2023 ජුලි 01 වන සෙනසුරාදා

රජයේ මුද්‍රණාලයාධිපතිනිය යයි: ආපසු එයි

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 104

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පසුගියදා (ජූනි 25 වැනිදා) විශ්‍රාම ලැබුවාය. එම දිනයේ පටන් ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේම ඇයට සේවා දිගුවක් ලබාදී තිබේ. වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත රජයේ මුද්‍රණාලයාධිපතිනිය වශයෙන් රාජකාරි කිරීම සඳහා ගංගානි ලියනගේට සේවා දිගුවක් ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය මගින් පසුගිය මාසය ආරම්භයේදී අනුමත කර තිබිණි.

එක් ආනයනකරුවකුට අත යටින් බදු සහන දීලා: නිලධාරීන්ගේ යාළුවෙක්ලු

ළබැඳියාවන් අතර පවතින ගැටුම නව දූෂණ විරෝධී පනත මගින් අවධානය යොමුකර තිබෙන කරුණකි. බදු සහන ලබාදීමේදී ගනු ලබන ඇතැම් තීන්දු මෙරට පාරිභෝගිකයන්ගේ හෝ ගොවීන්ගේ හෝ යහපත පිණිස නොව ව්‍යාපාරිකයන්ගේ හිත සුව පිණිස ගනු ලබන බව ප්‍රකට රහසකි.

බඩඉරිඟු ගෙන්වීමේදී එහි ආනයනකරුවකුට බදු සහනයක් ලබාදීම සම්බන්ධයෙන් පසුගියදා ගැටලුවක් පැන නැගිණි. එසේ බදු අඩු කිරීම සඳහා නිර්දේශ කර ඇත්තේ කුමන පදනමකින්ද යන්න දැන් ප්‍රශ්න කෙරෙමින් පවතී.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමේදී මේ බදු සහනය ප්‍රදානය කර තිබේ. මේ ආනයනික සමාගමට බඩඉරිඟු කිලෝවක් සඳහා නියමකර ඇත්තේ රුපියල් 25ක බද්දකි. එහෙත් ඒ සඳහා නියම කළ යුතු බද්ද වශයෙන් සඳහන් වන්නේ කිලෝවකට රුපියල් 75කි. මෙම බදු සහනය යටතේම සෝයා බෝංචි ආහාර ගෙන්වීමටද අවසර ලබාදී තිබේ.

අදාළ බදු තීන්දුව ගැනීමට නිලධාරීන් තිදෙනකු සම්බන්ධ යැයි සඳහන් වේ. එකී ආනයනකරු මේ නිලධාරීන් තිදෙනා සමඟ දැන හැඳුනුම්කම් පවත්වන බවද රාජ්‍ය සේවයේ නිරත මේ නිලධාරීන් තිදෙනා එම ආනයනකරුට මෙම ගනුදෙනුවේදී වාසි සහගත ආකාරයට කටයුතු කර ඇතැයිද කියති.

මේ අතර ළමා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ගණනාවක් පවසන්නේ බොහොමයක් පාසල් සඳහා මේ වනතුරු ත්‍රිපෝෂ ලබාදී නොමැති බවය.

I සන්ඩේ ටයිම්ස්

එහෙනම් කපන්නේ අලියගෙ නැට්ටද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයකට හේතු වී තිබේ. රජය ඇතුළත පමණක් නොව විපක්ෂය තුළද මේ සම්බන්ධයෙන් මත ගැටුම් ඇති විය. කෙසේ වුවද ආණ්ඩු පක්ෂ රුස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ අවස්ථාවේ ඇතැම් ගැටලු නිරාකරණය කරගත හැකි වූ බව සඳහන්ය.

