2023 අප්‍රේල් 09 වන ඉරිදා

අමාරුවේ වැටුණේ කවුද?

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 249

මතක ඇති කාලෙක ඉක්මනටම ගෙවී ගිය අවුරුද්දක් හැටියට දැනුණේ 2022 අවුරුද්දය. ඒ අවුරුද්ද උදාවන විට රටේ හැමතැනම ගොවීන්ගේ උද්ඝෝෂණවලින් පිරී ගොස් තිබුණි. ඊට කලින් අවුරුද්දේ ක්‍රියාත්මක කෙරුණු රසායනික පොහොර තහනමේ ආදීනව ඒ වනවිට රටටම දැනෙමින් තිබුණේය. ගොවීන් හිටියේ රත් වී පුපුරමිනි.

හැබැයි පාර්ලිමේන්තුව ඇතුළේ ඒ වනවිට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමග් හැමවිටම කිව්වේ මේක මේ රටේ කෘෂිකර්ම විප්ලවයක් බවය. කිසිදු ගොවියකුට හානියක් පාඩුවක් නොවන බවට වග බලාගන්නා බවය. මේ හේතුවෙන් පිටරටින් එකම හාල් ඇටයක්වත් ලංකාවට නොගෙන්වන බවට ''වගකීමෙන් යුතුව'' කියන බවය.

අන්තිමට වුණේ ගොවියන් පාරට බැස ඇරඹූ සටන කොළඹ ගෝල්ෆේස් අරගලය දක්වා ව්‍යාප්ත වීමය. පොහොර තහනම ඉවත් කරන්නැයිද අස්වනු හානියට වන්දි ගෙවන්නැයිද කළ ඉල්ලීම් ආණ්ඩුවට ගෙදර යන්නැයිද ජනාධිපතිට ඉවත් වන්නැයිද වශයෙන් වෙනස් වීමට ගත වුණේ කෙටි කාලයකි. ඒ අතර බඩු හිඟ වී වරායේ කන්ටේනර් ගොඩගැසී තෙල්, ගෑස් පෝලිම් ඇතිවන විට ''හොරා කාපු සල්ලි ආපසු රටට ගෙනෙව්'' වශයෙන්ද සටන් පාඨ හැදුණි.

ඒ අතරේ කාලය වේගයෙන් ඉදිරියට ඇදුණේ රටේ ජනතාවගේ එදිනෙදා කටයුතු අවුල් කර දමමිනි. තත්ත්වය යටතේ ආණ්ඩුවද අවුල් විය. විපක්ෂය නව ජවයකින් ඔලුව ඉස්සුවේ බලාපොරොත්තු නොවූ අයුරිනි. ඒ අතර අලුත් අවුරුද්ද එළඹෙන විට අරගලය ඔඩුදුවා තිබුණේය. ආණ්ඩුව ඇතුළේද එකිනෙකාට චෝදනා එල්ල වන තත්ත්වයක් නිර්මාණය විය.

ඒ වනවිට ආණ්ඩුව තිබිය යුතුව තිබුණේ ශක්තිමත් තත්ත්වයක වුවද එහි බල පරාක්‍රමය බලා සිටියදීම දිය විය. බලයට පත් වී ගත වී තිබුණේ යන්තම් අවුරුදු දෙකක් පමණක් වුවද උදා වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට හෝ ඇමැතිවරයකුට එළියට බහින්න බැරි තත්ත්වයකි. ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් දෙකම පැරදී වැලේ වැල් නැතුව සිටි විපක්ෂයේ සජබත් ආසන සංඛ්‍යාව 03ට බැසීමෙන් දැඩි දේශපාලන පීඩනයකට හසුව සිටි ජවිපෙ ප්‍රමුඛ ජා.ජ. බලවේගයත් මේ සිදුවීම් දෙස බලා සිටින්න ඇත්තේ උද්‍යෝගයකිනි. ඒ වුණත් 225 ම එපා කියූ කතාද අරගලයේ තැන තැන ඇසෙන්න පටන් ගැනීම නිසා විපක්ෂය අරගලයට කෙළින්ම සම්බන්ධ වෙන්න ගියේ නැත. එහෙම අවස්ථාවක් තිබුණේත් නැත.

