2023 අප්‍රේල් 09 වන ඉරිදා

ලංකාවට අයි.එම්.එෆ්. ණය කොන්දේසි වැටුණු හැටි

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 160

අයි.එම්.එෆ්. ණය ලබාගන්නා රටවල් යහපාලනයකින් යුත් පාලන ක්‍රමයක්, ශක්තිමත් දූෂණ විරෝධී නීති සහ ස්වාධීන මහ බැංකුවක් පවත්වාගෙන යා යුතු බවට බලකර පැවසීමට ඉතා හොඳ හේතුවක් තිබේ. ^90 දශකයේදී අමෙරිකාවේ බලපෑම් හේතුවෙන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් රුසියාවට ලබාදීමට ගත් තීන්දුවෙන් අයි.එම්.එෆ්. එකට අත පුච්චා ගැනීමට සිදුවීම ඊට හේතුවය.

ඒ වෙලාවේ අමෙරිකාවට අවශ්‍යව තිබුණේ බටහිර ජාතීන්ගේ න්‍යයයන් අනුව බොරිස් යෙල්ට්සින් (රුසියානු නායකයා) ලවා රුසියාව යළි ගොඩනැංවීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අයි.එම්.එෆ්. නිලධාරීන් සහ එහි විධායක මණ්ඩලය රුසියාවට ප්‍රමාණවත් තරම් මුදලක් ප්‍රදානය කිරීමට කැමැත්ත පළ කළත් අරමුදලට අමෙරිකාව දැඩි බලපෑමක් එල්ල කළේ අතිවිශාල මුදල් ප්‍රමාණයක් රුසියාවට ලබාදිය යුතු බවටය.

සාමාන්‍යයෙන් සිදුකරන ඇපකර ණය ලබාදීමේ ක්‍රමවේදයෙන් බැහැරව යමින් රුසියානු නායක යෙල්ට්සින්ට එම ණය මුදල් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමටද අයි.එම්.එෆ්. ඉඩ දුන්නේ ය. මේ ඉඩකඩ ලැබීම රුසියානු රජයට අයි.එම්.එෆ්. වෙතින් ලැබුනු ණය වැරදියට වියදම් කිරීමට අවස්ථාව සලසා දීමක් විය.

අයි.එම්.එෆ්. මෙවර ශ්‍රී ලංකාවටත් එදා ^90 දී රුසියාවටත් ණය දීමේ නිශ්චිත සමානකම් පෙන්නුම් කරයි. සෝවියට් දේශය 1991දී බිඳ වැටීමත් සමඟ රුසියානු ෆෙඩරේෂනය බිහි විය. එම අලුත් රට, ජාතිය නිදහස් වෙළෙඳපොළ ක්‍රමය යටතේ වර්ධනය වෙනු දැකීම අයි.එම්.එෆ්. අපේක්ෂාව විය. අද ශ්‍රී ලංකාව මෙන් එදා රුසියාව බංකොලොත් රාජ්‍යයක් වී තිබිණි. පැරණි සෝවියට් දේශය පැවැති කාලයේදී ලබාගෙන තිබූ අධික විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 66ක් විය. නමුත් එරට රත්රන් ඇතුළු විදෙස් ණය සංචිතය ඩොලර් බිලියන 02කට සීමා විය. එහි ප්‍රතිඵලයක් හැටියට රුසියාව ඒ වනවිට විදෙස් ණය ගෙවාගත නොහැකි තත්ත්වයකට මුහුණ දී සිටි අතර ඔවුන්ගේ ණය වල බැඳීම් තිබුණේ බටහිර මුල්‍ය ආයතන සමඟිනි.

අද ශ්‍රී ලංකාවට පැමිණියාක් මෙන් අයි.එම්.එෆ්. එදා රුසියාවටද ගියේ ප්‍රතිපත්ති උපදේශකයන් වශයෙනි. එසේම ණය ලබාදෙන්නකු හැටියටද බටහිර රටවලින් ආධාර ලබාදීම සංවිධානය කරන්නකු හැටියටද අයි.එම්.එෆ්. ක්‍රියා කළේය. අයි.එම්.එෆ්. බොහෝ උද්‍යෝගිමත්ව එසේ උදව් කළේ රුසියාව නිල වශයෙන් අයි.එම්.එෆ්. සාමාජිකත්වය පවා ලබා නොසිටි තත්ත්වයක් තුළ වීම විශේෂත්වයකි. කෙසේ වුවද ණය අනුමත කෙරුණේ රුසියාව 1992 ජූනි මාසයේදී සාමාජිකත්වය ගැනීමෙන් පසුවය.

රුසියාව තුළදී අයි.එම්.එෆ්. අසමත් වීම සම්බන්ධයෙන් 1998 දී ''හෙරිටේජ් ෆවුන්ඩේෂන්'' ආයතනයෙන් ලියැවිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ තුළ අයි.එම්.එෆ්. බොහෝ උද්‍යෝගිමත් ලෙස රුසියාවට ණය ලබාදීමේදී සිදුකළ වැරදි තුනක් උපුටා දක්වා තිබිණි. එහි පළමුවැන්න ණය ලබාගත් රටේ අවදානම් සාධක පිළිබඳ ප්‍රමාණවත් තරම් අධ්‍යයනයක් නොකිරීම වශයෙන් පෙන්වා දී තිබිණි. (මෙය ඕනෑම බැංකුවක් සුළු පරිමාණ ණයක් ලබාදීමේදී පවා අනුගමනය ක්‍රමවේදයකි.) එහිදී රුසියාවේ ආර්ථික වර්ධනය අධි තක්සේරු කිරීම ප්‍රබලම වැරුද්ද වශයෙන් පෙන්වා දී තිබිණි.

