මැයි දිනයේ උණුසුම රටේ කාලගුණයේ පැවැති උණුසුමත් සමඟම පහව ගියේ මහවැසි ඇදහැලීමත් සමඟිනි. මහ වැස්ස මැයි රැලිවලට බාධාවක් නොවුණත් වෙසක් දිනයේ අසිරිය සිත්සේ විඳ ගැනීමට ජනතාවට බාධා පමුණුවන බවක් සිකුරාදා (05) වනවිට පෙනෙන්නට තිබුණේය. මැයි දිනයත් වෙසක් දිනයත් එකම සතියක දින 04ක් ඇතුළත යෙදී තිබීමද විශේෂයක් වුණේ මේ දෙකම සැමරීමට රටේ ජනතාවට ඉඩක් ලැබුණේ වසර 03කට පසුව වීම හේතුවෙනි. එයින් මැයි දිනය වඩාත් දේශපාලනික වශයෙන් වැදගත් වුණේ රටේ වර්තමානයේ පවතින අළුයට සැඟවුණු ගිනි පුපුරක් බවට පත්ව තිබෙන බල අරගලයේ කැඩපතක් බවට එම දිනය පත්ව තිබීම හේතුවෙනි.
මැයි දිනයට පාර්ලිමේන්තුව නියෝජනය කරන රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකක්ම සූදානම් වුණේ තමන්ගේ දේශපාලන හයිය පෙන්වීමට කාලෙකට පස්සේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමේ අභිලාෂයෙනි. කොහොමත් අපේ රටේ මැයි දිනය කම්කරුවන්ගේ අතින් දේශපාලකයන්ගේ අතට පත්ව තිබීම හේතුවෙන් ඒ දවස කම්කරුවන්ගේ හයිය පෙන්වීමට වඩා දේශපාලන පක්ෂවල හයිය පෙන්වීමට ලැබෙන අවස්ථාවක් බවට පත්ව තිබේ. මේ නිසාම ඡන්දයක් පවතින අවුරුද්දකදී පැවැත්වෙන මැයි දිනයට ලැබෙන්නේ විශේෂ අවධානයකි. මේ වසරේ ඡන්දයක් ගැන කතාව යටපත්ව ගියත් රටේ පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් මැයි රැලිවලින් ප්‍රකාශ වෙන දේටත් වඩා ජනතාව බලා සිටියේ වැඩිම සෙනඟක් එන්නේ මොන රුස්වීමටද කියාය.
බැලූ බැල්මට පෙනුණේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය අංක 01ට සිටි බවකි. ඊට කිට්ටුවෙන් සෙනඟ සිටියේ සමගි ජනබලවේගයට බවද පෙනුණි. සෙසු පක්ෂ අතරින් කැපී පෙනෙන ජනකායක් සිටි වෙනත් රැලියක් නොතිබූ බවද පෙනෙන්නට තිබුණි. පසුගිය වසරේ අරගලකාරී වාතාවරණයක මැයි රැලිය අර්බුදයකට ගිය පොහොට්ටුව මෙවර කැම්බල් පිටියට තරමක පාක්ෂික පිරිසක් කැඳවා තිබිණි. පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් පෙරටුගාමී පක්ෂය සංවිධානය කළ මැයි පෙළපාළියටද වෙන කවරදාකටවත් වඩා පිරිසක් එක් වී සිටීමද කැපී පෙනුණි. එහෙම වුණත් ලොකුම කඩාවැටීම තිබුණේ විමල් වීරවංසලාගේ උත්තර ලංකා සභාගයේ රැස්වීමේ බව පෙනී ගියේය. එය නිසැකවම ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා අඩු සෙනඟකි. එහෙම තිබුණත් විමල් වීරවංස එහිදී කළ වේගවත් සහ සැර කතාව රුස්වීමට නොපැමිණ සිටි ජනතාව අතරද කතාබහට ලක්වූ බවත් පෙනී යයි.
එම කතාවට පෙර සූදානමක් වශයෙන් විමල් අරගලයේ ආරම්භය සහ අවසානය පිළිබඳ තමන් දන්නා කරුණු ඇතුළත් ''නවය. සැඟවුණු කතාව'' පොත සමාජගත කිරීමටද කටයුතු කළේය. එය ඔහුගේ උපක්‍රමික වැඩක් විය. එම පොතට අමෙරිකානු තානාපතිනි ජූලි චංග්ගේ විරෝධය එල්ලවීමද ඔහු බලාපොරොත්තු වූවා වෙන්න ඇත. ජූලි චන්ග් ට්විටර් පණිවුඩයක් තබමින් කියා තිබුණේ විමල්ගේ පොත හුදු ප්‍රබන්ධ කතාවක් බවය. මේ නිසාම විමල්ගේ මැයි දිනයේ කතාවට ලැබුණේ ලොකු පන්නරයකි.
