2023 ජුනි 10 වන සෙනසුරාදා

බහුතරය සහ සුළුතරය

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 127

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ මැතිවරණ ගැන කරන කතා රටේ ජනතාවගේ අවධානයට එසැණින් යොමුවෙයි. පුංචි ඡන්දය පැවැත්වීම වළක්වා ගැනීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුව දැරූ උත්සාහය අතරතුර ජනපති රනිල් පාර්ලිමේන්තුවට පැමිණ ''කල්දාන්න ඡන්දයක් නෑ'' කිව්වේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ සිටි පොහොට්ටුවේ මන්ත්‍රීන්ගේ ජයඝෝෂා සහ අත්පොළසන් මැද්දේය. පොහොට්ටුවේ මන්ත්‍රීන්ට ඒ වෙලාවේ කොයිතරම් ජොලියක් දැනුණාදැයි කිව්වොත් මේ රට ආර්ථිකව කඩා වැට්ටීම හේතුවෙන් ඡන්දයක් පැවැත්වීමට භාණ්ඩාගාරයේ මුදල් නැතැයි ජනපති කියන විටත් පොහොට්ටු මන්ත්‍රීලා කළේ අත්පොළසන් දීම ය. ආර්ථිකය කඩාවැටුණේ තමන්ගේ කාලයේ තමන්ගේ නායකයන් ගත් වැරදි තීන්දු තීරණ හේතුවෙන් බව ඔවුන්ට ඒ වෙලාවේ මතකයේ තිබුණේ නැත. ජනපති පුංචි ඡන්දය පැවැත්වීමට නොහැකි බව අඟවද්දී ඔවුන්ට එය මහත් සහනයක් සේ දැනෙන්නට ඇත.

ඒ වගේම පසුගියදා නුවරඑළියේදී ජනාධිපතිවරයා ජාතික නීතීඥ සමුළුව අමතමින් කළ ඡන්ද පිළිබඳ ප්‍රකාශයද රටේ හැමෝගෙම වගේ අවධානය දිනා ගත්තේ ය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතීඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න, ජාතික නීතීඥ සම්මේලනයේ සභාපති ෆයිසර් මුස්තාෆා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිවේදී පිරිසක් ඉදිරියේ ජනාධිපතිවරයා කිව්වේ මෙහෙම ය.

''තවමත් අපේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී තිබෙනවා. පාර්ලිමේන්තුව වේවා අධිකරණය වේවා ජනමාධ්‍ය වේවා පෞද්ගලික අංශයේ පිහිටුවා ගත් වෘත්තීය සමිති වේවා, වෘත්තිකයන් වේවා අපේ රටේ අතිබහුතරයක් ජනතාව සහ රාජ්‍ය පාලකයන් අතර සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නෑ.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එකතු වුණත් මේ මොහොතේ ඒ කිසිවකුට සියයට 50ක ඡන්ද පදනමක් නෑ. මේ රටේ තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවෙලා. මේ නිසා සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොවේ. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නයි.''

මීට මාස 10කට පෙර රටේ තිබූ දැඩි ආර්ථික අභියෝග, එය සමතයකට පත්කිරීම සඳහා තමන්ගේ රජය කළ උත්සාහයද රට තුළ නීතිය හා සාමය, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමද උපුටා දක්වමින් ජනාධිපතිවරයා සිදුකළ එම කතාවේ රටේ ජනතාවගේත් දේශපාලකයන්ගේත් අවධානය උපරිමව යොමුවුණේ මැතිවරණ පිළිබඳව ජනාධිපතිවරයා දැක්වූ අදහසය. ඉක්මනින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පවා වෙනස් කරමින් කටයුතු සූදානම් කරමින් සිටින අතරවාරයේ ජනාධිපති රනිල් මෙහෙම කතාවක් කළේ ඇයිද යන්න සියලු දෙනාටම ප්‍රහේළිකාවක් විය. එහෙම වුණත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනපතිගේ කතාවට සැර පිළිතුරක් දුන්නේය. මැතිවරණයක් පැවැත්වුවොත් සියයට 50ක ඡන්ද පදනමක් තිබෙන්නේ කාටදැයි කියා බලාගත හැකි බව කියූ විපක්ෂ නායකවරයා ඡන්ද පැවැත්වීම වළක්වන ජනාධිපතිවරයා ජනවරමක් නැති නායකයකු බවද කිව්වේය. ඡන්දයක් තිබ්බොත් සජබ සියයට 50කට වඩා බලයක් ලබාගන්නා බවද ඔහුගේ පිළිතුරේ සඳහන් විය.

