2023 ජුනි 17 වන සෙනසුරාදා

අරගලයේ පණිවුඩය තේරුම් නොගත් පිරිසක් පොහොට්ටුවේ ඉන්නවා

2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:0076

දුමින්ද දිසානායක (පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක)

  • රනිල් මහත්තයා බලය ගත්තේ අපට වැඩ කරන්න නොවේ: රටට වැඩ කරන්න
  • ඇමැතිකම් ගැන අද කතා කරන සමහරු එදා හිටියේ ගොළුවො වගේ
  • මගේ ගේ ගිනි තිබ්බා කියලා අරගලය දීපු හොඳ පණිවුඩය මම අමතක කරලා නෑ
  • ආණ්ඩුව රකිනවද ජනාධිපති රකිනවද කියන එකට වඩා රට රුකීමයි වැදගත්
  • දයාසිරි එක්ක මගේ පෞද්ගලික ආරවුලක් නෑ
  • ණය ගන්නව ගෙවන්න ප්ලෑන් එකක් නැහැ
  • හොඳ දේවල් කළා වගේම වැරදි ඒවත් අපි කරලා තිබෙනවා

• අපි දන්නවා දුමින්ද කියන්නේ දේශපාලන පසුබිමක් තිබෙන මැති ඇමැතිකම් දරපු ටිකක් සද්දෙට වැඩකරපු මිනිහෙක්. හැබැයි මෑතක ඉඳන් ඔහු නිශ්ශබ්ද වෙලා ඉන්නවා. මොකද දේශපාලනය ගැන කලකිරිලද?

නෑ. කිසිම කලකිරීමක් වෙලා නැහැ. ඒ වගේම හැමදාමත් සද්දෙ දාගෙන ඉන්නත් නෙමෙයිනෙ දේශපාලනඥයෝ ඉන්නේ. 

• ඔබතුමා වර්තමාන දේශපාලනය ගැන කලකිරිලද ඉන්නේ. නැත්නම් මේ තිබෙන තත්ත්වයත් එක්ක නිශ්ශබ්ද වෙලාද ඉන්නේ?

අපි දේශපාලනඥයෝ හැටියට මේ වෙලාවේ කරන්න ඕනේ රට වැටිලා ඉන්න තත්ත්වයෙන් ගොඩ අරගෙන රට හිටිය තැනට ගෙනියන එකයි. ඔබ ඔය ප්‍රශ්නය අහන්න හේතුව තමයි අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තිබෙන ආණ්ඩුවේ කට්ටිය ආණ්ඩුව අරගෙන යනකොට විපක්ෂයේ අය ඒ දේවල්වලට විරුද්ධව වැඩකරන ක්‍රමය. අපි මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කරන්නේ රට ගොඩගන්න සහයෝගය දක්වන ගමන් ඒ වෙනුවෙන් ක්‍රියාකරන එක. 

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගත්තා මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. නමුත් ඔබලා ඒ එකඟතාවය බිඳ දමලා ආණ්ඩුවට සහයෝගය ලබාදෙන්න එකතු වුණා. මොකක්ද  ඒකට හේතුව?

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැහැලා නැහැ. අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. මම තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හැටියට කටයුතු කරනවා. ඒ වගේම අපිත් එක්ක ආණ්ඩුවට එකතු වුණ නිමල් සිරිපාල ඇමැතිතුමා නඩුවක් දැම්මා. ඒ අනුව අපේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කරන්න හැකියාවක් නැතිවුණා. ඒ වගේම පක්ෂයෙනුත් දැනුම්වත් කරලා තියෙනවා ඒ අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ කියලා. 

• ඇයි ශ්‍රීලනිපය ආණ්ඩුවට උදව් කරන්න ඕන?

