අප්‍රේල් මාසය මේ රටේ සාමාන්‍යයෙන් දේශපාලන හේතූන් මත රත්වෙන මාසයක් නොවේ. මේ රටේ දේශපාන ඉතිහාසය පෙන්වා දෙන්නේ දේශපාලනයෙන් රට රත්වෙන්නේ ජූලි මාසයේදී බවයි. මේ තත්ත්වය වෙනස් වූ අවස්ථා කිහිපයක්ද වෙයි.
'71 කැරැල්ල ඇතිවුණේ අප්‍රේල් මාසයේදීය. ඊළඟට අප්‍රේල් මාසය රත් වුණේ පසුගිය අවුරුද්දේ හටගත් අරගලය හේතුවෙනි. ඒ අතරේ 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයද රටම කැළඹුවේය. මේ අලකලංචි මැද්දේ රටේ ජනතාව ඡන්දය ලබා දී පත් කරගත් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් මහජනතාවගේම විරෝධයට ලක්වීම හේතුවෙන් වෙනස් විය.
ජනාධිපති ඉවත්වීම හේතුවෙන් ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අවුරුද්දේ ජූලි මාසය වනවිට රටේ පාලනය බාර ගත්තේය. ඒ වනවිට පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩු පක්ෂය තිබුණේ ආණ්ඩුවක් කරගත නොහැකි ගාණටය. මේ හේතුවෙන් විපක්ෂයෙන් හරීන්, මනූෂ ඇතුළු කිහිප දෙනකුගේ සහාය ලබාගෙන ජනාධිපති වශයෙන් පැවරී ඇති බලතලද ක්‍රියාත්මක කරමින් රනිල් ආණ්ඩුවක් අලුතෙන් නිර්මාණය කර ගත්තේය. එහෙම හදාගත් ආණ්ඩුව මහා ව්‍යාකූල තත්ත්වයකට පත් වී තිබූ රට තරමක් දුරකට සන්සුන් කරගෙන මේ දක්වා පාලනය කරමින් සිටියි. හැබැයි එහෙම කරන්නේ මාතෘකාව රටේ පාලනය වනවිට තහනම් වචනය මැතිවරණ බවට පත් කරගත් තත්ත්වයක් යටතේය. ඒ තත්ත්වය කවදා වෙනස් වනු ඇතිදැයි කියන්නත් අමාරුය.
මෙහෙම තිබෙද්දී මේ අප්‍රේල් මාසය දේශපාලන වශයෙන් කලබලකාරී තැනකට තල්ලු වෙමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්න තිබේ. එයට එකම හේතුව ජාතික ආණ්ඩු හදන කතාව පමණක් නොවේ. අප්‍රේල් මාසේ 25 වැනිදාට පසුව රටේ ලොකු දේශපාලන වෙනසක් ඇතිවන බවට පැතිරෙන කතාවත් එක්කය. අලුත් අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුව රුස්වෙන 25 වැනිදාට පසුදින සිට දින තුනක් අයි.එම්.එෆ්. ණය පිළිබඳ විවාදය නියම වී තිබේ. ඒ අතරේ රටේ සියලුම දේශපාලන පක්ෂවලත් විවිධ සංවිධානවලත් ප්‍රබල විවේචනයට හසු වූ ප්‍රති ත්‍රස්ත පනත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ දින කිහිපය තුළ ආණ්ඩු පක්ෂයට විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ ජාතික ආණ්ඩුවකට සහාය දක්වනු ඇති බවටද ප්‍රකාශ නිකුත් වෙමින් තිබේ.
