2023 මැයි 14 වන ඉරිදා

තිත තැබිය යුතු බාලාපචාර

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 84

කළුතර ලැඟුම්හලක පස්වැනි මහලෙන් ඇද වැටී මියගිය පාසල් සිසුවියගේ මරණයේ උණුසුම මැකී යන්නටත් පෙර බාල වයස්කරුවන් සම්බන්ධ හද කකියවන සිද්ධීන් වාර්තා වෙමින් තිබේ. උස්වැටකෙයියාව ප්‍රදේශයේ ලැඟුම්හලකට බාල වයස්කාර දැරියක කැඳවාගෙන ගිය කතාව එයින් එකකි. බැලුම්මහර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 13 ක දැරියක් නිවෙසින් අතුරුදන් වීම තවත් සිදුවීමකි. එසේම කළුතර ප්‍රදේශයේ සිසු දැරියන් 16 දෙනකු ටියුෂන් ගුරුවරයකුගේ විවිධ ලිංගික අතවරවලට ගොදුරු වූ සිද්ධියක්ද පොලිසියට වාර්තා වී තිබිණි.

මේ සිදුවීම් සියල්ලම බාල අපචාර ගණයට වැටෙන අපරාධය. මෙහිදී ජීවිතය අහිමි වූ කළුතර සිසුවිය මුහුණ දුන් සිද්ධිය පිළිබඳ පළවන වාර්තා සහ ඇයගේ මවගේ ප්‍රකාශය අනුව බරපතළ කාරණා කිහිපයක්ම ඉස්මතු කරයි. මේ කාරණා සියල්ල යොවුන් වියේ සිසු දරු දැරියන් සිටින සියලු මාපියන්ට උගන්වන්නේ වැදගත් පාඩමකි. තමන්ගේ දරුවා කවදාවත් වැරදි නොකරන අයකු බව පැවසීමට කිසිදු මවක හෝ පියකු මොහොතක්වත් පැකිළෙන්නේ නැත. නමුත් යථාර්ථය එයට වඩා බොහෝ දුරස්ථය. මේ වයස් කාණ්ඩයේ දරු දැරියන් විවිධ අවශ්‍යතා සඳහා යොදාගැනීමට මාන බලන කණ්ඩායම් ගැවසෙන බවත් ඔවුන්ට මේ ඇතැම් දරුවන් පහසුවෙන් ගොදුරු විය හැකි බවත් මේ මවුපියන් දැන සිටිය යුතුය. තමන්ගේ පුතා හෝ දියණිය කොතරම් යහපත් ගති පැවතුම් ඇති විනයගරුක දරුවකු වුවත් නිවැරදි වැටහීමක් නොමැතිව ඔවුන් වැරදි පුද්ගලයන්ගේ ඇසුරට පත්විය හැකි බව මවුපියන් අවබෝධ කරගත යුතුය. එසේම වැඩිවියට පත්වෙමින් සිටින තම දරුවන් ආරක්ෂා කර ගැනීමට නම් තමන්ගේ ජීවිත වලද කිසියම් විනයක් පවත්වාගෙන යා යුතු බවටද මවුපියන් තුළ කිසියම් අවබෝධයක් තිබිය යුතුය.

උස්වැටකෙයියාව ප්‍රදේශයෙන් වාර්තා වූ සිද්ධිය කළුතර සිදුවීම තරම් බරපතළ නැති වුවද එහිදීද සිදුවී ඇත්තේ ලැඟුම්හලක් තුළට බාල වයස්කාර දැරියක කැඳවාගෙන යාමය. එහි සැකකාර පෙම්වතා 17 හැවිරිදි බවද සඳහන්ය. එම ලැඟුම්හල් කළමනාකරු බාල වයස්කාර ජෝඩුවකට දැන දැනම කාමරයක් වෙන්කර දීම වැරුද්දකි. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි. අප මෙහිදී පෙන්වා දෙන්නේ ලැඟුම්හල් අයිතිකරුවන් සහ කළමනාකරුවන් බාලපරාධ සිදුකිරීමේ අතකොලු බවට පත්විය යුතු නැති බවය. ඔවුන්ට තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා පාසල් වියේ දරු දැරියන් අවශ්‍ය නැත. ලැඟුම්හල් කරා පැමිණෙන බාල වයස්කාර ජෝඩු ආපසු හරවා යැවීමෙන් ඔවුන්ට මේ බාලපචාරවලට අනුබල දීමේ වරදින් ගැලවිය හැකිවනු ඇත. අප දන්නා තරමින් බොහොමයක් ලැඟුම්හල් එම නීතිය පිළිපදින බව සඳහන්ය. සියලු ලැඟුම්හල් නීතියට අනුව ක්‍රියාත්මක වන්නේ නම් මෙවැනි අපචාර ක්‍රියා අවම කරගත හැකිවනු ඇත.