හැබැයි විමල්ගේ මුළු කතාව පුරාම තිබුණේ ඔහු කවදත් දැක්වූ දැඩි අමෙරිකානු විරෝධී ප්‍රතිපත්තියම ය. ඔහු හැමදාමත් අමෙරිකාව දකින්නේ ලංකාව ගිල ගැනීමට ජාත්‍යන්තරයේ සිටින ගිජු ලිහිණියකු වශයෙනි. ජාත්‍යන්තර දේශපාලනයේ අමෙරිකානු භූමිකාවේ අත පෙවීම් සහ යටි තලයේ කුමන්ත්‍රණ පිළිබඳ ඔහු දක්වන්නේ එදා දැක්වූ අදහස්මය. ඉදිරියේදීත් ඔහු තමන් නායකත්වය දෙන උත්තර ලංකා සභාගය මෙහෙයවනු ඇත්තේ ඒ පිළිවෙතේම පිහිටා බව ඔහුගේ මැයි දිනයේ කතාවෙන් පැහැදිලි විය.
ඒ කොහොම වුණත් ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නම් මෙවර මැයි දිනය බලාපොරොත්තු වූ තරම් සාර්ථක කරගැනීමට නොහැකි වූ බව පෙනෙන්නට තිබිණි. මැයි රැලිය සඳහා නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වී කතාවක් පැවැත්වීම එතැනට රුස්ව සිටි පාක්ෂිකයන්ගේත් රටපුරා විසිරී සිටින පොහොට්ටු සාමාජිකයන්ගේත් සතුටට හේතු වුණත් ආණ්ඩු බලය අතේ තිබියදී විශාල මැයි දින පෙළපාලියක් සංවිධානය නොකිරීමේ කනගාටුව ඔවුන් තුළ තිබූ බව පෙනෙන්නට තිබුණි.
එම මැයි දිනය සිතූ තරම් සාර්ථක කරගැනිමට නොහැකි වූයේ පොහොට්ටුව ඇතුළේ තිබෙන බල අරගලය හේතුවෙන්ද යන ගැටලුවක්ද ඇතිවිය. ඒකට පිළිතුරක් ඊට දින දෙක තුනකට පසු පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එළියට පැන්නේය. එහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර කියා තිබුණේ මෙහෙමය.
''පහුගිය මැයි දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට ජය සක් හඬ මැද ජයඝෝෂා මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය එළි දැක්වුණා. දේශපාලනය ගැන යම් අවබෝධයක් ඇති අයකුට ඒ බව තේරුම් ගත හැකියි. පක්ෂ නායකත්වය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම කීමට බියවෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා පක්ෂයේ ආධ්‍යාත්මික නායකයායි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහත්තයා වෙන්න පුළුවන්.''
ඒ එක්කම ඔහු කියා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිටත් අළු මතින් නැගී සිටින බවය. ඉදිරි දශක දෙකක කාලයේදී මේ රටේ බලය පවත්වාගෙන යන්නේ පොදුජන පෙරමුණු ආණ්ඩුවක් විසින් බවය.
මහාචාර්ය රන්ජිත් බණ්ඩාර සැලකෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ සමීප දේශපාලන මිතුරකු හැටියටය. මේ නිසා ඔහු බැසිල් සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ බැසිල් පාර්ශ්වයේ අදහස බව පැහැදිලිය. මෙතෙක් කාලයක් මේ කාර්යය ඉටුකළ ප්‍රසන්න රණතුංග කෙළින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන තත්ත්වයක් තුළ දැන් පොහොට්ටුව ඇතුළේ බරපතළ දේශපාලන කුණාටුවක් ඇතිවී තිබෙන බව පැහැදිලිය. රාජපක්ෂවරුන්ට සමීප දේශපාලනඥයන් මෙය ''තේ කෝප්පයේ කුණාටුවක්'' හැටියට අර්ථ ගැන්විය හැකි වුණත් මැයි දින රැලියේ තිබූ ස්වභාවයත් ඊට දින දෙක තුනකට පසු බැසිල්ගේ නායකත්වයක් ගැන පක්ෂ මූලස්ථානයේදීම ප්‍රකාශ නිකුත් වීමත් පෙන්වන්නේ පක්ෂය ඇතුළේ බල අරගලයක් නිර්මාණය වෙමින් පවතින බවට වන පෙරනිමිතිය.
