තෙල් සංස්ථාවේ සේවකයන් විසින් උපවාසයකින් අරඹා වැඩ වර්ජනයක් දක්වා දිග්ගැසුණු සේවක අරගලය රටට යළිත් තෙල් පෝලිම් භීතියක් මැව්වේය. එම භීතිය අස්සේම ආණ්ඩුව තෙල් මිල බැස්සුවේ දැනෙන මට්ටමකිනි. එයින් පෙට්රල් මිල අඩුවුණා පමණක් නෙව ඩීසල් මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තුවද 13%කට ආසන්න ප්‍රතිශතයකින් බැස්සේ ය. වැඩවර්ජනය ඒ සමඟ දියාරු වූයේ තෙල් වෘත්තීය සමිති නිලධාරීන් 20ක් අනිවාර්ය නිවාඩු යැවීමත් සමඟිනි. සංස්ථාවේ සෙසු සේවකයන් රාජකාරියට වාර්තා කිරීමත් සමඟ වැඩවර්ජනය නිමවෙන බව පැහැදිලි විය.
මෙම තෙල් සේවකයන්ගේ වැඩවර්ජනයට පැහැදිලිවම රටේ ජනතාවගෙන් සහයෝගයක් නොලැබුණු බවද පෙනෙන්නට තිබිණි. සිදුවූ අපහසුකම් හේතුවෙන් පීඩාවට පත් වූ ඇතැමුන් ආණ්ඩුවට දොස් පවරනු දැකිය හැකි වුවත් වැඩ වර්ජන නිමිත්ත වූ තෙල් මෙරටට ගෙන්වීමට, ගබඩා කිරීමට සහ බෙදාහැරීමට නව සමාගම් 03කට අවසර ලබාදීමට විරෝධය පළ කිරීම ජනතාවගේ ප්‍රසාදයට ලක්වූයේ නැත. රටේ ආර්ථිකයට බරපතළ පීඩනයක් ගෙන දෙමින් අධික ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබෙන තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම කවදා හෝ කොතනකින් හෝ ආරම්භ විය යුතුව තිබිණි. එසේ නොමැතිව මේ බර දිගින් දිගටම දරාගෙන සිටීමට රටේ ජනතාවට හැකියාවක් නැත. රටේ ආර්ථික කඩාවැටීමට එක් ප්‍රබල හේතුවක් වන අධික පාඩු ලබන රාජ්‍ය ආයතන එලෙසම පවත්වාගෙන යා යුතු බවට පළවන මතවාද රටේ ජනතාව තවදුරටත් අනුමත නොකරන බව පසුගිය කාලය තුළදී දැකගන්නට ලැබිණි. ඒ අර්ථයෙන් ගත් කළ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් මෙවර වැඩවර්ජනය අල්ලාගෙන ඇත්තේ වැරදි කොනකින් බව පැහැදිලිය.
මේ රටේ තෙල් බෙදාහැරීම නිදහසින් පසුව පැවතුණේ පෞද්ගලික ව්‍යවසාය වශයෙනි. 60 ගණන්වල මුල් අවදියේ බලයට පත්වූ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව 1961 අංක 28 දරණ පනත ඉදිරිපත් කරමින් තෙල් ගෙන්වීම, බෙදාහැරීම සහ විකිණීම ජනසතු කළේය. එම ජනසතු ව්‍යාපාරය හරහා රටේ ජනතාවට තෙල් සාධාරණ මිලකට සැපයීම සඳහා1962 දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පිහිටුවනු ලැබීය. ශ්‍රී ලංකාව තුළ තෙල් ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිටි ෂෙල්, කැල්ටෙක්ස් සහ එසෝ සමාගම්වලට විශාල වන්දියක් පවා ගෙවීමට එම රජයට සිදුවිය. ජනසතු ව්‍යාපාරය යටතේ වරාය, බස් සේවය පමණක් නොව වතු සමාගම්ද රජයට පවරාගනු ලැබීය.