ජාතික ආණ්ඩුවක් ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතිදැයි පසුගියදා කළ විමසුමකට පිළිතුරු දී තිබූ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු ප්‍රකාශ කර තිබුණේ එහෙම යෝජනාවක් කැබිනට් රුස්වීමට ඉදිරිපත් නොවූ බවය. ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් පළ නොකළ බවත් ඔහු කියා තිබිණි. පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කරන්නේ ජාතික ආණ්ඩුවක් හදනවා නම් එය පවතින ක්‍රමයට වඩා වෙනස් වීම අවශ්‍ය බවය. එසේම ජාතික ආණ්ඩුවට එකතු වන දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් තමන් විමසිලිමත් වන බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබ ජාතික ආණ්ඩුවක් සඳහා එකතු නොවන බව ප්‍රකාශ කරයි. එහෙම ආණ්ඩුවක් හදනවා නම් එය හොරුන්, දූෂිතයන් සහ වංචනිකයන් නැති ආණ්ඩුවක් විය යුතු බවද ඔවුන්ගේ අදහස වෙයි. ඒ කොහොම වුණත් සජබ දැඩි ලෙස විරෝධය දක්වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලි බා ගනිමින් ජාතික ආණ්ඩුවක් හදන කතාවටය. තිරය පිටුපස ආණ්ඩුවේ බලවතුන් කිහිප දෙනකුම සජබ මන්ත්‍රීලා එකතු කර ගැනීමේ ලොකු මෙහෙයුමක යෙදී සිටින බවද රහසක් නොවේ.
සජබට ලොකුම ඇණයක් බවට පත්ව සිටින්නේ රාජිත බව පැහැදිලිය. ඔහු දිගින් දිගටම ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව කියන අතර අමාත්‍ය ධූරයක් අරගෙන ආණ්ඩුවට එකතු වීමට කැමැත්තෙන් සිටින බව කිව්වේ වරක් දෙවරක් නොවේ. එහෙම කියන ගමන් තමන් පක්ෂය හැර නොයන බවත් රාජිත කියයි. සෞඛ්‍ය ඇමැතිකම ලැබුණා නම් රාජිත මෙලහකටත් ආණ්ඩුවට ගිහින්ය. ඔහු දැන් කියන්නේ ජාතික ආණ්ඩු සංකල්පය සමඟ තමන්ද එකට සිටගන්නා බවය. සෞඛ්‍ය ඇමැතිකම නොලැබුණත් එහෙම එකට හිටගන්න රාජිත සූදානම්ද කියා ඉදිරි දිනවලදී දැකගත හැකිවනු ඇත. ඒ අතර කළුතර ජනතාව සමඟ තමන්ගේ අදහස බෙදා හදා ගැනීමට සංවිධානය කළ රුස්වීමක් අසාර්ථක වී නවතා දැමීමට සිදුවීමෙන් පෙනී ගියේ රාජිත ගියත් ජනතාව එහෙම යන්න සූදානමක් නැති බවය.
මේ රටේ ජාතික ආණ්ඩු හැදීමේ උත්සාහයන් මීට පෙරද තිබිණි. ඒ සමහර ආණ්ඩු සාර්ථක බවක් ටික කලකට පෙන්නුවත් ඊට පස්සේ එහෙම ආණ්ඩුවක් ගැන කතා වෙන්නේ නැත. ඒ වගේම මන්ත්‍රීවරුන් විපක්ෂයෙන් බිලි බාගත් පමණින් ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ නැත. ඒ සඳහා පක්ෂවල නායකයන් ආණ්ඩුව සමඟ එකතු වී ගිවිසුම්වලින් බැඳීම අවශ්‍යය. සජබ කියන්නේ තමන්ගේ කිසිම මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එකතු නොවන බවය. ජාතික ආණ්ඩුවකට තමන් සහාය නොදක්වන බවය.
හැබැයි එහෙම කියා බලාගෙන ඉන්නත් සජබට හැකි කමක් නැත. ඔවුන්ගේ සුළු පක්ෂවල නායකයන් කිහිප දෙනකු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් සමඟ නිල නොවන මට්ටමේ එකඟතා ඇති කරගෙන තිබෙන බව පෙනෙන බැවිනි. සජබ තුළ සිටියදී හකීම්ලා, මනෝ ගනේෂන්ලා ආණ්ඩුවට තමන්ගේ පක්ෂ මට්ටමින් එකතු වුණොත් ආණ්ඩුවේ ජාතික ආණ්ඩු සැලැස්ම සාර්ථක වනු ඇත. සජබ ඇතුළේ පවතින මතවාදී ගැටුම් හේතුවෙන් කලකිරී සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද ඒ සමඟ එකතු වුණොත් සජබ අමාරුවේ වැටෙන්නත් බැරිකමක් නැත.
