- කැලණිය සරසවියේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී ආචාර්ය නිෂාන් සකළසූරිය
අප රට මුහුණ දුන් දරුණු ආපදා තත්ත්වය, ඊට බලපෑ හේතු සාධක හා ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාල භූගෝල විද්‍ය අධ්‍යනාංශ ප්‍රධාන ආචාර්ය නිෂාන් සකළසූරිය මහතා සමඟ කළ සාකච්ඡාවයි මේ.
සතියකට කලින් දැඩි වියළි කාලගුණයත් අධික රස්නයත් පැවතුණා. ඊළඟට පැය ගණනක් ඇතුළත දරුණු වැස්සක් කඩාගෙන හැලුණා. අපි ඉස්සර නම් දකින්නේ මෙහෙම වියළි කාලගුණයකින් වැසි කාලයකට පැමිණීම ක්‍රමානුකූල සිදුවීමක්. දැන් ඇයි හදිස්සියේම කාලගුණය වෙනස් වෙන්නේ?
දේශගුණික වෙනස ලෝක ඉතිහාසයේත් ලංකා ඉතිහාසයේත් ඕන තරම් සිදුවී තිබෙනවා. මුළු ලංකාවේ මිනිස්සු කාලයක් තිස්සෙ දැඩි නියඟයෙන් බැට කෑව විදිහ ගැන අනුරාධපුරේ, කලාවැවේ හා අවට කොහොමද ගංවතුරට මුහුණ පෑවේ කියලා බැද්දේගම වැනි නවකතාවල තියෙනවා. එකවරම කියන්න අමාරුයි ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා මේ දේවල් සිදුවෙනවා කියන්න. අපි ඉන්නේ ඝර්ම කලාපීය රටක. ඝර්ම කලාපයේ හදිසියේ ගංවතුර ගලනවා, දීර්ඝකාලීන නියං තත්ත්වයන් ඇතිවෙනවා. මේවාට ගෝලීය උණුසුම්වීම, දේශගුණික තත්ත්වයන් යම් පමණකට බලපාන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් එය මතම යැයි කීම සුදුසුයි කියලා මම හිතන්නෙ නෑ.
ගංවතුර එන්න පුළුවන්. නමුත් දවසක දෙකක වැස්සකින් මේ තරම් දේපල හානියක් ජීවිත හානියක් සිදුවීමට සැබෑ හේතුව මොකක්ද?
එක් පැත්තකින් ජාතියක් ලෙස ඝර්මකලාපීය දේශගුණයේ ජීවත් වන ජීවිතය සහ ඊට අදාළ පහසුකම් සපයා ගැනීම පිළිබඳ සංවර්ධන ක්‍රියාවලියේ ඇතිවුණු අඩුපාඩුකම් දුර්වලකම් හේතුවුණා. දෙවනුව අපේ රටේ ජනතාවට තමන් ජීවත්වන භූමිය පිළිබඳව නොදැනුවත්කමත් හේතුවුණා. එය ඔවුන්ගේ වරදක් නොවේ. පරිසරයට ගැළපෙන ලෙස නිවාස සකසන ආකාරය, බිම සකසන ආකාරය හා අනෙකුත් දැනුම අධ්‍යාපනය තුළින් ලබා දුන්නා නම් සංවර්ධනය අදාළ පහසුකම් සපයන රජය ඒ සඳහා කටයුතු කරන ආයතන බුද්ධියෙන් ක්‍රියාකළා නම් ගංවතුර නවත්වන්න බැරිවුණත් ඒ ගංවතුරෙන් සිදුවන හානිය අපිට මීට වඩා නම් අවම කරගන්න තිබුණා.
දේශපාලනඥයෝ ජනතාවගේ වදකයන් බවට පත්වෙලා
ඝර්මකලාපීය දේශගුණයේ සංවර්ධන ක්‍රියාවලියේ ඇතිවුණු අඩුපාඩුකම් ගැන විස්තර කළොත්?
ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් අරීයව ආරම්භ වන ගංඟා 103ක් මුහුද දක්වා විහිදී යන ජලවහන රටාවක් තමයි තියෙන්නෙ. මේවා මෝසම් ඍතු දෙකකට මුහුණ දෙනවා. දැන් නිරිත දිග මෝසම පටන්ගෙන තිබෙනවා. මෙය ඉන්දියාවේ හඳුන්වන්නේ මෝසම් නිපාතය හෙවත් මෝසම් කඩාවැටීම යනුවෙන්. ඉන්දියාවට සුලභ වුණත් ලංකාවට එවැනි මෝසම් කඩාවැටීම සිදුවෙන්නෙ කලාතුරකින්. 2003, 2013, 2016 වැනි වසර අපි අත්දුටුවා. අතීතයේ මෙන්ම අදත් වර්ෂපාතනයේ, ගංවතුර තත්ත්වයේ සහ යටවන ප්‍රදේශවල තත්ත්වය එසේමයි. හැබැයි අපි මේ කාලය තුළ සංවර්ධනය තුළ හැසිරුණේ අයුරු, අපේ නිවාස තැනූ අයුරු, නගර ඉදිකළ අයුරු, පාලම් බෝක්කු හා මහාමාර්ග පද්දතිය සකස් කළ අයුරු දෙස බලද්දී අපි ඝර්මකලාපීය දේශගුණයක ජීවත්වන බව සැලකිල්ලට ගත්තාද යන්න ප්‍රශ්නාර්ථයක්. අපෙ රටේ සංවෙර්ධනය දේශගුණය, භූවිෂමතා, භෞතික පරිසරය සමඟ මොනතරම් බැඳියාවකින් කටයුතු කරනවාද? අතීතියේ පන්සල්, දාගැබ් හා ගම් හැදුවේ පරිසරය පිළිබඳ මනා දැනීමක් ඇතිව ඊට ඔරොත්තු දෙන අන්දමටයි.
ස්වභාවික ව්‍යසන අපට නවත්තන්න බෑ. හැබැයි ස්වභාවික විපත්වලට ඕනෑම අවස්ථාවක මුහුණ දෙන්න වෙන බව අප දැනගෙන සිටිය යුතු නොවේද?
ඕනෑම වෙලාව මුහුණ දෙන්න වෙනවා කියන කාරණය වැරදියි. නිශ්චිත කාලවකවානුවක් තියෙනවා. 2003 මැයි, 2013 මැයි, 2016 මැයි මේ වසරේත් මැයි මාසයේම තමයි ගංවතුර තත්ත්වය ඇතිවුණේ. ගඟ ගැලීම ජනවාරි මාසේ හෝ අගෝස්තු සැප්තැම්බර් මාසේ සිදුවෙන්නේ නැහැ. ඊසාන දිග මෝසම නිරිත දිගට මාරුවෙනකොට සුළුපටු වෙනස්කමක් නෙවෙයි වායුගෝලයේ සිදුවෙන්නේ. අංශක 180ක් විරුද්ධ දිශාවට හැරෙද්දී ඉහළ වායුගෝලයේ මෙන්ම පහළ වායුගෝලයේත් විශාල පරිවර්තනයන් සිදුවෙනවා. සෙමෙන් සෙමින් සිදුවී අවසානයේ වේගවත් ප්‍රචණ්ඩ හැසිරීමක් පෙන්නුම් කරනවා. මේ මෝසම් ඇතිවෙන්නේ ඒ ප්‍රචණ්ඩ හැසිරීමෙන්. කල්තියා අපට එය දැනගන්න පුළුවනි.
අපට හොඳින් ගැලපෙන්නේ පොකුරු ගම්මාන හා නගරයි
ඒකට පූර්ව සූදානමක් අවශ්‍යයයි නේද?
