ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් සඳහා වන යෝජනාව ළඟදීම මැතිසබයට ඉදිරිපත් කරනු ඇතැයි තොරතුරු පළ වෙයි. අපගේ දේශය පුවත්පතේ මෙවර කලාපයේ ප්‍රධාන සිරස්තලයෙන් ප්‍රකාශ වන පරිදි හැකි ඉක්මනින් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික දේශපාලන මෙහෙයුම් සඳහා විශේෂ කමිටුවක්ද පත් කර තිබේ. මේ කටයුතු සංවිධානය කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවද සඳහන්ය.
මේ රටට ජාතික ආණ්ඩු අමුත්තක් නොවේ. ජාතික ආණ්ඩු පමණක් නොව පරිවාස ආණ්ඩු, සුළුතර ආණ්ඩු සහ තුනෙන් දෙකේ ආණ්ඩුද සර්ව පාක්ෂික ආණ්ඩුද මේ රට පාලනය කර තිබේ. 2015 වසරේදී පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී ඉන් පසුව මහ මැතිවරණය පැවැත්වෙන තුරු මේ රටේ තිබුණේ ජාතික ආණ්ඩුවකි. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය දැරුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීම සඳහා පියවර ගනු ලැබුවේ එම ආණ්ඩුව යටතේ බවද සඳහන් නොකළහොත් එය අඩුවකි.
ජාතික ආණ්ඩුවක් සඳහා වෙනම රජයක්වත් තමන් බලවත්ව සිටියදී උත්සාහයක් නොදරණ බව යථාර්ථයයි. යුද්ධය දරුණු අන්දමින් ඇවිලී ගිය අවස්ථාවලදීත් ජාතික ආණ්ඩු ඇති කිරීමට දැරෑ උත්සාහයන් වැළකී ගියේය. එහෙත් එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පැවති සමයේදී විපක්ෂයේ මන්ත්‍රීන් තනි තනිව සහ පිරිස් වශයෙන් එම ආණ්ඩුවට සම්බන්ධ වූහ. එය හැඳින්වුණේ ජාතික ආණ්ඩුවක් නොව යුද්ධය ජය ගැනීම සඳහා ජනාධිපති මහින්දගේ දෑත ශක්තිමත් කිරීමක් වශයෙනි. එම අවස්ථාව මේ රටේ බලවත් ආණ්ඩු පවා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් බඳවාගෙන බලය තවදුරටත් ශක්තිමත් කරගත් අවස්ථාවකි.
එහිදී ප්‍රධාන අරමුණ වී තිබුණේ යුද ජයග්‍රහණය සඳහා ආණ්ඩුවට සහාය වීම වුවත් එසේ ආණ්ඩුවට සම්බන්ධ වූ මැති ඇමැතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමි වූ බවද නොරහසකි. යුද ජයෙන් පසුව පිහිටුවූ මහින්ද රාජපක්ෂ මහතාගේ තුනෙන් දෙකේ ආණ්ඩුව මගින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි හානියක් සිදු කළ බවට ප්‍රබල ලෙස විවේචනයට ලක්වූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කරගනු ලැබූ අතර ඒ සඳහා ද විපක්ෂයෙන් එක්වී සිටි සියලු මැති ඇමැතිවරු සහාය ලබා දුන්හ. එය ජාතික ආණ්ඩු හෝ පවතින ආණ්ඩුවට විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් එකතු කරගෙන හෝ සකස් කරගත් ආණ්ඩුවක් දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා යොදාගත් අවස්ථාවක් විය. එම සංශෝධනය යළිත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වෙනස් කරමින් 19 වැනි ව්‍යවස්ථාව වශයෙන් සම්මත කරගනු ලැබුවේ 2015 දී පිහිටුවූ ජාතික ආණ්ඩුවේ සහාය ලබා ගනිමිනි. එය ජාතික ආණ්ඩුවක තිබෙන යහපත්, ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර තත්ත්වය පෙන්නුම් කළ අවස්ථාවකි.
