2023 ජුනි 17 වන සෙනසුරාදා

ඩොලරය නටවන ’කළුකඩ’

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

ඩොලරයයි රුපියලයි වරෙක හැසිරෙන්නේ සැමියා සහ බිරිඳ මෙනි. ඩොලරය ගණන් උස්සන විට රුපියල ඔරවමින් කඩා වැටෙයි. පසුගිය කාලයේ වුණේ එහෙමය. ඊටපස්සේ ඩොලරයේ ගණන් බැස රුපියල ගණන් ඉස්සුවේය. එවිට ඩොලරයේ හුළං ගියේය. හරියට සැමියා ගණං උස්සන විට බිරිඳ ගණං බස්සගන්නවා මෙන්ම බිරිඳ ගණං උස්සන විට සැමියා ගණං බස්සගන්නවා මෙනි.

එහෙත් මේ වනවිට මේ ඩොලර් සැමියාගේ සහ රුපියල් බිරිඳගේ සම්බන්ධය මැදට තුන්වැන්නෙක් කඩා පැන තිබේ. අපගේ දේශය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අනුව මේ තුන්වැන්නා ''කළුකඩයයි''. සැමියාත් බිරිඳත් සහයෝගයෙන් ගණං බේරාගත්තත් මේ තුන්වැන්නා දුෂ්ඨයෙකි. මේ ''දුෂ්ඨයා'' ඩොලරයට නැති වටිනාකමක් ලබා දී තිබේ. ඒ හේතුවෙන් යළිත් රුපියල බාල්දු වෙමින් තිබේ. එය පසුව වෙනස් වන්නේ මොන අතටදැයි අවිනිශ්චිතය.

ඩොලරය දිගින් දිගටම අවිනිශ්චිතව පැවතුණහොත් එය රටේ ආර්ථික දේහයේ යම් පමණකින් හෝ සුව වූ තැන් යළි රෝගී බවට හරවනු ඇත. ඇතැම් භාණ්ඩවල මිල ගණන් රටේ ජනතාවට උසුලාගත නොහැකි මට්ටමට වැඩි වූයේ ඩොලරය හමුවේ රුපියල් දැඩි ලෙස බාල්දු වූ බැවිනි. මාස ගණනාවක් රටේ ජනතාව මේ දුක, පීඩනය උසුලාගෙන සිටියහ. රටේ ඇතිවූ මහා ආර්ථික කඩා වැටීමේ බරපතළ ප්‍රතිවිපාක ඇසින් දුටු ඇඟට දැනුණු ජනතාව ඒ තත්ත්වය කවදා කෙසේ වෙනස් වේදැයි ඇඟිලි ගනිමින් සිටි බව පැවසීම මුසාවක් නොවේ. කොතැනකින් හෝ සහනයක් ජනතාවගේ අපේක්ෂාව වී තිබිණි.

ඒ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් ලිහිල් වීමට ජනාධිපතිවරයා පසුගිය කාලය තුළදී ගනු ලැබූ යම් යම් පියවරද හේතු විය. ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියනයක ණය ආධාර මුදලද අයි.එම්.එෆ්. මුල් වාරිකය ලබාගැනීමද හේතුවෙන් ලෙල්ලටම සිඳී ගොස් තිබූ රටේ ඩොලර් සංචිතයට යම් තරමකට ''ලේ'' ඉනුවේය. දුර්වලව තිබූ ආර්ථික දේහයට එය ශක්තියක් විය. තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සිදු විය. පෝලිම් යුගය ඒ සමඟ නිම විය.

මේ සියල්ල සිදුවුවත් ගණන් ඉස්සූ ඩොලරය යළි ගණන් බැස්සේ නැත. උද්ධමනයද එයටම ගැටගැසී තිබීම හේතුවෙන් බඩු මිල අඩු වූයේද නැත. එහෙත් පසුගිය සති කිහිපය තුළදී ඩොලරය හමුවේ රුපියල යළි ශක්තිමත් වීම ආරම්භ විය. එය රටේ ජනතාවගේද සැනසිල්ලට හේතු වූයේ ඒ සමඟ භාණ්ඩ මිලද යම් පමණකට අඩුවනු ඇතැයි තිබූ බලාපොරොත්තුවද හේතුවෙනි. තෙල් සහ ගෑස් මිල අඩු විය. ඇතැම් ආනයනික භාණ්ඩද මිල ගණන් අඩු විය. අත්‍යාවශ්‍යම වූ බෙහෙත් මිල ගණන්ද අඩු කරන බවට ලැබුණු පොරොන්දුවද මේ අවස්ථාවේ හැටියට ඉතා වටිනා බවද කිව යුතුය.

