මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමේ සටන අවසානයේ නැවතුණේ පාර්ලිමේන්තුව ඇතුළේය. පාර්ලිමේන්තුවෙන් පිටත ඔහු ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ලොකු වෑයමක් දැරීය. අස්වන ලෙස දැනුම් දුන්නේය. බැරිම තැන කොමිසමේ සාමාජිකයන් වෙනම කැඳවා උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි. සභාපති ජනක රත්නායක විදෙස් සංචාරයක යෙදී සිටි අවස්ථාවක ඔහුගේ කාර්යාලයට සීල් තැබිණි.
මේ කිසිවකින්වත් ජනක මට්ටු වුණේ නැත. ඔහු ආණ්ඩුවෙන් ගේමට ගේම ඉල්ලුවේ ''මම කතාකරන්නේමේ රටේ විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් කියන සටන් පාඨය අතේ තබාගෙන ය. ඔවුන් රටේ මහජනතාව බවත් තමන් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ට බවත් ජනක රත්නායකගේ ''මන්ත්‍රය'' වී තිබුණි.
ඔහු මේ හදාගන්නේ තමන්ගේ ඡන්ද වේදිකාව බව ආණ්ඩුවට ඉව වැටී නොතිබුණා නම් පුදුමය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් තුළ තිබූ බලාපොරොත්තුව එළියට දැමීමට ජනක රත්නායක පැකිලුණේත් නැත. ඔහුගේ සහායට භික්ෂූන් ඇතුළු ආගමික නායකයන් කිහිප දෙනෙකු සිටින බවත් විද්වතුන් පිරිසකගේ සහායද ඔහුට ලැබෙන බවත් ප්‍රකාශ වී තිබිණි. ආණ්ඩුව කියන විට ඉල්ලා අස්වී යනවාට වඩා ආණ්ඩුවෙන් ගේම ඉල්ලාගෙන ඉවතට විසිවීම තමන්ගේ ඉදිරි දේශපාලනයට වඩා වැදගත් වනු ඇතැයි ඔහුගේ අදහස බවද පෙනුණි. ඒ හරහා තමන්ට ජනතාවගේ ඉහළ පිළිගැනීමක් ලැබෙනු ඇති බවටද ඔහු ගණන් හදන්න ඇත. ලංකාවේ දේශපාලන උණ පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන කෙනකුට එහෙම හිතෙන එක ගැන පුදුමයක් නැත.
ජනක රත්නායක සති ගණනාවක් තිස්සේ රටේ මාධ්‍යයේ සිරස්තල මවන්නෙක් වුණේ මේ පසුබිමේ ය. ඔහු පුවත්පත්වලත් රූපවාහිනි නාළිකාවලත් හැමදාම වගේ පෙනී සිටියේය. ඡන්ද අපේක්ෂකයකුගේ පැත්තෙන් බලනවිට එය කෝටි ගණනක නොමිලේ ලැබුණු ප්‍රචාරයක් විය. ඒ ප්‍රචාරයේ බලපෑම කොතෙක්දැයි බලාගැනීඹට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. ඔහු එහි අපේක්ෂකයෙක්ද විය යුතුය.
ආණ්ඩුව පැත්තෙන් ජනක සමඟ සටන එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමක් විය. තමන් පාර්ලිමේන්තුව තුළ බහුතරය තවමත් නොබිඳී පවත්වාගෙන යන බවත් විපක්ෂයෙන් පවා මන්ත්‍රීවරුන් තමන්ට එකතු වන බවත් රටට පෙන්වාදීමට ආණ්ඩුව මෙය අවස්ථාවක් කර ගත්තේ ය. ජනක රත්නායක කරන වැඩේ කොතරම් හොඳ වුණත් ඔහු රැකගන්නවාට වඩා ආණ්ඩුව රැකගන්න එක හොඳයි කියා නොසිතන එකම මන්ත්‍රීවරයකුවත් මේ වෙලාවේ පොහොට්ටුවෙන් නම් හොයාගන්න බැරි බව වෙන කිසිවකුටත් වඩා හොඳට ජනාධිපති රනිල් දැන සිටියි. ජනක රත්නායක තමන්ගේ ජනාධිපති වූ ගෝඨාභය මහතාගේ තේරීමක් බවත් ඔහු පොහොට්ටුවටත් රාජපක්ෂවරුන්ටත් ඒ කාලයේ පටන්ම උදව් කළ අයකු බවත් ප්‍රකාශ කරමින් ඔහුට එරෙහිව ඡන්දය ලබාදිය නොහැකි යැයි කියන ඕනෑම පොහොට්ටුවේ මන්ත්‍රීවරයකුට දිය යුතුව තිබුණේ සරල උත්තරයක් බව ජනාධිපති රනිල් හොඳින්ම තේරුම් ගෙන සිටියේය.
සියල්ලටම වඩා වැදගත් වන්නේ බහුතරය පෙන්වා ආණ්ඩුව රැකගැනීම යන උත්තරයට පිටුපෑමට පොහොට්ටුවේ කිසිම මන්ත්‍රීවරයකුට නොහැකි බව රහසක් නොවීය. ජනකගේ ක්‍රියාකලාපයට ආණ්ඩුව එකඟ නොවන බව කියා ඔහු ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ කඩාකප්පල් කරන වෑයමක කොටස්කරුවකු බව කියමින් ඔහුට එරෙහිව ඡන්දය ලබාදීමට තීරණය කරනු හැර පොහොට්ටු මන්ත්‍රීන්ට ගතහැකි වෙනත් පියවරක් තිබුණේ නැත.
