2023 මැයි 14 වන ඉරිදා

ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ සීතල යුද්ධය

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 111

ලංකාවේ දේශපාලනයට ආණ්ඩුකාරවරුන්ගේ ආගමනය සිදුවෙන්නේ 1987 දී බලහත්කාරයෙන් ලංකාව මත පැටවුණු 13 වැනි ව්‍යවස්ථාවට අනුකූලවය. රටම ගිනි ගනිද්දී අත්සන් කෙරුණු ජේ.ආර්. - රජීව් ගිවිසුම යටතේ රටේ උතුරු සහ නැගෙනහිර පළාත් තාවකාලිකව එකම පළාතක් බවට ප්‍රකාශ වී තිබීම හේතුවෙන් උතුරු නැගෙනහිරට ඒ වෙලාවේ පත් කෙරුණේ එක් ආණ්ඩුකාරවරයකු පමණි.

13 වැනි ව්‍යවස්ථාවට අනුව රටේ පළාත් නවයටම ආණ්ඩුකාරවරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයකු වශයෙනි. ආණ්ඩුකාරවරයා ඍජුවම ජනාධිපතිවරයාට වගකිව යුතු වූ අතර පළාත් සභාවල බලතල ක්‍රියාත්මක කිරීමේදී අවසන් අනුමැතිය ලැබිය යුතු වූයේ ආණ්ඩුකාරවරයාගෙනි. ආණ්ඩුකාරවරයාට කිසියම් තීරණාත්මක මොහොතකදී ජනාධිපතිවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගත හැකි වූ අතර ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවේ බලයත් එකම පක්ෂයක් නියෝජනය කරන විට ඒ ගැන කවුරුත් ප්‍රශ්න කරන්න ගියේ නැත. මොන ප්‍රශ්නය ඇතිවුණත් ජනාධිපතිවරයාගේ තීරණය අවසන් තීරණය විය.

මේ තත්ත්වය හේතුවෙන් ආණ්ඩුකාරවරයාට කවදාවත් රටේ ස්වාධීන, කිසිම දේශපාලන පක්ෂයකට නොබැඳුණු පුද්ගලයකු වශයෙන් ක්‍රියාත්මක වීමට ඉඩක් ලැබු‍ණේ නැත. ඔවුන් සැමවිටම රටේ දේශපාලනය සමඟ රුඳී සිටිය යුතු විය.

ආණ්ඩුකාරවරයාත් පළාතේ දේශපාලන අධිකාරියත් අතර මතභේද පැවතිය හැකි වුණත් එකට දේශපාලන දර්ශනයක් මත පිහිටා කටයුතු කිරීම අප්‍රකාශිත කොන්දේසියක් වී තිබුණි.

මේ ගැන හොඳ වැටහීමක් තිබූ ජේ.ආර්. රටේ පළමු වරට ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී උතුරු නැගෙනහිරට සිංහල ජාතිකයකුත් බස්නාහිර පළාතට දමිළ ජාතිකයකුත් පත් කිරීමට තීන්දු කළේ ඒ කාලයේ රටේ තිබූ කලබලකාරී දේශපාලනයට පිළිතුරක් හැටියටය. උතුරු නැගෙනහිරට විශ්‍රාමික හමුදා නිලධාරී ලුතිනන් ජෙනරාල් නලින් සෙනෙවිරත්න මහතා පත් කරන විට බස්නාහිර ආණ්ඩුකාරවරයා වූයේ හිටපු අගවිනිසුරුවරයකු වූ එස්. ෂර්වානන්ද මහතාය.

වසර 05 ක ධූර කාලයක් සඳහා පත් කරනු ලබන ආණ්ඩුකාරවරුන්ට එම ධූරය දැරිය හැක්කේ ජනාධිපතිගේ ප්‍රසාදය හිමිවන තාක් බවටද ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. ආණ්ඩුකාර ධූරය කැබිනට් අමාත්‍යවරයකුගේ තත්ත්වයට සමවන අතර වැටුප් සහ දීමනාද ඒ හා සමානය. වාහන තුනක් භාවිතයට අනුමැතිය තිබෙන අතර නිල රථයද ආරක්ෂක රථයක්ද එයට ඇතුළත්ය. සියලු වාහන නඩත්තුව සඳහා වියදම් දැරිය යුත්තේ පළාත් සභාව මගිනි. නිල නිවෙසක්ද පෞද්ගලික සහකාර කාර්ය මණ්ඩලයක්ද ආණ්ඩුකාරවරයකුට හිමිවෙයි.