අපි ^94 ඉඳලා ගත්තහම වැඩිම කාලයක් ආණ්ඩුව කරලා තියෙන්නේ අපි. පසුගිය අරගල කාලයේදී අපි දැක්ක දෙයක් තමයි ජනතාවගේ ප්‍රතිචාරයත් එක්ක අපි වැරුදි පාරක තමයි ඇවිත් තිබෙන්නේ. අපි හොඳ දේවල් කරලා තියෙනවා වගේම රටේ මූල්‍ය පාලනයේදී යම් යම් වැරුදි සහගත දේවල් කරලා තියෙනවා කියලා තහවුරු වුණා. එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේකට යම් ආකාරයෙන් වග කියන්න ඕන. නායකයෝ විතරක් නෙමෙයි ඒකට වග කියන්න ඕන. අපිත් වග කියන්න ඕන. එතකොට ඒ වැරුද්ද වෙනුවෙන් අපි සහයෝගය ලබලා දීලා තිබෙනවා නම් ඒ වැරුද්ද නිවැරදි කරන්නත් වගකීමක් තිබෙනවා. අපි අපේ වැරුද්ද නිහතමානීව භාර අරගෙන ඒක නිවැරුදි කරන්න ඕන. අපේ යුතුකම තියෙන්නේ කෑගහලා විරුද්ධ වෙලා කතා කරන එක නෙමෙයි. අපට මේ වෙලාවේ තියෙන්නේ මේ රට නිවැරදි මාර්ගයකට ගන්නෙ කොහොමද කියලා එකතුවෙලා කටයුතු කරන එක. උදාහරණයක් හැටියට රාජපක්ෂවරුන්ට අපි චෝදනා කළාට කාලයක් අපි මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙනී හිටියා. ඒ නිසා ඒ දේවලට අපි වග කියන්න ඕන. 

• ඔබ ඇතුළු පිරිස ආණ්ඩුවට එකතුවුණාට ඔබලාගේ තව පිරිසක් ආණ්ඩු විරෝධීව පක්ෂයත් එක්ක ඉන්නවා. කවුද ආණ්ඩුවට යනවට විරුද්ධ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි බහුතරයක් මේ වෙද්දි ඉන්නේ රට වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියන බහුතර මතයේ. සුළුතරයක් තමයි විපක්ෂය නියෝජනය කරමින් ඉන්නේ. ඔබ දකින්න ඇති සමහර අවස්ථාවල මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ආණ්ඩුවේ ඇතැම් කාරණාවලට සහයෝගය ලබා දුන්නා. එතුමා පැහැදිලිව කියලා තිබෙනවා හොඳ දේට අපි සහයෝගය දක්වලා නරක දේට අපි විරුද්ධ වෙනවා කියලා. ඒ නිසා ඔබ කියන ආකාරයේ මතවාද දෙකක් දැන් ශ්‍රීලනිපයේ නැහැ. 

• මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සහ ඔබ කණ්ඩායම අතර ඒ ගනුදෙනුව තවම තිබෙනවාද?

ඉතාමත් පැහැදිලිවම.

• අපි දැක්කා පසුගිය දවස්වල ඔබත් දයාසිරි ජයසේකරත් අතර යම් සීතල යුද්ධයක් තිබුණා. මොකක්ද මේ ගැටුමට හේතුව?

අපි දෙදෙනා අතර පෞද්ගලික ආරවුලක් නැහැ. පක්ෂයේ අභ්‍යන්තරය තුළ සමහර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් අර්බුදයක් අපි තුළ තිබෙනවා. ඒක ඇත්තටම අර්බුදයකට වඩා මතභේදාත්මක අදහස් හුවමාරු කිරීමක්. වෙලා තියෙන්නේ ඒවා ඉතින් මාධ්‍යයට ඇවිත් තිබෙනවා. එච්චරයි. එහෙම නැතිව එතුමාත් එක්ක වෛරයක් තරහක් නැහැ.

• දයාසිරි මන්ත්‍රිතුමා කියලා තිබෙනවා ආණ්ඩුවට ගිය අයට නැවත එන්න තමන්ගේ ලේකම්කම බරපතළ ප්‍රශ්නයක් නිසා මේ ලේකම් කමේ බර අයින් කළ යුතුයි කියලා. ඔබලා එහෙම අදහසක ඉන්නවාද?

