2023 ජුලි 01 වන සෙනසුරාදා

අස්වැසුම සුදුස්සාට ලැබිය යුතුය

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

අස්වැසුම රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. දැනට තිබෙන තත්ත්වය අනුව එය දෙවැනි වෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කතාබහට පමණි. ණය කතාව තවම සාකච්ඡා වෙන්නේත් විවාද කෙරෙන්නේත් සීත කාමර ඇතුළේ වුවද අස්වැසුම නම් මේ වනවිට කතා කෙරෙන්නේ මහ පාරේය. ඒවා කතා නොව විරෝධතා බවට පෙරළී තිබේ. මේ විරෝධතා ඇතැම් අවස්ථාවල රාජ්‍ය ආයතන ඇතුළට කඩා වදින තරම් බරපතළය. අස්වැසුම ආණ්ඩුවට විසුමක් නැති ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව පැහැදිලිය.

සමෘද්ධිය වෙනුවට අස්වැසුම හඳුන්වා දීමේදී සමෘද්ධිලාභීන් ලක්ෂ ගාණක් කැපී යාමෙන් මේ අර්බුදය හටගෙන තිබේ. මෙතෙක් දීමනා ලැබූ සමෘද්ධිලාභීන් කැපී යාම පමණක් නොව ඒ වෙනුවට නුසුදුසු පුද්ගලයන් ලැයිස්තුගත වීමද විරෝධතාවලට මග පාදා තිබේ. මෙලෙස නුසුදුසු පුද්ගලයන් වශයෙන් දැක්වෙන්නේ ගෙයක් දොරක්, ආදායම් මාර්ගයක් තිබෙන පුද්ගලයන්ය. ඒ ගැන විරෝධය දක්වන හිටපු සමෘද්ධිලාභීන් සහ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ විදුලිය හෝ වතුර පයිප්පයක් හෝ තිබූ පමණින් තමන්ගේ දීමනා කපා දැමුවත් වාහන තිබෙන ඇතැම් පුද්ගලයන් පවා අස්වැසුමට ලැයිස්තුගත වී සිටින බවය. එය එසේ වී දැයි අප නොදන්නා නමුත් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැති බව අපි දනිමු.

අස්වැසුම නොලැබූවන්ගේ දුක් ගැනවිලි විශාල වශයෙන් ඉහළ යද්දී ආණ්ඩුව ප්‍රකාශ කළේ මේ සකස් කර ඇත්තේ අවසන් ලැයිස්තුව නොවන බවත් අසාධාරණ ලෙස ලැයිස්තුවලින් ඉවත් වූ අය සිටී නම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවත්ය. දින කිහිපයක් තුළදී අභියාචනා ලක්ෂ 04 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබිණි. එයින් පැහැදිලි වන්නේ අසාධාරණයට ලක්වූ විශාල පිරිසක් සිටින බවය. එසේම නුසුදුසු පුද්ගලයන් ලැයිස්තුගත කර තිබීම සම්බන්ධයෙන් විරෝධතා දස දහසකට අධික සංඛ්‍යාවක්ද ඉදිරිපත්ව තිබූ බවද වාර්තා විය. මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් කරුණු සොයා බලා අස්වැසුම ලබා දිය යුතුම පුද්ගලයන්ට එය ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතුය. ''දෙයක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතුය'' යන කියමනද මෙහිදී මතක් කරන්නේ ඉතා දිළිඳු පුද්ගලයන් අසාධාරණයට ලක්වූවොත් ඔවුන්ගේ දිවි පැවැත්මට එය විශාල අභියෝගයක් වන බැවිනි.