ආණ්ඩුකාරවරයකුගේ බලතලවලට පළාත් සභාවේ අරමුදල් සහ හදිසි අරමුදල් පාලනයද, පළාත් රාජ්‍ය සේවා පාලනයද, පළාත් සභාවේ මූල්‍ය පාලනයද, විගණකාධිපතිගෙන් වාර්තා කැඳවීමද, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කිරීමද අයත් වෙයි. මේ හැර වරදකරුවකුට සමාවදීමද දඬුවම ක්‍රියාත්මක වීම කල්දැමීමද කළ හැකිය. මේ වනවිට පළාත් සභා සියල්ල විසිරී ගොස් තිබුණත් පළාත් සභා පාලනය අවහිරයකින් තොරව පවත්වාගෙන යා හැකි වී තිබෙන්නේ මේ සියලු පළාතට අදාළ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුකාරවරයාට පවරා ඇති ඉහත කී බලතල හේතුවෙනි. නමුත් පළාත් සභා අක්‍රීය තත්ත්වයක් යටතේ මේ ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරුන් සහ පළාතේ දේශපාලන බල අධිකාරිය අතර ගැටුම් හටගැනීම බලාපොරොත්තු විය යුතුය. ආණ්ඩුකාරවරුන් රටේ දේශපාලනය පිළිබඳ හොඳ වැටහීමකින් ක්‍රියා නොකරන්නේ නම් ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැක. වර්තමානයේ ආණ්ඩුකාරවරුන් අස්කිරීම දක්වා එම තත්ත්වය ව්‍යාකූල වී තිබෙන්නේ ඒ හේතුවෙනි.

ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ ඉතිහාසය අනුව උතුරු නැගෙනහිරටත් ඉන්පසුව උතුරටත් දිගටම පත්වීම් ලබා ඇත්තේ සිංහල ජාතික ආණ්ඩුකාරවරුන් බවත් බස්නාහිර පළාතේ 2002 දක්වා දමිළ ජාතික ආණ්ඩුකාරවරුන් බවත් පෙනී යයි. 2002 දී අලවි මවුලානා මහතා බස්නාහිර ආණ්ඩුකාර ධූරය පත්වී 2015 දක්වා ධූරය දැරෑ අතර 2015 දී ලෝගේස්වරන් මහතා පත් කරනු ලැබීය. මේ සුළු ජාතික ආණ්ඩුකාරවරුන් බස්නාහිර පළාතට පත් කිරීමේ සම්ප්‍රදාය වෙනස් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවය. ඔහුගේ බස්නාහිර පළාත සඳහා තේරීම හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොහාන් ගුණතිලක මහතා විය. මේ වනවිට අස්වෙන්නැයි දැනුම් දී ඇති ආණ්ඩුකාරවරුන් අතුරින් වෙනස් නොවන්නේද ඒ මහතා වීම දෛවෝපගත සිද්ධියකි.

රටේ සෙසු පළාත්වලට කෙසේ වෙතත් උතුර, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලට ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ ජේ.ආර්. ඇරඹූ ක්‍රමවේදය සහ සම්ප්‍රදාය ගෝඨාභය මහතා වෙනස් කරන තුරු නොවෙනස්ව පැවතුණේ රටේ පවතින ජනවාර්ගික අර්බුදය හා බැඳණු දේශපාලනය හේතුවෙන් බව යටි පෙළෙන් කියැවෙයි. නමුත් දැන් උද්ගත වී ඇත්තේ ඊට වඩා වෙනස් තත්ත්වයකි.

