තියෙන තැනින් නැවත ගොඩ එන ගමන් ඉන්නේ. අන්න ඒක නැති කරන්න එපා. මොකද අපිට ලැබෙන මේ අන්තිම අවස්ථාව. මේක මිස් කළොත් ආයේ රටක් නෑ. හැමෝම උත්සාහ ගන්නේ බලය වෙනුවෙන්. ඒත් වැඩකරන ප්‍රතිපත්තියක් නෑ.

සජබයෙන් කී දෙනෙක් එනවද ආණ්ඩුවට?

මම ගාණ කියන්න ඕන නෑ. ඒත් සැලකියයුතු පිරිසක් ළඟදීම එනවා. ඒ එන්නේ දේශපාලනය පැත්තකින් තියලා. මේ රට ගොඩනගන වැඩ පිළිවෙළට සහය දෙන්න. අපි පස්සේ දේශපාලනය කරමු. දැනට මේ ප්‍රශ්න ටික විසඳගමු.

ඔබට සජිත් එක්ක තරහක් තියෙනවා නේද?

කිසිම පෞද්ගලික තරහක් නෑ. එතුමා හොඳ මනුස්සයෙක්. ඒත් නායකත්වයෙන් දුර්වලයි. අභියෝග බාරගන්න බයයි. ඉතිං එහෙම කෙනෙක් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ අභියෝග ජයගන්න නායකයෙක්. ජයගන්න එකටත් වඩා ඒ අභියෝග බාරගන්න නායකයෙක්.

දැන් රනිල් එක්ක සජිත් සංසන්ධනය කරනවද, එදා සජිත් එක්ක රනිල් සංසන්ධනය කළා වගේ?

රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එදා අපි කළේ දේශපාලන සටනක්. ඒ වෙලාවේ අපි ගත්තේ සජිත් කියන දේශපාලන නායකයාගේ පැත්ත. ඒත් මේ වෙලාවේ තියෙන්නේ රටේ නායකත්වය සම්බන්ධයෙන් සුදුසුකම් ගැන ප්‍රශ්නයක්. අන්න ඒකට මේ වෙලාවේ හොඳම විසඳුම රනිල් වික්‍රමසිංහ මහත්තයා. මම කියන්නේ දැනට. ඉස්සරහට සමහරවිට සජිත් එන්න පුළුවන්.

ඔබ ආයේ දේශපාලන කරන්නේ නැද්ද?

ඒ ගැන මම හිතනවා තවම. මට ඕන මේ රට වැටුණු තැනින් ගොඩගන්න. ඒක කරලා සමහරවිට මම පැත්තකට වෙන්නත් පුළුවන්. හැබැයි මම මේ දේශපාලන සංස්කෘතිය ගැන පට්ට විරුද්ධයි. මේක හරිම කැතයි. මේක වෙනස් වෙන්නම ඕන. බල කෑදරකම වෙනුවෙන් රටක් වුණත් විනාශ කරනවා. ඒ තරමට දේශපාලනය පිරිහිලා. අන්න ඒ ගැන කලකිරීමෙන් ඉන්නේ.

කවදද කැබ්නට් සංශෝධනය?

මම ඒ ගැන දන්නේ නෑ. ඒක ජනාධිපතිතුමා සහ ඔයාලනේ දන්නේ.

ඇයි මේ පළාත් පාලන ඡන්දය මග අරින්නේ?

ජනතාව ඉල්ලන්නේ මේ වෙලාවේ මැතිවරණයක් නෙමෙයි. ජනතාවට අවශ්‍ය තමන් ගතකරපු සාමාන්‍ය ජීවිතේට යන්න. අනික පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු පෙරලන්න බෑ. ඒ මැතිවරණය ආණ්ඩුවට බරක්. මොකද ඡන්දයෙන් තේරෙනව 8000ක්. ඒ අයට වියදම් දරන්න ඕන. මේ වෙලාවේ ඒක අවශ්‍ය දෙයක් නෙමේ. විපක්ෂයට ඕන කෝමහරි මැතිවරණයක්.

ජනාධිපතිවරණය පළාත් පාලන මැතිවරණයට කලින් එනවද?

කලබල වෙන්න එපා. අපි ඉක්මනින් මැතිවරණයක් දෙනවා. ඒක මොකක්ද කියන්න මට බෑ.

I ගයාන් ගාල්ලගේ