සන්ධාන ආණ්ඩුවල පැවැත්ම තීරණය වන්නේ එකී සන්ධානය ඇතුළේ බලය මෙහෙයවන ප්‍රධාන පක්ෂ දෙක හෝ කිහිපයට එකට වැඩ කරන්න තිබෙන හැකියාව මතය. ඇතුළේ මත ගැටුම් තිබුණත් ඒවා එළියට නොඑන තරමට වැඩේ ගොඩය. හැබැයි මේ මත ගැටුම් එළියේ රඟ දෙන්න පටන් ගත්තාම රටේ ජනතාව කියන්නේ ඔන්න දැන් ආණ්ඩුවේ මණ්ඩලයේ කචල් කියාය. සමහර සන්ධාන ආණ්ඩු මේ මණ්ඩලේ කචල් එක්කම බිමට හාන්සි වූ අවස්ථා අපේ දේශපාලන ඉතිහාසයේ විරල නැත.
විධායක ජනාධිපති ක්‍රමය එන්න කලිනුත් මේ දේශපාලන ගේම් එකේ වෙනසක් තිබුණේ නැත. රටට නිදහස ලබා හදපු ඩී.එස්. සේනානායකගේ ලංකාවේ පළමු ආණ්ඩුවත් මුහුණ දුන්නේ මේ තත්ත්වයටමය. ඒ කාලේ සන්ධාන කතාවක් නොතිබුණි. හැබැයි යූ.එන්.පී. නායකයන් එක්ක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට වැඩි කල් එකට ඉන්න පුළුවන් වුණේ නැත. ශ්‍රීලනිපය බිහිවුණේ එහි ප්‍රතිඵලයක් හැටියටය. ඉහළ පෙළේ දේශපාලන මත ගැටුමක් හේතුවෙන් බිහි වූ ශ්‍රීලනිපය ඉතිහාසය පුරාම අභ්‍යන්තර ගැටලුවලින් පීඩා වින්දේය. ඔවුන් හදපු ඔක්කොම ආණ්ඩු හැදුණේත් වැටුණේත් හවුල්කාරයන් එක්ව ඇතිවූ මත ගැටුම් නිසාය.
1956 බණ්ඩාරනායක හදපු ''සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු'' ආණ්ඩුවත් වැටුණේ ඔවුන්ට ^56 ඡන්දය දිනන්න මහජන එක්සත් පෙරමුණ නමත් ලකුණ හැටියට රෝදයත් ලබාදුන් පිලිප් ගුණවර්ධනලා ඉවත් වීම සමඟිනි. ඒ එක්ක බණ්ඩාරනායක ඝාතනයට ලක් විය. ඊටපස්සේ පක්ෂයේ නායකත්වය ගියේ ජ්‍යෙෂ්ඨයකුට නොව සිරිමාවෝ මැතිනියටය. ආසියානු රටවල ජනතාව බොහෝ දුරට ආණ්ඩුව තීරණය කරන්නේ බුද්ධියට වඩා හදවතට අනුව බව ඒ වන විටත් ශ්‍රීලනිප නායකයෝ අවබෝධ කරගෙන සිටියහ. හැබැයි යූ.එන්.පියේ කෙරුවාව ඊට වඩා වෙනස් විය.
යූ.එන්.පිය මුලදී සේනානායක පවුලේ ග්‍රහණයට හසුවී තිබුණත් ඩඩ්ලිගෙන් පස්සේ තිබුණේ වෙනත් තත්ත්වයකි. හරි නම් ඩී.එස්. ගෙන් පසුව රටේ පළමු මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර්. ට පක්ෂයේ නායකත්වය හිමිවීමට නියමිත වුණත් පක්ෂයේ නායකත්වය ලැබුණේ ඩී.එස්. ගේ පුතා වූ ඩඩ්ලිටය. යූ.එන්.පී. (U.N.P) එක උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය වශයෙන් ඒ කාලයේ හංවඩු ගැසුණේ මේ පසුබිම හේතුවෙනි. එහෙම වුණත් ඒ තත්ත්වය ඩඩ්ලිගෙන් පස්සේ වෙනස් විය. ඒ වගේම තමන්ට නායකත්වය නොලැබුණත් ජේ.ආර්. හැමදාම යූ.එන්.පියට ඡන්දවලදී ජයග්‍රහණය ලබාගන්න ඉහළම දායකත්වයක් ලබා දුන්නේය. එහෙම සපෝට් එක දෙමින් රටේ නායකත්වය ගන්න අවුරුදු 71 වනතුරුම ඉවසීමෙන් බලා උන්නේය. ඒක පුදුම ඉවසීමක් බව ඒ කාලයේ දේශපාලනයේ හිටපු හැමෝම කියපු කතාවකි.
