2023 ජුනි 24 වන සෙනසුරාදා

ආණ්ඩුවේ දුර පැනිල්ල

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 120
ලංකාවේ දේශපාලනය ''කටගැස්මක්'' නැති දවසක් නොතිබෙන තරමට කාර්යබහුල වෙමින් තිබේ. මැතිවරණයක් පෙනෙන තෙක් මානයක නැත. එහෙත් ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් පවා නම් කර අවසානය. එහෙම තියෙන ජනාධිපතිවරණයට තමන් සහාය දක්වන්නේ කාටද යන්න ගැනත් ප්‍රධාන පක්ෂ කිහිපයක්ම විවිධ අදහස් දක්වමින් සිටියි. පුංචි ඡන්දය පිළිබඳ අලකලංචිය තවම ඉවර නැත. එහෙත් අලුතෙන් මැතිවරණ කොමිසමක් නම්කර අවසානය. ජාතික ගැටලුවට විසඳුම් සොයා ජනාධිපතිවරයා උතුරේ දේශපාලන පක්ෂවල නායකයන්ට සාකච්ඡා සඳහා ඇරියුම් කරයි. උතුරේ නායකයන් සාකච්ඡාවලට එන්නේ නැත. ඒ වෙනුවට ඉටුකළ යුතු කොන්දේසි ඉදිරිපත් කරමින් සිටියි. ඒ අතරේ ආණ්ඩුව පළාත් සභා ඡන්දය ගැන වචනයක්වත් කතා කිරීමෙන් වැළකී සිටියි.

එහෙම තියෙන අතරේ ජනාධිපතිවරයා හදිසියේම ලබන සති අන්තයේ විශේෂ වැඩකට අතගැසීමට සූදානමින් සිටින බවත් පසුගිය සතියේදී පැහැදිලිව පෙනී ගියේය. ඔහු එංගලන්තයේ සහ ප්‍රංශයේ චාරිකාවට සහභාගි වීමට කලින්ම ලබන සති අන්තයේ තීරණාත්මක රැස්වීමක් පැවැත්වෙන බවට ලොකු සිග්නල් එකක් දුන්නේය. ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතින්ලා ඒ සඳහා සහභාගි විය යුතු බවට දැනුම් දීමක්ද කළේය. කොටින්ම කිසිදු මන්ත්‍රීවරයකු විදෙස් ගමනක් යොදා නොගත යුතු බවට නියෝගයක්ද පැනවීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී රැකෙන්නේ පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙනි. පොහොට්ටුවේ නායකයන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සියලු අයිතිවාසිකම් රැකෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ධුරයේ බලතල හේතුවෙනි. මේ නිසා කොතරම් වාද විවාද - මත ගැටුම් තිබුණත් ජනාධිපතිවරයාට පොහොට්ටුවේ මන්ත්‍රීලාගේ සහාය නැතිව පැවැත්මක් නැත. පොහොට්ටු මන්ත්‍රීලාට ජනාධිපතිවරයාගේ රැකවරණය හැර වෙනත් පිළිසරණක් නැත. අඩුම තරමින් මීළඟට පැවැත්වෙන කුමන හෝ ඡන්දයක් එළඹෙන තුරු මේ දෙපාර්ශ්වය ගහට පොත්ත මෙන් ඇලී සිටිය යුතුය. ඉල්ලන ඇමැති ධුර නොලැබුණත්, එහෙම ඇමැතිකම් නොලැබෙන්නේ නම් විපක්ෂයේ වාඩිවෙන බවට වේදිකාවලදි ගිරිය පුප්පාගෙන කෑගැසුවත් පොහොට්ටුවේ මන්ත්‍රීලා එහෙම නොකරන බව ජනාධිපතිවරයා සහසුද්දෙන්ම දැන සිටියි. මේ නිසා තමන් කතා කරන රැස්වීම්වලට පොහොට්ටුවේ ඇතැමුන් නොපැමිණියත් පොහොට්ටු නායකයන් ඒ තත්ත්වය බැලන්ස් කරගනිමින් ඔවුන්ගේ සහාය දිගටම තමන්ට ලබාදෙන බවට ජනාධිපතිවරයාට කිසිම සැකයක් නැත. චරිත හේරත් මන්ත්‍රීවරයා වරක් පවසා තිබුණේ ජනාධිපතිවරයා තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට පොහොට්ටු මන්ත්‍රීලා බළල් අතක් කරගෙන සිටින බවය.