ජාතික ආණ්ඩුවකට බොහෝ යහපත් දේ කළ හැකි බවට එය එක් උදාහරණයක් පමණි. මේ නිසා ජාතික ආණ්ඩුවක් පිළිබඳ සංකල්පය ඉදිරියට ගෙන ඒමේදී එය රටේත් මහජනතාවගේත් උන්නතිය සඳහා මිස බඩගෝස්තරවාදී දේශපාලනය සඳහා නොවිය යුතුය. ඒ බව රටේ ජනතාවට ඒත්තු ගැන්වීම අවශ්‍යය. ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු කර ගැනීමට හැකිවනු ඇත්තේ එවැනි තත්ත්වයක් ඇති කිරීමෙනි. හුදෙක් තනතුරු බෙදාගැනීමේ අරමුණින් පිහිටුවාගනු ලබන ජාතික ආණ්ඩුවකින් රටට ප්‍රයෝජනයක් නොවන බවද පෙන්වා දිය යුතුය.
හරියට බැලුවොත් මේ රට දැන් තිබෙන්නේ සමාජ - ආර්ථික ගිනි කන්දක් මත බව කිව හැකිය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය හරහා එතෙක් රටේ තිබූ දැඩි ව්‍යසනකාරී අවිනිශ්චිත තත්ත්වය දුරු වී කිසියම් සහනයක් රට තුළ උද්ගත වුවත් අර්බුදය හමාර නැත. ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී විවිධ දුෂ්කරතාවලට රටට මුහුණ දීමට සිදුවන බවට අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් තිබේ. මේ නිසා ජාතික ආණ්ඩුවට එකතු වන සියලු දේශපාලන පක්ෂත් ආණ්ඩුවත් විශාල වගකීමක කොටස්කරුවන් වන බව හොඳින් දැන සිටිය යුතුය. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීම සඳහා ජාතික ජාතික ආණ්ඩුව යොදා නොගැනීම ආණ්ඩුවේද අභිප්‍රාය වීම අවශ්‍යය.
මේ රටේ ආර්ථිකය විනාශයට පත් කිරීමට විවිධ අයුරින් උපකාරී බවට චෝදනා එල්ලවෙන පිරිස් නියෝජනය කරන ආණ්ඩුවක් සමඟ ජාතික ආණ්ඩුවකට යාම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුළ විරෝධයක් පවතින බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. එවැනි සැක සංකා දුරුකර ගැනීමකින් තොරව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට දරණ උත්සාහය කොතරම් දුරකට සාර්ථක වනු ඇතිදැයි කිව නොහැක. කුඩා පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සුළු පිරිසක් රජයට එකතු කර ගැනීමෙන් බිහිවන්නේ ජාතික ආණ්ඩුවක් නොවන බවද පෙන්වා දිය යුතුය.
ජාතික ආණ්ඩුව බිහිවිය යුත්තේ රට ගොඩනැගීමේ අරමුණ මූලික කර ගැනීමෙනි. විවිධ වරදාන ලබා දී මන්ත්‍රීවරුන් පිරිසක් එකතු කර ගැනීමෙන් එම අරමුණ ඉටු කරගත නොහැක. එවිට සිදුවන්නේ තම තමන්ගේ ප්‍රශ්න විසඳාගෙන ආණ්ඩුව ගෙන එන හොඳ සහ නරක සියලු අණ පනත් සම්මත කර ගැනීමට &සිග්නල් කණු* බවට පත්වූ මන්ත්‍රීන් පිරිසක් බිහිවීමය. එය එසේ නොවී රට ගොඩගැනීමේ ව්‍යායාමයක් වශයෙන් සැබෑ ලෙසම ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කෙරෙනවා නම් ඊට සහාය ලබාදීම විපක්ෂයේද වගකීමක් බවත් පෙන්වා දෙනු කැමැත්තෙමු.