යූ.එන්.පියේ මේ ඇතුළේ ශක්තිමත් පදනම හේතුවෙන් ඩඩ්ලි 1965 දී පිහිටුවාගත් හත් හවුලේ ආණ්ඩුව කොයි තරම් ප්‍රශ්න තිබුණත් අවුරුදු 05 ම ආණ්ඩු කළේය. එහි පාලන කාලය තුළදී ඩඩ්ලි - ජේ.ආර්. ගැටුම් පටන් ගත්තත් ඒ ගැටුම එළියට එන එක මේ දෙදෙනාම වළක්වා ගත්හ. මේ හේතුවෙන් සිරිමාවෝගේ තුන් හවුල් සමගි පෙරමුණු ආණ්ඩුව 1970 මහ ඡන්දයේදී තුනෙන් දෙකක බලයක් ලබාගන්නා තුරු ඩඩ්ලිගෙ ආණ්ඩුව වෙනස් වුණේ නැත.
සිරිමාවෝගේ තුන් හවුල 1975 දී දෙකඩ විය. ඇතුළේ ගැටුම් තුන් හවුල පුපුරුවාගෙන ශ්‍රීලනිපය තනි කළේය. මේ නිසා 1977 දී ඔවුන්ට මහ ඡන්දයේදී අත්වුණේ අන්ත පරාජයකි. හවුල් ආණ්ඩු ශ්‍රීලනිපයට දිරවාගත නොහැකි දේශපාලන ක්‍රියාදාමයක් බව ඒ වෙලාවෙදිත් ඔප්පු විය.
1977 දී ජේ.ආර්. ආණ්ඩුව පිහිටුවා ගත්තේ කඳුකරයේ රජුන් තනන්නා වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් එක්ක හවුලේය. ජේ.ආර්. ට අවශ්‍ය නම් ඒ වෙලාවේ තනිවම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකියාව තිබුණත් තොණ්ඩමන්ට කඳුරට මෙහෙයවීමට තිබූ හැකියාව අවතක්සේරු කිරීමට ජේ.ආර්. ට අවශ්‍ය වුණේ නැත. ආණ්ඩුව ඇතුළේ කැබිනට් ඇමැතිවරයකු වශයෙන් සිටියදීම තොණ්ඩමන් සාමකාමීව මෙහෙයවූ ''යාච්ඥා සටනකින්'' තමන්ගේ වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩිකර ගැනීමටත් තවත් ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීමටත් සමත් විය. එය වළක්වා ගැනීමට ජේ.ආර්. ට උවමනා තිබුණත් ඔහු ඒ වෙලාවේ හදවතට වඩා තැන දුන්නේ බුද්ධියටය. ඡන්දයට පෙර සිටම තොණ්ඩමන් සමඟ ඇති කරගෙන තිබූ එකඟත්වයට ගරු කිරීම ආණ්ඩුව රුක ගැනීමට අවශ්‍යම සාධකය බවට ඔහු හඳුනාගෙන සිටියේය. මේ නිසා ඉතා ශක්තිමත් ආණ්ඩුවට කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් සිටියදීම කම්කරු සටනක් ජයග්‍රහණය කිරීමේ දුර්ලභ අවස්ථාව තොණ්ඩමන්ට හිමි විය. ජේ.ආර්. ගේ ආණ්ඩුව ඒ වෙලාවේ රැකුණේය.
ඊටපස්සේ විවිධ හැලහැප්පීම් මැද 1988 දෙසැම්බරයේදී පැවැති ජනාධිපතිවරණයෙන් ආර්. ප්‍රේමදාස දිනුවේද තොණ්ඩමන් සමඟ හවුලේ සිදු කළ ඡන්ද ව්‍යාපාරයකි. ඒ වෙලාවේ රටේ තිබුණු භීෂණකාරී වාතාවරණයද එහි ප්‍රතිඵලයට තීරණාත්මක සාධකයක් වුවත් සිරිමාවෝගේ ශ්‍රීලනිප සන්ධානයට වඩා ප්‍රේමදාසගේ කැම්පේන් එක සාර්ථක විය. ප්‍රේමදාස තොණ්ඩමන් එක්ක ආණ්ඩුව පිහිටුවිය. සිරිමාවෝගේ ශ්‍රීලනිපය ඇතුළේ ගැටුම් සමඟ දිගටම කැඩී ගියේය. ජේ.ආර්. ගේ පාලන කාලයේදී සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් ඇරඹුණු ශ්‍රීලනිපයේ කැඩී යාම ප්‍රේමදාසගේ කාලයේ තවදුරටත් තීව්‍ර විය. ශ්‍රීලනිපය විනාශ කිරීමට ජේ.ආර්. හරියටම නිලය බලා එල්ල කළ දේශපාලන ප්‍රහාරය දිගටම වැඩ කළේය.
