- බිමල් රත්නායක (ජාතික ජනබලවේගය)
• ඔබේ දේශපාලන මතවාදය පැත්තකින් තියලා පුරවැසියකු හැටියට ඔබෙන් ප්‍රශ්නයක් ඇසුවොත් පසුගිය කාලයේ පෝලිම් යුගය අද වෙනකොට නැතිවෙලා තිබෙනවා. සියල්ල සාමාන්‍ය අතට පත්වෙලා තිබෙන බවට ආණ්ඩුව කියනවා. ඔබ කොහොමද මේ තත්ත්වය දකින්නේ?
ඇත්තටම ජනතාව ඉන්නේ ඉතාම බරපතළ ජීවන අර්බුදයක. දැන් ජනතාවගෙන් ඇහුවාම තෙල් පෝලිම් යුගය ඉවරයි කියලා, ඔව් තෙල් පෝලිම ඉවරයි, ගෑස් පෝලිම් දැන් නෑ, වගේ සංසන්දනාත්මක ප්‍රකාශ නිකුත් කරනවා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශ්වය විසින් ගොඩනැගූ දෙයක්. හැබැයි කියන්නේ තෙල් පෝලිම ඇති කළෙත් ඒ ගොල්ලෝ. දැන් එහෙම යුගයක් නෑ කියලා කියන්නෙත් ඒ ගොල්ලෝ. ඒ ගොල්ලන්ගේ වැඩ නිසා. හැබැයි කවුරුත් හිතන්නේ නෑනේ තෙල් පෝලිම්වලට කලින් යුගයක් තිබුණයි කියලා. ඇත්තට ගත්තොත් මේ වෙනකොට මිනිස්සුන්ට බලාපොරොත්තුවක් නෑ. විශේෂයෙන් තරුණ පරම්පරාවට අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් නෑ. දැන් බලන්න කවුරුත් සතියකට එහා ප්ලෑන් එකක් ගහන්නේ නැහැනේ.
• ඔබ දේශපාලන සංවිධානයක් නියෝජනය කරන කෙනකු හැටියට වර්තමාන දේශපාලන තත්ත්වය හා පසුබිම මොන වගේද අර්ථකථනය කරන්නේ?
රටේ ජනතාවගෙන් 90%ක් විතර ප්‍රතික්ෂේප කරපු පලවා හැරපු පිරිසක් බලහත්කාරයෙන් මේ වනවිට රට පාලනය කරනවා. හැබැයි මේ වෙද්දී ආණ්ඩුවත් ජනතාවත් අතර විශාල පරතරයක් තිබෙනවා. මේ වෙද්දී ජනතාව සහ ආණ්ඩුව අතර තිබුණු පාලම සහමුලින් කැඩිලා තියෙන්නේ. මම පිළිගන්න දෙයක් තමයි රට කඩාවැටුණු මොහොතක හර්කියුලිස්ලාට රට ගොඩගන්න බැහැ. රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ ජනතාවත් ආණ්ඩුවත් අතර යම්කිසි එකඟතාවකට පත්වුණාමයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ මැතිවරණයකින්.
• ඔබ කියන්නේ දැන් ආණ්ඩුව සහ ජනතාව අතර එකඟතාවය බිඳවැටිලා ඉවරයි කියලද?
ඔව්. දැන් ආණ්ඩුව කරගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන එක. පසුගිය කාලයේම නීතිය, සාමය, ආර්ථිකය මේ සියල්ලම වට්ටල ඉවරයි. දැන් ඉතුරුවෙලා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය විතරයි. ඒකත් දැන් වට්ටන්න යන්නේ. ඒත් එතකොට වෙන්නේ රට කඩා වැටෙන එක. දැන් මේ වෙලාවේ තියෙන්නේ අර රත්වෙච්ච වතුරේ මොකද්ද වෙන්නේ ඔන්න මෙන්න වගේ.
• දැන් පහුගිය කාලේ ජනතා පිබිදීමක් ඇතිවුණා. ඒ වෙලාවේ ඇත්තටම ආර්ථික පීඩනය තමයි ජනතාවට ඒකට හේතුවුණේ. හැබැයි සමහර අය මේක අර්ථකථනය කරන්නේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට. ඔබ දකින්නේ කොහොමද මේක?