ඒ කොහොම වුණත් ආණ්ඩුව මේ කරන්නේ උපාය මාර්ගික සැලැස්මක් ක්‍රියාවට නැංවීම බව පැහැදිලිය. ආණ්ඩුව ඉදිරියේ බරපතළ ගැටලු ගණනාවක් මතුවෙමින් තිබේ. අයි.එම්.එෆ්. ණය ලබාගැනීමත් සමඟ ඇතිවූ ''මධුසමය'' මේ වනවිට අවසන් වෙමින් පවතී. දැන් රටේ ජනතාව ආණ්ඩුවේ වැඩ ගැන යළිත් ප්‍රශ්න කරන්න පටන්ගෙන ඇත. ඒ සමඟ අයි.එම්.එෆ් ණය ලබාගැනීමේ කටයුතු තවම ආරම්භ වූවා පමණි. ඊට අදාළව ඊළඟට ආණ්ඩුව එකඟ වී තිබෙන කොන්දේසි ක්‍රියාවට නැංවීමද ඉදිරියේදී සිදු කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. පාර්ලිමේන්තුවේ අයි.එම්.එෆ්. විවාදයේදී ඒ ගැන විස්තර හෙළිවන බවද ආණ්ඩුව දැන සිටියි.
අයි.එම්.එෆ්. ණය රටේ ආර්ථික ව්‍යාධියට එකම බෙහෙත නම් ඒ බෙහෙතේ තිත්තම කොටස ඊළඟට ගිල දැමීමට සිදුවන බව ආණ්ඩුව දැන සිටියි. අයි.එම්.එෆ්. විවාදය සඳහා විපක්ෂය ඉල්ලා ඇති සිංහල සහ ද්‍රවිඩ පරිවර්තන ලබා නොදීමට කටයුතු කිරීමෙන් ආණ්ඩුව සූදානම් වන්නේ විපක්ෂයේ බොහෝ දෙනකුගේ කට වසා දැමීමට බව පැහැදිලිය. මේ හේතුව නිසා සජබ අයි.එම්.එෆ්. විවාදය මගහැර යයිදැයි දැන්ම කියන්න බැරිය. සිංහල පරිවර්තනය නැති වුවත් ලබා දී ඇති ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කෙරුණු අයි.එම්.එෆ්. එකඟතා ලියැවිල්ල පිළිබඳ අධ්‍යයනය කර ඔවුන් දැනුවත් වී සිටීම අවශ්‍යය. සජබ නොසිටියත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ රුඳී සිටින මන්ත්‍රීවරුන් සමඟ විවාදය පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇත. එහෙම සිදුවුණත් මේ විවාදයේදී විපක්ෂය දක්වන අදහස් පිළිබඳ අයි.එම්.එෆ්. විධායකයන් දැඩිව විමසිලිමත් වීම බලාපොරොත්තු විය යුතුය. විවාදයට විපක්ෂය සහභාගි නොවුණොත් ඒ කාර්යය ඉටුවෙන්නේ නැත.
ආණ්ඩුව ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේත් මේ සමඟය. එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මාසයේ මුලදී වුණත් දේශීයව සහ විදේශීයව එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ආණ්ඩුව අඩියක් පස්සට ගත් බවක් පෙනුණි. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ නම් කිව්වේ ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පස්සට දැම්මේ එයට එරෙහිව උසාවි යාමට අවස්ථාව ලබාදීම සඳහා කියාය. අලුත් අවුරුද්දට කලින් පනත ඉදිරිපත් කළා නම් අවුරුදු නිවාඩු දින කිහිපය නිසා උසාවි යාමට තිබෙන කාලසීමාව අඩු වෙයි. මේ නිසා පනත ඉදිරිපත් කිරීම පසුවට කල් තබන බවය.