ජනාධිපතිවරයාගේ කතාවට විපක්ෂ නායකවරයා එහෙම පිළිතුරක් ලබාදීම ගැන පුදුම විය යුතු නැත. පුංචි ඡන්දයක් අහෝසිකර්මයට මුහුණදෙමින් සිටින තත්ත්වයක් තුළ ඕනෑම ඡන්දයක් ලබාගැනීම සඳහා කැසකවන සජබ දුන් පිළිතුර ජනාධිපතිවරයාට වැඩක් නැත. එහෙත් දැන් පාර්ලිමේන්තුවේ කිසිවකුටත් 50%ක බහුතරයක් නැතැයි ජනාධිපති කියන කතාවට පොහොට්ටුව එකඟ වෙයිද? තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බවත් තමන්ගේ ආණ්ඩුව බලයට පත්වුණේ තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබාගෙන බවත් පුන පුනා කියන පොහොට්ටුවට තමන්ට දැන් බහුතර බලයක් නැතැයි කියන ජනාධිපතිගේ කතාවට එකඟවෙන්න පුළුවන්ද?

එහෙම එකඟවීමට පොහොට්ටුවේ සූදානමක් ඇතැයි කියන්න බැරිය. එහෙම සූදානමක් තිබුණා නම් පහුගියදා ජනාධිපතිවරයා කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ නායකයන්ගේත් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන්ගේත් රුස්වීමේදී පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් ජනාධිපතිවරයා එහිදී කළ ප්‍රකාශයට එරෙහිව යන්නේ නැත. මෙවැනි දේශපාලන කාරණා කතා කිරීමට ක්‍රමවේදයක් තිබෙන බවත් එයට පටහැණිව කැඳවා තිබූ මේ රුස්වීමේදී එවැනි දේශපාලන කාරණා කතා කිරීම පිළිගත නොහැකි බවත් සාගර කාරියවසම් පෙන්වා දී තිබුණේ ආණ්ඩු බලය ඇත්තේ පොහොට්ටුවට බව ජනාධිපතිවරයාට කරන දැනුම්දීමක ආකාරයෙනි.

ඊටපස්සේ කළුතරදී පැවැති හමුවකදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා කියා තිබුණේ මැතිවරණ නොපවත්වා සිටීමට පොහොට්ටුවේ කැමැත්තක් නැති බවය. පුංචි ඡන්දය හෝ වෙනත් පැවැත්වීමට නියමිත ඡන්දයක් හෝ මේ වෙලාවේ තැබිය යුතු බවත් එම ඕනෑම ඡන්දයකට මුහුණදීමට පොහොට්ටුව උපරිම සූදානමකින් සිටින බවත් රෝහිත කියා තිබිණි. ඒ වනවිට පොහොට්ටුව හිටියේ තම බල මණ්ඩල රුස්වීම් තබමින් ඡන්දයකට තම පාක්ෂිකයන් සූදානම් කරමිනි.

සාගර කාරියවසම් සහ රෝහිත අබේගුණවර්ධන සැලකෙන්නේ බැසිල්ගේ දේශපාලන අගසව්වන් දෙදෙනකු හැටියටය. මේ දෙදෙනා සිදුකරන ප්‍රකාශ බැසිල්ගේ පාර්ශ්වයේ දේශපාලන තියරිය බවට කතා දෙකක් නැත. ඔවුන් කියන්නේ මැතිවරණ ගැන බැසිල්ගේ අදහසය. ඒ වගේම පොහොට්ටු නායක මහින්දත් ඡන්දය පැවැත්වීම ගැන කවුරුන් හෝ විමසුවොත් කියන්නේ නිසි වෙලාවට ඡන්ද පැවැත්විය යුතු බවය. ඕනෑම ඡන්දයකට පොහොට්ටුව සූදානමින් සිටින බවය.

එහෙම අදහසක් පොහොට්ටුවේ නායකයන්ගෙන් ප්‍රකාශ වෙද්දී ජනාධිපති රනිල් මැතිවරණ රටේ ජනතාවට අවශ්‍ය නැති බවත් රටේ ජනතාවට ඒ ගැන විශ්වාසයක් නැති බවත් මේ වෙලාවේ කටවත් බහුතරයක් නැති බවත් කියන්නේ ඇයි? පොහොට්ටුව ඕනෑම ඡන්දෙකට සිග්නල් දානකොට රටේ අතිමහත් බහුතරයක් ජනතාවට මැතිවරණ හා දේශපාලනය ගැන විශ්වාසය කඩවෙලා කියලා කියන්නේ ඇයි?