ජනක රත්නායක නෙරපීමට ගෙන ආ යෝජනාවේ ඉදිරිපත් කර තිබූ කරුණු තර්කානුකූල ඒවා නොවුණත් ඔහු පොහොට්ටුව සහ ඊට පෙර තිබූ රාජපක්ෂ පාලනය තුළ කොටස්කාරයෙක් වූ බව යටපත් කර දැමිය නොහැකි සත්‍යයයි. ඔහුට ඒ අතීතයෙන් මිදී දේශපාලනයට පිවිසීමට තිබෙන වේදිකාව කුමක්ද යන්න ප්‍රහේළිකාවක් වුණත් මේ සමස්ත සිද්ධිය තමන්ගේ වාසියට යොදාගැනීමට ඔහු දිගටම උත්සාහ දරණු ඇත.
ඒ වගේම ආණ්ඩුවටද මේ යෝජනාවේ ඡන්ද විමසීම එක්තරා අභියෝගයක් වී තිබුණි. අමාත්‍ය ධුර නොලැබීම නිසා කලකිරීඹට පත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තමන්ට ඇමැතිකම් නැත්නම් ආණ්ඩුව රුකගැනීමෙන් පලක් නැතැයි යන ස්ථාවරයට පවා තල්ලු වී සිටියත් ඔවුන් ඡන්දය දීමෙන් වැළකී නොසිටිනු ඇති බවට ජනාධිපති රනිල්ට පොහොට්ටු නායකයන්ගේ සහතිකයක් ලැබී තිබෙන්නට ඇත. මේ නිසා කිසිම චකිතයකින් තොරව ජනාධිපතිවරයා ජනකට එරෙහි ඡන්දය පොහොට්ටුවට බාරකර ජපන් සහ සිංගප්පූරු නිල සංචාරයක් සඳහා රටින් බැහැරව ගියේය. තමන්ට මෙය අභියෝගයක් නොවන බවට රටට පණිවුඩයක් දීමටද ජනාධිපතිට මෙය අවස්ථාවක් විය.
කෙසේ වුවත් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනකුද රජය සමඟ එක්ව ඡන්දය දීමෙන් ආණ්ඩුවට මේ ඡන්දය ආශීර්වාදයක් විය. වඩිවේල් සුරේෂ් සහ ෆවුසි පමණක් නොව ස්වාධීන මන්ත්‍රීවරයකු වන කුමාර වෙල්ගමද ආණ්ඩුව සමඟ එකතු විය. මේ තත්ත්වය සජිත් කල්පනාවට ගතයුතු බව පැහැදිලිය. විවාදය ඉල්ලුවේ විපක්ෂයයි. අවසානයේ තමන්ට තිබූ ඡන්ද දෙකක්ද සජබට අහිමි විය. විපක්ෂයෙන් මන්ත්‍රීන් ගැලවෙන මෙහෙම තත්ත්වයක් දිගින් දිගටම පවතීද යන්න නම් විවාදිතය. එහෙත් විපක්ෂය පැත්තෙන් මේ විවාදය පුස්ස බින්දාක් වැනිය. නමුත් ආණ්ඩුවට නම් එය තමන්ගේ බලය යළිත් තහවුරු කර ගැනීමකි.
හැබැයි ජනක රත්නායක සටනින් දිනුවා කියා ආණ්ඩුවට උදව් ඇනීමට කාලයක් නැත. ඉදිරි මාස කිහිපය වඩාත්ම තීරණාත්මක විපක්ෂයට නොව ආණ්ඩුවටය. අයි.එම්.එෆ්. එක තමන්ගේ කොන්දේසි ඉටුවනතුරු ලංකාව දෙස බලා සිටී. රටට වඩාත් සංවේදී වන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස දෙක තුළදී සිදුවිය යුතුය. ආණ්ඩුවට එය බරපතළ ප්‍රතිවිරෝධයකට මුහුණ දීමට සිදුවන අවස්ථාවක් වීම වැළැක්විය නොහැක. එය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම තරම් පහසු නොවනු ඇත.
ඒ වගේම රටේ කුමන හෝ මැතිවරණයක් ඉදිරි කාලය තුළදී පැවැත්විය යුතු තැනට රට තල්ලු වෙමින් තිබේ. පුංචි ඡන්දය නොපවත්වා සිටිය හැකිවුණත් පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවට ඉන්දීය රජයෙන් නිල නොවන මට්ටමින් සිදුවන බලපෑම් නොතකා සිටීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ආණ්ඩුව ලබන වසර මුලදීම ජනාධිපතිවරණයක් පවත්වන බවට සිග්නල් දමන්නේ මේ හේතුවෙන් විය හැකිය. ජනක රත්නායක තමනුත් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයෙක් කියන්නේ ඒ නිසාදැයි කියන්නත් බැරිය.
I ශශීන්ද්‍ර