ජාතික ජනබල වේගයට මෙදා මැයි දිනය ඉතා සාර්ථක වූ රැලියක් පැවැත්වූ බවට සතුටු විය හැකිය. එහි පෙළපාළිය ඉතා දීර්ඝ වූ අතර වේදිකාවද උණුසුම් කතාවලින් ගහණ විය. නායක අනුර කුමාර දිසානායක කෙළින්ම ආණ්ඩුවට අභියෝග කළේ ''අපි හැප්පිලා බලමු. ඡන්දෙ තියන්න'' කියලාය. කවදත් ඉහළම සංවිධාන ශක්තියකින් මැදි දින රැලිය තබන ජාතික ජනබලවේගයට මෙවරත් එහෙම කරගන්න හැකිවීම ගැන සතුටු විය හැකිය.
හැබැයි මැයි රැලිවලින් පෙන්වා ජනගඟ ඡන්දවලට පෙරළා ගැනීමේදී ජවිපෙ ප්‍රමුඛ ජා.ජ.බ. ඒ ආකාරයටම සාර්ථක නොවන බව මීට පෙර පැවති මැතිවරණවල ප්‍රතිඵල විමසීමේදී පෙනී යයි. කෙසේ වුවත් පසුගිය කාලය පුරාම විශේෂයෙන් අරගලයට පසුව ජාතික ජනබලවේගය කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට සමත්ව සිටින බව දේශපාලන පක්ෂවල ජනප්‍රියතාව මැන බැලූ සමීක්ෂණ දෙකකදී පැහැදිලි විය. අරගලයේදී ප්‍රධාන තේමාව වූ ''සිස්ටම් චේන්ජ්'' කතාවේදී රටේ තරුණ පරපුර ජා.ජ.බ. පිළිබඳ වැඩිබරක් තබා ඇති බව පෙනෙන්නට තිබේ. ඒ තත්ත්වය එසේම ඉදිරියට පවතීද යන්න නම් අවිනිශ්චිතය.
සමගි ජන බලවේගයද සාර්ථක මැයි දින පෙළපාලියක් සහ රැලියක් සංවිධානය කර තිබුණි. නායක සජිත් රජයට අභියෝග කරමින් ප්‍රකාශ කළේ හැකිනම් ඡන්දයක් පවත්වන ලෙසටය. සමගි ජන බලවේගය මෙම දුර්දාන්ත, දූෂිත ආණ්ඩුව සමඟ එක් නොවන බවද කියූ සජිත් තම පක්ෂය ඇතුළේ දෙපැත්තේ කකුල් තබාගෙන සිටින අයටද ''ෂොට්'' එකක් දුන්නේය.
යූ.එන්.පී.ය සුගතදාස ක්‍රීඩාංගණයේදී සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි රැලියක් පැවැත්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූම් තාක්ෂණය ඔස්සේ එම මැයි රැලිය අමතා රට දියුණු කරගැනීමේ ක්‍රියාමාර්ගයට එකතු වෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය. එම රැලියට සහභාගි වූ පිරිස අතරේ ඉහළ උද්‍යෝගයක් පෙනෙන්නට තිබිණි.
පෙරටුගාමී පක්ෂයද මෙවර මැයි පෙළපාළිය සහ රැලිය පෙර පැවැති ආකාරයටම සංවිධානය කර ගැනීමට සමත්ව තිබිණි. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂයක් වශයෙන් එම රැලිය කැපී පෙනුණේය. කෙසේ වුවද අරගලයට දුන් නායකත්වයට සාපේක්ෂව තරුණ පෙළේ සහභාගීත්වය එතරම් ප්‍රමාණවත් නොවූ බවත් පෙනිණි.