දෙවැන්න රුසියානු නායකයන්ට තමන් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට තිබෙන හැකියාව පරදුවට තබමින් ණය ලබාදීම වශයෙන් දක්වා තිබිණි. එම ප්‍රතිසංස්කරණ සිදුකිරීම රුසියානු නායකයන් පැහැර හැරියොත් හෝ ඔවුන්ට ඒවා සිදුකිරීමට නොහැකි වුවහොත් හෝ යොදාගත හැකි විකල්පයක් නොතිබිණි. මේ නිසා ප්ලෑන් A අසාර්ථක වූවොත් ප්ලෑන් B එකක් ඔවුන්ට නොතිබිණි.

තෙවැන්න වැඩපිළිවෙළ අතරමගදී රුසියාවේ සිටින නායකයන්ට ඉවත්වීමට සිදුවුවහොත් ඒ වෙනුවට පැමිණෙන නායකයන් සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. එක ප්‍රමාණවත් තරම් අධ්‍යයනයක් සිදු නොකිරීම ලෙස හැඳින්විණි. එය යම්කිසි සමාගමක විධායක නිලධාරීන් බැංකුවකින් ණයක් අනුමත කළ විගසම ඉවත්ව යාම හා සමානය. රුසියානු නායකයන් විසින් හඳුන්වා දීමට නියමිත වූ ඇතැම් තදබල ප්‍රතිසංස්කරණ රුසියානු පාර්ලිමේන්තුව අනුමත නොකරනු ඇති බව අයි.එම්.එෆ්. නිලධාරීන් කල්තබාම හඳුනාගත යුතුව තිබිණි. එහි පාර්ලිමේන්තුව සමන්විත වූයේ ප්‍රතිසංස්කරණ විරෝධී සාමාජිකයන්ගෙනි. ඇත්තටම සිදුවූයේ එයයි.

අයි.එම්.එෆ්. නිලධාරීන්ගේ ගැටලුවලට මුල් වූයේ රුසියානු රජයේ ඉහ වහා ගොස් තිබූ දූෂණය ගණන් නොගෙන කටයුතු කිරීමයි. ඉහත සඳහන් වාර්තාවට අනුව ලෝක බැංකුව මගින් රුසියාවට ලබා දී තිබූ ඩොලර් මිලියන 250ක මුදලක් අතුරුදන්ව තිබුණේ සොයාගත නොහැකි අන්දමටය. එම මුදල ලබාදී තිබුණේ ගල්අඟරු කර්මාන්තය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ චෙච්නියාවේ ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහාය. ඊට අමතරව එම වාර්තාවලට අනුව දූෂිත දේශපාලනඥයන් විසින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් වාෂ්ප කර දමා තිබිණි. අමෙරිකා බැංකුව සහ නිව්යෝර්ක් බැංකුව හරහා ඔවුන්ට ඒ සඳහා උදව් කර තිබුණේ රුසියානු මහ බැංකුවේ නිලධාරීන් පිරිසකි.

තවත් වාර්තාවකට අනුව 2002 වනතුරුද රුසියාව තුළ අයි.එම්.එෆ්. මුදල අතුරුදන් වීම සම්බන්ධ වංචාව හරිහැටි හෙළිදරව් වී නොතිබිණි. එම වසරේ අප්‍රේල් මාසයේදී රුසියාවේ රාජ්‍ය විගණක මණ්ඩලයේ නිලධාරියෙක් පාපොච්ඡාරණය කර තිබුණේ රුසියානු බැංකුවලට ආධාර කිරීම සඳහා 1998 දී ලැබුණු ඩොලර් බිලියන 05ක මුදලට සිදුවූදේ තමාට සොයාගත නොහැකි වූ බවයි. ඔහු පවසන්නේ අයි.එම්.එෆ්. ලබාදුන් ණය මුදල සොරකම් කර ඇති බවය. එය සිදුකර ඇත්තේ මහ බැංකු නිලධාරීන් බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

මේ ආකාරයට ජාත්‍යන්තර බැංකු හරහා එම මුදල් රුසියාවෙන් පිටට ඇදී ගිය ආකාරය පිළිබඳ සවිස්තරාත්මකව එම වාර්තාවල දැක්වෙයි.

කෙසේ වුවද ^90 දශකයේදී රුසියාව සමඟ සිදුකළ මෙම ගනුදෙනුවෙන් අත පුච්චාගත් අයි.එම්.එෆ්. දැන් කටයුතු කරන්නේ ඒ පිළිබඳ වඩාත් අවබෝධයකින් සහ බුද්ධිමත් ආකාරයටය. යහපාලන ක්‍රමයක්, දූෂණ විරෝධී යාන්ත්‍රණයක් සහ මහබැංකුව ස්වාධීන කිරීමත් ඔවුන් තමන් ගනුදෙනු කරන රටවල්වලට කොන්දේසි වශයෙන් ඉදිරිපත් කරන්නේ එබැවිනි. ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. ණයේ දෙවැනි වාරිකය ලබා ගැනීමට පෙර මේ කොන්දේසි ඉටු කිරීමට බැඳී සිටී.

I   ඩේලි එෆ්.ටී.
I   ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ලිපිය ඇසුරිණි.