වයඹ, නැගෙනහිර, සබරගමුව සහ උතුරේ ආණ්ඩුකාරවරුන්ට අස්වෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි සඳහන්ය. ඒ අනුව වසන්ත කරන්නාගොඩ, අනුරාධා යහම්පත්, ටිකිරි කොබ්බෑකඩුව සහ ජීවන් ත්‍යාගරාජාට ආණ්ඩුකාර ධූර අහිමිවීමට නියමිතය. ඒ සඳහා පත් කරනු ලබන්නේ කවුදැයි නියත වශයෙන්ම තවම සඳහන් නොවුණත් ඒ සියලු දෙනා දේශපාලනය හා සහසම්බන්ධව සිටින චරිත කිහිපයක් බව නම් කිව හැකිය. අස්වීමට දැනුම්දීම් ලැබූ ආණ්ඩුකාරවරුන්ට ඒ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගයක් නැත. ඔවුන් පත්වීම් ලබන්නේ රටේ විධායක ජනාධිපතිවරයාගේ බලතල හේතුවෙනි. ඔවුන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුය. රටේ විධායක ජනාධිපති ධූරය සමඟ ගැටුම් ඇතිකර ගනිමින් ආණ්ඩුකාර ධූරයක රුඳී සිටීමට උත්සාහ දැරීම අතුරේ යන ගමනක් වීම වැළැක්විය නොහැකිය.

මේ වනවිට රටේ පවතින පාලන තන්ත්‍රය අනුව විධායක ජනාධිපති හැරුණුවිට ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව පමණි. පළාත් සභා අක්‍රීය වී මේ වනවිට වසර 05ක් ඉක්ම ගොසිනි. පළාත් පාලන ආයතන විසිරවී ගියේ පසුගිය මාර්තු 19 වැනිදා මධ්‍යම රාත්‍රියේදීය. ඒ අනුව රටේ සාමාන්‍ය ජනතාවගේ දේශපාලන අවශ්‍යතා සියල්ල ඉටුකර දෙන ප්‍රධාන ආයතන පවතින්නේ අක්‍රීයවය. රටේ සමස්ත පාලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතේය. මේ හේතුවෙන් ආණ්ඩුකාරවරුන්ගේ පත්වීම් වෙන කිසි කලෙකටත් වඩා මේ වනවිට ඉතා වැදගත් කටයුත්තක් බවට පත් වී තිබේ.

පවතින තත්ත්වය යටතේ මහ මැතිවරණයකට හෝ වෙනත් මැතිවරණයකට හෝ මුහුණ දීමට තදබල අකැමැත්තකින් සිටින පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම පාලනය කර ගැනීම ජනාධිපතිවරයාට අපහසුවක් නැත. මැතිවරණයකට මුහුණදීම හැර වෙනත් ඕනෑම දේශපාලන තීන්දුවකට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිවන බව ජනාධිපතිවරයා දැන සිටියි. මාස ගණනාවක් තිස්සේ අමාත්‍ය ධූර ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් පොහොට්ටු මන්ත්‍රීලා කළ ඉල්ලීමේද මේ වනවිට හුළං බැස තිබෙන බව පෙනී යයි. මේ තත්ත්වය යටතේ ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් හට එම ධූර හිමිවුවහොත් ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවට ගත හැකි වෙනත් පියවරක්ද නැත.

මේ බව පැහැදිලි වූ තවත් අවස්ථාවක් වූයේ අයි.එම්.එෆ්. යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදීය. එවැනි විවාදයක අවශ්‍යතාවක් තිබුණාද යන්නත් විවාදිතය. ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. සමඟ ඒ වනවිට සියලු එකඟතා සඳහා ගිවිසුම්ගත වී සිටින විට එසේ ගිවිසගත් එකඟතා පිළිබඳ දින ගණන් විවාද කිරීමේ සැබෑ අවශ්‍යතාවක් තිබිය නොහැක.

එහෙත් එය දේශපාලන කාරණාවක් බවට පත් කෙරුණේ එම විවාදය අවස්ථාවේ සජබ මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්වනු ඇති බවට ගෙන ගිය ප්‍රචාරය හේතුවෙනි. අයි.එම්.එෆ්. සමඟ ගිවිසුම්වලට එළඹීම අවශ්‍ය බවට මුල සිටම තම ස්ථාවරය කරගෙන සිටි සජබට පාර්ලිමේන්තුවේදී ඊට එරෙහිව ඡන්දය භාවිත කළ නොහැක. නමුත් ආණ්ඩුව එකඟ වී තිබෙන රටට ඉතා අහිතකරව බලපෑම් ඇති කරන කොන්දේසිවලට සජබ එම විවාදයේදී දැඩිව විරෝධය පළ කළේය. ඔවුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටීම එක්තරා දේශපාලන උපක්‍රමයක් බවද පෙනී ගියේ සභාවේ රුඳී සිටි එකම සජබ මන්ත්‍රීවරයා වූ ෆවුසි රජය සමඟ ඡන්දය භාවිත කළ අවස්ථාවේය. තවත් කවුරුන් හෝ ඒ අවස්ථාවේදී රජය සමඟ ඡන්දය ලබාදීමේ අරමුණකින් සිටියා නම් එය වැළැක්වී ගියේ සජබ නායකත්වය ගත් තීන්දුව හේතුවෙනි. 