කල්තියා අපට එය දැනගන්න පුළුවන් නිසා කලින් සූදානම් වෙන්න පුළුවන්. ඒත් අපේ රටේ මැතිවරණවලට කලින් සූදානම් වුණාට, හොරකම් වංචාවලට සූදානම් වුණාට විශ්වවිද්‍යාල සිසුන්ට පහර දෙන්න සූදානම් වුණාට ස්වභාවික විපත්වලට මුහුණ දීම සඳහා කලින් සූදානමක් නැහැ. පූර්ව ආපදා කළමනාකරණය, ආපදා අවස්ථාවේ කළමනාකරණය හා පශ්චාත් ආපදා කළමනාකාරණය යැයි ආපදා කළමනාකරනය කොටස් තුනක්. පූර්ව ආපදා කළමනාකරණයෙන් තමයි විනාශයක් නොවී සියල්ල බේරගන්න පුළුවන් වෙන්නෙ. විනාශයක් සිදුවුණාට පස්සේ මරණ අඩු කරන්න බෑ. පූර්ව ආපදා කළමනාකරණයේ පළමු දේ වන්නේ වැරදි සංවර්ධන නොකිරීම. ව්‍යසන කියන්නේ වැරදි සංවර්ධනයේ ප්‍රතිඵලයි. ගංගාවක් ගොඩගැලීම යනු අරුම පුදුම සිද්ධියක්වත් හදිසියේ ඇතිවුණ සිද්ධියක්වත් නෙවෙයි. අතීතය සිටම ගංගා පිටාර ගැලීම සිදුවෙනවා. එසේ සිදුවූ බවට සාධක තිබෙනවා. එමෙන්ම එය සිදුවිය යුත්තක්. මේ තත්ත්වය තේරුම්ගෙන ගංවතුර සීමාව ලකුණුකර ජනාවාස පටන්ගැනීමයි සිදුවිය යුත්තේ.
මෙලෙස විවිධ විපත්වලට හසුවීමට ජනාවාසවී සිටින ක්‍රමය බලපා තිබෙනවාද?
ලංකාවේ ඕනෑම තැනක ජනාවාස ඇති කිරීමේ හැකියාව තිබුණත් ඒවා සදාකාලික සුදුසුයි කියන්න බෑ. වියලි කාලෙදි සුදුසු ඉඩම් තෙත් කාලෙදි සුදුසු නෑ. මේ කාල දෙකම අනුව වාර්ෂිකව අධ්‍යනය කර පදිංචියට, කර්මාන්ත ශාලාවට, කෘෂිකර්මයට, නගර නිර්මාණයට සුදුසු ඉඩම් කවරේද යන්න ජනතාවට ආණ්ඩුව විසින් තෝරා දිය යුතුයි. ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. සමස්තය ගෙන බලද්දි එක පැත්තකින්, අධ්‍යාපන ක්‍රමයේ, රජයේ ප්‍රතිපත්ති, රජයේ ආයතනවල ප්‍රශ්නයන් යන කරුණු විපත්වලට හසුවීමට ප්‍රදානව බලපා තිබෙනවා. ඒ අනුව දේශගුණික වෙනස්වීම් යනු ආපදාවලට සුළු හේතුවක් පමණි.
දැන් විපතට පත්වුණු සමහර පිරිසට අවදානම් කලාපවලින් ඉවත් වෙන්න කියා කල්තබා කීවත් ඉවත් වුණේ නැහැ. මේවැනි ප්‍රශ්න විසඳගන්නෙ කොහොමද?