ජනතා පිබිදීම ඇතිවුණේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණවත් දේශීය කුමන්ත්‍රණවත් නිසා නෙමෙයි. 2021 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වරාය විකුණන්න ගිහිල්ලත් මිනිස්සු උද්ඝෝෂණය කරලා ඒක වළක්වා ගත්තා. ඒත් එක්කම තමයි ආර්ථික අවුලත් එක්ක තෙල් පෝලිම් එහෙම ආවේ. එතකොට ඒ දේවල් මේ කුමන්ත්‍රණයකට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් අරගලයේදී හරීන් ප්‍රනාන්දුලා මනූෂ නානායක්කාරලත් හිටියනේ. පස්සේ ආණ්ඩුවට එකතු වුණානේ. අන්න ඒවයි දේශපාලන කුමන්ත්‍රණ. ඒ ගොල්ලෝ ගෝල්ෆේස් හිටිය තැනත් දේශපාලන කුමන්ත්‍රණ සිද්ධ වුණා. ඒකෙන් කියන්නේ නෑ සමස්ත දේශපාලන අරගලයම කුමන්ත්‍රණයක් කියලා.
• ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිද්ධ වුණේම නැද්ද?
සිද්ධ වුණා. ඔය ගෝල්ෆේස් අරගල භූමිය තුළ ජවිපෙට තිබුණ විරෝධය වගේම ජවිපෙ බලය ලබාගනියි කියන සැකය උඩ කරපු යම් යම් දේවල් ජාත්‍යන්තර කුමන්ත්‍රණ තමා.
• ඒ කියන්නේ අරගලය ඇතුළෙත් ලොකු ජවිපෙ විරෝධයක් තිබුණාද?
ඔව්. රාජපක්ෂලා එළවනවාට වඩා ජවිපෙ එළවන එක මූලික අරමුණ වුණා. ඒ වගේම ජවිපෙ දිනන එක වළක්වන්නත් ලොකු වුවමනාවක් තිබුණා.
• ඇයි මේ ගෝල්ෆේස් අරගලය ඇතුළේ ජවිපෙ එළවන්න විශේෂ විරෝධයක් ඇති වුණේ?
ඒක පැහැදිලිවම ගත්තොත් පෙරටුගාමී සංවිධානය මුල්වෙලා සිදුවුන දෙයක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ගැත්තන්, තානාපති කාර්යාල, ඒ වගේම ජවිපෙ විරෝධී කණ්ඩායම්.
• එතකොට ජවිපෙ කාර්යභාරය ගෝල්ෆේස් එකට විතරමද සීමාවුණේ?
මේ ජනතා නැගිටීම ගත්තොත් සටන් මධ්‍යස්ථාන තුනක් හරහා තමයි ක්‍රියාත්මක වුණේ. 2021 වගේ ගන්නකොට පළවෙනි සටන් ගැම්ම ගත්තේ ජවිපෙන්. ඊටපස්සේ 2022 මුල වගේ ගන්නකොට ඒ සටන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයත් එක්ක ඉදිරියට ගියා. ඊටපස්සේ තුන්වෙනි මධ්‍යස්ථානය තමයි ගෝල්ෆේස් එක. එතකොට එහෙම බලද්දී මේ තුනේම හිටිය එකම දේශපාලන පක්ෂය අපි.
• ජවිපෙය '88, '89 භීෂණයත් එක්ක විශාල වශයෙන් දේශපාලන වශයෙන් පහර කෑමකට ලක්වුණා. ඒ කැරුල්ල නිවැරදි කර ගනිමින් යනකොට මැයි 9 වෙනිදා රාත්‍රියේ යම් භීෂණකාරී සිදුවීමක් සිද්ධ වුණා. ඒ සිදුවීමට ජවිපෙට චෝදනා එල්ල වෙනවා. ඇත්තටම මොකක්ද වුණේ?
මේකට ජවිපෙ වගකියන්න ඕනෙත් නැහැ. ජවිපෙ සම්බන්ධයකුත් නැහැ. ඒක පැහැදිලිවම ඒ වෙලාවේ ජනතාවගේ ප්‍රතික්‍රියාවක්. දැන් බලන්න මැයි 9ට කලින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුගේ බයිසිකලයක හුළං ඇරලවත් නැහැ. ඊටපස්සේ මැයි 9 වැනිදායින් පස්සෙත් එහෙම සිදුවීමක් නැහැ. මැයි 6 වැනිදා හර්තාලයක් තිබුණා. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැනේ. මැයි 9 සිද්ධ වුණේ රාජපක්ෂලා විසින් කරපු දුර්දාන්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමක්. ඒ නිසා අපි දේශපාලන අවබෝධයකින් දේශපාලනය කරන කණ්ඩායමක්. අපිට ගැහුවා කියලා අපි ගහන ජාතියේ කණ්ඩායමක් නෙමෙයි.
• මැයි 9 ඔය සිදුවීම ඇත්තටම අවාසි වුණේ රාජපක්ෂලාට නේද? එහෙම නොවුණා නම් රාජපක්ෂලා තවමත් ඉන්නවා නේද?