මැයි දිනය සමඟ මේ රටේ දේශපාලනය දැඩිව ගැට ගැසී තිබේ. ඡන්දයක් ඉදිරියේදී තිබුණත් නැතත් ඒ සඳහා විශාල පිරිසක් සහභාගී කරවාගෙන රැලි පැවැත්වීමට සියලු දේශපාලන පක්ෂ උත්සාහ දරන්නේ ඒ හේතුවෙනි. පොහොට්ටුව ආරම්භ කර ඔවුන් පැවැත්වූ මැයි රැලියේදී ගෝල්ෆේස් පිටිය පිරී යන තරමේ සෙනඟක් ගෙන්වා ගැනීමට එම පක්ෂයට හැකි විය. 2019 ජනාධිපතිවරණයේත් ඉන්පසුව 2020 දී පැවැති මහ මැතිවරණයේත් ප්‍රතිඵලවලින් එම රැලියට පැමිණි සෙනඟ ඡන්ද බවට පෙරළී තිබුණ බව පෙනුණි. 2015දී යහපාලන ආණ්ඩුව පිහිටුවීමට පෙර පැවති මැයි දින රැලියේදී යූ.එන්.පී. ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ තැබූ ගෝල්ෆේස් මැයි දිනයටද විශාල ජනකායක් සහභාගි වී සිටියහ. ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද සමඟ සිටි මෛත්‍රීපාල ඇතුළු පිරිසක් සමඟ එකතු වී ජයගැනීමටත් මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමටත් යූ.එන්.පී. ප්‍රමුඛ සන්ධානයට හැකි විය.
අවුරුදු තුනකට පස්සේ පැවැත්වූ මේ පාර මැයි දිනය ඉදිරියට එන මැතිවරණයේ ප්‍රතිඵල වල පූර්විකාවක්ද?
ඒක නම් එකපාරටම පිළිතුරක් සොයාගත හැකි ප්‍රශ්නයක් නොවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවමත් පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන බව පසුගියදා පැවැති අයි.එම්.එෆ්. විවාදයේදි පෙනුණි. එහිදී පොදුජන පෙරමුණේ සහාය ඇතිව ඡන්ද 120ක් ලබාගැනීමට ජනාධිපතිවරයා සමත් විය. එහෙම වුණත් ජනාධිපතිවරයා බලාපොරොත්තු වන සජබ ඇතුළු විපක්ෂයේ සහයෝගය නම් ලබාගැනීමට නම් තවම හැකිවී නැත. අයි.එම්.එෆ්. විවාදය අවස්ථාවේ ඔවුන්ගේ පිරිසක් රජය සමඟ එක් වී ඡන්දය ලබාදෙනු ඇතැයි තිබූ බලාපොරොත්තුවද හරිගියේ නැත. සජබෙන් අලුතින් ලැබුණේ ෆවුසිගේ ඡන්දය පමණි.
මේ කොහොම වුණත් ප්‍රතිත්‍රස්ත පනත දින නියමයක් නොමැති ආකාරයට කල්දැමීමට සිදුවීමෙන් පෙනී යන්නේ එය සම්මත කිරීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට නොහැකිවනු ඇති බවට ජනාධිපතිවරයාට අවබෝධ වීම නිසා විය යුතුය. එම ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒම වළක්වා ගැනීමට සජබ ප්‍රමුඛ විපක්ෂයේ ප්‍රබල වෑයමක් දැරෑ බවත් පනත කල් දැමීමට හේතු වුණේ ඒ නිසා බවත් පැහැදිලිය. ඉදිරියේදී ගෙනඒමට නියමිත මාධ්‍ය විකාශන අධිකාරි පනතටද එම ඉරණම අත්වීමට ඉඩ තිබේ.
මැයි දින උණුසුමත් සමඟ වෙසක් උළෙල යෙදීම හේතුවෙන් රටේ දේශපාලන උණුසුම පහව ගොස් ඇති බව පෙනී යයි. නමුත් මූල්‍ය අරමුදලේ කොන්දේසියක් වශයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබීමෙන් වෙසක් සිරිය ඉවර වූ සැණින් යළිත් රටේ දේශපාලනය උණුසුම් වීමට ඉඩ තිබේ. විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පූර්ව කොන්දේසියක් වශයෙන් අයි.එම්.එෆ්. එක ප්‍රකාශ කිරීම හේතුවෙන් ආණ්ඩුව එය ඉටුකළ යුතු තැනට තල්ලු වෙමින් සිටී. මේ තීරණය රටේ බැංකු සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ලොකු කැළඹීමක් ඇති කර තිබෙන බවද පෙනී යයි. මැයි රැලි අවසන් වුණත් ඒ උණුසුම හේතුවෙන් යළිත් රුල්ලක් ඇතිවේද කියා ඉදිරි දින කිහිපය තුළදී බලාගත හැකි වනු ඇත.
I ශශීන්ද්‍ර