පසුගිය 2022 අප්‍රේල් මාසයේ මේ කාලය වනවිට රටේ මිනිසුන්ට අලුත් අවුරුද්දක් ගැන මතකයක් තිබුණේම නැත. ආණ්ඩුව බලාගෙන හිටියේ අලුත් අවුරුදු නිවාඩුවක් එක්ක ජනතාවගේ අරගලයත් ගසාගෙන යනු ඇතැයි කියාය. ඒත් ඒ වෙනුවට සිදුවුණේ අරගලය දිගටම පන්නරය ලබමින් ක්‍රියාත්මක වීමත් ආණ්ඩුවේ බලාපොරොත්තු දිනෙන් දින කඩවීමත් පමණි. අනපේක්ෂිත ලෙස උදාවෙමින් තිබූ දේශපාලන අර්බුදය හේතුවෙන් හිතුවාටත් වඩා කලින් රටේ පාලන බලය අතට ගැනීමට අවස්ථාවක් එළඹෙනු ඇති බවට සජබ තුළද බලාපොරොත්තු දැල්වෙමින් තිබුණි.

එහෙත් ජවිපෙ ප්‍රමුඛ ජා.ජ. බලවේගය සිටියේ වෙනම ස්ථාවරයක බව පැහැදිලිව පෙනිණි. ඔවුන්ද ගත්තේ අරගලයේ ඉල්ලීම වූ ''සිස්ටම් චේන්ජ්'' ස්ථාවරයයි. ආණ්ඩුව වෙනස් කිරීමෙන් රටේ ගැටලු නොවිසඳෙන බවත් ක්‍රමය වෙනස් කිරීමකින් තොරව රටට අනාගතයක් නැති බවත් ඔවුන් දැරෑ මතය විය. ඒ කොහොම වුණත් ආණ්ඩුවේ ආයුෂ නම් ඉවර බව විපක්ෂයේ පොදු මතය වී තිබිණි. එහෙත් කළ යුත්තේ කුමක්ද යන්න ගැන සජබ හරි තීන්දුවක සිටියේ නැත. ජවිපෙ දිගටම අනුගමනය කළේ තත්ත්වය නිරීක්ෂණය කිරීමත් අවශ්‍ය අවස්ථාවලදී අරගලය සමඟ සම්බන්ධ වීමත්ය.

ඉතා ඉක්මනින් ගෙවී ගිය පසුගිය වසරේ අප්‍රේල් 09 වැනිදා උදා වූයේ රටේ හතරවටින් පැමිණි ජනතාව ගෝල්ෆේස් පිටියට එක්වී ''ගෝඨා ගෝ ගම'' පිහිටුවමිනි. රටේ මිනිසුන්ටත් අලුත් අවුරුද්දක් සැමරීමට තරම් මානසිකත්වයක් තිබුණේ නැත. දේශපාලනඥයන්ටත් වෙනදා අලුත් අවුරුද්දට වඩා එවර ලොකු වෙනසක් දැනෙන්නට ඇත. කොටින්ම රටේ සියලු දෙනා සිටියේ දැඩි අවිනිශ්චිත බවකිනි. ඒ අවිනිශ්චිත බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තුළ පමණක් නොව විපක්ෂය තුළද තිබිණි. වළපල්ලට ගිය ආර්ථිකයත් සමඟ දැඩි දේශපාලන අර්බුදයක ගිලී සිටි රටක එහෙම වීම ගැන පුදුම විය යුතු නැත. 

