2023 මැයි 21 වන ඉරිදා

එදා ඡන්ද සහ අද ඡන්ද

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 152

මේ දවස්වල බැලූ බැල්මට දේශපාලන කරළිය පේන්නේ මහා ''ඩල්'' විදියටය. ජෙරොම් කේස් එක, කොටි සැමරුම් උත්සව රත්වීම හැරුණුවිට ආණ්ඩුකාරවරුන් පත් කිරීම ඒ ඩල් එක තරමකට මකා දැම්මේය. ආණ්ඩුව ආණ්ඩු කරගෙන යයි. විපක්ෂය කතා කරගෙන යයි. ජනාධිපති ආර්ථික සැලසුම් ඉදිරිපත් කරමින් 2048 දක්වා රට ඉදිරියේ සංවර්ධන මාර්ග සිතියමක් එලමින් සිටී. ජනතාවද තම තමන්ගේ වැඩ කටයුතු කරමින් මේ සියල්ල දෙස බලා හිඳිති.

සමහරුන්ගේ මතයට අනුව මෙය මහා කුණාටුවකට පෙර හැඟෙන, දැනෙන නිහඬ බවකි. දේශපාලනයේ මහා පෙරළි සිදුවීමට කලින් මෙහෙම නිහඬ බවක් තිබුණු අවස්ථා තිබේ. ඒ එක අවස්ථාවක් වූයේ 2003 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරෑ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ වැටීමය. 2003 නොවැම්බරයේදී එවකට හිටපු ජනපතිනි චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව වට්ටන්නට කලින් දේශපාලන පොර පිටිය තිබු‍ණේ සද්ද නැතුවය. සාම ගිවිසුම හේතුවෙන් යුද්ධයට විරාමයක් ලැබී තිබුණි. බෝම්බ පිපිරුම් නැවතී තිබූ නිසා රටේ ජනතාව නිදහසේ තමන්ගේ වැඩ කරගෙන යමින් සිටියහ. ආර්ථික අතින් රටේ ලොකු ප්‍රශ්න තිබුණේ නැත.

අගමැති රනිල් එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි වීමට නිව්යෝක් ගිහින් ආපසු පැමිණියේ සැප්තැම්බර් අගදීය. ඊට සති කිහිපයකට පසු නොවැම්බරයේදී අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් සමඟ යොදාගෙන තිබූ හමුවකට සහභාගි වීමට වොෂින්ටන් ගිය අගමැති රනිල් ආපසු ආවේ අගමැති හැටියට වුණත් ඔහුගේ කැබිනට් එක චන්ද්‍රිකා වෙනස් කර අලුත් තැපැල් සහ ජනමාධ්‍ය ඇමැති කෙනෙක් පත්කොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරයද පවරාගෙන තිබුණි. එහෙම කටුනායකට ආපු රනිල් කොළඹට ආවේ ලක්ෂ ගාණක ජනතාවගේ සහාය ලබමිනි. හැබැයි ඒ ජනතා සහායෙන් චන්ද්‍රිකාට අභියෝග කිරීමට ඒ වෙලාවේ නොගිය රනිල්ගේ සැලැස්ම වී තිබුණේ මහ මැතිවරණයකට යාමටය. ඒ වනවිට ආණ්ඩුව පත්වී වසරක් ඉක්ම ගොස් තිබූ බැවින් ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට චන්ද්‍රිකාට ව්‍යවස්ථාවෙන්ම බලය ලැබී තිබුණි. චන්ද්‍රිකා කැබිනට් එක වෙනස් කළේ මේ බලාපොරොත්තුව ඇතිව බව වටහා ගැනීමට රනිල්ට අසීරු වුණේ නැත.

රනිල් ලංකාවට පැමිණි ගමන් ඔහුගේ ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාම  සැලැස්ම වී තිබුණත් රනිල් කටුනායක සිට කොළඹට ආපු වෙලාවේ රුස්වුණු සෙනග දැක ඒ අදහස තරමක් කල් දැමීමට චන්ද්‍රිකාට සිදුවිය. සටන් විරාමය හේතුවෙන් රටට ලොකු නිදහසක් ලැබී තිබුණත් ඒ විරාමය අස්සේ කොටි යුද්ධයට අරඅඳිමින් සේනා රුස් කරන බවත් ආයුධ ගබඩා කරන බවත් රටට පෙන්වා දීමට චන්ද්‍රිකාගේ සන්ධානය විපක්ෂයේ සිටියදීත් සමත් වී සිටියේය. ජාතිකත්වය ඉස්මතු කර මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් දිනන්න හැකිවනු ඇතැයි චන්ද්‍රිකාගේත් ඇයට සහාය දැක්වූ මංගලලා ඇතුළු පිරිසගේත් මුලින් තිබූ විශ්වාසය විය. ඒ වුණත් අර සෙනග දැක ඔවුන්ද අඩියක් පස්සට ගෙන තිබිණි.

