සමහර භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම සහ පහළ යාම ගැන කොතරම් කතා කළත් පලක් නැත. ඉහළ යන වේගයෙන් කිසිම භාණ්ඩයක මිල පහළ නොයන බව අප දන්නා බැවිනි. එහෙත් ඖෂධ මිල සම්බන්ධයෙන් එහෙම කතා කළ නොහැක. ඖෂධ යනු කෙනකුගේ ජීවිතයට සහ මරණයට සම්බන්ධ භාණ්ඩයක් වීම ඊට හේතුවය. ඒ භාණ්ඩය එනම් ඖෂධ මිලදී ගත නොහැකි වුවහොත් රෝගියා ''සෙත්ත පෝච්චි'' වීමටද ඉඩ තිබේ. නැතහොත් රෝගී තත්ත්වය උත්සන්න වී අපා දුක් විඳීමට සිදුවෙයි.
ඖෂධ නැතිවූ පමණින් හෝ රෝගී වීමෙන් හෝ එහෙම අමාරුවට පත්වෙන්නේ රටේ සාමාන්‍ය ජනතාව පමණි. මැති ඇමැතිවරුන්ට නම් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල තිබෙන තුරු එසේත් නොමැති නම් ඔස්ට්‍රේලියාවේ හෝ එංගලන්තයේ හෝ රෝහල් තිබෙන තුරු ගැටලුවක් නැත. ඇතැම්විට මේ රටේ මහජනතාවගේ බදු මුදලින් පවා එවැනි සුඛෝපභෝගී සියලු සැප පහසුකම් සපිරි රෝහල්වලින් සියලු ප්‍රතිකාර සහ ඖෂධ වර්ග ලබාගැනීමේ වාසනාව ඒ අයට තිබේ. මේ නිසා රට ඇතුළේ ඖෂධ මිල කොතරම් වැඩි වුණත් ඔවුන්ට ගාණක් නැත. රෝහල්වල ඖෂධ හිඟ වුණත් ඔවුන්ට දැනෙන්නේ නැත. සියලු කුණු බේරුවල් බොක්කට කිව්වාක් මෙන් මේ ඔක්කොම කරදර හිරිහැර සිදුවන්නේ පොඩි මිනිහාටය. පොදු මහජනතාවටය.
අපට මේ ටික කියන්න සිදුවුණේ රටේ ඖෂධ මිල තවමත් දරාගත නොහැකි මට්ටමේ රැඳී සිටීම හේතුවෙනි. ඉහළ ගිය ඇතැම් භාණ්ඩවල මිල ගණන් මේ වනවිට යම් තරමකට පහළ වැටී තිබුණත් ඖෂධ මිල ගණන් තවමත් එහෙමය. ඖෂධ මිල කටුව පහළට එන්නේම නැත. තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයෙන් ඉහළ ගිය ඖෂධ මිල හේතුවෙන් ලබාගත යුතුම අත්‍යාවශ්‍ය ඖෂධ පවා ලබා නොගන්නා පිරිස් බොහොමයක් වෙති. ඔවුන්ගේ දුක දන්නේ ඔවුන්ම පමණි. අඩුම තරමින් එවැනි අත්‍යාවශ්‍ය ඖෂධ හෝ මිල අඩු කිරීමට ආණ්ඩුව තවමත් කිසිදු පියවරක් ගෙන නැත.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඖෂධ මිලෙහි පවතින මේ තත්ත්වය පසුගිය දිනවල ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් පෙන්වා දී තිබූ බවද පසුගියදා වාර්තා විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඖෂධ මිල මේ මස 15 වැනිදා සිට 16% කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල අඩු කරන බවත් ඩොලරයේ අගය පහළ යාම නිසා ආනයනික ඖෂධවල මිල පහත යා යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.
ඖෂධ මිල මේ තරමින් හෝ අඩු කිරීමට පියවර ගැනීම යහපත් ක්‍රියාවකි. එහෙත් එම පියවර ගැනීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කර තිබේද යන්නත් ගැටලුවකි. ඖෂධ මිල ගණන් ඉහළ යාම අප්‍රමාදව සිදු කළ නිලධාරීන් ඩොලරයේ මිල පහළ යන විට ඒවා අඩු කළ යුතු සැලැස්මක් කල් තබා සකස් කර අමාත්‍යවරයාට බාරදිය යුතුව තිබිණි. මේ රටේ ශල්‍ය ගෝස් නිපදවන කර්මාන්තකරුවන් සිටියදී ඔවුන්ගේ සැපයුම් මිලට වඩා වැඩි මිලක් ගෙවා පිටරටින් ශල්‍ය ගෝස් ගෙන්වීමට පැනගෙන පිඹුරුපත් හදන, එසේම කඩිමුඩියේ හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් මිලියන 270 ක් වටිනා සේලයින් කුප්පි මිලදී ගැනීමට උත්සාහ දරණ නිලධාරීන්ට ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් හැදිය නොහැක්කේ මන්දැයි අපි නොදනිමු. ඉහත කී සේලයින් තොගය ගෙන්වා ගැනීමට සැලසුම් කරන්නේ නිසි ක්‍රමවේදය යටතේ ටෙන්ඩර කැඳවා මිලදී ගෙන ඇති සේලයින් ඉදිරි දිනවලදී මෙරටට ළඟා වීමට නියමිතව තිබියදී බවද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කර තිබිණි. අප ප්‍රශ්න කරන්නේ ඒ තිබෙන හදිසිය ඖෂධ මිල අඩු කිරීම සැලසුම් කිරීමට නැත්තේ ඇයිද කියාය.
මේ රටේ ඖෂධ මිල ගණන් ඉහළ යාම සිදුවුණේ ආර්ථිකය බංකොළොත් වීමත් සමඟ ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙනි. ඩොලරය එසේ වැඩි වෙද්දී ඖෂධ මිල ඉහළ යාම වළක්වාගත නොහැකි බව සත්‍යයකි. ඒ යථාර්ථයට අප සියලු දෙනා මුහුණ දිය යුතු විය. ඒ හේතුවෙන් අවස්ථා කිහිපයකදී වරින් වර ඖෂධ මිල ඉහළ දමනු ලැබීය. රුපියල් 05 කට තිබූ පෙත්ත 25 කටත් රුපියල් 30 කට තිබූ පෙත්ත රුපියල් 80 කටත් නැග්ගේ ඒ හේතුවෙනි. එහෙත් මේ වනවිට ඩොලරයේ අගය සාමාන්‍ය මට්ටමකින් පහළ බැස තිබේ. ඊට අනුරෑපව ඇතැම් ආනයනික භාණ්ඩ මිල ගණන්ද මේ වනවිට අඩුකර තිබේ. එහෙත් ඖෂධ මිල පමණක් අඩු නොවීය. ඩොලරයේ අගය අඩු වුණේ දැන් සති කිහිපයකට පෙර සිටය. මේ නිසා ඖෂධ මිල ගණන්ද ඊට අනුරෑපව අඩු කළ යුතුව තිබූ බව අපගේ විශ්වාසයයි. ප්‍රමාද වී හෝ එම අඩුවීම ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක වීම විශාල සහනයක් බවද කිව යුතුය.