2023 ජුලි 01 වන සෙනසුරාදා

සැකය සහ බිය

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 90

පහුගිය අවුරුද්දේ මේ වගේ කාලෙ රට තිබුණේ මීට වඩා හාත්පසින්ම වෙනස් තැනකය. ජූලි මාසය උදා වුණේ පෙට්රල් ෂෙඩ් තෙල් නැතුව වේලෙමින් තිබියදීය. ඒ වෙනකොට රටට තිබුණේ නාමික නායකත්වයක් පමණි. ජූලි 09 වැනිදා වෙනකොට ඒ නායකත්වයත් රටට අහිමි විය. ඉතිරිව සිටියේ හිටපු අගමැති අස්වීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ලැබූ රනිල් වික්‍රමසිංහය. ඊට පසුව ජූලි මාසේ 19 වැනිදා රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වැඩි ඡන්දයෙන් රටේ ජනාධිපති ධූරයට පත්විය. ඒ කියන්නේ ජූලි මාසෙට රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධූරයට වසරක් පිරෙයි.

සාමාන්‍යයෙන් තම ධූරයට වසරක් පිරෙන ජනාධිපතිවරයෙක් ඒ ගැන රටටම ඇසෙන සේ උදම් ඇනීම මේ රටේ සාමාන්‍ය සිරිතය. හැබැයි රනිල් ඒ ක්‍රමය අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට රටේ ආර්ථිකය ගොඩදා ගැනීම සඳහා ලොකුම බලාපොරොත්තුව වන අයි.එම්.එෆ්. එකට පොරොන්දු වූ අවශ්‍යතා ඉටු කිරීමට සියලු උත්සාහයන් දරමින් සිටියි. ඒ අවශ්‍යතා ඉටුකර දීමට රනිල්ට සහාය දක්වන්නේ පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසකි. ඒ අයගේ සහාය ලබාගෙන රටේ ආර්ථිකයට ලොකුම බලපෑමක් සිදුවිය හැකි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට ජනාධිපතිවරයා දැන් අතගසා සිටියි. ඔහු තම ජනාධිපති ධූරයේ පළමු වසර සමරන්නේ මේ දේශීය ණය යෝජනාවේ පළ විපාක සමඟිනි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියා කිව්වාට මේ රටේ පොදු මහජනතාවට එය වැටහෙන්නේ නැත. ඒත් ඒකෙන් තමන්ගේ ආර්ථිකයට සිදුවන බලපෑම කුමක්ද යන්න ගැන ජනතාව සිටින්නේ ලොකු විමසිල්ලකිනි. වෙන එකක් තබා ජනාධිපතිවරයාට සහාය දක්වන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ටත් මහ බැංකු අධිපතිවරයා සිදු කළ කරුණු පැහැදිලි කිරීම තේරුම් ගැනීමට අපහසු වී තිබිණි.

මහ බැංකු අධිපතිවරයා කියන්නේ මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ඇති පන්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන ගිණුම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආරක්ෂා කරන බවට සහතික කරන බවකි. භාණ්ඩාගාරයට සහ රටේ ආර්ථිකයට දැනටමත් සියයට 50 කට වැඩි බදු ආදායමකින් දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මහ බැංකු අධිපතිවරයා කිව්වේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මේ කරුණු හෙළි කිරීමට ඔහු පියවර ගත්තේය.

මේ මොනවා කිව්වත් ජනතාව තුළ පවතින සැකය සහ අවිශ්වාසය දුරු කිරීමට එය ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. හැබැයි ජනතාව වඩාත් සංවේදී වන ඒ වගේම විපක්ෂය දැඩිව අල්ලාගෙන පහරදෙන සේවක අර්ථසාධක අරමුදලට අත තැබීම ගැන ඔහු පැවසුවේ එහි අරමුදල්වලට අත නොතබන බවට සහතික වන බවය. ඒ සඳහා 9% ක පොලිය සහතික කරන බවද ඔහු කීය.

ඒ වගේම විපක්ෂය දිගටම කෑගසන දවස් 05 ක් බැංකු වහගෙන මේ කරන්න හදන්නේ කුමක්ද යන ප්‍රශ්නයටත් ඔහු පිළිතුරක් දී තිබිණි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබෙනතුරු සම්ප්‍රේෂණය වැළැක්වීමට ගත් පියවරක් වශයෙන් එය ඔහු හඳුන්වා දුන්නේය.

මේ කොහොම වුණත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආණ්ඩුවට ඉතා අපහසුවෙන් පැනගත යුතු කඩුල්ලක් බව මුලදී පෙනෙන්න තිබිණි. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැමවිටම උත්සාහ දරන්නේ මේ පියවර ගැනීමෙන් රටේ ආර්ථිකයට යහපතක් වනවා මිස වරදක් නොවන බව පෙන්වා දීමටය. එසේම ජනතාව සතු අරමුදල්වලට හෝ බැංකුගත තැන්පතුවලට හෝ අත නොතබන බව සනාථ කිරීමටය. නමුත් ඒ කරුණු පැහැදිලි කිරීම් ජනතාව කොතරම් දුරකට පිළිගන්නේද යන්න තවම පැහැදිලි නැත. ඒ එක්කම ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් මේ පියවර ගැනීම අත්‍යාවශ්‍ය බවය. මේ තත්ත්වය යටතේ ජනතාව තවමත් බලා සිටින්නේ සති අන්තයෙන් පසුව උදාවෙන සතිය රට කුමන දිශාවකට හරවනු ඇතිද යන්නය.

