2023 අප්‍රේල් 23 වන ඉරිදා

ඩොලර් බිලියන 6.4 ක වන්දි මුදල ලංකාවට නොලැබෙයිද?

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 69

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න හේතුවෙන් රටට අයිති මුහුදු ප්‍රදේශයට, පරිසරයට සහ පොදුවේ සිදුවූ හානියට මේ වනතුරු වන්දි ලබාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් රටේ කතිකාවක් නිර්මාණය වෙමින් තිබේ. එසේ වන්දි ලබාගැනීමේ කාර්යය එකවරම සිදු කළ නොහැකි භාරදූර කාර්යයක් බව මුලදීම ප්‍රකාශ විය. වන්දි ලබාගැනීමේදී සිදු කළ යුතු පරිසරයට සිදුවූ බලපෑම් සම්බන්ධ වාර්තා සකස් කිරීමට කාලය ගතවන බවද සඳහන් විය.

මෙහිදී ශ්‍රී ලංකාවට ලබාගත හැකි වන්දි මුදල ඩොලර් බිලියන 6.4 ක් බවද සඳහන්ය. එය අයි.එම්.එෆ්. ශ්‍රී ලංකාවට වසර 04 ක් තිස්සේ ලබාදීමට නියමිත ණය මුදල මෙන් දෙගුණයකටත් අධික මුදලකි.

කෙසේ වුවද මේ වනවිට එම වන්දිය ලබාගත හැකි කාලසීමාව අවසන් වෙමින් යන බවත් ඒ සඳහා ඉතිරිව ඇත්තේ දින 30 කටත් අඩු කාලයක් බවත් කියයි. මේ නිසා හැකි ඉක්මනින් වන්දි නඩුව පැවරිය යුතු බවත් ප්‍රකාශ විය. නමුත් තවමත් ඒ සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත.

ඒ අතර අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එම වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය යට ගැසීම සඳහා ශ්‍රී ලාංකික පුද්ගලයකු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වූ බවය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශනයක් කරන්නැයි අමාත්‍යවරයා පොලිසියට නියෝග කර තිබේ.

කෙසේ වුවද එම ඩොලර් කෝටි 25 ක අල්ලස් ලබාගත් පුද්ගලයා සහ එම මුදල ගිණුම්ගත කළ විදෙස් බැංකු ගිණුම පිළිබඳ තොරතුරු අමාත්‍යවරයා මාධ්‍යයට හෙළි කළේ නැත.

2021 මැයි මස 25 වැනිදා සිදුවූ මෙම අනතුර හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නැව සති දෙකක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් තිබිණි. සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ එම නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් ඇතුළු රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1,486 ක් පටවා තිබිණි. ඒ සියල්ල ගිනි ගැනීම හේතුවෙන් කොළඹ වරාය අවට බරපතළ පරිසර හානියක් සිදු විය. සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය ත්‍රිවිධ හමුදාවේද සහාය ඇතිව වෙරළාසන්නව සිදු කළ සෝදිසියේදී ටොන් 1000 කට වඩා බරකින් යුත් අබලි ද්‍රව්‍ය සොයාගෙන තිබුණි.

සිදුවූ හානියට අන්තර්කාලීන වන්දියක් වශයෙන් රුපියල් කෝටි 72 ක් ගෙවීමට නැව් රක්ෂණ සමාගම එකඟ වී තිබිණි. මේ වනවිට නීතිපතිවරයා සිංගප්පූරුවේදී වන්දි නඩු පැවරීම සඳහා කටයුතු කරමින් සිටින බවද විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියා තිබිණි. ශ්‍රී ලාංකික නීතිඥවරුන් විසින් මේ සම්බන්ධව කටයුතු කිරීමට විදෙස් නීති විශාරදයන් කිහිප දෙනකුගේ සහාය ලබාගෙන තිබේ.