ප්‍රේමදාසගේ ආණ්ඩුව වැටුණේ හවුල්කාර පක්ෂ ඉවත් වී යාම හේතුවෙන් නොව ප්‍රේමදාස ඝාතනය වීමේ ප්‍රතිඵලයක් හැටියටය. ඊටපස්සේ 1994 පැවැත්වූ ජනාධිපතිවරණයට චන්ද්‍රිකා ඉදිරිපත් වුණේ පොදු පෙරමුණ සන්ධානය පිහිටුවා ගනිමිනි. යූ.එන්.පී. අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක කොටින් විසින් ඝාතනය කිරීම නිසා ශ්‍රීමා දිසානායක ඒ වෙනුවට ආදේශ කෙරිණි. ජය ගත්තේ චන්ද්‍රිකාය. චන්ද්‍රිකා ජනාධිපති වනවිට අගමැති වුණේ සිරිමාවෝය. ඒ වෙනුවට චන්ද්‍රිකා බලයට ගෙන ඒම සඳහා සුළු ජාතික ඡන්ද ආකර්ශනය කර ගැනීමටත් ජාත්‍යන්තරය තුළ ඇයගේ ප්‍රතිරෑපය නැංවීමටත් විශාල කාර්යභාරයක් ඉටු කළ ලක්ෂ්මන් කදිරගාමර්ට අගමැති පදවිය හිමිවුණා නම් මේ රටේ දේශපාලනය අලුතෙන් ලියැවීමට ඉඩ තිබුණි. එහෙම වෙනසකට කැම්පේන් කළ ඒ කාලයේ තරුණ දේශපාලකයකු වූ මංගලලාගේ හඬ ශ්‍රීලනිපයේ අරක්ගෙන තිබූ පවුල් දේශපාලනයට යට වී ගියේය.
අන්තිමට චන්ද්‍රිකාගේ සන්ධාන ආණ්ඩුවත් 2001 දී පුපුරා ගියේ හකීම්ලා බන්දුල ගුණවර්ධනලා එම සන්ධානය කඩාගෙන විපක්ෂයේ වාඩිවීමත් සමඟිනි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව චන්ද්‍රිකා ජනාධිපතිව සිටියදීම යූ.එන්.පියේ ඔඩොක්කුවට වැටිණි. ඒ වෙලාවේ යූ.එන්.පී. නායකයා වූ රනිල් වික්‍රමසිංහ හකීම්ලාත් එකතු කරගෙන එක්සත් ජාතික පෙරමුණ වශයෙන් සන්ධාන ගතවී මහ මැතිවරණය දිනාගෙන ආණ්ඩුව පිහිටුවීය. ඒත් ඒ ආණ්ඩුව වසර දෙකක්ම ඉක්මවා ගෙන යාමට රනිල්ට නොහැකි විය. සන්ධාන ආණ්ඩු වට්ටන විදිය හොඳට දැනගෙන සිටි චන්ද්‍රිකාලා මංගලලා එකතු වී ඒ ආණ්ඩුව වැට්ටුවේය. ඒකට යටින් ජවිපෙත් සපෝට් එක දුන්නේය. එහෙම වට්ටවා 2004 දී තැබූ මහ මැතිවරණයෙන් චන්ද්‍රිකාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තේය. එහිදී ජවිපෙට වාර්තාගත ලෙස පාර්ලිමේන්තුවේ ආසන 39 ක් ලැබුණි.
ඊළඟට තැබූ 2005 ජනාධිපතිවරණය තීරණාත්මක වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ගත්තේ බලෙන්ම වගේ වීම හේතුවෙනි. ඒ වෙලාවේ චන්ද්‍රිකා මහින්දට සක්‍රීය දායකත්වයක් දුන්නේ නැත. මහින්දට හයියට හිටියේ මංගලත් ඒ වගේම චන්ද්‍රිකා සමඟ අමනාප වී ඇමෙරිකාවට ගොස් සිටියදී ආපසු ගෙන්වාගත් ඩලස් අලහප්පෙරුමත්ය. තියුණු සටනකින් ජනාධිපතිවරණය දිනූ මහින්ද එක්සත් ජනතා නිදහස් ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී මෙහෙය වූයේය.