මෙය එක පැත්තක් ජනතාවගෙ පැත්තෙන් සූදානම් නොවී සිටීම නිසා කැඳවාගත්ත ඛේදවාචකයක් ලෙස දකින්න පුළුවන්. ගංවතුර සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළත් මිනිස්සු ඉවත් වුණේ නෑ. හේතුව ඒ පිළිබඳව විශ්වාසයක් නැතිකමයි. අපෙ රටේ ජනතාවට විද්‍යාත්මක චින්තනයක් නෑ. ඔවුන් මේ විපත විග්‍රහ කරන්නේ විඥානවාදයට අනුවයි. ඒවගේම සාමාන්‍ය පෘථග්ජන සිතුවිල්ල තමයි උපන්දා පටන් ඉපැයූ දෑ නැති කරගෙන තමන් විතරක් ජීවත් වී ඵලක් නෑ යන සිතුවිල්ල. ඒ නිසා ආපදා කළමනාකරණයේදී මිනිස්සුන්ගේ ජීවිත සෞඛ්‍යය මෙන්ම දේපළවලටත් තහවුරුවක් ලබා දිය යුතුයි.
අපේ මිනිසුන්ට ඕනම දෙයක් මතක තියෙන්නෙ දවස් හතයි
මෙහෙම ව්‍යසනයකදී ජීවිත හා දේපළ හානි වැඩිවෙන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දුර්වලතා හේතුවුණා කියා සමහරු චෝදනා කරනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ක්‍රියාකරන්න පුළුවන් තියෙන අණපනත්, මානව සම්පත් සහ භෞතික සම්පත්වලට සාපේක්ෂවයි. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය 350 ඉක්මවන්නේ නැහැ. දිස්ත්‍රික්ක 25හේ විද්‍යාඥයෝ ඇතුළුව විද්‍යාඥයන් සංඛ්‍යාව 50ක් පමණි. මෙවැනි සංඛ්‍යවකට පුළුවන් ඒ ආයතනය කළමනාකරණය කරන්න විතරයි. ඒ නිසා ජනතාව මේ නිලධාරීන් දෙස නම්‍යශීලී ලෙස බලා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ආපදා අවම කරගැනීම සඳහා ක්‍රියාකිරීමට සෑම පුරවැසියකුටම වගකීමක් තියෙනවා.
ඒ ආයතනවල තිබෙන දුර්වලතා මඟ හරින්න මොනවගේ පියවරද ගතයුතු වන්නේ?
ඒ ගැටලු නිසා අපි හැම තැනටම ආපදා කමිටු හැදුවා. හදිසි තත්ත්වයට මුහුණ දීම සඳහා හදිසි මෙහෙයුම් සැලසුම් හැදුවා. නමුත් එකක්වත් හැදුවට එන එන පැත්තට ගහ උලු වස්සා වගේ අපෙ රටේ පුරුද්දක් තියෙනවා ඒ ඒ වෙලාවට ඒ වැඩ කරනවා. ජනතාව මේ තත්ත්වයට පත්නොකර ආපදාව සඳහා පූර්ව සූදානමක් සහිතව ඒවාට නොබිය මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය සැකසීම රජයක අනිවාර්ය වගකීම බවට පත්වෙනවා.
ආපදාවට මුහුණදෙන ජනතාව ඉන් මුදාගන්න කලින්ම ගත හැකිව තිබුණු පියවර තිබුණද?