ඊට පසුව එළඹුණු මැයි 09 වැනිදාත් ජූලි 13 වැනිදා සහ 19 වැනිදාත් වූ සිදුවීම් මේ රටේ දේශපාලනය දැඩි වෙනසකට ඇදගෙන ගියේය. ජූලි මාසේ 20 වැනිදා වනවිට මේ රටේ ජනාධිපතිවරයා වූයේ ලක්ෂ 69 කින් පත්වූ ගෝඨාභය හෝ ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාව වූ ලක්ෂ 55 ක් ලබා ජනාධිපතිවරණයෙන් පරාජය වී විපක්ෂ නායක ධූරය හොබවමින් සිටි සජබ නායක සජිත් හෝ නොවේ. එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුවට පැමිණ වැඩි කතාබහක් නොකර පැත්තකට වී සිටි රනිල් වික්‍රමසිංහය. ඊට පස්සේ මාස කිහිපය ගෙවී ගියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට තුළ සිදු කළ දේශපාලන සහ ආර්ථික වෙනස්කම් මැදිනි.

2022 අවුරුද්ද ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ගෙවිලා යද්දී විපක්ෂය සිටියේ ඉහළම උද්දාමයකිනි. පුංචි ඡන්දයට දින නියම වන බවට මැතිවරණ කොමිෂන් සභාව නිල නිවේදන දෙනකොට විපක්ෂය බලාපොරොත්තු වෙන්න ඇත්තේ පුංචි ඡන්දය හරහා රනිල් වික්‍රමසිංහ - රාජපක්ෂ ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වන්නය. රට ඇතුළේ ප්‍රශ්න ගොඩගැසෙමින් අයි.එම්.එෆ්. කොන්දේසි ඉටුකිරීමට විදුලි බිල සහ බදු වැඩි කිරීමෙන් ජනතාව දැඩිව පීඩනයට පත්වෙන විට වැඩවර්ජන සහ උද්ඝෝෂණ සංවිධානය වනවිට විපක්ෂයේ බලාපොරොත්තු ඉහළටම ගියේය. මාර්තු මාසේ 20 වැනිදාට පෙර පුංචි ඡන්දය තබා අවසන් කර අලුත් පළාත් පාලන ආයතන පිහිටුවීමට නියමිතව තිබිණි. ව්‍යවස්ථාවේ හැටියට එය එහෙම සිදුවිය යුතුය.

විපක්ෂයේ සජබත් ජවිපෙ ප්‍රමුඛ ජා.ජ. බලවේගයත් වටේ පුංචි ඡන්දයේ උණුසුමත් එක්කම විශාල ජන රුල්ලක් නිර්මාණය වෙද්දී ආණ්ඩුවද ගැස්සුණේය. ඒ වෙනකොට අයි.එම්.එෆ්. එකේ ණය ලැබෙයිද යන්න ගැනත් තිබුණේ සැකයකි. ණය ලැබෙන්න පෙර කොන්දේසි ඉටුකිරීමට යාම හේතුවෙන් ආණ්ඩුව කෙරේ ජනතාවගේ කෝපයද ඇවිස්සෙමින් තිබිණි. එහෙම තිබියදී පුංචි ඡන්දයට ගියොත් වෙන්නේ කුමක්දැයි ගණන් හදා බැලීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපහසු වුණේ නැත. ඡන්දය කල් දැම්මේ නැති බවත් කල් දාන්න ඡන්දයක් තිබුණේ නැති බවත් කියා රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් මැද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ පුංචි ඡන්ද බලාපොරොත්තුව ජනාධිපතිවරයා කඩා දැම්මේ පහසුවෙනි.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වූ සජබ සහ ජවිපෙ ප්‍රමුඛ ජා.ජ. බලවේගය අතර එකඟත්වයක් නොතිබීම මෙහිදී ජනාධිපතිවරයාට ලොකු වාසියක් වී තිබිණි. මේ පක්ෂ දෙකම ආණ්ඩුවට එරෙහි විරෝධය තමන්ගේ පක්ෂය තනිවම බලයට පත්කර ගැනීම සඳහා යොදා ගැනීමට දැක්වූ දැඩි ඕනෑකම හේතුවෙන් තීරණාත්මක විය හැකිව තිබූ පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යන තත්ත්වයට ඇද දැමීම ආණ්ඩුවට අපහසු වුණේ නැත. විපක්ෂයම එක හඬින් පුංචි ඡන්දය ඉල්ලා හඬ නැගුවා නම් එයට කන් නොදී සිටීම ආණ්ඩුවට අපහසු වීමට ඉඩ තිබිණි. මේ පක්ෂ දෙකම අමතක කළ සාධකයක්ද විය. අයි.එම්.එෆ්. එක ශ්‍රී ලංකාවට ණය ලබාදීම ඇරඹුවොත් විය හැක්කේ කුමක්ද යන්නයි. එවැනි තත්ත්වයක් තමන්ගේ වාසියට හරවා ගැනීමට ඉහළම සමත්කම් දක්වන ජනාධිපතිවරයකු සිටින විට රටේ දේශපාලනය තුළ සිදු නොවිය හැකි දෙයක් නැත.