මහින්ද මේ සන්ධාන ආණ්ඩුව දිගටම ගියේ විපක්ෂයේ මන්ත්‍රීන්ද බිලි බා ගනිමින් තව තවත් ශක්තිමත් වෙමිනි. ''යුද්ධය දිනා දීම සඳහා මහින්දගේ දෑත ශක්තිමත් කිරීම'' එසේ විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරුන්ගේ තේමා පාඨය වී තිබිණි. යුද්ධය දිනා ගැනීමෙන් පසුව ඒ සන්ධාන ආණ්ඩුව ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැග්ගේය. ඒ කාලයේ විපක්ෂයක් තිබුණාද කියා හැඟීමක් දැනීමක්වත් රටට නොතිබිණි.
හැබැයි මොන තරම් ශක්තිමත් සන්ධාන ආණ්ඩුවක් තිබුණත් මහින්දගේ දෙවැනි ධූර කාලයේ අවසානය කිට්ටු වෙද්දී සන්ධානයේ කෑලි හැලෙන ලකුණු පහළ විය. ශ්‍රීලනිප මැති ඇමැතින් තුළ තිබූ කලකිරීම ඉහවහා යමින් තිබුණි. බණ්ඩාරනායක පවුලේ ආධිපත්‍යයෙන් ගොඩ ගිය ශ්‍රීලනිපය මහින්දත් සමඟ රාජපක්ෂ පවුලේ ආධිපත්‍යයට යට වුණේ ගෙඩි පිටිනි. ශ්‍රීලනිපයත් රාජපක්ෂ පවුලත් දෙකක් නොව එකක්ම විය. ඒකේ ප්‍රතිඵලය හැටියට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසත් කඩාගෙන ගියේ ජනාධිපතිවරණය කට ළඟ තිබියදීය. ඒකට නායකත්වය දුන්නේ බණ්ඩාරනායක පවුලේ හිතවතකු වූ සහ චන්ද්‍රිකාගේ කැමැත්තෙන් ශ්‍රීලනිප ලේකම් ධූරය හිමි කරගත් මෛත්‍රීපාල සිරිසේනය. නිදහසින් පසු බිහිවූ ශක්තිමත් සහ ජනප්‍රියම සන්ධාන ආණ්ඩුව බිඳ වැටුණේ මෛත්‍රීපාල සිරිසේනගේ කරණමත් සමඟිනි. මහින්දගේ සන්ධාන ආණ්ඩුව ඊළඟ ජනාධිපතිවරණයෙන්ද මහ මැතිවරණයෙන්ද පරාජය විය.
මෛත්‍රීපාල ජනාධිපතිගේත් රනිල් අගමැතිගේත් සන්ධාන ආණ්ඩුවටත් වැඩිකල් යාමට හැකිවුණේ නැත. නොපෑහෙන දීගයක් වූ ඒ සන්ධානය වසර දෙක තුනකදී පතුරු ගැලවී දෙදරා ගියේය. මෛත්‍රීපාල ජනාධිපති අගමැති රනිල්ගේ ආණ්ඩුව බලෙන්ම ඉවත් කර මහින්දව යළි අගමැති කරන තරමට විරසකය බලවත් විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් ආණ්ඩුව යළි පිහිටුවූවත් එම ආණ්ඩුවේ ආයුෂ කෙටි බව සියලු දෙනා දැන සිටියහ. කොරේ පිටට මරේ කීවාක් මෙන් පාස්කු ප්‍රහාරයෙන් ආණ්ඩුව බිත්තියටම හිර විය. ඊළඟ ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් යළිත් බලයට ආවේ රාජපක්ෂලාය. ගෝඨාභය ජනාධිපති වී මහින්ද අගමැති වී ඊළඟට බැසිල් මුදල් ඇමැති වූ විට ශ්‍රීලනිපය වෙනුවට බිහි වී තිබූ පොහොට්ටුව රාජපක්ෂ පවුලේ බූදලයක් බවට පත්වී තිබූ බව පැහැදිලි විය. කැබිනට් එකේ රාජපක්ෂවරුන් 05 දෙනකු සිටි අතර රාජපක්ෂ පවුලේ රාජ්‍ය ඇමැතිලාද මන්ත්‍රීලාද තවත් සිටියහ. එය පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් නොව සන්ධාන ආණ්ඩුවක් විය. රාජපක්ෂ පවුලේ මේ ආධිපත්‍යය එම සන්ධානයේ ඇතැම් හවුල්කාර පක්ෂවල නායකයන්ට දිරෙව්වේ නැත. ඒ මදිවාට ගෝඨාභය ගත් ඇතැම් තීරණ හේතුවෙන් රට