නැහැ. මැයි 6 වැනිදා හර්තාලයෙන් පස්සේ ඒක හරිගියේ නැත්නම් අපි 15, 16, 17 වගේ දවස් තුනක් ලොකු හර්තාලයක් කරලා රාජපක්ෂලා කොහොමත් එළවනවා. ඊටපස්සේ මැතිවරණයක් පවත්වලා මහජන බලය මාරුකරනවා. ඇත්තටම ඒකෙන් වුණේ මැතිවරණයකට යන එක නැවතිච්ච එක. ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් බෙල්ල පාගලා මරපුවාම මාස ගණනක් ඒ ජනතා විරෝධය තිබුණා. ඒ වගේම මතක් කරන්න ඕන දැන් අපි ඉන්නේ මේ ජූනි මාසේ අන්තිම. ලබන මාසයේ කළු ජූලියට වසර 40ක් පිරෙනවා. ඒවා කුමන්ත්‍රණය කරපු සිරිල් මැතිව්ලා හිටිය ආණ්ඩුවෙම තමයි රනිල් වික්‍රමසිංහත් හිටියේ. ඒ නිසා අපිට පෙනෙනවා ඒ සමහර අර්බුද ඇති කළේ කොහොමද කියලා. ඒ නිසා ජනතාව අවබෝධයෙන් ඉන්න ඕන. හිට්ලර් 1943 දී ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තියලා ගිනි තිබ්බේ ජර්මන් කොමියුනිස්ට් පක්ෂය කියලා ඒක තහනම් කළා. ඒ වගේ තමයි මෙහෙත්. ඒ අතින් බලද්දී අපේ රටේ මිනිස්සු ඉතාම සංයමයෙන් වැඩ කළා.
• ජූලි 9 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එළවලා අරගලය දේශපාලන බල හුවමාරුවකට යා යුතු මොහොතකදී ඒක නොවීම නිසා ඔබලා බලාපොරොත්තු වුණු යම් වෙනසක් සිදුකර ගන්න බැරිවුණා නේද?
ඔව්. එදා අරගලය දිනලා රාජපක්ෂවරු එළවලා දූෂිතයෝ ගෙදර යවලා මැතිවරණයකින් බලය අරගෙන යම් දේශපාලන පරිවර්තනයක් සිදුකරන්න පුළුවන් අවස්ථාවක් මගහැරුණා කියලා මම විශ්වාස කරනවා. ඒක එහෙම බැරිවුණේ එතැනින් පස්සේ දේශපාලන නායකත්වයක් ඒකට තිබුණේ නැති නිසා. අන්න ඒක තමයි ගෝල්ෆේස් එක ඇතුළේ තිබුණු කුමන්ත්‍රණය. අපි පිළිගත යුතු දෙයක් තිබෙනවා මොන දෙයක් වුණත් ඔය ආණ්ඩුවේ ඉන්න දේශපාලනඥයන් ඉතාම පළපුරුදු අය. එතකොට ඒ අය ඕනෑම වෙලාවක බල හුවමාරුවකට ඉඩ දෙන්නේ නැහැ. අපි හොඳම දේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා ඊටපස්සේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට අපිත් ඉදිරිපත් වෙලා අපිට විරුද්ධ මතවාදයක් දැරූ සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉදිරිපත් වෙලා අවසානයේ ජනාධිපති වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා කැමැති කෙනාව. අන්න ඒක තමයි කුමන්ත්‍රණය.
• ඔබ ඔය කියන්නේ ගෝල්ෆේස් අරගලයයි පාර්ලිමේන්තුව ඇතුළෙයි එකම කුමන්ත්‍රණය කියලද?
දැන් බලන්න එදා ගෝල්ෆේස් එකේ අයත් පාර්ලිමේන්තු ඡන්දයට විරුද්ධ වුණා. පාර්ලිමේන්තුවේ අයත් පාර්ලිමේන්තු ඡන්දයට විරුද්ධ වුණා. ඒකෙන් වුණේ ඒ අවස්ථාවේ ජවිපෙට මූලිකත්වය ගන්න. නමුත් ඒ වෙද්දී සියල්ල සූදානම් වෙලා ඉවරයි. ඒ නිසා මතක තියාගන්න අපි අරගලය කරලා නුසුදුසු පාලකයෝ එලවනවා වගේම ඊටපස්සේ මේ රට අරාජික නොකර ඉදිරියට අරගෙන යන්න පුළුවන් පාලකයෝ ටිකකට බාරදෙන එකත් වගකීමක්. ඒකත් අරගලයේම කොටසක්.
