2023 අප්‍රේල් 09 වන ඉරිදා

බඩු මිල අඩුවීමේ වාසිය කෝ?

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 84

කාලෙකට පෙර පිම්මේ ඉහළ ගිය ගෑස් මිල ඇඟට දැනෙන තරමට එකවර රුපියල් දහසකටත් වඩා මුදලකින් පහළ ගියේය. ගෑස් මිල පහළ යාමට පෙර පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන්ද අඩු කෙරිණි. භූමිතෙල් නම් බැස්සේ සොච්චමකිනි.

දැන් සති ගාණක සිට වෙළෙඳපොළේ එළවළු මිල තිබෙන්නේ පහළ මට්ටමේය. බෝංචි කිලෝවක මිල රුපියල් 800 සිට රුපියල් 200 දක්වා පහළ ගොසිනි. කැරට් මිලද ඒ ආකාරයටම අඩුය. මේ උදාහරණ දෙකක් පමණි. එසේම මාළු සහ කුකුළු මස් මිල ගණන්ද අඩු වැඩි වෙමින් එහෙත් දරාගත හැකි මට්ටමේ පවතියි. මේ හැර ආණ්ඩුව වරින් වර මිල ගණන් පහත දැමූ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක්ද වෙයි. පරිප්පු, හාල්මැස්සන් ඇතුළු කරවල, පාන් පිටි, සීනි, අල, ලූනු ඒ අතර තිබේ. සහල් මිල ගණන් තිබෙන ප්‍රමාණයේම රුඳී පවතින බවද පෙනී යයි.

මේ රටේ පාන් ගෙඩියේ සිට සුපිරි ෆ්‍රයිඩ් රයිස් දක්වා ආහාරපාන වර්ගවල මිල ගණන් දරාගත නොහැකි මට්ටමට වැඩි වූයේ ඉහත මිල ගණන් යමරෙට වැඩි වූ කාලයේදීය. ආහාරපාන වර්ගවල මිල අසා සැනසෙනු හැර ඒවා භුක්ති විඳීමට බොහෝ දෙනකුට හැකියාවක් නොතිබිණි. මේ නිසා ජනතාව සිටියේ පාන් කෑම කෙසේ වෙතත් පාන් කියා ගැනීමටවත් නොහැකි මට්ටමේය.

තත්ත්වය එසේ වී නම් එම මිල ගණන් පහත වැටෙද්දී තවමත් එහි වාසිය පාරිභෝගිකයාට නොලැබී යන්නේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි. පාන් ගෙඩියේ බනිස් ගෙඩියේ මිල ගණන් තවමත් පාන් පිටි මිල අඩු වූ තරමට සාපේක්ෂව අඩු වී නැත. බත් පැකට් එකේ මිලටද සිදුව ඇත්තේ ඒ දෙයමය. එපමණක් නොව ආප්ප, ඉඳිආප්ප සහ කෙටි කෑම වර්ගවල මිලද තවමත් තිබෙන්නේ වැඩි වූ මට්ටමේය. ආප්ප, ඉඳිආප්පවල මිල ඉහළ යාමට තදින්ම බලපෑවේ ඉහළ ගිය පාන් පිටි සහ ගෑස් මිල ගණන් බව නොරහසකි. එහෙත් ඒ දෙකම අඩු වෙද්දී ඒවායේ මිල අඩු නොවීම තුළින් පීඩනයට පත්වෙන්නේ රටේ පාරිභෝගික ජනතාවයි. දරුවකුට බනිස් ගෙඩියක් මිලදී ගැනීමට හෝ තවමත් ඔවුන්ට නොහැකි වී තිබේ. බේකරි හිමියන් පවසන්නේ තමන්ගේ මූලික වියදම් තවමත් පවතින්නේ ඉහළ මට්ටමේ වීම හේතුවෙන් මිල අඩු කළ නොහැකි බවකි. අමුද්‍රව්‍ය මිල වැඩි කරන පරක්කුවෙන් පාන් ගෙඩිය, බනිස් ගෙඩිය ඉහළ දැමීමට කටයුතු කළ බේකරි හිමියන් මේ කරන්නේ පාරිභෝගිකයා ගසාකෑමක් නොවේද? මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා රජයට කිසිම මැදිහත් වීමක් නොකිරීමද ගැටලුවකි. 

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ බත් පැකට් එකේ, කොත්තු රොටියේ පමණක් නොව ආප්ප, ඉඳිආප්පවලද මිල 20෴ කින් පමණ අඩු කිරීමට කටයුතු කරන බවකි. එහෙත් මේ කියන ආකාරයට මිල ගණන් අඩු නොවන බව පාරිභෝගිකයෝ දනිති. එක් එක් ආපන ශාලාව එක් එක් ආහාර වර්ග සඳහා මිල නියම කරන්නේ තමන්ට අවශ්‍ය පරිදි මිස සංගමය ප්‍රකාශ කරන පරිදි නොවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන තත්ත්වයයි. අපට නම් දැනෙන්නේ පසුගිය සති කිහිපය තුළ අඩු වූ මිල ගණන්වල වාසිය පාරිභෝගිකයන් කරා ගලා නොයන බවය. ඒ වාසිය නිසැකවම ආපන ශාලා ඇතුළු ආහාර නිපැයුම්කරුවන්ගේ සාක්කුවල රැඳී තිබෙන බව පැහැදිලිය. 

මේ අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ එකවරම ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වීම තමන්ගේ ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපා ඇති බවය. එකවරම ඇතිවූ මේ තත්ත්වය හේතුවෙන් ආනයනකරුවන්ට පසුගිය දිනවල රුපියල් බිලියන 4 – 5ක පාඩුවක් සිදුවූ බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා අපගේ ''දේශය'' පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. රුපියල වර්ධනය වීමට පෙර තමන් මෙරටට ගෙන්වූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ටොන් ලක්ෂ ගණනක් තිබූ බවද ඩොලරය රුපියල් 350 ට තරම් තිබියදී ඇණවුම් කළ එම ද්‍රව්‍ය දින කිහිපයක් තුළදී ඩොලරය රුපියල් 320 ක් තරමට පහළ යාම හේතුවෙන් විකිණීමට සිදුවූයේ විශාල අලාභයක් විඳගනිමින් බවද ඒ මහතා පෙන්වා දී තිබිණි.

මෙවැනි අවස්ථාවලදී ආණ්ඩුව කිසියම් මැදිහත් වීමක් සිදු කරන්නේ නම් රටින් ගෙනෙන බඩු මිල ගණන් අඩුවීමේ වාසිය කෙළින්ම පාරිභෝගිකයාට පමණක් නොව වෙළෙන්ඳාටද ලැබෙන්නට ඉඩ තිබිණි. මේ එළඹෙන උත්සව සමයේදී අත්‍යාවශ්‍ය බඩු අඩු මිලට ලබාගැනීමට පාරිභෝගිකයාට තිබූ අවස්ථාව සෑහෙන පමණකින් අඩුවීම එහි ප්‍රතිඵලය වී තිබේ. වසර ගණනාවකට පසුව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තරමක් නිදහසේ සැමරීමට මෙවර රටේ ජනතාවට අවස්ථාව උදා වී තිබුණද බඩු මිල අඩුවීමේ වාසිය නොලැබීම එම නිදහස සීමා කර තිබෙන බව සඳහන් කළ යුතුය. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමෙන් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබී යාමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන්නේද නැත.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00