එසේ වුවද පසුගිය දිනවල යළිත් හිටිහැටියේ ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව තුළ පමණක් නොව රටේ සාමාන්‍ය මහජනතාව අතරද කිසියම් වික්ෂිප්ත බවක් පැන නැගී තිබේ. ඇතැමුන්ට අනුව එසේ සිදුවීමට හේතුව ආණ්ඩුව පසුගියදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් ආනයනයට දොර වැසී තිබූ භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයකට යළි ආනයනයට අවසර ලබාදීම බව කියයි. ඒ සඳහා ව්‍යාපාරික ක්ෂේත්‍රය වඩ වඩාත් ඩොලර් මිලදී ගැනීම හේතුවෙන් ඩොලරයේ ඉල්ලුම ඉහළ යාම මෙසේ අගය වැඩිවීමට හේතු වූ බවත් කියයි. එහි යම් පමණකට සත්‍යයක් තිබිය හැකිය. නමුත් අපගේ ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ මේ තත්ත්වය සමඟ ඩොලර් ''කළු කඩයක්'' නිර්මාණය වීම හේතුවෙන් ඩොලරයට යළි කෘත්‍රිමව ඉල්ලුමක් ඇතිවන බවය. ආනයන තහංචි ලිහිල් වීමත් සමඟ ඩොලර් වැඩි මිලට මිලදී ගන්නා ඇතැම් කළු කඩකාරයන් ඩොලර් සොයන ව්‍යාපාරිකයන්ට ඒවා තවත් ගාණක් තබාගෙන අලෙවි කරන බවද අපගේ ප්‍රවෘත්තියේ සඳහන්ය. මේ හේතුවෙන් ඩොලරයේ අගය වැඩිවන බවද කියති.
මෙය තරමක අවුල් සහගත තත්ත්වයකි. ඩොලරය හමුවේ රුපියල යම් පමණකට ශක්තිමත් වී තිබියදී එය ස්ථාවර මට්ටමක තබාගැනීමට නොහැකි වූයේ මන්දැයි ශ්‍රී ලංකා මහ බැංකුව වහාම සොයා බැලිය යුතු නොවේද? කළු කඩකාරයන් මේ ඩොලර් වෙළෙඳපොළ මැද්දට කඩා පැන ඔවුන්ට ඕනෑ හැටියට එහි අගය වෙනස් කර ගැනීමට තිබෙන ඉඩකඩ වහාම වසා දැමිය යුතුය. ඩොලර් තදින්ම හිඟව පැවති කාලයේදී මහ බැංකුව ඉදිරිපත් වී එම කළු කඩය පාලනය කළ බව අපගේ මතකයේ රුඳී තිබේ. යළිත් වතාවක් කළු කඩකාරයන්ට මේ පුංචි ඉඩකඩ තුළ දියබුං ගැසීමට ඉඩක් දිය යුතු නැත.

රටේ ආර්ථිකය යම් තරමකින් කෙළින් කටින් සිටුවාගෙන ඇති මේ අවස්ථාව ගිලිහී යාමට සැලැස්වීම යළිත් වරක් රට ප්‍රපාතයට තල්ලු කිරීමකි. ඒ තල්ලු කිරීමට සහාය දක්වන සියලු දෙනාට එරෙහිව පියවර ගැනීම අවශ්‍යය. අප මේ සිටින්නේ තිබෙන ඩොලර් ටික කෙසේ හෝ රුකගනිමින් එය තවදුරටත් ඉහළ දමා ගැනීමට කටයුතු කළ යුතු අවස්ථාවකය. කළු කඩකාරයන් කිහිප දෙනකුට එම අවස්ථාව පැහැර ගැනීමට ඉඩ නොතැබිය යුතුය.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00