• මොන දේ කිව්වත් ජාතික ජනබලවේගය ලොකූ ප්‍රචාරණයක් එක්ක ජනතා ආකර්ෂණයකට යමින් හිටියේ. ඒකේ ජයග්‍රහණය තිබ්බේ මැතිවරණයේදී. ඒත් මැතිවරණය තිබ්බේ නෑ. අන්තිමේ ඒ අවධානය ජනතාවගෙන් ගිලිහුණා නේද?
මැතිවරණය තිබ්බා නම් අපි දිනනවා. බලහත්කාරයෙන් ඒක නැවැත්තුවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මොන මැජික් පෙන්නුවත් වැඩක් නෑ. ජනතාව ඒ මැජික්වලට රැවටෙන්නේ නෑ. අනික අපිට ජනතාව එකතුවුණේ ඇයි. අපි කිසිම වෙලාවක ජනතාවට පොරොන්දු දුන්නේ නෑ. ජනතාව කිව්වේ මේ තක්කඩි පාලනය වෙනස් කරන්න කියලා. ඔවුන් ජවිපෙට ළං වුණේ පිරිසිදු දේශපාලනය නිසා. වංචාවට අකමැති වුණා.
• ඔබලට අරගලයෙන් වැඩි කැමැත්තක් ආවා නේද?
ඔව් ආවා. ඒක ඇත්ත.
• ඒක අරගලයේ භූමිකාව නිසාද? නැත්නම් වෙන විකල්පයක් නැති නිසාද?
ඔව්. ඉතිං ඒක ඇත්තනේ. ජනතාව විසින් පත්කර ගත්ත පාලකයෝ ජනතාවගේ හීන කඩා බිඳ දානකොට ඒ වෙලාවේ තියෙන විකල්පයට ළං වෙනවා. ඒක සාමාන්‍යයි.
• එහෙනම් සජිත් ප්‍රේමදාස ගාවටත් මිනිස්සු ළං වෙන්න පුළුවන් නේද?
ඔව්. එයා බස් බෙදනවා. හැමදේම කරනවා. ඇයි යන්නේ නැත්තේ. ඇයි මිනිස්සු විශ්වාස කරන්නේ නැත්තේ. ඒකට හේතුව මිනිස්සු දන්නවා මේක අර ජඩ දේශපලනයේ කොටසක්. ඒ නිසා මිනිස්සු රැවටෙන්නේ නෑ. ඒත් ජවිපෙ හැමදාම හිටියේ අද ජනතාව බහුතරයක් ප්‍රතික්ෂේප කරන තැනම තමා. ඒ නිසා ජනතාව දන්නවා අපි හරි කියලා. ඔය අනෙක් පක්ෂ ඔක්කොම එකම බෝට්ටුවේ. අපි විතරයි ජනතාවාදී ප්‍රතිපත්තියේ ඉන්නේ. ඒ නිසා මේක රැල්ලක් නෙමෙයි. මේක අවබෝධයක්. ඒ නිසා ඒ ජනතා අවබෝධය තවම තියෙනවා. අපි ප්‍රතිරූප නංවන්න සල්ලි දීලා නෑ. අපේ තියෙන්නේ ස්ථාවරය. අනෙක් පක්ෂවලට ඒක නෑ.
• ඔබලා තරුණයෝ එක්ක ඉදිරියට යන කණ්ඩායමක්. කාටහරි අහන්න පුළුවන් ඇයි එහෙම පක්ෂයක තවම ටිල්වින් සිල්වා වගේ අය තවම මහලේකම් කමේ ඉන්නේ කියලා. වෙන තරුණයෝ නැද්ද කියලා?
අපේ පක්ෂයේ 99%ක් තනතුරු දරන්නේ තරුණ නායකයෝ. දෙක අපි තීරණ ගන්නේ සාමුහිකව. ඒක ආරම්භයේ ඉඳලා තියෙන දෙයක්. ඒ නිසා කාගෙවත් තනි තීරණ නෑ. ඒවා අදාලම නෑ. අනික ටිල්වින් සහෝදරයා අත්දැකීම් බහුල කෙනෙක්. ඔහු වගේ කෙනෙක් අපි රැකගන්න ඕන. යූඇන්පී එකෙන් මරන්න ගිය අයනේ. එහෙම මරන්න බැරිවුණ මිනිස්සු ඇයි අපි අයින් කරන්නේ.
• ඇත්තද ඔබට ලේකම් ධූරය දෙන්න යනවා කියන්නේ?
ඒක මාධ්‍ය විසින් හදපු කතාවක්. එහෙම එකක් නෑ.
I ගයාන් ගාල්ලගේ