දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා වන විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය බ්‍රහස්පතින්දා (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරියේදී පැවැත්වෙනු ඇත.
අල්ලස් හා දූෂණ වැරදි සඳහා නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම, දූෂණ ක්‍රියා වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දූෂණය නැති කිරීම සඳහා ජනතාව දැනුම්වත් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම සඳහා මෙම කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.
අල්ලස, දූෂණය, වංචාව යන වචන තුන තරම් පසුගිය කාලය තුළ පට්ට ගැසූ වෙනත් වචන සිංහල භාෂාවේ තිබේදැයි පැවසීම පවා අමාරුය. පුවත්පත් ඇතුළු මාධ්‍යවල ඉහත සඳහන් වචන තුන සඳහන් නොවන දවසක් නැත. දේශපාලන වේදිකාවල පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා වංචාව, දූෂණය සහ අල්ලස පොදු මාතෘකාවක් බවට පත්ව තිබේ. මාධ්‍යවල සම්මුඛ සාකච්ඡාවලදී සහ රූපවාහිනී නාළිකාවල දේශපාලන සංවාදවලදී මේ වචන තුන සඳහන් නොවුණොත් එය අඩුවක් වන තරමට දැනෙයි. මේ වචන භාවිතය කොතරම් බලපෑමක් රටේ දේශපාලනයට එල්ල කරනවාදැයි කිවහොත් 2015 සිදුවූ ආණ්ඩු පෙරළියේ ප්‍රධානම හේතු සාධකය බවට ඉහත කී වචන තුන පත්ව තිබුණි. ඉන්පසුව වැඩි කල් නොයවාම එම වචන තුනම ආපසු ආණ්ඩුවට දමා ගැසීමට අවස්ථාවක් විපක්ෂයටද උදා වූ බවත් සඳහන් විය යුතුය.
මේ වචන තුන කොතරම් පට්ට ගැසුවත් ඒ වචන තුන හරහා සිදුකෙරෙන අමන වැඩ නම් නැවතුණේ නැත. රටේ දේශපාලනය තුළ වංචාව සහ දූෂණය බින්න බැසීම හේතුවෙන් ඇතැම් ජනතා නියෝජිතයෝ බලා සිටියදී පොහොසතුන් බවට පත්වූහ. මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ඇතැම් දේශපාලනඥයන්ට දූෂණ සහ වංචා වැඩට තෝතැන්නක් වී තිබිණි. ඒ හේතුවෙන්ම එම දූෂිත දේශපාලනඥයන් විසින් මෙහෙයවන රාජ්‍ය ආයතනවල ඇතැම් ඉහළ නිලධාරීහුද දූෂිත චරිත බවට පත්වූහ. එවැනි දේශපාලනඥයන් මෙරටින් පමණක් නොව පිටරටවලද ඉඩම් දේපොළ අයථා අන්දමින් මිලදී ගන්නා විට එම බෝට්ටුවේම සිටින නිලධාරීහුද එවැනි දේපළ මිලදී ගැනීමට තරම් වාසනාවන්ත වී සිටියහ. එවැනි ක්‍රියා දැක දැකත් ජනතාවට සිදුව තිබුණේ බලා සිටීම පමණි. ඒ ක්‍රියා වැළැක්වීමට කටයුතු කිරීමේ වගකීම තිබූ බලධරයන් පවා ක්‍රියාත්මක වූයේ ඉතා උදාසීන ආකාරයට බවද පෙනෙන්නට තිබිණි.
මේ තත්ත්වය ගැන අවබෝධයක් ලබාගැනීමට නම් පසුගිය දශක දෙක තුළ අල්ලස් හා දූෂණද වංචනික ක්‍රියා යටතේද නඩු පැවරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම අවශ්‍යය. එසේ සොයා බැලුවොත් පෙනී යන්නේ මහා පරිමාණ වංචා සහ දූෂණ ක්‍රියා බොහොමයක් කාපට් යට සැඟවී තිබෙන බවය. හසුවූ ඇතැම් සිද්ධීන්වලදී වුවද සිරදඬුවම් ලැබූවන් අතර බලවත් පුද්ගලයන් නොසිටි තරම්ය. නඩු පවරනු ලැබූ ඇතැම් බලවත් පුද්ගලයන්ද ඒවායින් නිදහස් වී සිටින්නේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී මතු වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් බවද කිව යුතුය. පවතින අල්ලස් සහ දූෂණ මර්දන අණ පනත්වලින් රිංගා යාමට තිබෙන ඉඩකඩ හේතුවෙන් මෙය සිදුවන බව තේරුම් ගැනීම අපහසු නැත. තවත් සමහරුන්ට එවැනි චෝදනාවලින් හිරිහැරයක් නොවීමට පිහිට වී ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද බවද සඳහන් කළ යුතුය.
එවැනි තත්ත්වයක් තිබියදී ආණ්ඩුව දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා අලුතින් දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත්තේ සද්භාවයෙන් නම් එය අගය කළ යුතු පැසසුම් ලැබිය යුතු පියවරක් බව පැවසීමට අපි නොපැකිලෙමු. එය එසේදැයි පැවසීමට නම් එම පනත් කෙටුම්පත හොඳින් අධ්‍යයනය කළ යුතු වෙයි. මෙහිදී එම වගකීම පැවරෙන්නේ විපක්ෂයට බවද පෙන්වා දිය යුතුය. විපක්ෂයේ සිටියදී ආණ්ඩුවේ වංචා සහ දූෂණ පිළිබඳව උඩ දමා කතා කරන මන්ත්‍රීවරුන් ආණ්ඩු බලය අතට ගත් පසු ඒ ගැන වචනයක් කතා කරන්නේ කලාතුරකිනි. විපක්ෂයේ සිටියදී වංචාව සහ දූෂණය පිළිබඳ විශාරදයන් වන ඔවුහු ආණ්ඩුවේ තම සගයන් එවැනි ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වෙද්දී අඳ, ගොළු, බිහිරින් බවට පත්වෙති. පසුගිය වසර කිහිපය තුළදීම සීනි, සුදු ලූනු, නැනෝ පොහොර නැව් ඇතුළු වංචා සහ දූෂණ පිළිබඳ බරපතළ චෝදනා ගණනාවක් පැන නැගුණත් ආණ්ඩුවේ මැති ඇමැතින් තුළ ඒ ගැන කතා කරන්නවත් සූදානමක් නොතිබිණි. අදටත් ඒ පිළිබඳ විමර්ශන සිදුවන්නේ ගොළුබෙලි ගමනිනි.
අලුත් වංචා සහ දූෂණ වැළැක්වීමේ පනතේ එවැනි ක්‍රියා වළක්වන ප්‍රතිපාදන තිබීම අවශ්‍යය. ස්වාධීන කොමිසමට එහි ස්වාධීනත්වය රුකගෙන රාජකාරි ඉටුකිරීමට නීතියෙන්ම අවස්ථාව සලසා දීමෙන් එවැනි අඩුපාඩු වළක්වාගත හැකිවනු ඇත. ආණ්ඩුවේ රබර් මුද්‍රාවක් බවට පත් කරගත හැකි ස්වාධීන කොමිසමකින් සිදුවන්නේ වංචා දූෂණ වැළැක්වීමක් නොව ඒවාට රුකුල් දීමකි. වංචාව සහ දූෂණය පිටුදැකීමට නම් හාල්මැස්සන් පමණක් නොව තෝරුන්, මෝරුන්ද දූෂණ, වංචා දැලට හසු කරගත හැකි විය යුතුය. රටේ බලාපොරොත්තුව එවැනි පනතකි.