මනෝ - මලික් සාකච්ඡා ආවේ එහි ප්‍රතිඵලයක් හැටියටය. එම සාකච්ඡාවල ප්‍රගතිය අනුව චන්ද්‍රිකා ඉල්ලා සිටි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය ඇයටම තියාගන්නට ඉඩ දී සෙසු අමාත්‍යාංශ ආපසු පවරාගෙන සමතයකට යා යුතු යැයි අවබෝධයක් ඇතිවිය. ඒ වෙලාවේ රටේ ජනතාවගෙන් බහුතරය සිටින්නේ චන්ද්‍රිකාගේ පැත්තේ බවට රනිල්ගේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේ මතය වී තිබිණි. නමුත් කිහිප දෙනකු දැඩිව හිටියේ ඡන්දයකට යා යුතු කියන මතයේය. මහ මැතිවරණයකදී තමන්ට ජයගත හැකිවනු ඇති බවට ඔවුන් තුළ තිබුණේ දැඩි විශ්වාසයකි. අවසානයේ මනෝ - මලික් සාකච්ඡා අවසන් විය. චන්ද්‍රිකා ඉන් සති කිහිපයකට පසුව ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට ගියේය. එතෙක් ආණ්ඩු බලය තිබූ එක්සත් ජාතික පෙරමුණ විපක්ෂයට තල්ලු විය.

එතැනදි යූ.එන්.පිය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සමතයකට යනවාට වඩා ඡන්දයකට යාමට සුදුසු යැයි තීරණය කිරීමට එක් ප්‍රධාන හේතුවක් වුණේ වැරදි ගණන් හැදීමකි. චන්ද්‍රිකා ඇයගේ සැමියා වූ විජය කුමාරතුංග මැරෑ ජවිපෙ සමඟ කිසි කලෙකත් සන්ධානයකට හෝ ගිවිසුමකට නොයනු ඇති බවට ඔවුන්ගේ ගණන් හැදීම විය. එහෙත් සිදුවුණේ ඒකෙ අනෙක් පැත්තය. චන්ද්‍රිකා - ජවිපෙ සමඟ එකතු විය. යූ.එන්.පී. ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට විපක්ෂයට යන්න සිදුවුණේ ඒ හේතුවෙනි. 

ඒ වෙලාවේ මේ සියලු දේශපාලන කරළියේ අලකලංචිවලට පිටුපසින් විදේශ බලවේගවල අතපෙවීම් සිදුවූ බවට චෝදනාද එල්ල විය. ඒ කුමන චෝදනාව එල්ල වුණත් චන්ද්‍රිකා සැලුණේ නැත. ඇය පස්ස බැලුවේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවතට තල්ලු වීමෙන් පසුවය.

තමන් සම්බන්ධයෙන් රට තුළ පවතින ජනමතය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතු බව ඒ සිද්ධිය හොඳම උදාහරණයකි. ඒ වෙලාවේ ඡන්දයකට නොගොස් මනෝ - මලික් සාකච්ඡා හරහා කිසියම් එකඟත්වයක් ඇති කරගෙන රනිල් ආපසු ආණ්ඩුව භාරගත්තා නම් මේ රටේ දේශපාලන ඉතිහාසය බොහෝ වෙනස් වීමට ඉඩ තිබුණි.

මහ මැතිවරණයක යන්න එපා කියදදීත් ඒ බව නොපිළිගෙන ඡන්දයකට ගොස් ආණ්ඩුව අහිමි කරගත් රනිල් වික්‍රමසිංහ මහතා එදා ඉගෙනගත් පාඩම තවමත් මතක තබාගෙන සිටින බව පෙනෙන්නට තිබේ. මේ වනවිට හරි නම් මැතිවරණ තුනක් පැවැත්වීමට හේතු සාධක තිබේ. එයින් පළමුවැන්න මහ මැතිවරණයයි. පසුගිය වසරේ අරගලයක් එක්ක හිටපු ජනාධිපති අස්විය. අගමැතිත් අස්විය. ඒ වෙලාවේ ආණ්ඩුව ජනවරම අහිමි වූ පාලනයක් බවට පත්විය. අගමැති ඉල්ලා අස්වීම සැලකෙන්නේ ආණ්ඩුව ඉල්ලා අස්වීමක් හැටියටය. එහෙත් ඒ වෙලාවේ රටේ තිබූ තත්ත්වය එක්ක රට අරාජික වීම වළක්වා ගැනීමට අලුත් අග්‍රාමාත්‍යවරයකු පත් කරගෙන ආණ්ඩුව දිගටම ගෙන යාම අවශ්‍ය විය. රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති ගෝඨාභයගේ ඉල්ලීම බාරගෙන රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙන්නේ ඒ අනුවය. නමුත් ආණ්ඩුවට ජනවරමක් නැති බව වසා ගැනීමට එය හේතුවක් වුණේ නැත. රටේ පවතින්නේ ජනමතයේ විකෘතියක් බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ මගින් ගෙන යන මතයට ආණ්ඩුවෙන් ඍජු පිළිතුරක් ලැබෙන්නේද නැත. එයට ඇති හොඳම පිළිතුර මහ මැතිවරණයකට ගොස් ජනවරම තවමත් තිබෙන්නේ තමන් අතේ බව පෙන්වා දීමය. එහෙත් අපි ඡන්දවලට බය නෑ කියනවා හැර ආණ්ඩු බලය හිමි පොහොට්ටුව ඡන්දයකට යමු කියා කියන්නේ නැත.