අනිවාර්යෙන් තිබුණා. කාලගුණ දෙපාර්තුමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබුණා. පැවති වියලි කාලගුණය නිසා පස වේලී ගොස් තිබුණා. ඒත් සමඟ පස හා මව්පාෂණය අතර සම්බන්ධය දෙදරා ගිහින්. ඒ මත වර්ෂාව පතිත වූ ගමන් පැලුම් රේඛා දිගේ මව් පාෂාණය කරා වතුර ගලනවා. ඒ ජලය ගල දිගේ ගලද්දී පසයි පාෂාණයි අතර තියෙන සම්බන්ධය නැති වී ඉහළ පස්තට්ටුවේ වැසි වතුර නිසා බර වැඩිවී ලිස්සා යනවා. නාය යාම සිදුවන්නේ එලෙසින්. මේ බව පාසල් පවා දන්නවා වුණත් මේවා තමන්ට වෙතැයි කිසිවෙක් සිතන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් විශාලම වරද රජය සිදුකළා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයට තියෙන පහසුකම් ඉතාමත් අවමයි. 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතින් පිහිටුවා අවුරුදු 12ක් ඉදිරියට ඇවිත් තියෙද්දි ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයට මෙන්න මේ ප්‍රදේශයටයි අනතුර සිද්ධ වෙන්නේ යනුවෙන් නිශ්චිතව සඳහන් කිරීමට පුළුවන් වී නැහැ. 2014 නාය යෑම් කලාප සිතියම් කළත් තවම අඩුතරමේ ග්‍රාමසේවා වසම් මට්ටමින් හෝ නාය යෑම අනාවැකි කීමට හැකි වී නෑ. අනාවැකි කීමේදී නුවරඑළිය, රත්නපුර, කෑගල්ල ආදි වශයෙන් දිස්ත්‍රික්කයක්ම අවදානම් යැයි කීවොත් මුළු දිස්ත්‍රික්කෙ ජනතාව කොහෙ යන්නද? විපත්වලින් මැරුණහම දෙන ආධාර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට යෙදුවා නම් මේ ප්‍රශ්න බරපතළ ලෙස අවම කරගන්න තිබුණා. එය ප්‍රතිපත්ති සකසන්නන් කළ යුතු දේයයි. පසුගිය කාලේ අපි නියං ගැන ඇහුවා මිසක් වැස්සට සූදානම් වුණේ නෑ.
මේ වගේ කාලගුණ විපර්යාස, මහ විපත් ඇයිමේ අපේ රටට වැඩි වැඩියෙන් සිදුවෙන්නේ?
අපේ රටට වැඩි වැඩියෙන් විපත් සිදුවෙනවා නෙවෙයි ඒවා විපත් හැටියට පරිවර්තනය කරගන්නවා.
ලංකාවේ නායයාම් කඳු කඩාවැටීම්, මේවා සිදුවෙන්න පුළුවන් ප්‍රදේශ හරියට හඳුනාගෙන එවැනි පළාත් සම්බන්ධයෙන් ගන්න පුළුවන් පියවර මොනවාද?
අපි පුරුදු වුණේ අපිටම බිමක් අපිටම ගෙයක් සංකල්පයට. රටේ හැම තැනම ජනතාව විසිරී පදිංචි වී සිටිනවා. අපේ මේ තියෙන ජනාවාස රටාව ඉතිහාසයට හොඳ වුණත් එය වත්මන් යුගයට නොගැලපෙන ක්‍රමයක්. මම යෝජනා කරන්නේ පොකුරු ගම්මාන, පොකුරැ නගර මේ හැම ප්‍රශ්නයකටම හොඳම විසඳුමක් කියලයි. අපිට වඩා ආපදා තිබෙන ජපානය, අමෙරිකාව විපත්වලින් බේරී ඉන්නවා. භූමිකම්පා, අයිස් තියෙද්දිත් දියුණු තත්ත්වයට එම රටවල් පැමිණ තිබෙන්නේ ඒ ඒ රටටවල්වල ස්වභාවය හඳුනගෙන තාක්ෂණය, නිර්මාණකරණය හා අධ්‍යාපනය සූදානම් කිරීමෙනි.
හරි සැලැස්මකට ඉදිනොවන ගොඩනැගිලි ඇතුළු වෙනත් ඉදිකිරීම් ගැන සොයා බලන්න, නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලය පැවරෙන සංවිධාන ලංකාවෙ නැද්ද?