බැලුම්මහර නිවෙසකින් වයස 13 ක දැරියක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබුණේ එම දැරියගේ පියාය. ඇය පාන්දර යාමයේ නිවෙසින් අතුරුදන්ව ඇතැයි පැමිණිල්ලේ සඳහන් බවද කියයි. එවැනි වයසක දැරියක් පාන්දර යාමයේ නිවෙසින් බැහැරව යාමට ඉඩ තිබීමෙන් පෙනී යන්නේ එම නිවෙසේ ඒ වයසේ දැරියකට තිබිය යුතු ආරක්ෂාවක් සහ සොයා බැලීමක් තිබී නැති බවය. මේ වනවිට එම දැරිය සොයාගෙන ඇතැයි අපි සිතමු. එසේ නොමැති නම් එය වඩාත් බරපතළ සිදුවීමක් දක්වා ඇදී යාමටද ඉඩ තිබේ. මවුපියන්ගේ අවධානය දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි යොමුවිය යුත්තේ යමක් සිදුවීමෙන් පසුව නොව කිසිදු සිද්ධියක් ඇතිවීමට පෙර බවද සඳහන් කළ යුතුය.

කළුතර ටියුෂන් ගුරුවරයා කිසිදු ලැඟුම්හලකට සිසුවියන් කැඳවාගෙන නොගොස් තමන්ගේ ටියුෂන් පන්ති කාමර තුළදීම ඔවුන්ට අතවර කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඒ ඇතැම් සිදුවීම් ඔහු තමන්ගේ පරිගණකයේ ගබඩා කරගෙන ඇති බවද කියයි. එය එසේ සිදුවී නම් ඔහු කර ඇත්තේ බරපතළ අපරාධයකි. සිසුවියන් කිහිප දෙනකුගේ අනාගතය විනාශ වීමට එයම ප්‍රමාණවත්ය. මේ සිද්ධීන්වලට මුහුණදුන් සිසුවියන් මේ වනවිට සිටිනු ඇත්තේ කොතරම් දරුණු මානසික පීඩනයකද? ඔවුන් එම පීඩනයෙන් ගලවා ගැනීමට එම සිසුවියන්ගේ මවුපියන් හැකි තරම් උත්සාහ දැරිය යුතුය. දැනට වාර්තා වී ඇත්තේ ඒ ඇතැම් සිසුවියන් සහ ඔවුන්ගේ මාපියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශ ලබාදීමට මැලිකමක් දක්වන බවය. එය බලාපොරොත්තු විය යුත්තකි. අපේ රටේ මෙවැනි සිද්ධියකදී එයට මුහුණදෙන සිසුවියන්ගේ අනන්‍යතාව රහසිගතව තබාගැනීම බෙහෙවින් අමාරු කාර්යයකි. පාපතර ටියුෂන් ගුරෙකුගේ ගොදුරක් බවට පත්වූ සිසුවියන් තවදුරටත් මානසිකව කඩා වැටීමකට ලක් නොකර ඔවුන්ගේ මනස ශක්තිමත් කර අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාම මවුපියන්ගේ වගකීමක් බවද පෙන්වා දෙමු.

බාල වයසේ දරු දැරියන් මෙවැනි පාපතරයන්ගේ උවමනා එපාකම්වල ගොදුරු බවට පත්වීමට එක් හේතුවක් වන්නේ ඔවුන්ට ලිංගික ජීවිතය සම්බන්ධයෙන් පවතින අනවබෝධයයි. ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ඇත්තේ ඒ වයසට අනුවය. මේ හේතුව නිසා මවුපියන් තම දූ දරුවන් පාසලට ගියත් ටියුෂන් පන්ති ගියත් මිතුරු මිතුරියන් ඇසුරට ගියත් ඔවුන් සම්බන්ධයෙන් උපරිම අවධානයෙන් සිටීම අවශ්‍යය. එසේම අන්තර්ජාලය පරිහරණය කිරීමේදී ඒවායේ සීමා මායිම් පිළිබඳ අවබෝධයක් මේ වයසේ දරුවන්ට නොමැතිවීම හේතුවෙන්ද ඇතැම් දරුවන් පහසුවෙන් අපචාර ක්‍රියාවල ගොදුරු බවට පත්වෙති. කිසියම් විනයක් සහ පාලනයක් ඇතිව අන්තර්ජාලය පරිහරණය කිරීමට දරුවන්ට ඉඩ දීමට මවුපියන් වගබලාගත යුතුය. ලැඟුම්හල් වසා දැමීම සහ ටියුෂන් පන්ති වසා දැමීම එයට පිළියමක් නොවන බවත් මෙවැනි අපචාරවල ගොදුරු බවට පත්වන්නේ සීමිත දරුවන් පිරිසක් පමණක් බවත් තේරුම් ගැනීමත් අවශ්‍යය.