ආණ්ඩුව කොහොම කිව්වත් රටේ ඇතැම් ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක ගැන කලින් අනාවැකි පළ කිරීම අපහසු බවය. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බවත් එහි හොඳ සහ නරක ප්‍රතිඵල දෙකම තිබෙන බවත් ඔවුන්ගේ මතයයි. විශේෂයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සම්බන්ධව ගනු ලබන තීරණ රටේ මූල්‍ය තත්ත්වයේ වෙනසකට හේතු විය හැකි බවය. එසේම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා මුදල් ආයෝජනය කර ඇති බැංකු සහ ඊ.පී.එෆ්. අරමුදල්වලට නියමිත පොලිය අඩු වී ලැබෙන විට හෝ එම පොලිය ලබාගැනීමේ කාලය දීර්ඝ වනවිට එහි බර මහ බැංකුවට දරාගැනීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති. පොලිය අඩුකිරීමට ගන්නා පියවර රටේ ජනතාවට ඍජුවම බලපාන සාධකයක් බව රජය දැන සිටිය යුතුය.

විපක්ෂයේ පොදු චෝදනාව වන්නේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම රටටත් ජනතාවටත් කොළේ වසා ගහන ගැහිල්ලක් බවය. ඒ වුණත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දරන්නේ වෙනත් මතයක් බව පැහැදිලිය. රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ධූරය උසුලන හර්ෂ ද සිල්වාගේ මතය වී ඇත්තේ මේ යෝජනාව සඳහා කොන්දේසි සහිතව සහාය දැක්විය යුතු බවය. මේ අවස්ථාවේ හැටියට ගත යුතු වෙනත් පියවරක් නැතැයි විපක්ෂ මන්ත්‍රීන්ට ඔහු පෙන්වා දීමට උත්සාහ කර ඇති බවත් කියති.

එහෙත් සජබ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු බහුතරය හර්ෂගේ ඒ අදහසට විරුද්ධය. ඔවුන් කියන්නේ ඇතුළේ කරුණු නොදැන ඒ ගැන දැනුම්වත් නොවී ආණ්ඩුවේ යෝජනාවකට සහාය දැක්වීම කළ නොහැකි බවය. ආණ්ඩුව මේ වනතුරුද එම යෝජනාවේ අඩංගු සියලු කරුණු අනාවරණය කර නැති නිසා එහි ජනතාවගේ කෝපයට හේතු විය හැකි යෝජනා තිබුණොත් එහි වරද තමන් පිටද පැටවෙනු ඇතැයි ඔවුහු සැක පහළ කරති.

ඒ හේතූන් නිසා සජබ ප්‍රමුඛ විපක්ෂය තවමත් සිටින්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ආණ්ඩුව හකුළා ගත යුතුය යන ස්ථාවරයේය. එහෙත් එයට විකල්ප යෝජනාවක් ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් නොවීමද ගැටලුවකි. සජිත් කියා තිබුණේ තමන් බලයට පැමිණි විට අයි.එම්.එෆ්. සමඟ යළි සාකච්ඡා අරඹන බවය. එහෙත් එය පවතින අර්බුදයට විසඳුමක් නොවන බව පැහැදිලිය.

හොඳයි ආණ්ඩුවට මේ සති අන්තයේදී මේ යෝජනාව ගොඩදා ගත නොහැකි වුණොත් සිදුවිය හැක්කේ කුමක්ද?

එහි ඍජු ප්‍රතිඵලය විය හැක්කේ අයි.එම්.එෆ්. එක ශ්‍රී ලංකාවට ලබා දිය යුතු ඊළඟ වාරිකය ලබා දීම ප්‍රමාද වීමය. ඊළඟ වාරිකයට පෙර අයි.එම්.එෆ්. නිලධාරී කණ්ඩායමක් මේ රටට පැමිණ ප්‍රගති සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඊට පෙර සිදු කර අවසන් විය යුතු වීම එක් පූර්ව කොන්දේසියක් බවද සඳහන් වෙයි. මේ වැඩේ බැංකුත් වහගෙන හැකි ඉක්මනින් නිම කිරීමට ආණ්ඩුව උපරිම උත්සාහ දරන්නේ එම කොන්දේසිය සපුරාලීමට බව පැහැදිලිය.
එහෙත් මෙහිදී පැන නගින ගැටලුව වන්නේ රට මේ තත්ත්වයට පත්කිරීමට වගකිව යුතු කිසිවකුටත් එරෙහිව මේ දක්වා කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියා නොකිරීමය. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ රටේ ජාතික ධනය පවා මහා පරිමාණයෙන් ගසා කෑ ඇතැම් පුද්ගලයන් සහ ආයතන මගින් ලබාගෙන තිබෙන ණය ද ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී කපා හරිනු ඇති බවටද ඇතැම්හු චෝදනා කරති. මේ ණයගැතියන් බොහෝ දෙනකු දේශපාලන කරළියේ ඉහළ පෙළේ ඇතැම් නායකයන් සමඟ සමීප සබඳතා පවත්වන බව රහසක් නොවේ. ජනතාව සිතන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් &සොරුන් සහ වංචනිකයන්* තවදුරටත් රුකෙන බවත් දුන් මහන්සියෙන් හම්බ කරන තමන්ගේ තුට්ටු දෙකට තට්ටු වනු ඇති බවත්ය. රට ආර්ථික වශයෙන් බංකොළොත් කළ පුද්ගලයන් හැම අතින්ම රුකෙමින් සිටියදී ජනතාවට එරෙහිව හැම නීතියක්ම ක්‍රියාත්මක වීම ගැන තිබෙන විරෝධය නැති කළ හැක්කේ ආණ්ඩුවට පමණි. එය කළ හැකිවනු ඇතිදැයි ඉදිරි දිනවලදී බලා සිටිය යුතුය.

I ශශීන්ද්‍ර