2023 අප්‍රේල් 02 වන ඉරිදා

එදා චන්ද්‍රිකා - මෙදා රනිල්

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 186

වැඩවර්ජන ඉතිහාසය හැමවිටම පෙන්වා දෙන්නේ වැටුප් සහ දීමනා වැඩිකර ගැනීම මූලික කාරණය වී ඇති බවය. එය අපේ රටට පමණක් නොව ලෝකයේ මොන රටේ ගත්තත් මහ පොදු සාධකයකි. මේ දවස්වල යුරෝපයේ එංගලන්තය ද ඇතුළුව රටවල් ගණනාවක වැඩවර්ජනවල මූලික තේමාව වැටුප් සහ දීමනා වැඩිකර ගැනීමය. ප්‍රංශයේ පමණක් ක්‍රියාත්මක වැඩවර්ජනයේ ඉල්ලීම අපට තරමක් නුහුරුය. ඔවුන් සටන් කරන්නේ ආණ්ඩුව එරට විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා වසර දෙකකින් ඉහළ දැමීමට විරෝධය දක්වමිනි.

ලංකාවේ රජයේ සේවකයන්ගේ වැඩවර්ජන ඉතිහාසය මෑත කාලයේදී වෙනස් වුණි. වැඩි පඩි ඉල්ලීම් හැරුණුවිට රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට එරෙහිව අලුත් සටන් පාඨයක් නිර්මාණය විය. මේ සටන් පාඨය කලඑළි බැස්සේ යූ.එන්.පී. දේශපාලනයට විරුද්ධ දේශපාලන මත දරණ වාමාංශික නැඹුරුවක් තිබෙන දේශපාලන පක්ෂ ඇසුරෙනි. &රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම වළක්වනු'' වශයෙන් ඇරඹුණු මේ සටන් පාඨය මහින්ද රාජපක්ෂ පාලනය යටතේ &රටේ සම්පත් විකිණීම නවත්වනු'' වශයෙන් වර්ධනය විය. එය ඊටත් පසුව රටේ සම්පත් විකුණාගෙන කෑම තරමට පුළුල් විය. මේ සටන් පාඨය යූ.එන්.පී. විරෝධය රට පුරා දැල්වීමට ශ්‍රීලනිප ප්‍රමුඛ දේශපාලන  සන්ධානවලටත් පසුව පොහොට්ටුව ප්‍රධාන දේශපාලන සන්ධානවලටත් පොදු සටන් පාඨයක් බවට පත්වුණි.

මේ රටේ පෞද්ගලීකරණය මහා වැඩවර්ජනයක් බවට පත්වූ අවස්ථාවක් වුණේ 1996 වසරේ මැයි මාසය අගදී චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනයයි. මේ වන විට චන්ද්‍රිකා බලයට පැමිණ ගත වී තිබුණේ යන්තම් වසර දෙකකි. ඒ වන විට යුද්ධය තිබුණත් චන්ද්‍රිකා ද්‍රවිඩ මධ්‍යස්ථ මතධාරී ආචාර්ය නීලන් තිරුචෙල්වම් වැනි පිරිස් සමඟ එක්වී එල්.ටී.ටී.ඊ.ය සමඟ තාවකාලිකව නිල නොවන මට්ටමේ සංවාදයක් පටන්ගෙන යමින් සිටියාය. ඒ සඳහා විදේශ ඇමැති වූ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තරය සමඟ පැවැත්වූ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ද උදව් විය.

මේ කොහොම වුණත් 1996 ජනවාරි 31 වැනිදා මහ බැංකුවේ බෝම්බ පුපුරා ගියේය. ඊට මාස දෙකකට පසුව ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය ද දිනුවේය. ඒ වෙලාවේ ලෝක කුසලාන සත්කාරක රට වූයේ ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවයි. බෝම්බය පුපුරා යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළේ ආරක්ෂක හේතූන් හුවා දක්වමිනි. ඒ වෙලාවේ ඉන්දියා කණ්ඩායම සුහද පුහුණු ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ලංකාවට පැමිණ සෙසු රටවල්වල බිය දුරු කිරීමට කටයුතු කළේ චන්ද්‍රිකා සහ කදිරගාමර්ලාගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල බලපෑම හේතුවෙනි.

