ලංකාව බොහොමයක් අවස්ථාවල හැඳින්වෙන්නේ පාරාදීසයක් හැටියටය. සංචාරක කර්මාන්තයේදී ශ්‍රී ලංකාව පාරාදීසයක් පමණක් නොව ලොවේ අංක එකේ සංචාරක ගමනාන්තය වශයෙන්ද සැලකුම් ලබයි. එහෙත් දැන් මේ පාරාදීසය මරණයේ තෝතැන්නක් බවට පත්වෙමින් තිබේ. රැයක් දවාලක් නොමැතිව අමු අමුවේ මිනීමැරුම් සිදුවීමත් එම බොහොමයක් මිනීමැරුම් මහජනතාව ගැවසෙන ස්ථානවලදී පවා සිදුවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයන්ගේ ජනජීවිතය ඇත්තේ මහත් අනතුරකට මුහුණ දෙමිනි.
මේ වසරේ පළමු මාස 05 තුළදී මිනිස් ජීවිත 43ක් මේ සිදුකරන ඉවක් බවක් නැති මිනීමැරුම්වලින් අහිමි වී තිබේ. පසුගිය දින කිහිපය තුළදී වෙඩිතැබීම් එක පෙළට සිදුවූ අතර එම උණ්ඩ ජීවිත 05ක් බිලිගෙන තිබිණි. මෙහි භයානකම අනතුර වන්නේ එසේ වෙඩි තබා මිනීමැරීමෙන් පසු කිසිදු අවහිරයකින් තොරව අපරාධකරුවන්ට පැනයාමට ඉඩ ලැබීමය. එසේ පැනයන ඇතැම් අපරාධකරුවන් වාහනවලින් පමණක් නොව මෝටර් සයිකල්වලින් පවා පැන ගන්නේ කිසිදු ගාණක් නැතිව බව කොට්ටාවේදී පසුගියදා උදෑසන 8.00ට පමණ සිදුවූ වෙඩි තැබීමේදී සී.සී.ටී.වී. කැමරා දර්ශනවලින් පැහැදිලිව පෙනී ගියේය. එය කිසිසේත් සැහැල්ලුවෙන් ගතහැකි තත්ත්වයක් නොවන බව විශේෂයෙන් කිව යුතු නැත.
ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින තුවක්කු සංස්කෘතිය කෙසේ ආරම්භ වී දැයි පැහැදිලිව කිව නොහැක. එහෙත් දැනට මාස කිහිපයකට පෙර මෙන් නොව දැන් දිනපතාම පාහේ වෙඩිතැබීම් පිළිබඳ අසන්නට ලැබේ. හේතුව කුමක් වුවත් මේ තුවක්කු දැන් පාසල් ප්රධානීන්ටත් සමාගම් අයිතිකරුවන්ටත් එරෙහිව පවා පත්තු වන බව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය හැකි ඉක්මණින් පාලනය කර නොගතහොත් සිදුවිය හැකි ව්‍යසනය විස්තර කිරීමට වචන සොයාගැනීම පවා අපහසු වනු ඇත.
මේ සෑම මිනීමැරුමක්ම කුඩු සහ පාතාලය සම්බන්ධ සිදුවීම් බව පොලීසිය නිරතුරුවම ප්‍රකාශ කරයි. එය සත්‍ය තත්ත්වය බව අපගේද පිළිගැනීමය. එහෙත් මේ මිනීමැරුම්වලට සම්බන්ධ වන්නේ පාතාලය බව ප්‍රකාශ කිරීමෙන් ප්රශ්නය විසඳෙන්නේ නැත. පාතාලය මිනීමරා ගන්නේ පාතාල ඇතුළේම නම් ලොකු ගැටලුවක් නොවේ. එහෙත් දැන් දැන් මේ පාතාල තුවක්කු පත්තු වෙන්නේ මහජනතාව ගැවසෙන ස්ථාන ඇසුරේමය. හොඳම උදාහරණය කොට්ටාවේදී සිදුවූ වෙඩි තැබීමය. උදෑසන 8.00ට පමණ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් තුළ එම වෙඩි තැබීම සිදු කරන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකි. ඒ ප්‍රධාන පාර අසලමය. පාරෙන් අනෙක් පැත්තේ ප්‍රසිද්ධ විදුහලකි. පාසල පටන් ගන්නා තුරු ඒ අසල මාර්ගයේ පොලිස් නිලධාරීහු රාජකාරියේ නිරතව සිටිති. ඊට තරමක් ඈතින් කොට්ටාව පොලිස් ස්ථානයද වෙයි. සතියේ දිනක උදේ 8.00ට මේ ප්‍රදේශය ජනතාව සහ ඇතැම් විට සිසු සිසුවියන්ද ගැවසෙන අවස්ථාවකි. මිනීමරුවන්ට මේ එක කාරණාවක්වත් අදාළ වී නැති බව පැහැදිලිය. පාතාලය පිටට වැරැද්ද පටවා අත සෝදා ගැනීමට පොලීසියට නොහැක්කේ මේ හේතුවෙනි.