කෙසේ වුවද විපක්ෂය මේ සම්බන්ධයෙන් පොදුවේ දරන්නේ දැඩි විරෝධයකි. මේ එම විරෝධය මාධ්‍ය ඔස්සේ සඳහන් වූ අවස්ථා කිහිපයකදී දැක්වූ අදහස් මෙසේ විය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස:

අයි.එම්.එෆ්. යා යුතු බව මුලින්ම කිව්වේ සමගි ජනබලවේගයයි. එහෙම යාම නිවැරදි වුණත් ඇති කරගත් ගිවිසුම වැරදියි. මේක දුර්වල, පණ නැති හරයක් නැති ගිවිසුමක්. මේක රටට අවාසිදායක ලෙස ගහපු ගිවිසුමක්. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ වත්මන් රජය දෙවැනි වතාවටත් රටේ ජනතාව මංමුලා කර තිබෙනවා. මුලින් කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බවයි. අප අසන්නේ මෙවැනි බොරු කියමින් ජනතාව රවටන්නේ ඇයිද කියලයි. මේ රටේ ලක්ෂ 20කට වැඩි වැඩකරන ජනතාවගේ අර්ථසාධකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා.

සජබ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

අයි.එම්.එෆ්. එකට ප්‍රමාද වෙලා යන වෙලාවෙ ආණ්ඩුව කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැ කියලයි. දැන් ඒක කරන්න පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. මේකෙ අරමුණ පක්ෂ ඇතුළේ තිබෙන ප්‍රශ්න විසඳගන්න එක. මහබැංකු අධිපති කියපු විදියට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඊ.පී.එෆ්. එකට අත තියලා. අපි ඒකට විරුද්ධයි. සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට අපි එකඟ නෑ.

මේ රටේ ධන කුවේරයන් දාපු බොන්ඩ්වලට පොලිය අඩුකරලා නෑ. මහබැංකු අධිපතිට ඕනෑ නම් මේ රට වැටුණොත් ඕස්ට්‍රේලියාවට යාවි. ඒත් මේ රටේ සාමාන්‍ය ජනතාවට එහෙම බෑ. මෙහි අයි.එම්.එෆ්. යෝජනාවක් නොවේ, අපි පැනලා දීපු එකක්.
නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී 

ඩිලාන් පෙරේරා:

මේකෙදි ණය පොලිය ගැන කතා කරනවා. දේශීය ණය ප්‍රශස්තකරණය කියනවා. ජනාධිපතිතුමා කියනවා මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රාග්ධනයේ පොලිය කපන්නේ නැතිලු. ඊ.පි.එෆ්. එක ඊ.ටි.එෆ්. එකට අත තියන්න නැතිලු. එහෙනම් දවස් 05ක් නිවාඩු දිගෙන මොකක්ද කපන්නේ. දවස් 05ක් නිවාඩු දීල තියෙන්නෙම මොකක් හරි කරන්න. අපි අහන්නෙ එහෙනම් මහත්තයෝ මොකක්ද කපන්නෙ. අලියගෙ නැට්ටද? කපුටගෙ තට්ටද? මේ විදියටම මාස 03කට කලින් ඡන්දයට දින කියලා තියෙද්දිත් ඡන්දයක් නෑ කියලා කිව්වෙත් මේ රනිල්ම තමයි. මේ බොරුව කියන්න එපා.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර:

අයි.එම්.එෆ්. එකට යා යුතු බව අපි මුල ඉඳන්ම කිව්වා. හැබැයි මේ ආණ්ඩුව ඒකට ගිහින් කළේ වැරදි ගනුදෙනුවක්. ඒ නිසා රටට ජනතාවට අහිතකර ගනුදෙනුවක් සිදුවී තිබෙනවා. අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡාවට යා යුත්තේ අත්දැකීම් තිබෙන පළපුරුද්ද තිබෙන මිනිස්සු. ෂෙහාන් සේමසිංහලාට අයි.එම්.එෆ්. එකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්ද බැරිද කියන එක මේ රටේ ජනතාව දන්නවා.

ආණ්ඩුව මේ වැරදි ආකාරයට කරන ගනුදෙනුව නිසා ඊ.පී.එෆ්. එකට ඊ.ටී.එෆ්. එකට හානි වෙනවා. ඒවායේ තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදල්. අයි.එම්.එෆ්. එකත් එක්ක වැරදි ආකාරයට කරපු මේ ගනුදෙනුවෙන් මේ රටට සිදුවෙන්නේ අවාසියක්. මේ නිසා අපි මේ සති අන්තයේදී ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න හදන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට විරුද්ධ වෙනවා.