මෙහෙම වැඩ කළ චන්ද්‍රිකාගේ ඒ අවුරුද්දේ ආණ්ඩුව මැයි මාසය වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජන තර්ජනයකට මුහුණ දුන්නේ තරමක් අනපේක්ෂිත විදියටය. ඒ වන විට විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවක සංඛ්‍යාව 14,000ක් පමණ වී තිබුණි. මණ්ඩලය ඒ කාලයේ අධික පාඩු ලැබූ රාජ්‍ය ආයතනයක් නොව ලාභ ලබමින් තිබූ ආයතනයක් විය. ඔවුන්ගේ පොදු ඉල්ලීම වුණේ සේවක වැටුප 40% කින් වැඩිකර ගැනීමයි. ඒ සමඟ ප්‍රධාන ඉල්ලීම වුණේ ඒ වන විටද ලාභ ලබමින් ක්‍රියාත්මක වූ විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වූ &සීමාසහිත ලංකා ඉලෙක්ට්‍රිසිටි සමාගම'' පෞද්ගලීකරණය කිරීම වහා නැවැත්විය යුතු බවයි. එම සමාගමේ රජය සතු කොටස් විකුණා දැමීමට ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙසට කර තිබූ ඉල්ලීම මේ රටේ රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කිරීමට එරෙහි කැපී පෙනුණු පළමු වැඩවර්ජනය විය. සේවකයන් සියලු දෙනාගේ සහාය වැඩවර්ජනයට ලැබුණේ වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීම හේතුවෙනි. නමුත් ලංකා ඉලෙක්ට්‍රිසිටි සමාගම පෞද්ගලීකරණය කළ යුතු බවට විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවරු මෙන්ම රටේ අනාගත විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් මත පළ කරමින් සිටි ඇතැම් විද්‍යාඥයන්ගේද සහාය හිමි වී තිබුණි. එයට විරුද්ධව සේවකයන් උසිගැන්වීමට සියලු වෘත්තිය සමිති කටයුතු කළේ මේ ඉල්ලීම් දෙකම දිනා ගැනීමෙන් මිස සටන නොනවත්වන බව රටට කියමිනි.

ඒ වන විට විදුලිබල මණ්ඩලය තුළ වෘත්තීය සමිති 18ක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. එම සංගම් එකමුතුවේ කැඳවුම්කරු වූයේ අතීතයේ සිටම ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කළ වෘත්තීය සමිති නායකයකු වූ ඩබ්ලිව්.ආර්. ලැන්ටි ය. ලක්ෂපාන බලාගාරයේ තාක්ෂණික නිලධාරියකු වූ ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවට කිව්වේ ඉල්ලීම් නුදුන්නොත් රටම අඳුරේ තැබීමට පසුබට නොවන බවය. චන්ද්‍රිකා ඒ කතාව ගණන් ගත්තේ නැත.

ලැන්ටිගේ නායකත්වයෙන් වර්ජනය ඇරඹුණි. ආණ්ඩුව නොසිතූ පරිදි රටම අඳුරු විය. මැයි 30 වැනිදා රාත්‍රිය වන විට මුළු රටම තිබුණේ ඝන අඳුරේය. රෝහල් පද්ධතිය පමණක් ජෙනරේටර් යොදා විදුලිය ලබාදීමට ක්‍රියා කර තිබූ අතර ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු සහ සේවක පිරිසක් යොදවනු ලැබ සිටියහ.