මේ අනුව පැහැදිලි වෙන්නේ දැන් රටේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන එකම ස්ථානය වන පාර්ලිමේන්තුව ඇතුළේද පවතින්නේ &ගේමට ගේම* තත්ත්වයක් බවය. පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම තමන්ගේ මන්ත්‍රී ධූර තවදුරටත් රුකගනිමින් ආණ්ඩු බලය තබාගැනීමට සියලු උපක්‍රම යොදමින් සිටින අතර සජබ තම මන්ත්‍රී කණ්ඩායම එක මිටට තබාගෙන කෙසේ හෝ ඡන්දයක් ලබාගැනීමේ අරමුණින් ක්‍රියා කරමින් සිටියි. ඔවුන්ගේ එම උත්සාහයට ලොකුම බාධාව වී ඇත්තේ විධායක ජනාධිපති ධූරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකාරිත්වය බවද පැහැදිලිය. යූ.එන්.පියට පාර්ලිමේන්තුවේ පවා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරයකු නොසිටින තත්ත්වයක් තිබියදීත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන පවා අක්‍රීයව පවතින තත්ත්වයක රටම පාලනය කිරීම එක අතකින් දේශපාලන ආශ්චර්යයකි. තවත් අතකින් රටේ දේශපාලනයේ පවතින විකෘති සහගත තත්ත්වය පෙන්නුම් කිරීමකි.

රටේ දැන් පවතින දේශපාලන අර්බුදයේ අලුත්ම පිටුව බවට ආණ්ඩුකාරවරුන් අස්කිරීම සහ පත්කිරීම පෙරළී තිබෙන්නේ මේ පසුබිමේය. මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ ආණ්ඩු බලය තිබෙන්නේ තමන්ගේ පක්ෂයට වුණත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රශ්නයේදී කළ හැක්කේ නම් නිර්දේශ කර බලාසිටින තත්ත්වයක රැඳී සිටීමට පමණි. කෙසේ වුවද මේ ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමට පොට පෑදුණේ ඒ අය සමඟ වැඩ කිරීම තමන්ට අපහසු බවට පොහොට්ටුවේ දේශපාලකයන් කළ පැමිණිලි හේතුවෙන් බවද කියති.

අමාත්‍ය ධූර ඉල්ලා පොහොට්ටුව කළ සටන දැන් අතහැර දමා තිබෙන බවද පෙනී යයි. පොහොට්ටුවට අමාත්‍ය ධූර නුදුන්නාට තමන්ට රටේ පාලනය ගෙන යා හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටට පෙන්වා දී තිබේ. ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදීද මේ අනුව පොහොට්ටුවට සිදුවන්නේ නම් ඉදිරිපත් කර බලා සිටීම පමණි. ජනාධිපතිවරයා පොහොට්ටු නායකයන්ගේ අදහස් විමසීමක් කළොත් මිස ඔවුන්ට අදහස් දැක්වීමේ ඉඩක් නැත. එහිදීද ජනාධිපතිවරයා කළේ හිටපු ජනපති ගෝඨාභයගේ අදහස් විමසීම පමණි.

හැබැයි රටේ දේශපාලනයේ පිටින් පෙනෙන දේට වඩා යටින් තිබෙන කොටසේ ගැඹුර වැඩිය. මේ නොපෙනෙන ගැඹුර කොයි මොහොතක හෝ සියලු දේ යට කරගෙන උඩ මතුවීමටද බැරිකමක් නැත. සියලු ඉල්ලීම් ඉටු නොවී පොහොට්ටුව බිත්තියටම හේත්තු කිරීමෙන් එම පීඩනය තවත් වැඩිවීමට ඉඩ තිබේ. ආණ්ඩුකාරවරුන් පත් කිරීම එම පීඩනය පුපුරා යාමට ඉඩක් හදයිද යන්න ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.

I ශශීන්ද්‍ර