එතුමාගේ ලේකම්කම විතරක් නෙමෙයි පක්ෂයේ කිසිම කෙනකුගේ තනතුරු සම්බන්ධ ගැටලුවක් අපිට නැහැ. අපේ පක්ෂය අවුරුදු ගණනක් ආණ්ඩු කරපු පක්ෂයක් ලෙස නැවත තිබුණ තැනට ගේන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. හැමදේමට විරුද්ධ වෙලා මාධ්‍යයට කතා කරලා පක්ෂයක් ගොඩනගන්න බැහැ. ඒ නිසා ශ්‍රීලනිපය හරි තැනට ගෙනියන සටනේ යම් මතවාදී ගැටලුවක් තිබෙනවා. එච්චරයි. 

• ඒ කියන්නේ නැවත බලය ලබාගැනීමේ අරමුණේ ඉන්නේ ඔබලා විතරද? අනෙක් අය ඉන්නේ වෙන වෙන අරමුණුවලද?

එක එක්කෙනා මේක දකින විදිහ වෙනස්. මේ පක්ෂය පැවතුන විදිහක් තිබෙනවා. ඒ වගේම අපේ පක්ෂය අනාගතයට ගැලපෙන පරිදි තරුණයන්ට දොරවල් විවෘත කරන්නත් ඕන. අපි සදාකාලිකවම එකම විදිහට පක්ෂය ඉස්සරහට අරන් යන්න කැමැත්තක් නැහැ. අපි කණ්ඩායමක් හැටියට ඉදිරියේදී මේ පක්ෂය ගෙනයන්නේ කොහොමද කියන මතවාදී සටනේ ඉන්නවා.

• ඔබ පක්ෂයේ හිටපු මහලේකම්. ඔබට මතක ඇති පක්ෂය කඩාගෙන ගිහිල්ලා කට්ටියක් පොහොට්ටු පක්ෂය හැදුවා. ඒ වෙලාවේ ඔබ කිව්වා පක්ෂය දාලා යන අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. අද ඔබලා පක්ෂය අතහැරලා දාලා ගිහිල්ලා. මම අහන්නේ ඔබලාට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න එක වැරැදි නැහැ නේද?

ඔය විනය ක්‍රියාමාර්ගය ආණ්ඩුවේ වගකීම් ගත්ත අයට එවල තිබුණා. ඒ නිසා ඒ අය ඒ වෙනුවෙන් උත්තර දෙයි. හැබැයි මට එවලා තිබුණේ නැහැ. කොහොම වුණත් මේ වෙද්දී ඒ විනය පරීක්ෂණ නවත්වලා තියෙන්නේ. කොහොම වුණත් අපි යෝජනාවක් ගෙනාවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන එකට එකතු වෙමු කියලා. එතකොට ඒ ආණ්ඩුවට කවුද එන්නේ? කවුද එන්නේ නැත්තේ? කියන එක අපට අදාළ නැහැ. අපි දරන මතය වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕන. අර ගොල්ලෝ එන්නේ නැත්නම් අපි එන්නේ නැහැ කියන එක අදාළ නැහැ. මොකද අපි ගන්නේ දේශපාලන තීන්දුවක්. එහෙම නැතිව කවුරුත් කියන දේ නෙමෙයි අපි කරන්නේ. පක්ෂය ගත්ත මතයත් එක්ක අපි කණ්ඩායමක් තවමත් ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

• ඔබලාගේ කණ්ඩායමේ බහුතරයක් ඉන්නවා නම් සුළුතරයකගේ මතය ජයග්‍රහණය කළේ කොහොමද?

පක්ෂයේ තීන්දුව සුළුතරය බහුතරය කියලා නැහැ. දැන් ඒක වෙනස් වෙමින් යන්නේ. ඉදිරියේදී ඒක හොඳටම වෙයි. ඔබතුමාට ඒක අනාගතයේදී දැකගන්න පුළුවන්. 