චන්ද්‍රිකා අන්දමන්ද විය. වහාම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තමන් මේ ඉල්ලීම්වලට යට නොවන බවත් වර්ජනය අතහැර සේවයට නොපැමිණෙන සියලුම සේවකයන් සේවයෙන් පහ කරන බවටත් ප්‍රකාශ කළේය. මේ වර්ජනය පසුපස යූ.එන්.පි.ය සිටින බවටද චෝදනා කළාය. ඒ කාලයේ විපක්ෂයේ සිටි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා රට අඳුරේ තැබීම ගැන කර තිබූ ප්‍රකාශයකට එහිදී ලබා දුන් පිළිතුරද ඒ කාලයේ මාධ්‍යයේ සිරස්තල මැව්වේය.

චන්ද්‍රිකා එහෙම කියා නිකම් සිටියේ නැත. යුද්ධය මැද්දේ වුවද සියලු බලාගාරවලට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ආරක්ෂාව තර කළේය. අත්‍යාවශ්‍ය සේවා නීතිය පනවා ඉංජිනේරුවරුන් බලහත්කාරයෙන් කැඳවාගෙන ඇවිත් වහාම විදුලි බලය සැපයීමට කටයුතු කරවන්නැයි අණ දුන්නාය. ඒ කාලයේ රට පුරා හදිසි නීතිය පනවා තිබූ හෙයින් එසේ කිරීමට නීතිමය ප්‍රතිපාදන තිබුණි. තවත් පැය 24ක් වෙද්දී රටේ සෙසු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනද අකර්මණ්‍ය විය. විදුලි බලය නැතුව ඉන්ධන බෙදාහැරීමද අඩපණ වීමෙන් බස් - දුම්රිය ඇතුළු සෙසු වාහන ගමන්ද අඩාල විය. හැබැයි චන්ද්‍රිකා එයින් සැලුණේ නැත. වර්ජනය නැවැත්වීමෙන් තොරව සමිති සමඟ සාකච්ඡාද ප්‍රතික්ෂේප කළාය.

මේ වන විට ලැන්ටි ඇතුළු වැඩවර්ජනයට නායකත්වය දුන් වෘත්තීය සමිති නිලධාරින් පිරිස හිටියේ හැංගිලාය. විදුලි බලය නැතිව අඳුරේ සිටි ජනතාවද වැඩවර්ජනයට මුලින් දැක්වූ සහාය දියාරු වෙමින් තිබිණි. චන්ද්‍රිකා හමුදාවේ ආධාරය ඇතිව විදුලිබල සේවක වැඩවර්ජනය අවසන් කිරීමට ගත් උත්සාහය සාර්ථක විය. පැය 72 කදී රටේ ප්‍රදේශ කිහිපයකට විදුලි බලය ලැබුණි. ජූනි 01 වැනිදා වන විට වැඩවර්ජනය ඉවර විය. එය සෙනසුරාදා දිනයක් විය. ඊළඟ සඳුදා සිට රට යථා තත්ත්වයට පත්වුණු අතර විදුලිබල මණ්ඩල සේවකයන්ද රාජකාරියට වාර්තා කර තිබුණි.

මේ සටනින් විදුලිබල මණ්ඩල සේවකයන් සිය වැටුප වැඩිකර ගැනීම සඳහා කර තිබූ ඉල්ලීමෙන් කොටසක් ඉටු වුණත් පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ඉන්පසුව ක්‍රියාත්මක වුණේ නැත. එය මේ රටේ ඉදිරි මග වෙනස් කළ තීරණයක් විය. එදා රජය විදුලිබල මණ්ඩලය පියවරෙන් පියවර පෞද්ගලීකරණයට අත තැබුවා නම් මේ වන විට විදුලිබල මණ්ඩලය මේ තරම් අධික පාඩුවක් ලබන ආයතනයක් බවට පත්වන්නේ නැත. 1996 වන විට විදුලිබල මණ්ඩලය ලබමින් සිටි ලාභයත් 2022 වන විට ලබමින් තිබූ පාඩුවත් ගණන් බැලීමෙන් මේ තත්ත්වය වටහා ගත හැක. එපමණක් නොව වර්තමානයේ තෙල් සංස්ථාවද මේ තරම් අධික ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත්වන්නේ නැත.