පුරා අරගලයක් ව්‍යාප්ත වී ගෝල්ෆේස් එක එහි කේන්ද්‍රය බවට පත් විය. රාජපක්ෂලාගේ ආණ්ඩුවට යන එන මං නැති වුණේ ඒ සමඟය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත්වන්නේ මේ තත්ත්වය විසින් ඇති කරන ලද දේශපාලන කුණාටුව මතිනි. ඒ වෙලාවේ පොහොට්ටුවට එල්ලෙන්නට තිබූ හොඳම විසඳුම රනිල් වික්‍රමසිංහ විය. සන්ධාන ගැසීම් කිසිවක් නැතිව පොහොට්ටුවේ ඡන්දයෙන් රනිල් අගමැති වී ඊළඟට ජනාධිපති විය. පොහොට්ටුවේ කිහිප දෙනකුට කැබිනට් ඇමැතිකම් රාජ්‍ය ඇමැතිකම් ලබා දී ආණ්ඩුව යළි පණගස්වා ගත් රනිල් දැන් රට පාලනය කරන්නේ පොහොට්ටුවේ පිරිසකගේ සහාය ලබා ගනිමිනි. දැන් සන්ධාන කතා නැත. මහ මැතිවරණයෙන් පරාජය වූ යූ.එන්.පී. නායකයා දැන් රටේ ජනාධිපතිය. පොහොට්ටු නායකයෝ ඒ ආණ්ඩුවේ කොටස් කාරයෝය. ජනාධිපතිට එරෙහි කතා කියන පොහොට්ටු මන්ත්‍රීලාගේ කතා දෙස බැලිය යුත්තේ මේ පසුබිමේ සිටිමිනි.
ජනාධිපති කැඳවූ පක්ෂවල ජ්‍යෙෂ්ඨයන්ගේ පසුගිය බදාදා රුස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සමහරුන්ගේ බලාපොරොත්තුව වී තිබුණි. ඇමැතිකම් නැන්නම් ආණ්ඩුවෙන් එළියට යන්න වුණත් සූදානම් යයි කෑගසා තිබුණේ සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාය. ඔක්කොම හිතුවේ යූ.එන්.පී. - පොහොට්ටු එකතුව බදාදායින් අවසන් වනු ඇති බවය.
සිද්ධ වුණේ ඒක නොවේ. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් එම රුස්වීමට ගිහින් ජනාධිපතිව ෂේප් කර ගැනීමය. තමන්ගේ සහාය ජනාධිපතිගේ වැඩපිළිවෙළට ලබා දෙන බව බොහොම සුහදව ප්‍රකාශ කර සිටීමය. ඇමැතිකම් ඉල්ලා සටන් කිරීමක් ගැන කතාවක් එතැන නොවීය. රැස්වීම් කැඳවිය යුතු ආකාරය ගැන ජනාධිපතිට කලින් සතියේ සිහි කැඳවීමක් කළ පොහොට්ටු ලේකම් සාගර ද මෙවර කතා කළේ බොහොම හීලෑ වෙලාය. එහෙම වුණේ ඇයි?
මේ රටේ සන්ධාන ආණ්ඩු හැදෙන හැටිත් ඒවා කැඩෙන හැටිත් හොඳටම දැන සිටින රනිල් වික්‍රමසිංහත් බැසිල් ඇතුළු රාජපක්ෂලාත් මේ වෙලාවේ පවතින සන්ධානය දිගටම ගෙන යනවා හැර වෙනත් විකල්පයක් නැති බව හොඳින්ම දැන සිටීම ඊට හේතුවය. මේ වෙලාවේ පොහොට්ටුව එළියට ගිහින් විපක්ෂයේ වාඩි වුණොත් ඊළඟට කළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමය. ඒ මැතිවරණය ජය ගන්න එක සනත් නිශාන්තලා රෝහිත අබේගුණවර්ධනලා කියන තරම් පහසු නැති බව රනිල් වික්‍රමසිංහ වගේම බැසිල් රාජපක්ෂත් හොඳින්ම දැන සිටී. දේශපාලන ගිනි කෙළියක් වනු ඇතැයි හිතාගෙන හිටපු ජනපති කැඳවූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ රුස්වීම ''කූල්'' එකේ ඉවර වුණේ ඒ හේතුවෙනි. ප්‍රශ්නයකට ඇත්තේ මේ ''කූල්'' එක තව කොතරම් කාලයක් තියාගත හැකිදැයි යන්නය. ඒකට සහතිකයක් නම් නැත.
I ශශීන්ද්‍ර