එහෙම වෙන්නේ මේ දෙපාර්ශ්වයම තවම ඡන්දයකට මුහුණදීමට සූදානම් නැති නිසා බව දේශපාලනයේ අයන්න ආයන්න කියවූ සියලුදෙනා දැන සිටිති. එළියේ කොයිතරම් ඡන්දයකට සූදානම් යැයි අභියෝග කළත් ඇතුළේ කතාව ඕකය. පොහොට්ටු මන්ත්‍රීලා වැටී සිටි තැනින් යම් පමණකට මේ වනවිට ගොඩ ඇවිත් තිබුණත් ඡන්දයක් ප්‍රකාශ කළ වහාම මේ තත්ත්වය හැරෙන දිශාව තවමත් ඔවුන්ට පැහැදිලි නැත. එහෙම වුණත් තැන තැන තබන පොහොට්ටු බලමණ්ඩල රැස්වීම්වලදී ඇතැම් පොහොට්ටු නායකයන් කතා කරන්නේ දැන් සියල්ල හරි කියන මට්ටමේ සිටිමින් බවද පෙනීයයි. ඒ කතා කොයිතරම් දුරකට රටේ ජනතාව පිළිගන්නේද කියන එක බලාගන්න මැතිවරණයක් පැමිණිය යුතුය.

මේ තත්ත්වය මෙහෙම තිබියදී ජනාධිපතිවරයාගේ ඉදිරි ආර්ථික සැලැස්ම ප්‍රධානම ඉලක්ක ගොඩදමා ගැනිමට ඉතිරිව තිබෙන්නේ සුළු කාලයකි. මේ ගැන සිහිකැඳවීමක් අයි.එම්.එෆ්. එක පසුගියදා සිදුකර තිබුණි. එයින් කියා තිබුණේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා කාලය එළඹ තිබෙන බවය. ඊට පිළිතුරක් වශයෙන් ජනාධිපතිවරයා පසුගියදා එංගලන්තයේදී ප්‍රකාශ කළේ ලබන සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරන බවය.

මේ කියන කාල රාමුව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ හැකිද? එය තරමක් අමාරු ඉලක්කයක් බව බැලූ බැල්මට පෙනී යයි. විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම රටේ ජනතාවට අදාළ නැත. නමුත් දැනට ලංකාව විදෙස් ණය ගෙවීම අත්හිටුවා ඇති බවත් එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් අදියරක් පමණක් බවත් ඔවුහු දැන සිටිති. එසේම විදෙස් ණය නැවත ගෙවීමට කාලය උදා වූ විට රටේ ආර්ථිකය යළි මොන පැත්තට පැතිරෙයිද යන්න ගැන ඔවුන්ට ඇත්තේ බලවත් සැකයකි. මේ සම්බන්ධයෙන් රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රජාව තුළද ඇත්තේ දැඩි අවිනිශ්චිත බවකි.

පවතින මේ තත්ත්වය යටතේ දැඩි නියෝග පනවමින් මේ සති අන්තයේ රුස්වීමක් කැඳවා ජනාධිපතිවරයා සූදානම් වන්නේ අයි.එම්.එෆ්. ගිවිසුමට ඇතුළත් වඩාත්ම ගැටලු සහගත සහ ජනතාවගේ වඩාත්ම ප්‍රශ්න කිරීම්වලට ලක්වන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම බව පැහැදිලි ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම නොකෙරෙන වැඩක් බවට ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති රටවලින් ලබා දී ඇත්තේ පැහැදිලි සංඥාවකි. මේ දෙක අතර සබඳතාව ඇත්කර තැබීමට ජනාධිපතිවරයා කොතරම් උත්සාහ ගත්තත් එම රටවල් ඒ සඳහා එකඟත්වයක් පළකිරීම කල් යැවීම හේතුවෙන් ආණ්ඩුව දැන් අයි.එම්. එෆ්. ගිවිසුම් අනුව කටයුතු කළයුතු වෙයි. කොතරම් දේශපාලන වශයෙන් ප්‍රතිවිපාක ඇති කළත් ආණ්ඩුව  එය කෙසේ හෝ ඉටුකළ යුතු තැනට පත්වී සිටියි.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධ විවාදයේදී සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ මෙසේය.

''ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා අයි.එම්.එෆ්. එකට ලියපු ලියුමක් තිබෙනවා. මම එය සභාගත කරනවා. එය හැන්සාඩ් ගත කරන්නැයි මා ඉල්ලීමක් කරනවා. මේ ලියුම ආණ්ඩුව අත්සන් කරලා තිබෙන්නේ පහුගිය මාර්තු 06 වැනිදායි. අයි.එම්.එෆ්. එක කියලා නෑ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. හැබැයි ආණ්ඩුව පිළිඅරගෙන තිබෙනවා, බාර අරගෙන තිබෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට.

