2023 මැයි 07 වන ඉරිදා

අලුත් ඉන්ධන සමාගම්වලට QR නෑ

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 117

ඉන්ධන අලෙවියට අලුතින් ප්‍රවේශවීමට අනුමැතිය ලබා ඇති සමාගම් දෙකක් සියලු අවශ්‍යතා සපුරණ ඉන්ධන පිරවුම් හල් පිහිටුවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව වාහන සේදීම, සර්විස් කිරීම, සාප්පු සහ අවන්හල් ද එම පිරවුම්හල් පරිශ්‍රයේ ඉදිවනු ඇත. එසේම QR කේතයෙන් තොරව ඉන්ධන අලෙවියටද ඔවුන්ට අනුමැතිය ලැබී තිබේ.

චීනයේ රාජ්‍ය ආයතනයක් වන සිනොපෙක් සහ අමෙරිකානු සමාගමක් වන ආර්.එම්. පාර්ක් - ෂෙල් සමාගම්වල නියෝජිතයන් සමඟ රජයේ නිලධාරීන් පිරිසක් පැවැත්වූ සාකච්ඡාවලදී මේ තීරණවලට එළඹී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ රජය එම තීරණ සම්බන්ධයෙන් එකඟත්වය පළකර ඇති බවය. එම සමාගම්වලට තම පිරවුම්හල් නවීන ක්‍රමවේදයට අනුව යමින් ඉදිකිරීමටත් ඒවා පිරවුම්හල් පමණක් නොව වෙළෙඳ මධ්‍යස්ථාන සහ වාහන සඳහා අවශ්‍ය සෙසු පහසුකම් ලබාදීමේ ස්ථාන වශයෙන් පවත්වාගෙන යාමටත් අවශ්‍යව තිබෙන බවද ඔහු සඳහන් කළේය. ඒ සඳහා අක්කර 1 ½ක ඉඩමක් ලබාදීමටද එකඟත්වය පළ වී තිබේ.

- සන්ඩේ ටයිම්ස්

2024දී ශ්‍රී ලංකාවට හිස ඔසවන්න හැකිවේවි

- අයි.එම්.එෆ්.

යෝජනාකර ඇති සියලු ප්‍රතිසංස්කරණ සිදුකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් 2024 වසරේ සිට ආර්ථිකය හරිමගට ගැනීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි අයි.එම්.එෆ්. අධ්‍යක්ෂ (ආසියා - පැසිෆික්) ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ප්‍රකාශ කර තිබේ. සැප්තැම්බර් මාසය වනවිට එකඟතා ක්‍රියාවේ යෙදවීම වේගවත් කිරීමටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කර ගැනීමටත් හැකිවුවොත් එම ප්‍රතිඵලය ලබාගත හැකි බව ඔහු සඳහන් කර ඇත.

ද. කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 56 වැනි පාලක මණ්ඩල සැසිවාරයේ අතරතුර පැවැත්වෙන රුස්වීමකදී ඔහු මේ අදහස පළකර තිබේ.

- ඩේලි එෆ්.ටී.