එහෙම කිව්වත් ඊළඟට හදිසියේම ආණ්ඩුව කිව්වේ අප්‍රේල් 25 වැනිදා පනත සභාගත කරන බවය. ජාතික ආණ්ඩුව හැදීමේ ආණ්ඩුවට තිබෙන දැඩි ඕනෑකම සමඟ මෙය ගලපාගත් විට ආණ්ඩුවේ උපාය මාර්ගය හඳුනා ගැනීම පහසුය. අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කිරීමට දරණ උත්සාහය කෙළින්ම ජනතාව ආණ්ඩුව සමඟ ''ගේම'' ඉල්ලීමක් දක්වා ඇදී යාමට ඉඩ තිබේ. එය 2022 ඇතිවූ අරගලකාරී තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වීමට ඉඩක් නොතැබීම ආණ්ඩුවේ අරමුණ බව පැහැදිලිය. අධිකව ඉහළ නැංවූ බදු සහ විදුලි බිල සමඟ මතුව ආ විරෝධය තාවකාලිකව යටපත් කර ගැනීමට ආණ්ඩුව සමත්ව සිටින බව පැහැදිලිය. එහෙම වුණත් එය කොතරම් කාලයකටද යන්න අවිනිශ්චිතය.
ප්‍රති ත්‍රස්ත පනත කඩිමුඩියේම ගෙනැවිත් සම්මත කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහය යට ඇත්තේ රජයට එරෙහිව ඉදිරි කාලයේදී ඇතිවිය හැකි ජනතා උද්ඝෝෂණ සහ නැගිටීම් එම පනතේ වගන්ති උපයෝගී කර ගනිමින් මර්දනය කිරීමය. ඒ සඳහා මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ සහාය ලබාගැනීම ආණ්ඩුවේ උත්සාහය බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව සමඟ ජාතික ආණ්ඩුවකට හෝ තනි තනි වශයෙන් හෝ එකතුවෙන මන්ත්‍රීවරුන්ට ප්‍රති ත්‍රස්ත පනතට එරෙහි වීමට නොහැකි වන බව යථාර්ථයයි.
කෙසේ වුවද ප්‍රති ත්‍රස්ත පනත දැනට පවතින තත්ත්වයෙන් සම්මත කර ගැනීම රට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බරපතළ අර්බුදයකට ඇද දැමීමක් වනු ඇත. ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතින් කිහිප දෙනකු සහ විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හැර සෙසු කවුරුත් මේ වනතුරු එම පනතට පක්ෂව කතා කර නැත. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පවා කියන්නේ එම පනත පිළිබඳ හැදෑරීමකින් තොරව එයට සහාය දීම අපහසු බවය. සජබ සහ විපක්ෂ නායක සජිත් කියන්නේ රජය ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඒකාධිපති, ම්ලේච්ඡ, ත්‍රස්ත විරෝධී පනතක් බවය. එය සහමුලින්ම පරාජයට පත් කරන බවද සජිත් කියයි.
මේ අතර පාස්කු ප්‍රහාරයට වසර 04 ක් පිරීම වෙනුවෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛව සංවිධානය කළ ''ජන පවුර'' ද ආණ්ඩුවට හිසරදයක් වී ඇති බවද පෙනී යයි. එහිදී කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන කාරණා තිබුණු බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ද ආණ්ඩුව අසීරුවට පත් කර තිබේ.
බක් මාසේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වැහි නැති අකුණු පුපුරා යාමටය. එළඹෙන දින කිහිපයේදී මෙවර බක් මාසේ දේශපාලන අකුණු පුපුරා යාමට ඉඩ තිබෙන බව නම් පැහැදිලිය.
I ශශීන්දු