මේ රටේ සමෘද්ධිය ඇතුළු සමාජ සහනාධාර යෝජනා ක්‍රම තුළට රිංගන මජර දේශපාලනය හේතුවෙන් මේ ගැටලු ඇතිවන බව සඳහන් කළ යුතුය. මේ යෝජනා ක්‍රම රටට හඳුන්වා දෙන්නේත් දේශපාලනඥයන්ය. එසේම ඒ තුළට අනවශ්‍ය ලෙස දේශපාලන ඇඟිලි ගැසීම් සිදු කරමින් තමන්ගේ හෙංචයියන්ටද එම සහනාධාර ලබාදීමට ක්‍රියා කිරීම තුළින් ඒ යෝජනා ක්‍රම අවුලට පත් කරන්නේද දේශපාලනඥයන්මය. මේ තත්ත්වය වෙනස් කිරීමකින් තොරව අලුතින් හඳුන්වා දෙන අස්වැසුමටද විසුමක් නොවනු ඇත.

සමෘද්ධිලාභීන් අතර එය ලැබීමට නුසුදුසු පුද්ගලයන් සිටින බව අස්වැසුමට එරෙහිව පාරට බැස විරෝධතා දක්වන පුද්ගලයන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමෙන් වටහාගත හැක. මේ විරෝධතා දක්වන පිරිස අතර අන්ත දිළිඳු අසරණ පුද්ගලයන් මෙන්ම මෝටර් සයිකල්වලින් පවා පැමිණ සිටින පිරිස් සිටින බව හඳුනා ගැනීම අපහසු නැත. ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ මේ විරෝධතා පසුපස දේශපාලනඥයන් පිරිසක් සිටිමින් සමෘද්ධිලාභී පිරිස් කුලප්පු කරවන බවය. සමෘද්ධි ලැයිස්තුවලට නුසුදුසු පුද්ගලයන් රිංගවමින් තමන්ගේ දේශපාලන වැඩට ඔවුන් සම්බන්ධ කර ගන්නා දේශපාලනඥයන් එසේ කිරීම ගැන පුදුම විය යුතු නැත.

කාලයක සිටම සමෘද්ධි ලැයිස්තු හරහා තමන්ගේ මනාප ගොඩ වැඩිකර ගැනීමට කටයුතු කරන දේශපාලනඥයන්ට මේ අස්වැසුම යෝජනා ක්‍රමයේදී විශාල පිරිසගේ නම් කැපී යාම ගැටලුවක් වීම වැළැක්විය නොහැක. රටේ ආර්ථිකය මකර කටට ගියත් තමන්ගේ ඡන්ද මල්ල පිරෙන්නේ නම් මේ දේශපාලනඥයන් එතැනින් එහාට කිසිවක් සිතන්නේ නැත. එහෙත් රටේ දැන් පවතින ආර්ථික වාතාවරණය අනුව නුසුදුසු පුද්ගලයන්ද ඇතුළුව සිටින සහනාධාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම කළ හැක්කක් නොවේ. අවශ්‍යම පුද්ගලයන්ට පවා සහන ලබාදීමට තරම් වාතාවරණයක් නොමැති විට නුසුදුසු පුද්ගලයන් එම ලැයිස්තුවලට ඇතුළු කරන දේශපාලනඥයන් සිදු කරන්නේ ජාතික අපරාධයකි. වහාම එම ක්‍රියාවට තිත තැබිය යුතුය.

සමෘද්ධියෙන් අස්වැසුමට මාරුවෙන සහනාධාරලාභීන්ද ඒ සමඟම සිතට ගත යුත්තේ තමන් කවදා හෝ මෙලෙස ආණ්ඩුවේ මුදලින් යැපෙන්නන් බවට පත්වීමෙන් වැළකිය යුතු බවය. තමන්ගේ දෙපයේ ශක්තියෙන් නැගී සිටීමට ඔවුන් හැකි හැම උත්සාහයක්ම දැරිය යුතුය. දේශපාලනඥයන්ගේ අතවැසියන් බවට පත්වීමෙන් වැළකී සිටීමට ඔවුන්ට හැකිවනු ඇත්තේ එවිට පමණි. මේ සියලු සහනාධාර ලැබිය යුත්තේ එම අත්‍යවශ්‍යම පිරිසට පමණක් බවද අවධාරණයෙන් පැවසිය යුතුය.