ඉක්මනින් ගෙවී ගිය 2022 වසරේ අප්‍රේල් 09 වැනිදාත් 2023 වසරේ අප්‍රේල් 09 වැනිදාත් අතර මේ රටේ දේශපාලනයේ වෙනස අහසට පොළොව වගේ වුණේ ඒ හේතුවෙනි. එදා හොඳටම වැටී සිටි පොහොට්ටුවේ කට්ටියගේ කටවල් ඔක්කොටම දැන් හොඳට පණ ලැබී තිබේ. පාරට බැහැගන්නට බැරිව සිටි පොහොට්ටු මන්ත්‍රීලා ඇමැතිලා දැන් රට පුරා රුස්වීම් කියමින් යන බවද පෙනෙන්නට තිබේ. සජබ සහ ජා.ජ. බලවේග රුස්වීම් දැන් නැවතිලාය. පොහොට්ටු මන්ත්‍රීන් පහර දෙන්නේ පසුගිය අප්‍රේල් මාසෙට කලින් ඔවුන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූ රනිල් වික්‍රමසිංහ මහතාට නොවේ. ඔවුන් ගහන්නේ සජබෙටය. ජා.ජ. බලවේගයටය. ඔවුන් දැන් හොඳයි කියන්නේ එදා රටේ සම්පත් විකුණනවා කියූ පෞද්ගලීකරණය කරනවා කියූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිවලටය. එදා රට විකුණං කනවා කියා රනිල් වික්‍රමසිංහ මහතාට පහර ගැසූ ඔවුන් අද කියන්නේ රනිල් මහතා හොඳට රට පාලනය කරන බවය. අයි.එම්.එෆ්. එකේ ණය ලැබුණු ගමන් රටේ දේශපාලනය වෙනස් වුණේ එහෙමය.

දැන් සජබ මන්ත්‍රීන් පිරිසක් කියන්නේත් මේ කතාවමය. අයි.එම්.එෆ්. දෙවැනි ණය වාරිකය ලැබෙන විට මේ තත්ත්වය මෙහෙම තියේදැයි කියන්න නම් බැරිය. හැබැයි ගිය අවුරුද්දේ අප්‍රේල් කාලේ ආණ්ඩුව වැටී සිටි අමාරුවේ දැන් වැටෙමින් සිටින්නේ විපක්ෂය බව නම් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය යටතේ සජබ මන්ත්‍රීන් පිරිසක් කඩාගෙන ගිහින් ආණ්ඩුවට එකතු වුණොත් එය මේ රටේ දේශපාලනයේ තවත් හැරවුමක ආරම්භයක් වන බව නම් කිව හැකිය.

I ශශීන්ද්‍ර