එහෙම කියන්න ඇත්තේ එකම හේතුවකි. තවමත් ජනාධිපතිවරයා මැතිවරණයකට සූදානම් නැති බවය. රට ප්‍රපාතයට වැටී තිබුණු අවස්ථවක පොහොට්ටුවේ පාර්ලිමේන්තු බහුතරයකගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වී ගෙවී ගිය මාස 10ක කාලය ඇතුළත රටේ ජනතාවට පිළිගත හැකි ආකාරයට යම්තාක් දුරකට රට ස්ථාවර කරගැනීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඡන්දයක් පැවැත්වීමට නම් රට තවදුරටත් ආර්ථික වශයෙන් ස්ථාවර විය යුතුය යන අදහසේ සිටිනවා විය යුතුය. රට එහෙම ස්ථාවර කරගන්න නම් අයි.එම්.එෆ්. එකේ රටට දිරවාගන්න අමාරුම යෝජනා කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතුය. අපේ රට තවමත් විදෙස් ණය ගෙවන්නේ නැත. එහෙම ණය නොගෙවන තත්ත්වයක් තිබියදී ආණ්ඩුව කොතරම් ප්‍රකාශ කළත් රට බංකොලොත් භාවයන් මිදී ඇතැයි ජාත්‍යන්තරය පිළිගන්නේ නැත. මේ වනවිටද ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන එකක්වත් ශ්‍රී ලංකාව ණයගැති භාවයෙන් මිදී ස්ථාවර මට්ටමට පත්වී ඇතැයි කියන පණිවුඩය ලබාදී නැත.

ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන ඉදිරි පියවර තැබීමට හැකියාවක් නැත. ඉන්දියාව තමන් ලබාදුන් ඩොලර් ආධාර ආපසු ලබා ගැනීම වසරකින් කල්දමා තිබීම ජනාධිපතිවරයාගේ පැත්තෙන් විශාල සහනයකි. චීනයද තරමක් දුරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ධනාත්මක අදහසකින් සිටින බව වරින්වර ඉඟි කරයි. ජපානය සිටින්නේ කොතැනදැයි පැහැදිලි නැත. ජනාධිපතිගේ ජපන් සංචාරයට පසුව දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් නොවීම නිසා ඒ ගැන පැහැදිලි අදහසක් ඇතිකර ගැනීම අපහසුය.

මැතිවරණ ගැන විශ්වාසය පැත්තක දමා ජනාධිපතිවරයා නුවරඑළියේදී රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා සියලු වෙනස්කම් අතහැර එකතු වෙන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කළේ මේ පවතින තත්ත්වයට පිළිතුරක් හැටියට විය යුතුය. එහෙම කරන අතරවාරයේ ආණ්ඩුව රටේ පාලනය හමුදාව සහ පොලීසිය මත රුඳී සිටින තත්ත්වයකට තල්ලු කරන බවට විපක්ෂය චෝදනා කරයි. මැතිවරණ කල් දමමින් එහෙම කරන විට සෙසු දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීම අති දුෂ්කර කාර්යයක් වනු ඇත. ඒ වගේම රටේ ජනතාවගේ කැමැත්තද එහෙම පාලනයකට ලැබෙන්නේ නැත. රනිල් රට හොඳ තත්ත්වයකට ගෙන ආ බවට රටේ ජනතාව තුළ පවතින අදහසටද එවැනි හමුදා සහ පොලිස් අතපෙවීම් එකතු කරන්නේ කළු පැල්ලමකි.

මැතිවරණ පැවැත්වීමට වඩා ආර්ථිකය ස්ථාවර කරගන්නා තුරු එකතු වී වැඩකරමු කියන ජනාධිපතිවරයාගේ සංකල්පය ගැන ප්‍රධාන විපක්ෂය වන සජබ දක්වන අදහස් තේරුම් ගැනීමට විපක්ෂනායක සජිත් පසුගියදා තිස්සමහාරාමයේදී දැක්වූ අදහස් මෙහි සඳහන් කරමු.

''රට බංකොළොත් වුණේ ලක්ෂ 220ක් වූ ජනතාව නිසා නොවේ. රටේ සම්පත් දේපළ සොරාකන ලද රාජපක්ෂ පාලනය නිසයි. හොරුන්ගෙන් යැපෙන නායකයකුට හොරු අල්ලන්න බෑ. ඒ හැකියාව තිබෙන්නේ අපටයි. රට බංකොළොත් කමින් මුදා ගැනීමට පහසුම ක්‍රමය කොමිස්වලින් අල්ලස්වලින් හා හොරා කෑ මුදල් නැවත ලබා ගැනීමයි. පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ඩොලර් කෝටි ගාණක මුදල නැවත ලබාගැනීමයි. නමුත් ජනාධිපතිගේ පදනම රට විනාශ කළ හොරා කෑ රාජපක්ෂ පරපුර සහ ඔවුන්ගේ හිතවාදී මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගැනීමයි.''

මේ කතාව ජනාධිපතිගේ සියලු පක්ෂ එකතුවෙමු කතාවට පිළිතුරකි. එයට ජනාධිපතිගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවාට වඩා නොවීම හොඳය.

I ශශීන්ද්‍ර