ඒ එක්කම ජනාධිපතිතුමා කියන්නේ මේ සියල්ල කරන්නේ 2048 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ඉලක්කය ජයගන්න කියලයි. මේ රටේ ඒකපුද්ගල ආදායම දැන් තිබෙන්නේ 2013 වසරට සමානවයි. රටේ ආර්ථිකය ඒතරම් පස්සට ඇදලයි තියෙන්නේ. 2048 දී සංවර්ධිත රටක් වෙනවා නම් ඒකපුද්ගල ආදායම ඩොලර් 13,205ක් විය යුතු වෙනවා. එහෙම වෙන්න නම් මේ වසරේ සිට දිගටම 6.5%ක වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගත යුතු වෙනවා. නමුත් අයි.එම්.එෆ්. එක පවා පුරෝකථනය කරලා තිබෙන්නේ 2026දීත් මේ රටේ ආර්ථික වර්ධන වේගය 3%ක් පමණ වනු ඇති බවයි. 2048 වෙනකොට මේ රටේ මිලියන 23.6ක් පමණ ජගහණයක් සිටිනු ඇතැයි කියනවා. ඒ වගේම ඩොලරයට සාපේක්ෂව රුපියල 1385ක් තරම් වනු ඇති බවත් කියනවා. මේ ගණං ගැනීම කවුරුන් විසින් හෝ කළ යුතුයි.''

මේ ගණං හිලව්වල සත්‍ය අසත්‍ය බව කොහොම වුණත් රට ඉදිරියේදී මුහුණ දෙන ආර්ථික අභියෝගයේ තරම විශාල බව හඳුනා ගැනීම අපහසු නැත. ඒ එක්කම එම අභියෝගය ජයගැනීමට අයි.එම්.එෆ්. එක සමග කළ සාකච්ඡාවලදී ඔවුන්ගේ යෝජනා ගෙඩි පිටින්ම බාරගැනීමේ ප්‍රතිවිපාක ද රටට විඳින්නට සිදුවී තිබෙන බව පැහැදිලිය. තමන් බලයට පත්වූ පසුව අයි.එම්.එෆ්. එක සමඟ යළිත් සාකච්ඡා කරන බවට සජබ ප්‍රකාශ කරන්නේ මේ කොන්දේසි ඉටු කිරීමට යාමේදී මුහුණදීමට සිදුවන බරපතළ ගැටලු හේතුවෙනි. එසේම රජය ගෙන ඒමට සූදානම් වන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවට තමන් විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ ඡන්දය විමසීමේදී තමන් එයට එරෙහිව ඡන්දය භාවිත කරන බවත් සජබ දැන් සිටම ප්‍රකාශ කරන්නේත් මේ ගැන අවබෝධයකිනි.

දැන් මෙහෙම තත්ත්වයක් තිබියදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය ලබාගැනීමට ජනාධිපතිවරයාට හැකිවනු ඇතිද? ලබන සති අන්තය තවත් තීරණාත්මක සති අන්තයක් වෙයිද?

මෙතැනදී පොහොට්ටුවට ගත හැක්කේ තීන්දු 02ක් පමණි. එකක් රටේ බලවත් ආන්දෝලනයකට හේතු විය හැකි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජනාධිපතිවරයාගේ යෝජනාවට සහාය දැක්වීම ය. අනෙක් තීන්දුව ජනාධිපතිවරයාගේ යෝජනාවට විරෝධය දැක්වීම ය. එහෙම විරෝධයක් ආවොත් ජනාධිපතිවරයාට එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීම හැර වෙනත් විකල්පයක් නැත. එසේ නොවීමට නම් සජබ මන්ත්‍රීන් පිරිසක් සහ පොහොට්ටුවෙන් කැඩීගිය මන්ත්‍රීන් පිරිසක් එකතු කරගෙන ජනාධිපතිවරයා එම යෝජනාව ගොඩදා ගත යුතුය. එහෙත් එහෙම තත්ත්වයකට ඇත්තේ ඉතා සීමිත ඉඩකි.

හැබැයි පොහොට්ටුව මේ යෝජනාවට විරෝධය පළ කළොත් එහි එක් ප්‍රතිඵලයක් විය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ ඡන්දයකට යාමට ජනාධිපතිවරයා තීන්දු කිරීමය. මේ වෙලාවේ එහෙම ඡන්දයකට පොහොට්ටුව සූදානම් නැත. සජබ විපක්ෂයේ සෙසු පක්ෂත් සමඟ සමගි සන්ධානයකට එළඹ සිටින මේ වෙලාවේ ඡන්දයකට යාම පොහොට්ටුවට ඉල්ලන් කෑමක් වනු ඇත. ඒ තත්ත්වය පෙන්වා දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පොහොට්ටුව කැමැති කරවා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවනු ඇතිද? එහෙම බලනකොට කැබිනට් ඇමැතිකම් නුදුන්නත් ජනාධිපතිට සහාය දැක්වීමට එකඟ වූ, පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් මේ වෙලාවේ ගත යුත්තේ ''මියෙම්වා හෝ රුකෙම්වා'' ගණයේ තීන්දුවක් බව පෙනී යයි. ලබන සතියේ දේශපාලන කරළිය ඇත්ළේ ''කටගැසුම්'' ඉතා සැර වන ලකුණු පහළ වෙමින් තිබෙන බව නම් පැහැදිලිය.

 
I ශශීන්ද්‍ර
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00