2023 ජුනි 10 වන සෙනසුරාදා

පුංචි ඡන්දය ඉල්ලා ජාතික ජන බලවේගයෙන් ලොකු උද්ඝෝෂණයක්

2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:0077

පුංචි ඡන්දය සම්බන්ධයෙන් සති කිහිපයක නිහැඬියාවක සිටි ජාතික ජන බලවේගය පසුගිය බ්‍රහස්පතින්දා (08) තමන්ගේ සටන යළි ආරම්භ කළේ රාජගිරිය ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිටදීය. එම ස්ථානයේ පැවැති උද්ඝෝෂණය සඳහා ජවිපෙ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් සහභාගි වී සිටියත් නායක අනුර කුමාර දිසානායක පැමිණ සිටියේ නැත. විරෝධතාවට එක්වූ පිරිස අතර ජවිපෙ ප්‍රධාන ලේකම් ජාතික ජන බලවේගයේ විධායක සභික ටිල්වින් සිල්වා, ජා.ජ.බ. ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජා.ජ.බ. විධායක සභිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, හිටපු මන්ත්‍රීන් වන සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, නීතිඥ සුනිල් වටගල, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ පුංචි ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවෝද වූහ.

මෙම උද්ඝෝෂණය තහනම් කරන ලෙසට වැලිකඩ පොලිසිය අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබිණි. ඒ අනුව මාර්ග ගණනාවක උද්ඝෝෂණයේ නිරතවීම වළක්වමින් අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන් 26 දෙනකුට නියෝග නිකුත් කර තිබිණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර, සරණ පාර සහ මැතිවරණ කාර්යාල ප්‍රවේශ මාර්ගය විරෝධතාකරුවන්ට තහනම් විය.

මේ විරෝධතාවේ තේමා පාඨය ''පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු'' යන්න විය. ඒ ඉල්ලීම රුගත් බැනර් සහ සටන් පාඨ පුවරු එහි ප්‍රදර්ශනය කෙරිණි. වෙනත් සටන් පාඨ අතර ජනමතයට ඉඩ දෙනු, මැතිවරණ නොපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය මරණ ආණ්ඩුවට එරෙහි වෙමු යන ඒවාද විය. තමන් මේ ස්ථානයට පැමිණියේ මැතිවරණය පවත්වන්නැයි කොමිසමට බල කිරීම සඳහා බව ටිල්වින් සිල්වාගේ කතාවේ සඳහන් විය.

මැතිවරණ කොමිසම අවට ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි. එහෙත් විරෝධතාව පැයකට ආසන්න කාලයකට සීමා කළ විරෝධතාකරුවෝ සාමකාමීව විසිර ගියහ.

2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00