• මෛත්‍රීපාල මහත්තයා පක්ෂයට ඇවිල්ලා වැඩකරන්න කියලා ආරාධනය කළේ නැද්ද?

ඉතාමත් පැහැදිලියි. අපි සාකච්ඡා වට කිහිපයක් සිදුකරලා තිබෙනවා. මේ වෙද්දී විනය පරීක්ෂණ කටයුතු නතර කරලා තිබෙනවා. ඒක ඉතාම හොඳ සුහදතාවයක්. 

• පසුගිය අරගල කාලයේදී දේශපාලනඥයෝ කියන චරිත නාමය මිනිස්සුන්ට අප්‍රසන්න වෙලා තිබුණේ. අරගලයෙන් කියාදුන්නු යම් ජනතා පණිවුඩයක් තිබෙනවා. ඔබ හිතනවාද ඒක තේරුම් අරගෙන ඉන්නේ කියලා?

ඉතාම පැහැදිලිවම ඒ පණිවිඩය තේරුම් අරන් නැති පිරිසක් පොහොට්ටුවේ ඉන්නවා. 

• ඇයි ඔබ මේ පොහොට්ටුව කේන්ද්‍ර කරලා කිව්වේ?

ඇත්තටම අපි තේරුම් ගන්න ඕන අරගලයේ තිබෙන හොඳ පණිවිඩය මොකක්ද කියන එක. අරගලයේදී අපි කාට කාටත් ඇස් අරුණා අපි කාගේ කාගේ අතිනුත් වැරදි වෙලා තිබෙනවා කියලා. ජනතාව කිව්වේ 225 විතරක් නෙමෙයි මේ සිස්ටම් එකම චේන්ජ් කරන්න කියලා. ඇත්ත විය යුත්තේත් ඒක. හැබැයි ඔබ දැක්කාද අරගලය කාලේ වාහනය මාරු කරගෙන ගිය දේශපාලනඥයෝ ඇඳුම් මාරු කරගෙන ගිය දේශපාලනඥයෝ ආයේ ටික ටික සුපුරුදු ක්‍රමයට ඇදීගෙන එනවා. ඒ දවස්වල වචනයක් කතාකරපු නැති අය දැන් ආයේ ඇමැතිකම් ගැන කතා කරනවා. 

• ඔබගේ ගේ ගිනි තිබ්බා නේද?

ඔව්. එහෙම ගිනි තිබ්බා කියලා අරගලයෙන් දුන්නු හොඳ පණිවුඩය මම අමතක කරලා නැහැ. අරගලයේ නරක කෑල්ල විවේචනය කළ යුතුයි. හැබැයි ඒ දුන්නු පණිවිඩය දේශපාලනඥයෝ හැටියට අපි ඔලුවට ගන්න ඕන. ඇත්තටම අරගලය අවුල් වුණෙත් දේශපාලනය රිංගපු නිසා. මම කියන්නේ රාජ්‍ය නිලධාරීන් පවා හරියට තමන්ගේ රාජකාරිය ඉෂ්ඨ කරලා තිබුණා නම් රට මීට වඩා යහපත් වෙන්න තිබුණා. ණය ගන්නකම් ගෙවන්න තියෙන ණය ගැන කතා කරනවා. හැබැයි ණය ගත්තහම ඒක ගෙවන්න තියෙන්නේ කොහොමද කියන ප්ලෑන් එක නැහැ. ඒක දේශපාලනඥයෝ විතරක් නෙමෙයිනේ. ඒකට රාජ්‍ය නිලධාරිනුත් සැලසුම් දෙන්න ඕන. මතකනේ ගෝඨාභය මහත්තයාගේ කාලේ මහ බැංකුවට පැය 24න් සැලසුම් හදන්න කිව්වා. 

• මම අහන්නේ ඇයි පොහොට්ටුව ඒකට කේන්ද්‍ර කරගත්තේ?