මේ රටේ දේශපාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති එකිනෙක පටලවා ගැනීම හේතුවෙන් රටේ ආර්ථිකය දිනෙන් දින ඇදී ගියේ මකර කටටය. රාජ්‍ය සම්පත් විකුණන්න ඉඩ දෙන්නේ නැතැයි කියා සටන් පාඨ හැදූ ඉන්පසුව බලයට පත් සියලු නායකයන් මේ තත්ත්වයට වගකිව යුතු බව පැහැදිලිය. එදා සිටම අද දක්වා ඒ සටන් පාඨය ඉතිරිව ඇත්තේ රට බංකොලොත් ආර්ථිකයක් දක්වා ගමන් කිරීමට ඉඩ සලස්වමිනි. මේ තත්ත්වය කොතරම් දේශපාලනීකරණය වුණේදැයි කිවහොත් රටට එන විදෙස් ආයෝජන පවා රට විකිණීමක් හැටියට අර්ථ ගන්වා තිබේ. මේ හේතුවෙන් මේ රට ගැන විදෙස් ආයෝජකයන් තුළ තිබූ විශ්වාසය නැතුව ගියේය. තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් මේ අතීතය අමතක කර වැඩවර්ජනයක් කරන්න යාමෙන් සිදුවුණේ අසාර්ථක වැඩවර්ජනයකට නායකත්වය දුන් පිරිසක් වශයෙන් ඉතිහාස ගත වීමටය.

වරායේ නැගෙනහිර පර්යන්තය ආයෝජකයන්ට පැවරීමට තීන්දු කළ අවස්ථාවේ වරාය සේවකයෝ අරගලයක් දියත් කළහ. වරාය විකුණන්නට නොදෙන බවට ඔවුහු ප්‍රතිඥා දුන්හ. මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙලාවේ ගත්තේ වරායේ වෘත්තීය සමිති නායකයන්ගේ පැත්තය. එය නොගත යුතුව තිබූ තීරණයක් වුණත් රටේ අනාගතයට වඩා තම පක්ෂයේ දේශපාලන අනාගතය මහින්දට ඒ වෙලාවේ වැදගත් විය. අවසානයේ සිදුවුණේ රටට ලැබෙන්න තිබූ ඉතා වටිනා ආයෝජනයක් අහිමි වීමය. එය ලෝකයේ ආයෝජකයන්ගේ විශ්වාසය පවා දිය කර හැරීමක් විය. රටේ ආර්ථිකය කඩා වැටීමට මෙවැනි තීරණත් හේතු විය.

මේ නිසා තවදුරටත් රටේ සියලු රාජ්‍ය ආයතන කොතරම් පාඩු ලැබුවත් රජය යටතේම තබාගත යුතු බවට වන ඉල්ලීමට රටේ බහුතර ජනතාවගෙන් දැන් සහායක් ලැබෙන්නේ නැති බව වෘත්තීය සමිති නායකයන් තේරුම් ගත යුතුව තිබේ. වත්මන් ජනපති රනිල් ඇල්ලුවේ මේ නාඩියයි. ඔහු බය නැතිව තමන් ගත් තීරණ ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටී. පාඩු ලබන ආයතන සමඟ රටට ඉදිරි ගමනක් නැති බව ඔහු කිව්වේ 2001 වසරේ ආණ්ඩුව ගත් වෙලාවේය. එවිට ඔහුගේ දේශපාලන තීන්දුවලට හරස් වූ චන්ද්‍රිකා ඒ ආණ්ඩුව වැට්ටුවේය. 2015 දීද රනිල් අගමැති වී මේ කතාවම කිව්වේය. ශ්‍රී ලංකන් ආයතනය වාර්ෂිකව ලබන කෝටි 600 ට අධික පාඩුව මේ රටේ ජනතාව ගෙවිය යුත්තේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය. පෞද්ගලීකරණය යන වචනය රටේ සටන් පාඨයක් බව දැන සිටි ඔහු ශ්‍රී ලංකන් ආයතනය ප්‍රතිව්‍යුහගත කරමු යැයි යෝජනා කළේය. අධික පාඩු ලබමින් තිබෙන සෙසු ආයතනද ඒ හරහා රටේ ආර්ථිකයට බරක් නොවන තැනට ගෙන ආ යුතු බවද ප්‍රකාශ කළේය.