පවතින ව්‍යවස්ථාවට අනුව පසුගිය පෙබරවාරි මාසයේදී ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබුණේය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව විසුරුවා හැරියේ නැත. 2004 දී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවට කළ දේ 2023 දී රනිල් මහින්දගේ ආණ්ඩුවට කළේ නැත. එහෙම නොකළේ එදා ගත් අවදානම අද ගන්නට සූදානම් නැති නිසා බව පැහැදිලිය. එසේම පළාත් පාලන මැතිවරණයද පසුගිය මාර්තු 20 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමට නියමිත විය. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණ කීවේ එහෙම ඡන්දයක් නැති බවය. මොන ඡන්දය තියන්නත් සල්ලි නැති බවය. දැන් පුංචි ඡන්දයේ ඉරණම රුඳී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදෙන තීන්දුව මතය. ඊළඟට අතහැර දමා තිබෙන ඡන්දය පළාත් සභායි. එම ඡන්දය 2017 න් පසුව පවත්වා නැත. එම ඡන්දය පවත්වන්නැයි ඉන්දියාවද ලංකාවට බලපෑම් කරමින් සිටී. උතුරේ නායකයන්ද පසුගියදා ජනාධිපති හමුවූ අවස්ථාවේ ඉල්ලා තිබුණේ හැකි තරම් ඉක්මනින් පළාත් සභා ඡන්දය තබන්නැයි කියායි. එහෙත් ඒ ගැන නිශ්චිත තීන්දුවකට එළඹීමට ආණ්ඩුව අපොහොසත් විය. නැතහොත් එය හිතාමතාම මගහැරියේය.

දැන් මේ ඡන්ද තුනටම වඩා කරළියට පැමිණ තිබෙන්නේ ජනාධිපතිවරණ කතාවයි. හැබැයි පුදුමයකට වගේ පුංචි ඡන්දයට, මහ මැතිවරණයකට තිබූ උනන්දුව, උද්‍යෝගය ජනාධිපතිවරණ කතාවට තිබෙන බවක් පෙනෙන්නට නැත. දේශපාලන කරළිය ''ඩල්'' වී ඇතැයි පෙනෙන්නේ ඒ හේතුවෙනි. ජනාධිපතිවරණ කතාවත් තමන්ට දිගු කරන කැරට් අලයක් පමණක් බවට ජනතාව තුළ අදහසක් පැතිරෙමින් තිබේ. එහෙම ජනාධිපතිවරණයක් ගන්න නම් ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ආ යුතුය. එය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතුය. එහෙම සංශෝධනයක් ගේනවා නම් තමන් බොක්කෙන්ම සපෝට් කරන බව විපක්ෂ නායක සජිත් කිව්වත් ආණ්ඩුව ඉන්නේ එය ඇහුණේ නැතුව වගේය. ජාතික ජන බලවේගයක් ජනාධිපතිවරණයක් එනවා නම් එයට සූදානම් විය යුතු බවට අදහසක් තබාගෙන වැඩ කරන බවක් පෙනී යයි. පොහොට්ටුව නම් කියන්නේ එහෙම ජනාධිපතිවරණයක් පෙනෙන තෙක් මානයක නැති බවය. මේ කතාවලින් පේන්නේ ජනාධිපතිවරණ කතාවත් නිකම් ඇස් බැන්දුමක් පමණක් බවය. ජනතාවට කතා කරන්නට සපයන මාතෘකාවක් ආණ්ඩුව හදා දී තිබෙන බවය.

කොහොම වුණත් පැවති තත්ත්වයට සාපේක්ෂව ආර්ථිකය ඇතුළු රටේ පාලනය තරමක් දුරකට ඉහළට ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමත් වී සිටීම ඔහුට ලොකු ප්ලස් පොයින්ට් එකකි. පසුගිය වසරේ මේ කාලයේ රට තිබුණේ අපායක් තරමටය. දැන් තත්ත්වය සාමාන්‍ය නොවුණත් බැලූ බැල්මට රටේ බරපතළ ප්‍රශ්නයක් නැත. හැබැයි මේ ඔක්කොම අයි.එම්.එෆ්. ණය හා බැඳී පවතින තත්ත්වයකි. ඉටුකිරීමට නියමිත දැඩි කොන්දේසි තව ඉදිරියට තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයක් ගැන තවමත් නොසිතන්නේ 2004 දී උගත් පාඩම නිසාද නැත්නම් දැන් පවතින නිහඬ බව ඉදිරියට එන කුණාටුවක පෙරනිමිත්තක් විය හැකි නිසාද යන්න නම් එකපාරටම කියන්න බැරිය.

I  ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00