ඔබ දකින්න ඇතිනේ පසුගිය දවස්වල ඇමැතිකම් ගැන කියෝපු හැටි. අපි ජ්‍යෙෂ්ඨයෝ, අපි අච්චරක් පාර්ලිමේන්තුවේ, මෙච්චරක් පාර්ලිමේන්තුවේ කිය කියා තනතුරු ඉල්ලන්න ගත්තා. 

• මේ වෙද්දී ඔබ කියනවා වගේ ආණ්ඩුව ඇතුළේ යම් ගැටලුවක් ඇවිත් තිබෙනවා ඇමැති ධුර සම්බන්ධයෙන්. මොකක්ද මේකට හේතුව?

පොහොට්ටුවේ තිබෙන අර්බුදය ගැන මට කියන්න බැහැ මම වෙනම පක්ෂයක නිසා. නමුත් පිටින් බලන කෙනෙකු හැටියට මට පේන්නේ අරගලයේ පණිවිඩය පොහොට්ටුවේ අය තේරුම් අරගෙන නැහැ. ආණ්ඩුව ගෙදර ගියා. ජනාධිපති ගෙදර ගියා. අගමැති ගෙදර ගියා. ඒ සියල්ල මැද්දේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව භාර ගත්තේ. කවුරු හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා එතුමා බලය ගත්තේ පෞද්ගලික වැඩ කරන්න නෙමෙයි. රටට වැඩ කරන්න. අර මම එදා කිව්වා වගේ රාජ්‍ය සේවයට විතරක් නෙමෙයි මේ දේශපාලනයටත් විශ්‍රාම ගතයුතු කාලයක් දෙන්න ඕන. ඒ නිසා මම කියන්නේ අපිත් මේ වෙලාවේ පරිත්‍යාගයක් කරන්න ඕන. ඒක කරන්නේ ලංකාවේ අනාගතය වෙනුවෙන්. 

• දුමින්ද දිසානායක ආණ්ඩුවට උදව් කළේ මොන වගේ දේවල් දෙන්නම් කියලා පොරොන්දු වුණ හින්දද?

එහෙම කිසිම පොරොන්දුවක් නැහැ. එහෙනම් අර රත්තරන් අල්ලපු මන්ත්‍රීවරයා රත්තරන් ටික ඇල්ලුවම විරුද්ධව ඡන්දය දුන්නා වගේ මමත් මගේ වැඩේ උනේ නැතිවුණාම විරුද්ධව ඡන්දෙ දෙන්න එපැයි. 

• ජනාධිපතිතුමා ආරාධනා කළේ නැද්ද එතුමාත් එක්ක වැඩකරන්න එන්න කියලා?

අපි පැහැදිලිවම ජනාධිපතිතුමා එක්ක කතා කළා. අපි පක්ෂයක් හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්කම ගිහිල්ලා කතා කළා. ඒ වගේම පෞද්ගලිකවත් ගිහිල්ලා කතා කරලා තිබෙනවා. මේ වෙලාවේ ආණ්ඩුව රකිනවාද ජනාධිපති රකිනවාද පක්ෂය රකිනවාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ වෙලාවේ වැදගත් වෙන්නේ රට. 

• මේ යන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ?

ඉදිරි සතියේ ලොකු වෙනසක් පක්ෂය ඇතුළේ වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහගෙදරත් එක්ක එකතුවෙන්න බලන් ඉන්න බොහෝ දෙනා එකතුවෙයි. හැබැයි මොන දේ කරන්නත් මේ මහගෙදර ප්‍රශ්න ටික විසඳගෙන තියෙන්න ඕන. එතකොටයි අපිට ඉදිරි වැඩකටයුතු කරගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් ඉදිරියේ බොහෝ වෙනස්කම් එක්ක ශක්තිමත් පක්ෂයක් ගොඩනැගෙයි. 
I ගයාන් ගාල්ලගේ

2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00