එහෙත් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්ප්‍රදායික වාමාංශික දේශපාලන න්‍යාය මත පදනම් වූ නායකයකු වීම නිසාත් ජනපති - අගමැති දෙපළ අතර හටගත් මතභේද නිසාත් ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. රනිල් නායකත්වය දුන් යූ.එන්.පියට යන එන මං නැතිකර එහි බලය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට සීමා කිරීමට පවා එක් හේතුවක් වූයේ පොහොට්ටුවේ වේදිකාව තුළ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ගිය රටේ සම්පත් විකුණන බවට වූ දැවැන්ත ප්‍රචාරයයි.

අද ඒ තනි මන්ත්‍රී ධූරය රටේ ජනාධිපති ධූරය දක්වා ඉහළ නංවා ගැනීමට රනිල් සමත් වී සිටියි. එයට හේතු වූ පසුබිම් කාරණා කුමක් වුවද මහජන ඡන්දයෙන් රටේ ජනාධිපති වීමට නොහැකි වූ රනිල් අද රටේ නායකයාය. ඔහුව ඡන්දයෙන් පරාජය කිරීමට රට කෑලිවලට කඩා විකුණනවා කියා අට්ටි ගණනින් බොරු දෙසා බෑ පොහොට්ටුවේ නායකයන්ට අද සිදු වී තිබෙන්නේ රනිල් හොඳ නායකයෙක් යැයි කීමටය. එදා තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි කියන විට මෙන්න රනිල් රට විකුණනවා යැයි කෑගැසූ පොහොට්ටුවේ මැති ඇමැතිලා අද කියන්නේ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද තිබූ බවය.

ප්‍රතිපත්ති ප්‍රකාශවල කුමක් තිබුණත් වඩාත් වැදගත් වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමය. රනිල් වික්‍රමසිංහ කරන්නේ ප්‍රතිපත්ති කඩදාසියට සීමා නොකර ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩකඩ හදා ගැනීමය. රටම බං‍කොලොත් වී ආර්ථිකය හතර ගාතෙන් වැටී තිබෙන අවස්ථාව රටේ සියලු නායකයන්ගේ දේශපාලන ධෛර්යය බින්දුවට දැම්මත් රනිල් මේ අවස්ථාව අරන් තිබෙන්නේ රට හැදීමට හොඳම අවස්ථාව හැටියටය. රනිල්ගේ දේශපාලනයේ වෙනස ඒකය.

දැන් ජනතාව ඉදිරියේ රටේ සම්පත් විකුණනවා කියන සටන් පාඨය තවදුරටත් මාකට් කිරීම කළ නොහැකිය. වරායේ නැගෙනහිර පර්යන්තයට ආයෝජනයක් ආපු වෙලාවේ මහින්දට එහෙම හිතන්න බැරි විය. එහෙත් රනිල් එහෙම හිතන්න අවශ්‍ය දේශපාලන ඉව හොඳටම තිබෙන නායකයෙකි. තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන්ගේ හඬට සවන් දීමට අද පොහොට්ටු නායකයන් ඉදිරිපත් නොවන්නේ මේ හේතුවෙනි. රනිල් මේ කරන්නේ එදා චන්ද්‍රිකා විදුලිබල වර්ජනයේ කොන්ද කඩා දැමීමට ගත් පියවරම අනුගමනය කිරීමදැයි එකවරම කියන්න බැරිය. සමහර විට චන්ද්‍රිකා එදා නැවැත්වූ තැනින් අද රනිල් පටන් ගන්න හදනවා වෙන්නත් පුළුවන.

I ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00