මේ ආකාරයට හැම තැනකටම ගොස් තම තමන්ට හිතෙන හැටියට මිනීමරා පැනයාමට ඉඩ තිබීම මේ මිනීමැරුම් තව තවත් ඉහළ යාමට ඉනිමං තැබීමකි. පාතාලයන් සහ කුඩුකාරයන් අතරේ පවතින මිනීමරා ගැනීම් සම්බන්ධයෙන් පොලීසියට බුද්ධි තොරතුරු ලබාගැනීම අපහසු විය නොහැක. බොහොමයක් මිනීමැරුම්වලට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූ බවද සඳහන් කළ යුත්තේ පොලීසියේ නිලධාරීන්ගේ සේවයට උපහාරයක් වශයෙනි. එසේ වුවද කලින් බුද්ධි තොරතුරු ලබාගෙන මිනීමැරුම් සිදුකිරීම සැලසුම් කරන අවස්ථාවලදීම අපරාධකරුවන් කොටුකරගත හැකිනම් එය යම්තාක් දුරකට හෝ පවතින භයානක තත්ත්වයෙන් මිදීමට මගකි. එය පොලීසියේ රාජකාරියටද පහසුවක් වනු ඇත.
අප මෙසේ කියන්නේ මහජනතාව ගැවසෙන ස්ථානවල තුවක්කු පත්තුවීම සාමකාමී මහජනතාවගේ ජීවිත හා දේපළවලට ප්‍රබල තර්ජනයක් එල්ල කරන බැවිනි. ඔවුන්ගේ එදිනෙදා කටයුතු අවුල්කර දමන බැවිනි. එසේ අහිංසක ජනතාව පාතාලයන්ගේ උණ්ඩවලට ගොදුරු වන අවස්ථා ගණනාවක්ද පසුගිය කාලය තුළදී වාර්තා වී තිබිණි. කොට්ටාවේ උණ්ඩයට බිලිවූයේද වැරදී ගිය ඉලක්කයක් බව දැන් කියති. එය මහත් අවාසනාවන්ත තත්ත්වයකි.
පාතාලයන්ගේ මිනීමැරුම් බොහෝදුරට මෙහෙයවන්නේ විදෙස්ගතව සිටින නායකයන් කිහිප දෙනකු විසින් බවද සඳහන් වෙයි. ඩුබායි සහ ඉන්දියාවේ රුඳී සිටින මේ අපරාධකරුවන් ලක්ෂ ගණන් මුදල් දී ලංකාවේ තමන්ගේ වෛරයට පාත්‍ර වූවන් මරාදමන බව මේ මිනීමැරුම්වල පොදු ප්රකාශනය වී තිබේ. ඒ නායකයන්ගේ නම් ගම්ද පොලීසිය වරින්වර සඳහන් කරයි.
එහෙත් එයින් මේ මිනීමැරුම් නවතින්නේ නැත. මරාදමන පිරිස් දිනෙන් දින ඉහළ යාමෙන් පෙන්වන්නේ ''මේ තුවක්කු සංස්කෘතිය'' මැඩපැවැත්වීමට වහාම වඩාත් සංවිධානාත්මකව පියවර ගතයුතු බවය. මේ කාර්යය ඉටු කිරීම පොලීසියට පමණක් ඉටුකළ නොහැකි තත්ත්වයකට රට මුහුණ දෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඒ සඳහා එස්.ටී.එෆ්. සහාය පමණක් නොව අවශ්‍ය අවස්ථාවලදී හමුදාවේ සහායද ලබාගැනීමේ වරදක් ඇතැයි අපි නොසිතමු. ඒ සමඟ ඩුබායි හෝ වෙනත් රටවලට හෝ පැනගෙන මේ රටේ මිනීමැරුම් මෙහෙයවන පාතාල නායකයන් ගෙන්වා ගැනීමටද වැඩපිළිවෙළක් අවශ්‍යය. එසේ නොවුවහොත් වැඩිකල් නොගොස් දකුණු ආසියාවේ සංචාරක පාරාදීසය පාතාල මිනීමරුවන්ගේ රජදහන වශයෙන් හංවඩු ගැසෙනු ඇත.