බලය තියෙන ආයතන තියෙනවා. නමුත් රටක වැදගත්ම දේ වන නීතියේ ආධිපත්‍ය තියනවාද යන්න ගැටලුවක්. ඒවගේ පාර්ලිමේන්තුව පාරිශුද්ධයිද යන්නත් ගැටලුවක්. මේ සියලු දේටම අමනෝඥ දේශපාලන යාන්ත්‍රණය වගකිව යුතුයි. එක පැත්තක දඩයි බදුයි අනිත් පැත්තෙන් දූෂණයි ආධාරයි. දඩයි බදුයි ගසා උපයන මුදල් දූෂණවලටයි ආධාරවලටයි ප්‍රමාණවත් නෑ. ඉන්පසු පිටරටින් ණය ගන්නවා. ණය ගත් පසු ණය ගෙවාගන්න විදිහක් නෑ අපේ රටේ ඉඩම් කෑලි විකුණනමු කියනවා.. මේ තත්ත්වයට රට ගෙනාවේ ජනතාව නෙවෙයි දේශපාලඥයන්. ජනතාවගේ දයාබර පියවරු සහෝදරවරු බවට පත්විය යුතු දේශපාලනඥයෝ ජනතාවගේ වදකයෝ බවට පත්ව තිබෙනව. ඔවුන් ජීවිතය දෙනවා වෙනුවට විවිධ ස්වරූපයෙන් ජනතාවට මරණය කැඳවමින් සිටිනවා.
මේ විපතට මුහුණ දීපු වෙලාවේ සියලු දෙනාගේම අවධානය ඒ කෙරෙහි යොමුවුණා. මේ තියෙන උනන්දුව මේ ගැටලුවලට දීර්ඝකාලීන විසඳුමක් ගන්න සැලසුම් කරගන්නෙ කොහොමද?
අපේ රටේ මිනිස්සුන්ට හැම දෙයක්ම මතක තියෙන්නේ දවස් හතයි. සාමසාර කන්දේ, මීරියබැද්දේ මිනිස්සුන්ට මොකද වුණේ? යුද්ධය තියෙද්දී රටෙන් කෑල්ලක් හරි දී යුද්ධය නිමා කරන්න කිව්ව මිනිස්සු දැන් පල්ලිවලටයි පන්සල්වලටයි පහර දෙනවා. මේ සිදුවී තිබෙන විපතට වඩා ඉදිරියේ පැමිණෙන මෙම විපත දරුණුයි. අද කළමනාකරණය කළ යුතු ආපදාව මිනිසා විසින් නිර්මාණය කරන එම විපතයි.
ව්‍යසනයන් නැති කරගන්න දීර්ඝකාලීන වැඩපිළිවෙළකට ලංකාවට යන්න බැරිද?
ලංකාවට ගමන්කරන්න පුළුවන් අන්ත දෙකක් තිබෙනවා. මේ සියලු දෙයින් පාඩම් ඉගෙන ජාතික ප්‍රශ්නයටත් විසඳුම් සොයා, මාර්ග පද්ධතිය හා අපරිව්‍යුහ පහසුකම් විද්‍යාත්මකව පරිසරයට ගැලපෙන අයුරින් හැදුවොත් වසර පහළොවකින් ඕස්ට්‍රේලියාව, ස්වීඩනය, නෝර්වේ වැනි රටක් බවට පත්වෙන්න පුළුවන්. ඒවගේම තව අවුරුදු පහකින් මේ රට ඉතියෝපියාවක් බවට පත්වෙන්නත් පුළුවන්. ඒ දෙකම තීරණය වන්නේ පාලකයන් විසින් ඉදිරි අවුරුදු කිහිපය තුළ ගනු ලබන තීන්දු තීරණ අනුවයි. “මෘදුගුණය ඇති අය දරුවන් දිනිය යුතු වේ” මිනිස්සුන්ගේ දුක කඳුළ නොතේරෙන මිනිස්සුන් පාලකයන් වුණොත් මේ රටට කවදත් අත්වන්නේ විනාශයයි. එනිසයි බර්ටෝල් බ්‍රෂ්ට් කියන්නේ “මහ එවුන්ගේ මාලිගා කඩා හෙලනා විට පොඩි එවුන්ද එහි ඇත. ඊට යටවී නසී. දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිතිවිය යුතු” කියලා.
♦ සකීෆ් සාම් තන්වීරි
සේයාරුව l සමන්ත ප්‍රදීප් විල්තෙර