තමන්ගේ දේශපාලන දිවියට වසර 32ක් පිරීම නිමිති කර ගනිමින් එය සැමරීම සඳහාඑක් අමාත්‍යවරයෙක් තම අමාත්‍යංශය හරහා සංවිධානය කරන මහා සමරු උළෙල බොහෝ දෙනකුගේ දෙබැම ඉහළ නංවා ඇති බව සඳහන් වෙයි. මෙම ඇමැතිගේ දේශපාලන සමරුව මාසයක කාලයක් පුරා දිවෙන උත්සව ගණනාවකින් සමන්විත බවත් තමන්ගේ දේශපාලන දිවියට වසර 32ක් පිරීම එහිදී උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු යෙදිය යුතු බවටත් අමාත්‍යංශයට උපදෙස් ලැබී තිබෙන බවද කියති.
මේ සම්බන්ධයෙන් ඔහුගේ අමාත්‍යංශය මගින් එයට අයත් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිපියක් යොමුකර තිබේ. එහි සඳහන්ව ඇත්තේ අමාත්‍යවරයාගේ දේශපාලන දිවිය සැමරීම සඳහා දකුණේ ගම්මාන 07ක වෙන් වෙන් වශයෙන් උත්සව 07ක් සංවිධානය කෙරෙන බවය. එම එක් එක් ගම්මානයේ සම්පූර්ණ දිනයම ගත කිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇති බැවින් අදාළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඒ ඒ උත්සව අවස්ථාවන්හිදී එම උත්සව සංවිධානයට අනුයුක්ත කර ඇති සියලු නිලධාරීන් දවස පුරාම ඒ ඒ ගම්මානවල රුඳී සිටිමින් පැවැත්වෙන උත්සව සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවය.
එක් දේශපාලනඥයකුගේ දේශපාලන දිවිය සැමරීම සඳහා රාජ්‍ය නිලධාරින් පිරිසක් සම්පූර්ණ දිනයක්ම කැපකිරීමට යොදවා ගැනීම ආණ්ඩුවේ ඉහළම බලධාරීන්ගේ බලවත් උදහසට ලක් වී ඇති බව සඳහන් ය.
- සන්ඩේ ටයිම්ස්
රහසේම අප්‍රිකානු රටකට ගිය ඉහළ නිලධාරියා
අමාත්‍යංශයක නිවාඩු ලබා සිටින ඉහළම නිලධාරියකුගේ ක්‍රියා පිටිපාටිය පිළිබඳව ඉහළම බලධාරීන්ගේ අවධානයට ලක්වී ඇතැයි සඳහන් වේ. ඔහු නිවාඩු ලබාගෙන ඇත්තේ විදෙස් ගමනක් සඳහා යාමට බවට දැනුම් දී තිබුණත් ඔහු ගමනාන්තය වශයෙන් දක්වා තිබූ බටහිර රටක අගනගරය ද පසුකරගෙන එම ගමන දීර්ඝ වී ඇතැයි සඳහන්ය. ඔහු එසේ ගමන්කර ඇත්තේ අප්‍රිකානු රටකටය. ඒ බව බලධාරීන් නොදැන සිටි බවත් කියති.
මේ තත්ත්වය තවදුරටත් නරක අතට හරවමින් වාර්තා වී ඇත්තේ ඔහු සමඟ මේ ගමනට තවත් පුද්ගලයකු සහභාගි වී ඇති බවත් එම පුද්ගලයා මුහුදට සම්බන්ධ ව්‍යාපාරයක් හරහා ධනවතකු බවට පත්වූ අයකු බවත් ය. බලධාරීන්ට වාර්තා වී ඇති අන්දමට මේ ගමනේ සියලු වියදම් දරන්නේ එම පුද්ගලයාය.
හිටපු ලේකම් ගැන වංචා විමර්ශනයෙන් පරීක්ෂණයක්
මේ අතර අමාත්‍යංශයක හිටපු ලේකම්වරයකුට අද හෙටම වංචා විමර්ශන අංශයට කැඳවීමක් ලැබෙනු ඇතැයි සඳහන්ය. විශ්‍රාම යාමෙන් පසුවද නිල ලිපි ලේඛනවලට තමන්ගේ අත්සන යෙදීම ඔහුට එරෙහි චෝදනාවයි.
මේ බව සොයාගෙන ඇත්තේ එම ධුරයට අලුතින් පත්ව ආ ලේකම්වරයාය. ඉඩම් පැවරීමට සම්බන්ධ ලිපි ලේඛනවලට තමන්ගේ අනුමැතියකින් තොරව අත්සනක් යොදා ඇති බව සොයාගැනීමෙන් පසුව ඔහු මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කර තිබේ.
නව ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් පතා ඇත. ඔවුන් උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයට පැමිණිලි කරන ලෙසටය. මේ ක්‍රියාවලිය තුළ කිසියම් නීති විරෝධී ප්‍රතිලාභ ලබා ගැනීමක් පැවතිය හැකි බවට සැකයක් පැවතීම ඊට හේතුවය.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ ලියැකියවිලි පෙර දාතමක් යොදා අත්සන් කර තිබෙන බවකි. එම පැවරීම් දැනටම අනුමත කර ඇති බවට හැඟීමක් ඒ හරහා ලබාදී ඇති බව සඳහන් වෙයි. එහෙත් මේ ඉඩම් පැවරීම් සඳහා අනුමැතිය ලබා දී නොතිබීම හේතුවෙන් මේ සිද්ධිය හෙළිදරව් වී තිබේ.
- සන්ඩේ ටයිම්ස්