විදුලි ගාස්තු සමාලෝචනයක් ගැන ප්‍රවෘත්තියක් අසන දකින විට ගතට සිතට දැනෙන්නේ මර බියකි. විදුලි ගාස්තුවේ වැඩිවීම ඒ තරම් දරාගත නොහැකි මට්ටමක තිබීම එයට හේතුවය. විදුලි බිල අතට ගන්නා විට ඇඟට කරන්ට් වැදුණාක් මෙන් දැනෙන තරමට ගාස්තු අධිකය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජූලි මාසයේදී විදුලි ගාස්තු සමාලෝචනයක් සම්බන්ධයෙන් පසුගියදා අදහසක් පළ කර තිබිණි. මේ සමාලෝචනයට පසුව ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. රජය මගින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු කියා තිබුණේ පිරිවැය පදනම්ව මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සමාලෝචනය කර එය සංශෝධනය කිරීමට ක්‍රියා කරන බවය. එසේම විදුලි බල ක්ෂේත්රයේ ආයෝජන දිරිමත් කිරීම සඳහා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ගාස්තු ගණනය කිරීමට නව සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයිද ඔහු කියා තිබිණි.
විදුලිය ගාස්තු ගණනය කිරීමට නව සූත්‍රයක් හඳුන්වා දීම ගැන මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට ගැටලුවක් නැත. එහෙත් ඒ මොනම සූත්‍රයක්වත් විදුලිය ගාස්තු වැඩි කරන ''සූත්තරයක්'' බවට පත්කර නොගත යුතු බව කිව යුතුය. නව සූත්‍රය බලපැවැත්වෙන්නේ නව බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා පමණක් බවත් අමාත්‍යවරයා කියා තිබිණි. නමුත් ලංකාවේ බොහොමයක් අමාත්‍යවරැන්ගේ එවැනි කතා විශ්වාස කිරීම අපහසුය. ඔවුන් කෙසේ කීවත් ක්‍රියාත්මක කරන විට එය සම්පූර්ණයෙන් කනපිට පෙරළී තිබීමට හොඳටම ඉඩ තිබෙන බැවිනි. විදුලිය ගාස්තුවේදී එසේ නොවන බවට කිසිදු සහතිකයක් නැත.
මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට මාස 06ක් ඇතුළතදී ගාස්තු වැඩි කිරීමේ අවස්ථා දෙකකට මුහුණදීමට සිදුවිය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සිදු කළ සංශෝධනයේදී ගාස්තුව 75% කින්ද මේ වසරේ පෙබරවාරියේදී සිදු කළ සංශෝධනයේදී ගාස්තුව 62% කින්ද ඉහළ දමනු ලැබීය. සියයට ගණන් එසේ ප්‍රකාශ වුවත් දෙවැනි සංශෝධනයේදී ඇතැම් පාරිභෝගිකයන්ට ඊට වඩා ප්‍රතිශතයකින් ගාස්තුව වැඩි වී තිබෙන බවටද චෝදනා නැගුණි. එයට පැහැදිලි පිළිතුරක් විදුලිබල අමාත්‍යවරයාගෙන් නොලැබුණු බවද සඳහන් කළ යුතුය. පිළිතුරක් නොලැබුණත් ජනතාව මේ වනවිට එසේ අධිකව වැඩි වූ විදුලි බිල ගෙවමින් සිටිති.
ඒ හේතුවෙන් තවදුරටත් විදුලි ගාස්තු ඉහළ නැංවීමක් පිළිබඳ කතා කිරීම පවා පාරිභෝගිකයාගේ පැත්තෙන් හැබෑම ''ෂොක්'' එකකි. තවදුරටත් විදුලිය ගාස්තු නංවනවා නම් එවැනි තීරණයකට රටේ කිසිවකුත් සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වීමත් නිෂ්ඵලය. විදුලිය ගාස්තු වර්තමානයේ පවතින්නේ දැරිය හැකි උපරිම මට්ටමද ඉක්මවමින් බවත් තවදුරටත් ගාස්තු නැංවීමක් සිදුවුණොත් පාරිභෝගිකයන් ඊට දක්වන ප්‍රතිචාර ඉතා අහිතකර විය හැකි බවත් තේරැම් ගැනීම දුෂ්කර නැත.
වැඩි වූ විදුලිය ගාස්තුවෙන් පහර වැදී තිබෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාට පමණක් නොවේ. රටේ කර්මාන්ත අංශය ඇතුළු බොහොමයක් අපනයන ක්ෂේත්රයට බලපෑම් ඇති කරන ව්යවසායකවලටද එහි රස්නය හොඳින්ම දැනී තිබේ. ඇඟලුම් කර්මාන්තයට එහි නිෂ්පාදන වියදම් අධික වීම දැඩි බලපෑමක් ඇතිකර තිබේ. ප්‍රධානම අපනයන භාණ්ඩයක් වන තේ කර්මාන්තයට එහි බලපෑම් එල්ල වී තිබේ. විදුලිය වැයවන සියලුම කර්මාන්ත ඒ හේතුවෙන් නිෂ්පාදන වියදම අධික වීමේ අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දෙමින් සිටී. මේ සියලු අංශවලට විදුලිය ගාස්තු තවදුරටත් වැඩිවීම මාරාන්තික ප්‍රහාරයක් වීම වළක්වාගත නොහැකි වනු ඇත.
විදුලිබල අමාත්‍යවරයා ගාස්තු සමාලෝචනයක් පිළිබඳ කතා කර ලබන ජූලි මාසයේදී ගාස්තුව සංශෝධනය වන බව කියන විට එය රටේම මාතෘකාවක් බවට පත්වන්නේ ඉහත සඳහන් කාරණා හේතුවෙනි. අමාත්‍යවරයාට නම් විදුලි ගාස්තු වැඩි කිරීම හැර වෙනත් විසඳුමක් නැතැයි කීම පහසුය. එහෙත් එයට මුහුණදෙන පාරිභෝගිකයාට නම් එය දිරවා ගැනීමට ඉතාම අපහසු ප්‍රකාශයකි. කුමන ගාස්තුවක් වුවද වැඩි කිරීමට සීමාවක් තිබෙන බව බලධාරීන්ද දැන සිටිය යුතුය. ඒ පිළිබඳ නොදැන නිසි හැදෑරීමක් නොකර සිදු කරන සමාලෝචන පදනම් කර ගනිමින් තීන්දු ගැනීමෙන් වළකින්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
විදුලිබල ගාස්තුව මේ තරම් අධික වී ඇත්තේ මේ රටේ පාරිභෝගිකයන්ගේ වැරුද්දකින් නොවේ. මේ රට කරවූ පාලකයන්ගේත් ඔවුන්ගේ පදයට නටමින් තමන්ගේ අවශ්‍යතා ගැනීමට සපුරා ගැනීමට ක්‍රියා කළ විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ගේත් වැරදි හේතුවෙනි. ඔවුන් ගත් වැරදි තීන්දු තීරණ හේතුවෙනි. අනාගතයේදී ඇතිවිය හැකි ගාස්තු ඉහළ යාම් පිළිබඳ නිසි සමාලෝචනයක් සිදු කළ යුතුව තිබුණේ මීට බොහොම කාලයකට පෙරදී බව අපගේ විශ්වාසයයි. එසේ ක්‍රියා කළා නම් අද විදුලිබල මණ්ඩලය ''ප්‍රතිව්‍යුහගත කළ යුතු'' තත්ත්වයට වැටෙන්නේ නැත. පාරිභෝගිකයාට මේ තරම් බිලක් ගෙවන්නට සිදුවෙන්නේත් නැත.