එහෙත් ජනසතු ව්‍යාපාරයේ බලාපොරොත්තු වූ අරමුණු ඉටුකර ගැනීම වෙනුවට සිදුවූයේ එසේ ජනසතු කෙරුණු ආයතන බලයට පත්වන ආණ්ඩුවල රැකියා සපයන මැෂින් බවට පත් වීමය. පෞද්ගලික ආයතන හරහා සිදුවෙමින් තිබූ කාරයක්ෂම සහ පිරිසුදු සේවා තත්ත්වය වෙනුවට අකාර්යක්ෂම උදාසීන සහ කිසිදු පිළිවෙළක්, විනයක් නැති ආයතන බවට ඒ ඇතැම් ව්‍යවසායක පත්වුණි. රටේ ජනතාවට පහසු මිලට ඉන්ධන ලබාදීම වෙනුවට පසුකාලයකදී ලැබුණේ දිනෙන් දින ඉහළ යන මිලකි. එහෙත් රජයේ වැඩි වරප්‍රසාද හිමිවීම නිසා එම ආයතනවලට හොඳ වැටුප්, දීමනා සහ බෝනස් ද යහමින් ලැබුණේය.
හොඳට ලාබ ලබමින් තිබූ ආයතන අධික පාඩු ලබන තත්ත්වයට පත් වූයේ ඒවා කළමනාකරණය සඳහා සුදුසු පුද්ලයන් වෙනුවට තමන්ගේ ගජමිතුරන්, ඥාතීන් පමණක් නොව දේශපාලන හෙංචයියන් පවා යොදාගැනීම හේතුවෙනි. ඒවා ජනතාවට සේවය සලසන ආයතන නොව මැති ඇමැතිලාගේත් හෙංචයියලාගේත් මනදොළ සපුරණ ආයතන බවට පත්වූයේ බලා සිටියදීම ය. ඊළඟට සිදුවූයේ එම ආයතන ඉහළ දේශපාලන අනුග්‍රහයත් සමඟ අතිශයින් දූෂිත ආයතන බවට පත්වීමයි. අවසානයේ එම ආයතනවල සේවක සේවිකාවන්ගේ වැටුප පමණක් නොව බෝනස් පවා ගෙව්වේ රටේ මහජනතාවගේ බදු මුදලිනි. එහෙම රටක් බංකොලොත් වීම ගැන පුදුම විය යුතුද?
තෙල් සංස්ථාව 2001 දී බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දැරු ආණ්ඩුව යටතේ ප්‍රථම වතාවට ප්‍රතිව්‍යුහගත කෙරිණි. ලංකා අයි.ඕ.සී. සමාගමට රටේ ඉන්ධන පිරවුම් හල් 100ක් ලබාදෙමින් එය සිදුකළ අවස්ථාවේත් මේ හා සමාන විරෝධයක් මතු විය. එහෙත් එම පියවර රටට කෙතරම් යහපතක් සලසා ඇතිදැයි මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට තිබේ. දැනට සංස්ථාව සතු පිරවුම්හල් 1200න් 450ක ප්‍රමාණයක් සමාගම් 03කට ලබාදීම හේතුවෙන් සිදුවන්නේ රට තුළ තෙල් මිලට තරගකාරීත්වයක් ඇතිවීමය. එහි වාසිය ලැබෙන්නේ (රජයේ බදු මැදිහත් නූනොත්) පාරිභෝගිකයාට ය. එසේම එය තෙල් සංස්ථාව මේ වනවිට ලබමින් සිටින අධික පාඩුව අවම කර ගැනීමටද හේතුවනු ඇත. මේ බව සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් තේරුම් ගත යුතුව තිබිණි.
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම රටේ ආර්ථිකය ගොඩගැනීමේ එකම විසඳුම වශයෙන් අපද පිළිගන්නේ නැත. ඒ සඳහා විධිමත් ජාතික සැලැස්මක් සකස් කරගත යුතුය. එහෙත් අධික ලෙස පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කර එම පාඩු අවම කර ගැනීමට ගන්නා පියවරට විරුද්ධ වීමටද අපට අවශ්‍ය නැත. මෙහිදී අප කියන්නේ රජයද ඉහළම විනිවිදභාවයකින් කටයුතු කිරීම අවශ්‍ය බවය. වෘත්තීය සමිති නායකයන්ගේ වැඩවර්ජන අයිතියට අප ගරු කරන නමුත් වර්ජන කළ යුත්තේ ආයතනයේත් රටේත් පොදු යහපත සඳහා අවශ්‍ය අවස්ථාවලදී පමණි. ආණ්ඩුවට අප කියන්නේ ප්‍රතිව්‍යුහගත කිරීමට අප විරුද්ධ නුවූවද ඒ මුවාවෙන් රාජ්‍ය ආයතන දූෂිතයන්ගේ අතට යාමට ඉඩ නොතැබිය යුතු බවය.